භාග්‍යවතුන් වහන්සේ අප හට දේශනා කොට වදාළේ තමාගේ යැයි සිතා අල්ලාගන්නා සියලු දේ ම කලක දී තමාට අහිමි වී යන ස්වභාවයෙන් යුතු බවයි. බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක දී වදාළේ තමාට තමාවත් අහිමි වී යන මොහොතක් එන බවයි (අත්තාහි අත්තනෝ නත්ථි). එහෙම එකේ දරුමල්ලෝ කොහෙන් ද? සල්ලි බාගෙ කොහෙන් ද කියා ය (කුතෝ පුත්තා කුතෝ ධනං). මේ ස්වභාවය මනාකොට අවබෝධ කරගත් අපගේ ශාස්තෘන් වහන්සේ අප හට දේශනා කොට වදාළේ පහත කරුණ නිරන්තරයෙන් තමන්ගේ එදිනෙදා ජීවිතයේදී සිහිකරමින් වාසය කරන ලෙසට ය. එනම් ‘මට අයත් ප්‍රියමනාප සියලු දෙයින් වෙන් වෙන්නට සිදුවෙනවා’ යැයි කියා ය.

ඇතැම් අවස්ථාවල දී සසරේ කරන ලද අකුසල කර්ම නිසාත් තමා සතු වස්තුව අහිමි වී යන බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. බොහෝ විට එසේ සිදුවන්නේ පෙර ජීවිතවලදී අන්සතු දේ සොරකම් කිරීමේ විපාකයක් ලෙසට ය. මේ ජීවිතයේදී සොරකම් කිරීම ආදියෙන් වැළකී සීලවන්ත ජීවිතයක් ගත කිරීමට අදිටන් කර ගත යුතුය. කෙසේ වෙතත් මුලින් සඳහන් වූ දහම් කරුණු නුවණින් මෙනෙහි කරමින් අටලෝ දහමට මුහුණදීම පිණිස සිත ශක්තිමත් කර ගැනීමත්, සසරේ සැබෑ ස්වභාවය තේරුම් ගැනීමත් තුළින් සිත්තැවුල් ඇතිවීම මඟ හරවා ගත හැකි ය. එමෙන් ම නිරන්තරයෙන් තම ජීවිතය තුළ සත්පුරුෂයෙකු ලෙස දන්පැන් පිදීම පුරුදු කරන්නේ නම් තමා සතු වස්තුව ප්‍රයෝජන නො ගෙන අහිමි වී නොයයි.