අපගේ භාග්‍යවතුන් වහන්සේ පරම පාරිශුද්ධත්වයට පත් වූයේ තමන් වහන්සේ තුළ පැවති රාගාදී කෙලෙසුන් ප්‍රහාණය කිරීම නිසයි. අසමසම ගුණ ඇති අප භාග්‍යවතුන් වහන්සේ හතළිස් පස් වසරක් පුරා දෙව් මිනිස් ලෝක සත්වයාගේ හිත සුව පිණිස කළ යුතු වූ සියලු බුද්ධ කෘත්‍යයන් ඉතා මැනවින් සම්පූර්ණ කොට වදාරා කුසිනාරා නුවර උපවර්තන සාල වනෝද්‍යානයේ දී සල් ගස් අතරේ පනවන ලද සයනයෙහි සැතපී සිටිය දී සක් දෙවිඳු හට මෙසේ වදාළ සේක.

“දේවේන්ද්‍රය, මාගේ බුද්ධ ශාසනය පිහිටන්නේ ලංකාද්වීපයේ ය. එනිසා විජය කුමාරයා ඇතුළු පිරිසත්, ලංකාද්වීපයත් හොඳින් රකින්නට ඕනෑ.”

මහා කාරුණිකයන් වහන්සේගේ සම්බුද්ධ වචනය සැබෑ වන දවස ළඟා විණි. මුටසීව රජ්ජුරුවන්ගේ පුත් දේවානම්පියතිස්ස කුමරු ලංකාවේ රජ බවට පත් විය. ලංකාව කෙරෙහි හිතානුකම්පිත වූ අපගේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පානා අවස්ථාවේ මහා නුවණැති මහා මහින්ද මහරහතන් වහන්සේ ගැන ද වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා දෙසිය තිස්හය වන වර්ෂයේ, ලංකාවට ශාස්තෘන් වහන්සේ බඳු අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ සේක. ඉන් පසු සිංහලයන්ගේ ස්වර්ණමය යුගය උදා විය. අධර්මයෙන් මුදවා ධර්මයට මිනිසුන් පමුණුවාලීමේ දී ඒ අපගේ ශාස්තෘන් වහන්සේ හා සමාන වූ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ සම්බුදු සසුන පිහිටුවීමේ ඒකායන අදහසින් යුක්ත වූ සේක. පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේද යන උතුම් බුද්ධ ශාසනය ඉතා යහපත් ලෙස ලංකාද්වීපයෙහි බැබළවූ සේක. ලංකාවට මහත් පිහිටක් ලබා දුන් මහා සඟ පිරිවරකින් යුක්ත වූ සේක. සිංහලදීපය රහතන් වහන්සේලාගෙන් පිරී පැවතිණ.

පසු කාලවල දී පිටදේශවලින් පැමිණි ආක්‍රමණිකයන් මේ සුන්දර දිවයින අල්ලා ගන්නට නොයෙකුත් උත්සාහ දරා ඇත. නමුත් බුද්ධානුභාවය නිසා ම මේ දිවයිනේ සම්බුදු සසුනත්, සිංහල ජාතියත් බේරාගන්ට ශ්‍රේෂ්ඨ උත්තමයෝ පහළ වන්නාහු ය. එළාර නම් සොළී රජෙක් මේ ලංකා රාජ්‍යය අල්ලාගෙන රජකම් කළේ ය. දුටුගැමුණු මහ රජතුමා මහා යුද්ධයක් කොට එළාර රජ්ජුරුවන් ව පරාජය කොට සිංහලද්වීපයත්, බුදු සසුනත් බේරා ගත්තේ ය. එහි දී දුටුගැමුණු රජුට උපකාර වූ දසමහ යෝධයන් හැරුණු කොට තවත් එකොළොස්වෙනි යෝධයෙකුත් සිටියේ ය. ඔහු, දාඨාසේන නම් විය. හේ ලංකාවෙහි බුද්ධ ශාසනය රැක ගැනීම පිණිස සියල්ලන් හා එක්ව කළ සටනින් ජය ලැබුවා පමණක් නොව හුදෙකලාවේ කෙලෙස් සටනින් ද ජය ලැබුවේ ය. නිකෙලෙස් මුනිවරයෙක් බවට පත් විය. අද අපට හිත පහදවා ගන්නට ලැබෙන්නේ හෙළදිව උපන් දාඨාසේන නම් මහරහතන් වහන්සේ ගැනයි.

