භාග්‍යවතුන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේදී වදාලේ මත්පැන් මත් ද්‍රව්‍ය භාවිතය භෝග සම්පත් විනාශවන දොරටුවක් වශයෙනුයි. එමෙන්ම මත්පැන් මත් ද්‍රව්‍ය භාවිතයේ දුර්විපාක භාග්‍යවතුන් වහන්සේ එහි දී තවදුරටත් මෙසේ පෙන්වා දී තිබෙනවා.

”ගෘහපති පුත්‍රය, මත් වීමටත් ප්‍රමාදයටත් හේතුවන මත්පැන් මත් ද්‍රව්‍ය භාවිතයෙහි යෙදී සිටීමෙහි මේ දුර්විපාක සයකි.”

★ තමාගේ ඇස් පනාපිට ධනය වැනසී යයි.
★ කලකෝලාහල රණ්ඩුසරුවල් වැඩෙයි.
★ රෝගයන් හට ගැනීමට මුල් වෙයි.
★ අප කීර්තිය උපදවයි.
★ කයෙහි වසා ගත යුතු තැන් බාහිරට පෙන්වා හැසිරෙයි.
★ නුවණ දුර්වල කරවීම, සයවැනි කරුණයි.

එම නිසා මේසා ආදීනව ඇති මත්පැන් මත් ද්‍රව්‍ය භාවිතයෙන් තමනුත් වැළකී, අන් අයවත් ඉන් වළක්වාලන ලෙසයි භාග්‍යවතුන් වහන්සේ අනුශාසනා කොට වදාළේ. එනිසා උත්සව අවස්ථාවකදී හෝ මොනයම්ම අවස්ථාවක දී වත් කිසිම හේතුවක් නිසා මත්පැන් මත් ද්‍රව්‍ය භාවිතය නොකිරීමට අප තදින්ම සිතට ගත යුතුයි.