සමාධිය යනු බුද්ධ ශාසනය තුළ දියුණු කළ හැකි එකම කුසලය නොවේ. එම නිසා ඔබ සිදුකරන අනෙකුත් පින් දහම් සහ කුසල කර්මයන් ගැන මෙනෙහි කරමින් නිරාමිස සතුටක් ලැබීමට පුරුදු වන්න. එනම් දන්දීම, සිල් රැකීම, වත් පිළිවෙත් කිරීම, ගිලානෝපස්ථානය, මෛත්‍රිය, කරුණාව ආදී තමන් තුළ ඇති ගුණ වර්ධනය ගැන මෙනෙහි කරන්න. ඒ වගේම භාවනා කරන විට “මම සිත සමාධිමත් කරගන්නවා” යැයි නොසිතා “බුදුරජාණන් වහන්සේ වදාළ කුසල් අරමුණක් පුරුදු කරනවා” කියා සිතන්න. භාවනා කිරීමට පෙර තෙරුවන් වන්දනා කොට අරුත් මෙනෙහි කරමින් කරධෑයමෙත්ත සුත්‍රය, ඛන්ධ පිරිත සජ්ඣායනා කරන්න. ඉන්පසු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ අයුරින් එම භාවනාවේ ආනිශංස ටික වේලාවක් මෙනෙහි කරන්න. උදාහරණයක් ලෙස මෛත්‍රී භාවනාවේ ආනිසංස එකොළහ සිහි කරගන්න. ඉන්පසු සිටින ඉරියව්ව ගැන සිහිය පිහිටුවාගෙන භාවනා මනසිකාරය පුරුදු කරන්න. ටිකෙන් ටික සිත තැන්පත් වී එකඟ වන්නට ගනීවි.