උන්වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි බොහෝ සම්පත් ඇති පවුලක ඉපදී කටයුතු දන්නා වයසට පැමිණි පසු බුදුරදුන්ගෙන් බණ අසා සර්වඥ ශාසනය කෙරෙහි පැහැදී ශ්‍රද්ධාවන්ත ව වාසය කළ අයෙකි. මහා සංඝරත්නය උදෙසා විසිදහසක් අවුරුදු මුළුල්ලෙහි උපකරණ සහිත වූ ක්ෂීරපායාසයෙන් ලහබත් තබා දන් දුන්නේ ය. එපමණකුත් නොව චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය යන සිව්පස දානය දෙමින් – අනෙකුත් බොහෝ කුසල් කෙරෙමින් දිවි ඇති තෙක් පංච සීලය ආරක්ෂා කොට කලුරිය කොට නිදා පිබිදියාක් මෙන් දෙව්ලොව ඉපිද බොහෝ කාලයක් නොයෙකුත් දිව්‍ය සැප සම්පත් අනුභව කළේ ය. ගෞතම බුදුරදුන් පිරිනිවන් පෑවාට පසු ව දෙව්ලොවින් චුත ව ලංකාද්වීපයෙහි රුහුණු රට තුබුබන්න නම් ගම බොහෝ සම්පත් ඇති කුල ගෙයක හේ ඉපදුණේ ය. දෙමව්පියෝ ඔහුට දාඨාසේන යන නම තැබූහ. ඒ දාඨාසේනයා ක්‍රමයෙන් වැඩී සොළොස් හැවිරිදි කල දුටු දුටුවන් පිනවන රූප සෞන්දර්යයකින් යුක්ත විය. මහත් වූ ඇත් බල ඇත්තේ ය. දවසක් තමාගේ බලය විමසනු පිණිස ගිරිහල් නම් පර්වතයට නැගී තලවැල් කපා ගෙනවුත් ගැට ලණුවක් වියාගෙන බලසම්පන්න පුරුෂයන් දහසකටත් ඔසවාලිය නොහැකි මහ ගල් එක තැන රැස් කොට ඉන් එක් එක් ගලක් ගැට ලණුවෙහි තබා දෙකෙළවර අල්වාගෙන ඉස වට කරකවා පර්වතයෙන් එලිපිටට හෙළන්නේ ය. මෙසේ තමාගේ බල පරීක්ෂා කොට දෙමව්පියන් ළඟට ගොස් සාදර සිතින් වැඳ කියනුයේ “මව්පියනි, අප බුදුරජාණන් වහන්සේ ලොව්තුරා බුදු බවට පත්ව ලෝක සත්වයාට පිළිසරණ වූ සේක. මේ ලංකාද්වීපයට ද වැඩම කොට වදාළ සේක. උන්වහන්සේගේ පිරිනිවීමෙන් පසු ලංකාද්වීපයේ බුදු සසුන පිහිටියේ ය. ඒ සංඝයා වහන්සේලා ද මුළු ලොවට සැපත සාදන සේක. නමුත් දෙමළුන් විසින් මේ සම්බුද්ධ ශාසනයට නිගරු කරමින් දාගැබ් බෝ මළු විනාශ කරමින් භික්ෂු භික්ෂුණීන්ට හිරිහැර කරමින් මහා විනාශයක් කරන්නේ ය. මා වැනි ශ්‍රද්ධාවන්ත, බලසම්පන්න පුරුෂයෙක් මෙසේ බලා සිටීම යුතු නොවෙයි. ශ්‍රද්ධාවන්ත රජ දරුවන්ට සේවය කොට සර්වඥ ශාසනය ආරක්ෂා කිරීමට යන්නෙමි. එයට අවසර දෙනු මැනව.”
මෙසේ කියා අවසර ගෙන කාවන්තිස්ස රජු සමීපයට ගොස් තමන් ව හඳුන්වා දුන්නේ ය. මහ රජු ඔහුගේ බල පරීක්ෂා කොට අවශ්‍ය සියලු පහසුකම් සලසා සේවය කරන සේ නියෝග කළේ ය. දුටුගැමුණු රජතුමා සහ දස මහ යෝධයන් සමඟ එක්ව දෙමළුන් පරාජය කොට ලංකාදීප රාජ්‍යය ඒකඡත්‍ර කරවී ය.

