එම මතය කරුණු විග්‍රහ කර නොගැනීම නිසා ඇති වූවක්. අපි පහන් ආලෝක පූජා කළ යුත්තේ ‘අපගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේගේ තුන් ලොව ම එළිය කළ අසිරිමත් විස්මිත සම්බුද්ධ ප්‍රඥාවට උපහාරයක් වේවා!’ යන අදහසිනුයි. ඒ තුළ බුදු ගුණ මනසිකාරය සිදු කරමින් ආමිස පූජාමය වශයෙන් පින් රැස්කර ගත හැකියි. එනමුත් ප්‍රඥාව ඇති වීමට නම් ධර්මයට අනුව නුවණින් විමසීම අත්‍යවශ්‍යයි. ආලවක සූත්‍රයේ දී ප්‍රඥාව ලබා ගන්නේ කෙසේ ද (කථංසු ලභතේ පඤ්ඤං) කියා විමසූ විට භාග්‍යවතුන් වහන්සේ පිළිතුරු දී වදාළේ මෙලෙසයි.

සද්දහානෝ අරහතං – ධම්මං නිබ්බාන පත්තියා
සුස්සූසා ලභතේ පඤ්ඤං – අප්පමත්තෝ විචක්ඛණෝ

අමා නිවනට පමුණුවාලන – දහම් පවසති රහත් මුනිවරු
සැදැහැ සිත් එහි උපදවාගෙන – මනා කොට ඒ බණ අසාගෙන
ඇසූ දහමට සිත යොමාගෙන – පමා නොම වී එයට නතු වී
විමසනා විට – නුවණ මතු වේ

තව ද ධම්මපද ගාථා රත්නයක දී භාග්‍යවතුන් වහන්සේ වදාළේ (යෝගා වේ ජායතී භූරී) ප්‍රඥාව උපදින්නේ සමථ විදර්ශනා වශයෙන් භාවනා වැඩීමෙන් බවයි. එම නිසා ධර්මයට අනුව නුවණින් විමසීමත්, සමථ – විදර්ශනා භාවනාවේ යෙදීමත් ප්‍රඥාව ලැබීමට ඇති මාර්ගය බව අපි පැහැදිලිව තේරුම් ගත යුතුයි. අපදාන පාලියේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ සසර විස්තර සඳහන් වන තැනේ දී අතීත බුද්ධ ශාසනයක පහන් සිතින් රාත්‍රියක් මුළුල්ලේ සම්බුදු ස්ථූපයකට කළ පහන් පූජාවක් ගැන සඳහන් වෙනවා. එම පුණ්‍ය කර්මය දිවැස් නුවණ ලැබීමට තමන් වහන්සේට උපකාරී වූ බව අනුරුද්ධ මහරහතන් වහන්සේ පවසා තිබෙනවා. මෙම කරුණ වැරදියට විග්‍රහ කිරීම තුළින් විය හැකියි මෙවැනි සාවද්‍ය මතයක් සමාජගත වී තිබෙන්නේ.