සෝතාපන්න ශ‍්‍රාවකයා අපායගාමී හෙවත් දුගතිගාමී රාග, ද්වේෂ, මෝහ සම්පූර්ණයෙන් ම ප‍්‍රහාණය කරන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළා. එම නිසා දුගතිගාමී අකුසල් සිදුවන ආකාරයේ ද්වේෂයක් සෝතාපන්න ශ‍්‍රාවකයෙකුට කිසි කලෙකත් හටගන්නේ නෑ. නමුත් පටිඝය හෙවත් ගැටීම කියන සංයෝජන ධර්මය සම්පූර්ණයෙන් ම ප‍්‍රහාණය වන්නේ අනාගාමී වීමේ දී බව භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙනවා.

ආර්ය අෂ්ටාංගික මාර්ගයට සපැමිණි සෝතාපන්න ශ‍්‍රාවකයන් බවට පත්වන්නේ පෙර රාග, ද්වේෂ, මෝහාදී අකුසල් මුල් සහිත ව සිටි අය කල්‍යාණ මිත‍්‍ර ඇසුර ලබා කුසල් ඉස්මතු කර ගැනීම තුළිනුයි. අතිශය බලවත් ද්වේෂයකින් යුක්ත ව මිනිසුන් දහස් ගණනක් මරාදැමූ අංගුලිමාල පවා කුසල් වැඞීමෙන්, අකුසල් ප‍්‍රහාණය කිරීමෙන් සෝතාපන්න බවට පත්ව පසුව උතුම් අරහත්වය පවා සාක්ෂාත් කළේ එලෙසයි. එම නිසා අප කළ යුත්තේ “මෙත්තා භාවේතබ්බං ව්‍යාපාදස්ස පහානාය” යන උතුම් බුුදුවදනට අනුව ව්‍යාපාදය දුරුකිරීම පිණිස මෛති‍්‍රය දියුණු කිරීමයි. එ් සඳහා මෙත් සහගත කි‍්‍රයාවන් කයින් පුරුදු කිරීමත් (මෙත්තා කාය කර්ම), මෛතී‍්‍ර සහගත වචන කතා කිරීමත් (මෙත්තා වචී කර්ම), මෛතී‍්‍ර සහගත අදහස්වලින් යුක්ත වීමත් (මෙත්තා මනෝ කර්ම) බොහෝ සෙයින් උපකාරී වෙනවා. එමෙන් ම භාවනාවක් ලෙස නිතර මෙත් සිත වැඩීමත් ඉතා වැදගත්. එවිට සෝවාන් මාර්ගයට පිළිපන් ශ‍්‍රාවකයෙකු වීමට අවස්ථාව උදාකර ගත හැකියි.

යොමු කරන්න ඔබේ දහම් ගැටළුවත් අප වෙත….

තැපැල් පත් : ‘ඔබේ දහම් ගැටළුව’, මහාමේඝ,
41 ශ්‍රී විජයාරාම පටුමග, නුගේගොඩ
ඊ මේල් : ask@mahamegha.lk
SMS : 076 8255 721

තැපැල් පත්, ඊ මේල්, SMS ඔස්සේ පමණක් කෙටියෙන් ගැටළු ඉදිරිපත් කළ හැකි බව කරුණාවෙන් සලකන්න