ඇත්ත වශයෙන්ම ලංකාවට මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරන්නට කලින් මේ ලාංකීය ජනතාව නොයෙක් මිථ්‍යා ඇදහිලි, විශ්වාසවලට පුරුදු වෙලා හිටියා. යකුන් යක්ෂණියන් ඇදහීම, නැකතට දඩයමේ යාම ආදී නැකැත් මුල් කරගත්තු වැඩපිළිවෙළවල් රාශියක් ලංකාවේ තිබිලා තියෙනවා. පණ්ඩුකාභය රජ දවස ගත්තොත් ඒ කාලේ ගස් ගල් පර්වත ඇදහිලි තමයි තිබිලා තියෙන්නේ.

ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩමකළාට පස්සේ තිසරණයේ පිහිටි රජවරු තමන්ගෙ රාජ්‍ය පාලනයේ ප්‍රධාන ම දෙයක් බවට පත්කරගත්තෙ මිනිසුන්ව භෞතික වශයෙන් සුවපත් කිරීමටත් වඩා ආධ්‍යාත්මික වශයෙන් සුවපත් කිරීමට අනුග්‍රහ කිරීම යි. ඒ බව අපට හොඳටම පේනවා අරිට්ඨ ඇමති ප්‍රධාන රාජකීය පිරිස පැවිදි වෙන්නට අවසර ඉල්ලූ වෙලාවේ දේවානම්පියතිස්ස රජතුමා එවෙලෙම අවසර දුන්නා. දේවානම්පියතිස්ස රජතුමා රාජ්‍ය පාලනයෙන් මත් වෙලා හිටපු කෙනෙක් නෙවෙයි. මිහිඳු මහරහතන් වහන්සේ රජතුමාට ආධ්‍යාත්මික දියුණුව ගැන විශාල වශයෙන් දැනුවත් බවක් ලබාදුන්න නිසා රජතුමාට පුළුවන් වුණා ධර්මානුකූල පාලනයක් රට තුළ පවත්වන්නට. ඒ විතරක් නොවෙයි රජතුමාට හොඳ ධර්මඥානයක් ඇති කරගන්නටත් වාසනාව උදා වුණා.

අපේ රජවරුන්ට බුදුරජාණන් වහන්සේ ගැන, ඒ ධර්මය ගැන, ශ්‍රාවක සංඝ රත්නය ගැන තිබුණු ශ්‍රද්ධාව කොයිතරම් ද කියනවා නම් සද්ධාතිස්ස රජතුමා කළුදිය පොකුණේ වැඩසිටි කළුබුද්ධරක්ඛිත රහතන් වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දෙන්න ගිහිල්ලා තුන්යම් රාත්‍රිය මුළුල්ලේ ම හිටගෙන බණ අහල ධර්ම දේශනාව අවසානයේදී සාධු නාද පවත්වලා තියෙනවා.

එක්තරා අවස්ථාවක දුටුගැමුණු රජතුමාට ධර්ම දේශනා කරන්න ආශාවක් ඇතිවුණා. මංගල සූත්‍රයෙන් බණ කියන්න හිතාගෙන ධර්මාසනයට නැග්ගට පස්සෙ බණ කියාගන්න බැරුව දාඩිය දාලා වෙව්ලල තියෙනවා. පස්සෙ ධර්මාසනයෙන් බිමට බැහැල “අනේ මේ ආර්යයන් වහන්සේලාගේ ශක්තිය මට නැහැනේ” කියලා කිව්වා. ඊට පස්සෙ දුටුගැමුණු රජතුමා මුළු ලංකාව පුරා ම ධර්මප්‍රචාරක කටයුතු සිදුකරන්න අනුග්‍රහ කරලා තියෙනවා. මේවායින් අපට පේනවා ඒ කාලේ අපේ රටේ හිටපු රජවරුන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිබඳ අසාමාන්‍ය ගෞරවයක්, උත්තරීතර හැඟීමක් තිබිලා තියෙන බව.