භාග්‍යවතුන් වහන්සේ ගිහි පැවිදි ශ්‍රාවකයන්ට නිතර නිතර නුවණින් මෙනෙහි කළ යුතු කරුණක් වශයෙන් කර්මය පෙන්වා වදාළා. “මම කර්මය තමාගේ දෙය කරගෙන සිටිමි. කර්මය දෑවැද්ද කරගෙන සිටිමි. කර්මය ඤාතියා කරගෙන සිටිමි. කර්මය උප්පත්ති ස්ථානය කරගෙන සිටිමි. කර්මය පිළිසරණ කරගෙන සිටිමි. එහෙයින් යහපත් වූ හෝ අයහපත් වූ හෝ යම් කර්මයක් මා විසින් සිදුකරන්නේ නම් එහි විපාකය මා කරා පැමිණෙන්නේ ය” කියා ශ්‍රාවකයන් නිතර නිතර නුවණින් මෙනෙහි කළ යුතු බවයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නේ.

එම නිසා ඔබට අන් අයගේ සැලකිල්ල සෙනෙහස නොලැබෙන්නේ ද කර්මානුරූපව නිසා ඒ ගැන කණගාටු වී හෝ තරහ සිත් ඇතිකර ගැනීම නොව කළ යුතු වන්නේ ඉවසීම සහ මෛත්‍රිය පුරුදු කිරීම යි. එමෙන්ම සැප-දුක, යස-අයස, නින්දා-ප්‍රශංසා, ලාභ-අලාභ යන අටලෝ දහම කා හට වුවත් පොදු බව තේරුම්ගෙන අනිත්‍ය භාවනාව ප්‍රගුණ කරන්නේ නම් ඒවාට ඔරොත්තු දෙන සිතක් සාදාගත හැකියි. ඒ වගේ ම ඒ අයට තමා අප්‍රිය තමාගේ යම් අඩුපාඩු වැරදි නිසා ද කියා මෙනෙහි කර බලා එසේ නම් ඒවා සකස්කර ගැනීමත් කළ යුතු වෙනවා. අන් අය උදෙසා තම යුතුකම් වගකීම් නොපිරිහෙලා ඉටුකිරීම තුළින් ද තත්ත්වය යහපත් කර ගත හැකියි.