ධර්මාවබෝධ කරනු කැමති ශ්‍රාවකයෙකු බාහිරින් ලැබිය යුතු වටිනා ම අංග දෙක ලෙස භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙන්නේ කල්‍යාණමිත්‍ර ආශ්‍රයත්, සද්ධර්ම ශ්‍රවණයත් ය.

තමා තුළින් උපදවාගත යුතු වැදගත් ම අංග දෙක ලෙස පෙන්වා වදාළේ ධර්මයට අනුව නුවණින් විමසීම හෙවත් යෝනිසෝමනසිකාරයත්, ධර්මානුකූල පිළිවෙත් පිරීම හෙවත් ධර්මානුධර්ම ප්‍රතිපදාවත් ය. මෙම අංග ඔබේ ජීවිතයටත් සම්බන්ධ කරගෙන තෙරුවන් ගුණ හොඳින් ඉගෙනගෙන ඒ ගැන සිත පහදවාගන්න. නිත්‍ය ශීලය වූ පංච සීලය ගෞරවයෙන් මනා කොට ආරක්ෂා කරන්න උත්සාහවත් වන්න.

එමෙන්ම බුද්ධානුස්සති ආදී අනුස්සති භාවනාවන් ප්‍රගුණ කර ගන්න. භාග්‍යවතුන් වහන්සේ මේඝිය නම් සූත්‍ර දේශනාවේ දී පෙන්වා වදාළේ ධර්මාවබෝධය පිණිස සිතක් මෝරා යාමට නම් කල්‍යාණමිත්‍ර සේවනය, මනා සිල්වත් බව, කෙලෙස් සංසිඳුවන දස කථාව, වීර්යය, ප්‍රඥාව යන කරුණු පහ බහුල වශයෙන් දියුණුකර ගත යුතු බවයි. එම කරුණු මත පිහිටා සමථ – විදර්ශනා වැඩිය යුතුයි.