රජ්ජුරුවෝ ඔටුනු පැලඳ දාඨාසේනයන්ට ද බොහෝ සැප සම්පත් දුන්නේ ය. ඔහු ද බොහෝ පින් දහම් කරමින්, කුසල් සම්භාරයක් රැස් කෙරෙමින් වාසය කෙරෙති. දාඨාසේනයන්ට වෛරී වූ එක් සේවකයෙක් රජතුමා ළඟට ගොස් කේළාම් කියා රජු ඔහු කෙරෙහි බිඳවී ය. රජතුමා දාඨාසේනයන්ට කිපී “ඔහු අල්වා මරව” යි අමාත්‍යන්ට අණ කළේ ය. එක් බලවත් ඇතකුට යගදාවක් දී දාඨාසේනයන් එන පෙරමඟ නවත්වා සේනාවෝ සැඟවී සිටියහ. එකල්හි දාඨාසේන තෙමේ වැවට ගොස් එන අතර ඒ රා බී මත්ව යගදාවක් ඇරගෙන සිටියා වූ ඇතු දැක රජ්ජුරුවන් කළ නියෝග අසා යානාවෙන් බැස ඇතු ඉදිරියට ගියේ ය. ඔහු දැක ඇතා මහත් කොට හඬ නගා ඉදිරියට දිවගෙන ආවේ ය. එකල්හි දාඨාසේනයෝ ඇතුගේ දෙදළ අල්වාගෙන සොලවා සොඬින් අල්වා ඉස වට කරකවා පොළවේ ගැසූහ. ඒ දැක සැඟවී සිටි සේනාවෝ හිස් ලූ ලූ අත දිව ගියහ. දාඨාසේනයෝ එතන්හි සිට ම සිතන්නාහු, ‘රජ්ජුරුවන් වහන්සේට මා අතින් අපරාධයක් කළ නොහැකි ය. සමීපයටත් යා නොහැකි ය. මේ ලත් අවසරයෙන් මට ම පිහිටක් සාදාගත යුත්තේ ය. මාගේ ශරීර බලයට සිතූ දෙයක් සිද්ධ කළ හැකි ය. මේ බල සෙනඟ මරා රාජ්‍යය වුවත් ගත හැකි ය. එසේ වුවත් රජ්ජුරුවන් වහන්සේ මට බොහෝ සැප සම්පත් දී මා රක්ෂා කළේ ය. තුනුරුවන් කෙරෙහි අති ප්‍රසන්න ය. බුද්ධ ශාසනයට බොහෝ උපකාරී සේක. එසේ හෙයින් රජ්ජුරුවන්ට අපරාධයක් කිරීම යෝග්‍ය නො වේ. එසේ ක්‍රෝධයෙන් කෙනෙකු නැසීම නුවණැත්තන් විසින් නොකළ මනා දෙයකි. සතර අපායේ හෙළන්නේ ය. එනිසා අකුසල් නැමති සේනාව සමඟ යුද්ධ කොට කෙලෙස් සතුරා නසා සසර දුකෙන් මිදෙන්නට පිහිටක් සොයාගත මැනව.’ මෙසේ සිතා ඔහු මහණ වන්නට නික්මුණේ ය.

