කර්ණමුණ්ඩ ප්‍රේත වස්තුව

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කාමයේ වරදවා හැසිරුණු කර්ණමුණ්ඩ නම් ප්‍රේතියක් අරමුණ ලෙස ගෙන මෙම දේශනාව කළ සේක. පෙර කාශ්‍යප බුද්ධ ශාසනයෙහි කිම්බිල නුවර සෝවාන් වූ උපාසකයෙක් වාසය කළේ ය. ඔහු තම පන්සියයක් පමණ වූ උපාසක පිරිසක් සමඟින් සමාන අදහස් ඇතිව මල් වතු වැවීම, ඒ දඬු සක්මන් මළු තැනීම ආදී පුණ්‍ය ක්‍රියාවන් නිතර කරමින් කාලය ගත කරමින් සිටියේ ය. එතුමා මහා සංඝරත්නයට විහාරයක් කරවා දී නිතර තම පිරිස සමඟින් එහි යයි. එම පන්සියයක් වූ උපාසක පිරිසගේ බිරින්දෑවරු ද ඉතා සමඟියෙන් හිත මිත්‍රව මල් සුවඳ විලවුන් ගෙන නිතර එම විහාරය කරා යති.

එසේ යන අතරතුර විඩාව සන්සිඳවා ගැනීම පිණිස අතරමග පිහිටි විශ්‍රාම ශාලා, ආරාමයන්හි නතරව නැවත ගමනේ යෙදෙයි. දිනක් එම කාන්තාවන් පිරිස ශාලාවක නැවතී සිටින අයුරු එහි සිටි සල්ලාල පුරුෂයින් කිහිප දෙනෙකුට දිස් විය. ස්ත්‍රීන්ගේ රූප සම්පත්තිය දුටු ඔවුන් කාන්තාවන් පිළිබඳ සිත් ඇතිව පසු විය. සිල්වත් කාන්තාවන් පිරිසක් බැවින් ඔවුන් පිටත් ව ගිය පසු එම පුරුෂයින් අතර මෙවන් කතාවක් ඇති විය.

“මොවුන් අතරින් එක් ස්ත්‍රියකගේ සීලය බිඳ දැමීමට මෙහි සිටින කවරෙක්ට නම් හැකියාවක් තිබේ ද?”

එවිට එහි සිටි එක් පුරුෂයෙක් “මම එයට සමර්ථ වෙමි.” යි පැවසී ය.

“එසේ නම් නුඹ එම එක ස්ත්‍රියකගේ සිල් බිඳීමට සමත් වුවහොත් අප විසින් මසු දහසක් නුඹට දිය යුතු ය. එසේ කිරීමට නුඹ අසමත් වුවහොත් මසු දහසක් නුඹ විසින් අප හට ලබා දිය යුතු ය.” කියා මුදල් ඔට්ටුවට තැබූහ.

එම පුරුෂයා උපාසිකාවන් රැස්වන ස්ථානයකට පැමිණ තත් හතකින් යුත් ඉතා මිහිරි හඬක් නැගෙන වීණාව වාදනය කරමින් පංච කාම ගුණයන් උද්දීපනය කරමින් ගී ගයන්නට විය. පැමිණ සිටි එක් ස්ත්‍රියකගේ සිත ඔහුගේ ගීතයට බැඳුනේ ය. ඇය වසඟයට ගත් ඔහු ඇය සමඟින් කාමයෙහි වරදවා හැසිරී තම මසු දහස දිනා ගැනීමට සමත් විය. ඔහු විසින් මසු දහසකින් පරදවන ලද අනෙක් පුරුෂයෝ ඇගේ ස්වාමි පුරුෂයා හට මෙම කාරණය පැවසූහ.

ඇගේ ස්වාමි පුරුෂයා එම කීම විශ්වාස නොකළ අතර ඇගෙන් ඒ පිළිබඳ ව විමසා සිටියේ ය. “එම මිනිසුන් මා හට ඔබ කාමයේ වරදවා හැසිරුනේ යැයි පවසන ලදී. ඔබ එවැනි තැනැත්තියක් ද?”

