අවබෝධයෙන් තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයා හඳුනාගැනීම ඉතාමත් පහසුයි. ඔහු තමයි ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙන් බවට පත්වන්නේ. අවබෝධයෙන් තෙරුවන් සරණ නොගිය පිරිස පෘථග්ජන පක්ෂයට අයත් පිරිස යි. පෘථග්ජන පිරිස පරඬැලක් ලෙසයි බුදුරජාණන් වහන්සේ වදාළේ. සුළං හමන හමන දිසාවට ගසාගෙන යාමයි පරඬැලේ ස්වභාවය. පෘථග්ජන පිරිසත් ඒ වගේයි.

නමුත් අවබෝධයෙන් තිසරණයේ පිහිටි ආර්ය ශ්‍රාවකයා පොළොවේ යටට සිටවූ ඉන්ද්‍රඛීලයක් ලෙසයි බුදුරජාණන් වහන්සේ හඳුන්වා දී තිබෙන්නේ. ඉන්ද්‍රඛීලය නොසැලී සිටින්නේ යම් ආකාරයට ද ආර්ය ශ්‍රාවකයාත් ඒ වගේමයි.

එසේ නම් අපට පැහැදිලියි ඕනෑම අවස්ථාවක, ඕනෑම දුකකදී, සතුටකදී ඔහුට මතක් වියයුත්තේ තිසරණයයි. බයක් තැතිගැනීමක් ඇති වූ විටත් මතක් වියයුත්තේ තිසරණය පමණයි. ධර්මයෙන් බැහැර වීමක් සිදුවන්නේ නැහැ. මෙන්න මේක තමයි අවබෝධයෙන් තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයා තුළ දක්නට ලැබෙන විශේෂත්වය. ඕනෑම දෙයකදී ධර්මයේ පිහිටා කටයුතු කරනවා.

සුබ නැකැත්, සුභ නිමිති, රාහු කාලය ආදිය අදහන්න යන්නේ නැහැ. ඔහු දන්නවා ක්‍රියාවෙන් ඵලයක් සිදුවන ධර්මතාවයක් මේ ලෝකයේ තිබෙන බව. මෙය දන්නේ අවබෝධයෙන් තෙරුවන් සරණ ගිය අය ම යි. බාහිර ඇදහිලිවලින් තොරව, තෙරුවන් සරණ ගිය අය බොහෝම පහසුවෙන් හඳුනාගන්න පුළුවන්. ඒ වගේම අවබෝධයෙන් තෙරුවන් සරණ නොගිය පුද්ලයනුත් ඉතාමත් පහසුවෙන් හඳුනාගන්න පුළුවන්.