මෙසේ නොයෙක් කාරණා සලකා සසර කලකිරී දාඨාසේනයන් සියලු සැප සම්පත් හා සියලු ඤාති වර්ගයා කෙරෙහි ඇති ආලය අත්හැර හුදෙකලා ව ම ‘මහදැල්’ නම් මාළු අල්ලන ගම්මානයකට ගියේ ය. ඒ ගම ශක්ති සම්පන්න වූ මහදැල් නම් වූ කෙවුලෙක් මහත් දිග දඬු ඔරුවක් මුහුදට ගෙන ගොස් වැලි පුරවා කර තබාගෙන අවුත් මහ බෝ මළුවක ලන්නේ ය. එපරිද්දෙන් ම පැන් පුරවා ගෙනවුත් බෝධිය ස්නානය කරවන්නේ ය. දාඨාසේනයෝ ඒ දවස ම බෝධි මළුවේ දී ඒ කෙවුලා දුටහ. ඔවුනොවුන් හඳුනාගෙන නම් ගොත් විචාරා පිළිසඳර කථා කොට දාඨාසේන නම් බලසම්පන්න යෝධයාණන් බව දැන නිවසට කැඳවාගෙන ගොස් සත්කාර සම්මාන කොට ශක්තිය පරීක්ෂා කිරීමට කැමති බව කීවේ ය. එබස් අසා දාඨාසේනයෝ සාල් නැලි සතක බත් පිසවා අමු දිවුල් ගෙන්වාගෙන කොටා බත් සමඟ එකට අනා පිඬු සතරක් සාදා ගේ මැද ඉඳ ඔහු කැඳවා “මා ‘මරමි’ සිතා ම මගේ බෙල්ල තරයේ දෑතින් මිරිකා අල්වාගත මැනව.” යි කීහ. ඔහු එපරිද්දෙන් ම බෙල්ල තර කොට අල්වාගත් කල්හි දාඨාසේනයෝ බත් පිඬක් ගෙන ගිලූහ. කෙවුලු යෝධයා ඇල්වූ ගැන්ම දරා ගත නොහැකි ව අත ගැලවී ගේ දොරකඩ වැටිණි. මෙසේ තුන් වතාවක් ම පරීක්ෂා කළේ ය. අවසාන වර මහ මිදුල මැද ඇද වැටුණේ ය. මෙසේ බල විමසා දාඨාසේනයන් ළඟට ගොස් “නුඹ වැනි යෝධයෙක් ලංකාද්වීපයේ තබා ජම්බුද්වීපයේවත් නැතැ”යි වැඳ සමා කර ගත්තේ ය.

ඉක්බිති දාඨාසේනයෝ ඔහුට කියනුයේ, “මම දඹදිව් යනු කැමැත්තෙමි. මට සම්බානක් දෙනු මැනව.”යි කියා ඉල්ලා ගත්තේ ය. එක් පයක් ගොඩ ඇන අනෙක් පයින් සම්බාන දැමූ වේගයෙන් සුළං ගෙන එක දවසින් ම නාග දිවයින නාග නම් තොටට ගොස් එතැන් සිට ගොළු මුහුදට පැන පීනාගෙන පනස් පස් යොදුනක් දුර ගෙවා සොලී රට කාවීර පටුනෙන් ගොඩනැංගේ ය.

