පංච භයවේර සූත්‍රය ආදී දේශනාවලදී භාග්‍යවතුන් වහන්සේ පැහැදිළිව ම දේශනා කොට වදාළේ ඒකාන්ත වශයෙන්ම සතර අපායෙන් නිදහස් යැයි සිංහනාදයක් පැවැත්විය හැක්කේ සෝතාපන්න ශ්‍රාවකයාට බවයි. දුගතිගාමී රාග, ද්වේශ, මෝහ ප්‍රහාණය කළ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස නොමැති සෝතාපන්න ශ්‍රාවකයා තෙරුවන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් සහ ආර්යකාන්ත සීලයෙන් ද යුක්තයි. ඔහු යළි කිසිදිනක සතර අපායේ නූපදින අතර උපරිම වශයෙන් ආත්මභාව හතක් සුගතියේ ම ඉපදී පරිපූර්ණ ලෙස ධර්මාවබෝධ කොට සසරින් නිදහස් වී පිරිනිවන් පාන ස්වභාවයෙන් යුක්තයි.

එමෙන්ම මනාකොට ශ්‍රද්ධා, ශීල, සුත, ත්‍යාග, ප්‍රඥා යන සේඛ බලයන් දියුණු කරගත් ශ්‍රාවකයින් මරණින් මතු සුගතියේ උපත ලබන බව සංඛාරුප්පත්ති, සෝතානුධත ආදී සුත්‍ර දේශනාවල භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළා. වරක් මහානාම නම් ශාක්‍ය රජතුමාට භාග්‍යවතුන් වහන්සේ වදාළේ මනාකොට සෝතාපත්ති අංග, සේඛ බල දියුණුකරගත් ශ්‍රාවකයෙකු නගරය මැද හදිසියේ මියගියත් දුගතියෙහි නොයන බවයි. සුගතියේ උපදින බවයි.

“යේ කේචි බුද්ධං සරණං ගතාසේ – න තේ ගමිස්සන්ති අපායං
පහාය මානුසං දේහං – දේවකායා පරිපූරෙස්සන්තී.”

“යම් කෙනෙකු මනාකොට බුදුරජාණන් වහන්සේව සරණ ගියා ද, ඔහු අපායේ උපතක් කරා යන්නේ නැහැ. මේ මිනිස්කය අතහරිද්දී දෙවියන් අතර උපත ලබනවා” කියායි බුදුරජාණන් වහන්සේ වදාළේ.