භාග්‍යවතුන් වහන්සේ විසින් අප හට වචනයෙන් සිදුකළ යුතු සංවරය හැටියට පහත කරුණු 04 දේශනා කළ සේක.

1. දැන දැන බොරු කීමෙන් වැළකීම
2. කේළාම් කීමෙන් වැළකීම
3. පරුෂ වචන කීමෙන් වැළකීම
4. හිස් වචන කීමෙන් වැළකීම

බුදුරජාණන් වහන්සේ ඉහත දැක්වූ වචී සුචරිතයට ශ්‍රාවකයා පැමිණිය යුතු ආකාරය වේරඤ්ජක සූත්‍රයේ දී (ම. නි. – 1) පහත පරිදි පෙන්වා දී ඇත.

“කෙනෙක් බොරු කීම අත්හරිනවා. බොරු කීමෙන් වළකිනවා. සභාවක් මැද හෝ පිරිස මැද හෝ ඥාතීන් මැද හෝ සේනා මැද හෝ රජය ඉදිරියේ හෝ විනිසුරුවන් සාක්ෂි විමසන කොට ‘ඒයි පුරුෂය, මේ ගැන ඔබ දන්නවා නම් දැන් කියන්න ඕන.’ කියලා ඔහු දන්නේ නැති දේ දන්නේ නෑ කියනවා. දන්න දේ දන්නවා කියනවා. නො දකින දේ දකින්නේ නෑ කියනවා. දකින දේ දකිනවා කියනවා. ඔය විදිහට තමන් නිසාවත්, අනුන් නිසාවත්, යම් කිසි අල්ලසක් නිසාවත් දැන දැන බොරුවක් කියන්නේ නෑ.

ඔහු කේළාම් කියන්නේ නෑ. මෙතනින් අහගෙන ගිහින් මෙතන බිඳවන්න එතන කියන්නේ නෑ. එතනින් අහගෙන ඇවිත් එතන බිඳවන්න මෙතන කියන්නේ නෑ.

ඔය විදිහට බිඳුණු අය සමගි කරනවා. සමගියට අනුබල දෙනවා. සමගියෙන් සතුටු වෙනවා. සමගියට කැමති වෙනවා. සමගිය ම ඇතිවන දේ කියනවා.

ඔහු පරුෂ වචන අත්හරිනවා. පරුෂ වචනයෙන් වළකිනවා. කනට මිහිරි වූ සෙනෙහස වඩන හෘදයාංගම වූ වැදගත් වචන, බොහෝ ජනයා කැමති, බොහෝ ජනයාට ප්‍රියමනාප වචන කතාකරනවා.

ඔහු හිස් වචනය දුරු කරනවා. හිස් වචනයෙන් වළකිනවා. සුදුසු කාලයට කතාකරනවා. සිදු වූ දේ ම කියනවා. අර්ථවත් දේවල් ම කියනවා. ධර්මය ම කියනවා. විනය ම කියනවා. මතකයේ තබාගත යුතු වටිනා දේ කියනවා. ඔය විදියට පමණ දැනගෙන අර්ථවත් වූ යහපත් වචන කතා කරනවා.