එකල්හි එහි මනුෂ්‍යයෝ දාඨාසේනයන් දැක මුහුද පීනාගෙන පැමිණි අකාරය අසා විස්මයට පත් ව බොහෝ සත්කාර සම්මාන කළාහු ය. එවිට දාඨාසේනයන් රහතන් වහන්සේලා කොහි වසන සේක්දැ යි ඔවුන්ගෙන් අසා මීට දොළොස් යොදුනක් පමණ තැන ‘තක්ක’ නම් නුවර සමීපයෙහි විහාරයක බව අසා එහි ගොස් මනුෂ්‍යයන්ගෙන් ඇසුවේ ය. ඒ මිනිසුන් පවසා සිටියේ හිමාල පර්වතයෙහි ‘අන්වත්තිය’ නම් වූ විහාරයෙහි බොහෝ දෙව් මිනිසුන්ට සැප සලසන්නා වූ රහතන් වහන්සේලා වාසය කරන බවත්, ඒ සියලු රහතන් වහන්සේලාට ප්‍රධාන ව වරුණ නම් රහතන් වහන්සේනමක් වැඩ සිටින බවත් ය. දාඨාසේනයෝ ඒ කියන කාරණා අසා ඒ විහාරයට ගොස් වරුණ මහරහතන් වහන්සේ මුණගැසී වන්දනා කොට සියලු විස්තර ප්‍රකාශ කළෝ ය. මහ තෙරුන් වහන්සේ ඔහුගේ කෙස් රැවුල් බා පැවිදි කොට උපසම්පදා කරවා භාවනාවන් ඉගැන්වූ සේක.

බවුන් වඩන දාඨාසේනයන් වහන්සේට සමාධි මාත්‍රයක්වත් ඇති නො වේ. ඉන් පසු උපාධ්‍යායන් වහන්සේ ළඟට ගොස් වැඳ, “ස්වාමීනි, මාගේ සිත එකඟ නොවේ.”යි පැවසුවේ ය. මහ තෙරුන් වහන්සේ සිතනුයේ, ‘මේ සේනාසනයේ කිසිම අඩුවක් නැත. සියලු සේනාසන අංගවලින් යුක්ත ය. එහෙත් මොහුගේ සිත එකඟ නොවෙයි.’ බොහෝ භික්ෂූන් මේ විහාරයේ වාසය කරන බව දැන, “එසේ නම් ඇවැත්නි මීට හැට යොදුනකින් මත්තෙහි ථෙරම්බලක නම් විහාරයක් ඇත. ඒ විහාරය සක්දෙව් රජ විසින් මවන ලද්දේ ය. එක් වයසක තෙරුන් වහන්සේනමක් හා සාමණේරනමක් වාසය කරන්නේ ය. ඉදින් තමන්ට පහසු නම් ඒ විහාරයට ගොස් සැප සේ වාසය කොට තමන්ගේ අදහස මුදුන්පත් කර ගනු මැනව.”යි වදාළ සේක. දාඨාසේනයන් වහන්සේ උපාධ්‍යායන් වහන්සේ වැඳ පා සිවුරු ගෙන සැට යොදුන් මග ගෙවා විහාරය සමීපයට පැමිණියේ ය. විහාරය පර්වතයක් මුදුනෙහි පිහිටි හෙයින් උඩට නැග ගත නොහැකිව සිටියේ ය. ඒ විහාරයේ නේවාසික මහ තෙරුන් එය දැක සාමණේරයන් වහන්සේ කැඳවා ඒ බව දැනුම් දුන් පසු උන්වහන්සේ ඍද්ධියෙන් දාඨාසේනයන් වහන්සේ කඳු මුදුනට නංවා විහාරයේ නවතින්නට සැලැස්වූ සේක. නමුත් එම විහාරයේ දී ද සිත එකඟ නොවෙයි. මේ බව ඒ විහාරයේ මහ තෙරුන්ට දැන් වූ පසු, “ලෝහකූට පර්වත විහාරය මීට පසලොස් යොදුනක් ගිය තැන පිහිටා ඇත. එම විහාරය දෙවියන් විසින් මවන ලද්දේ ය. නිරන්තරයෙන් දේවතාවෝ ඇමදීම් ආදියෙන් වත් පිළිවෙත් සිදු කොට ආරක්ෂා කරයි. පෘතග්ජනයන්ට විහාරයෙහි වාසය කිරීමට නොහැකි ය. ඉදින් දෙවියන්ගේ සිත් පහදවාගෙන වාසය කිරීමට හැකි නම් එහි ගොස් සැප සේ විසුව මැනව.

