කෙනෙකුට මහන්සි නිසා භාවනා කරන එක අත්හරින්න හිතේවි. නමුත් එහෙම කියලා ඒ දේවල් අත්හරින්න එපා. අත්හැරියොත් අල්ලන්න තියෙන්නේ බාහිර ලෝකය තමයි. සංසාරයට වැටුණු නිසා විඳවන්න සිද්ධ වෙනවා. මේකෙන් නිදහස් වෙන මාවත හදාගන්න අපි කල්පනා කරන්න ඕන. අඩු ගණනේ සසරින් අත්මිදෙනකම් ගොරෝසු ශරීර නැතිව ඉන්නවත් කල්පනා කරන්න පුළුවන් නම් හොඳයි. බඹලොව වගේ තියෙන්නේ ආලෝකයෙන් නිර්මිත ශරීර. ධ්‍යාන සිතක් තියෙන නිසා අවබෝධ කිරීමේ හැකියාව හුඟක් ම වැඩියි. අවබෝධයක් පිණිස අපේ ජීවිත හසුරුවන්නේ නැතිකම නිසා තියෙන ප්‍රමාදයක් තමයි බොහෝ විට තියෙන්නේ. ඒ වගේ ම ඒකට සම්පූර්ණයෙන්ම වගේ කැපවෙන්නේ නැති නිසයි අපට මේ අවස්ථාව අහිමිවෙන්නේ.

මෙච්චර කල් ආපු සංසාරය දිහා බලනකොට බ්‍රහ්ම ලෝකයට ගිහින් හරි මේ සංසාර ගැටලුවෙන් නිදහස් වෙන්න තියෙනවා නම් කොච්චර හොඳයි ද? නැවතත් මනුෂ්‍ය ලෝකයට එන්නේ නැතුව බ්‍රහ්මලෝකයටවත් යන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. මනුෂ්‍ය ලෝකයේ තියෙන අනතුරු දිහා බලනකොට මේ මනුෂ්‍ය ලෝකයට නැවත එන්න කල්පනා නො කළ යුතු යි.