“මම එවැනි දෙයක් නොදනිමි ස්වාමීනි.” ඇය තම ස්වාමි පුරුෂයා හට පවසා සිටියා ය.

ස්වාමියා එවිට එය විශ්වාස නොකළ හෙයින් ඇය තමා අසල සිටි සුනඛයෙකු පෙන්වා බොරු දිව්රීමක් කළා ය.

“මා විසින් එබඳු පාප කර්මයක් කරන ලද්දේ නම් මේ කන් කැඩුණු බල්ලා ඒ ඒ භවයෙහි උපන් මා කා දමත්වා.”

ඇය සමඟ සිටි අනිකුත් පන්සියයක් ස්ත්‍රීන් ඇය අනාචාරයේ හැසිරුණු බව දන්නා නමුත් “අපි එවැනි දෙයක් නොදන්නෙමු.” යැයි බොරු කියා “ඉතින් අපි එවැන්නක් දැනගෙන සිටියේ නම් භවයක් භවයක් පාසා මැයට දාසියෝ වන්නෙමු.” යි කියා බොරුවට දිව්රීම කළෝ ය.

ඉන් පසු විපිළිසර ව පීඩාවට පත් සිතින් වාසය කළ එම කාමයේ වරදවා හැසිරුණු ස්ත්‍රිය මිය ගොස් හිමවත් පර්වතය සමීපයෙහි පිහිටි විල් සතකින් එකක් වූ කර්ණමුණ්ඩ නම් විල්තෙර සමීපයෙහි විමාන ප්‍රේතියක් ව උපන්නා ය. පරිවාර ස්ත්‍රීහු පන්සියය ද අකුසල විපාක වශයෙන් ම ඇයට දාසියන් වී උපන්නාහු ය.

ඇය දිවා කාලයෙහි දිව්‍ය සම්පත් අනුභව කොට අර්ධ රාත්‍රියෙහි පාපකර්මයේ බලයෙන් යහනින් නැඟිට පොකුණට යයි. ඇය එම ස්ථානයට ගිය විට ඇත් පැටවෙක් තරම් වූ කන් කැඩුණු භයානක පෙනුමක් ඇති සුනඛයෙක් පැමිණ ඇයගේ ඇටසැකිල්ල දක්වා ම කා දමයි. පසුව ඇගේ ඇටසැකිල්ල දත්වලින් ගෙන පොකුණට දමා අතුරුදන් වෙයි. ඇගේ එම ඇටසැකිල්ල පොකුණට පතිත වූ සැණින් පෙර සිටි සාමාන්‍ය ස්වභාවයට පත් වෙයි. මේ සියල්ල දක්නා පරිවාර ස්ත්‍රීහු ඇයට වහල් වී ඉපදී දුක් විඳිති. මෙසේ ඔවුන්ට අවුරුදු පන්සිය පනහක් ඉක්ම ගියේ ය.

පුරුෂයන්ගෙන් තොරව දිව්‍ය සැප විඳින්නා වූ ඔවුන්ට මහත් කලකිරීමක් ඇති විය. එම කර්ණමුණ්ඩ විලෙන් නික්මී පර්වත සිදුරකින් පිටතට පැමිණ ගංගා නම් ගඟට වැටුණු එක් ගඟක් ඇත. ඔවුන් වාසය කරන ස්ථානයේ දිව්‍යමය ඵල ඇති අඹ, කොස්, දෙල් ආදී ගස්වලින් පිරුණු උයනක් සහිත ය. එම ස්ත්‍රීන් උපායක් සිතා එය ක්‍රියාවට නැංවූහ.

“අපි මේ අඹ ගෙඩි මෙම ගඟෙහි පා කර හරිමු. මේ අඹ ගෙඩිවල රසයට ලොල් වී යම් පුරුෂයෙක් මෙතනට පැමිණියහොත් ඔහු සමඟ එක්වන්නෙමු.” යි කියා අඹ ගෙඩි ගංගාවෙහි පා කර හැරියෝ ය.