ඇවැත්නි ඒ විහාරය කෙළවර පිහිටියා වූ මහා වෘක්ෂයක එක් අත්තක් සුළඟින් පහතට නැමෙයි. එතනට ගොස් ඒ අත්ත අල්ලාගෙන පර්වත මුදුනෙහි ඇති විහාරයට නැගී වාසය කළ මැනව.”යි කී සේක.

මෙසේ මහ තෙරුන් වහන්සේගේ වචනය පිළිගෙන වැඳ පා සිවුරු තැන්පත් කොට ගල් තලයක් මත බද්ධ පර්යංකයෙන් වැඩ හිඳ, ‘යම් තාක් මාගේ සිත කාමාදී ආශ්‍රවයන්ගෙන් නොමිදේ ද ඒ තාක් මම මෙතනින් නොනැගිටිමි’යි අධිෂ්ඨාන කළ සේක. මෙසේ පළමු දවස ඉක්ම ගිය සේක. එසේ දෙවන, තුන්වන දවස ද ඉක්ම ගිය පසු හතරවන දවස පර්වතවාසී දෙවියන් එක වර සාධුකාර දෙවමින් සිව්පිළිසිඹියා පත් මහරහත් බවට පත් වූ සේක. ඉක්බිති දාඨාසේන මහරහතන් වහන්සේ එතැනින් ම පොළොවෙහි කිමිද තමන් වහන්සේගේ උපාධ්‍යාය වූ මහා වරුණ මහ තෙරුන් වහන්සේගේ ශ්‍රී පාද මූලයෙන් උඩ නැගී වැඳ පිළිසඳර කතා කොට වැඳ අවසර ගෙන හංස රාජයෙකු සේ අහසට පැන එම විහාරයට ම අවුත් බොහෝ කාලයක් වාසය කළේ ය.
උන්වහන්සේ පිරිනිවන් පානා දවස පර්වත මුදුනෙහි කාලඝෝෂා කළ සේක. එම මොහොතෙහි ම තිස් දහසක් රහතන් වහන්සේලා රැස්වූ සේක. එකල්හි ඒ රහතන් වහන්සේලා මධ්‍යයෙහි දාඨාසේන මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ මේ පූර්ව චරිතාපදානය ගෙනහැර දක්වා පර්වත දේවතාවන් හඬවමින් එතැන්හි ම පිරිනිවන් පා වදාළ සේක. මෙසේ සිංහල ජාතියේ ඉපදුණු, මහා සූර වීර බල ඇති, බුදු සසුන බේරා ගැනීමට දිවි දුන් වීර පුරුෂයෙකුගේ ජීවිත කථාව මහා අසිරිමත් ලෙස අවසන් වුණි. අමෘතය දන් දෙන අප භාග්‍යවතුන් වහන්සේ වදාළේ, “තමන් ව ජය ගැනීමයි උතුම් වෙන්නේ. අනික් ජනයා මොන දේවල්වලින් ජය ගත්තත් ඒකෙන් වැඩක් වෙන්නේ නෑ. තමා ව දමනය කරගෙන නිතර ම ඉන්ද්‍රිය සංවරයකින් සිටින පුද්ගලයාටයි ජයග්‍රහණය ලැබෙන්නේ. එබඳු පුද්ගලයෙකුගේ ජයග්‍රහණය දෙවියෙකුටවත්, ගාන්ධර්වයෙකුටවත්, බ්‍රාහ්මණයෙකුටවත්, මාරයෙකුටවත් වළක්වන්න බෑ.” යනුවෙනි.

මෙසේ තමා ව ජය ගත්, දමනයට පත් වූ මහා හස්ති රාජයෙකු බඳු, යෝධ වීරියකින් යුතු, සසරින් එතෙරට වැඩිය නිකෙලෙස් හද මඬලක් දරා වැඩ සිටිය දාඨාසේන නම් මහරහතන් වහන්සේට නමස්කාර වේවා!

සාදු! සාදු!! සාදු!!!

– සද්ධර්මාලංකාරය ඇසුරෙනි –