එම අඹ ගෙඩිවලින් සමහරක් තාපසයන් විසින් ගන්නා ලදී. සමහරක් වන සතුන්ගේ ආහාර බවට පත් විය. එක අඹ ගෙඩියක් ගංගාවෙහි ජල පහරට හසුව පිළිවෙළින් බරණැස් නුවරට පැමිණියේ ය. ලෝහ දැලකින් වට කරන ලදුව ගංගා ජලයේ බරණැස් රජු ස්නානය කරයි. ගංගා ජලයේ පා ව ආ අඹ ගෙඩිය එම ලෝහ දැලෙහි රැඳුණේ ය. දිව්‍යමය අඹ ඵලය දුටු රාජ පුරුෂයෝ එය රජු හට පිළිගැන්වූහ.

රජු එම අඹ ගෙඩිය කුමක්දැයි සොයා දැනගැනීම පිණිස එයින් ස්වල්ප කොටසක් සිරගෙයි සිටි සොරෙකුට කෑමට දුන්නේ ය. අඹ කෑල්ල කෑමෙන් පසු ඔහුගේ සිරුරෙහි පැසුණු හිසකෙස් නැති වී සමෙහි රැළි නැති වී යෞවනයෙකුගේ බඳු පෙනුමක් ලැබිණ. රජු ද අඹ ඵලය වළඳා සිරුරෙහි සිදුවන ආශ්චර්යය දැක වැද්දන් කැඳවා ඔවුන් විසින් පවසන ලද වැද්දෙකු හට කහවණු දී අඹ ගස සෙවීමට පිටත් කොට යැවී ය.

එම වැද්දා මනුෂ්‍ය වාසය ඉක්මවමින් යොදුන් සියයකට ආසන්න දුරක් ගමන් ගත්තේ ය. අතරමග හමුවන තවුසන් තිදෙනෙකුගෙන් උපදෙස් වරින් වර ලබා ගනිමින්, රාත්‍රියෙහි පමණක් පවතින අද්භූත ගංගාවක් පසුකරමින් මැණික් වර්ගවලින් බබළන දිව්‍යමය උයනට පැමිණීමට ඔහු සමත් විය. ඔහු පැමිණෙන අයුරු ඈත සිට ම දුටු අමනුෂ්‍ය ස්ත්‍රීන් “මොහු මා හට අයිති ය.” කියමින් ළඟට දිව එන්නට වූහ. දිව්‍ය සම්පත් අනුභව කිරීමට සමත් පුණ්‍යකර්මයක් නොකළ බැවින් ස්ත්‍රීන් දැක බියපත් වූ වැද්දා පලා ගොස් බරණැස් රජුට එම පුවත සැලකර සිටියේ ය.

රජතුමා වැද්දාගේ උදව් ඇතිව දිවා කාලයෙහි ම අඹ වනයට ඇතුළු විය. රජතුමා දැක සතුටට පත් ස්ත්‍රීහු රජුට නොයෙක් අයුරින් උපස්ථාන කොට විමනට නංවාගෙන රජ හට කැමති පරිද්දෙන් කාලය ගත කළාහු ය. අවුරුදු එකසිය පණහක් ගත වී ගිය පසු අර්ධ රාත්‍රියෙහි පරපුරුෂ සේවනයට හසු වූ ස්ත්‍රිය පොකුණ අසල දී සුනඛයා විසින් කනු ලබන අයුරු රජුට දැකගත හැකි විය. තුන් දවසක් මෙම සිදුවීම දුටු රජතුමා සුනඛයාව හීයකින් විද මරා දමා ස්ත්‍රිය පොකුණට බස්වා ඇයගේ පළමු රූපය ලබා ගත් අතර ඇගෙන් ඒ පිළිබඳ ව විමසා සිටියේ ය.

රනින් රිදියෙන් මාලිගා, නොයෙකුත් අලංකාර සුවඳ පුෂ්පයන්ගෙන් ගැවසුණු දිව්‍යමය උයන් වතු, දිව්‍ය ආභරණ ආදියෙන් සර්ව සම්පූර්ණ ව තිබිය දී රාත්‍රියෙහි දී ඇයට බිහිසුණු වේදනාවකට මුහුණ දීමට සිදුව ඇත්තේ කුමක් හේතුවෙන්දැයි රජුට ගැටළුවක් විය.

ස්ත්‍රිය තමා විසින් පෙර භවයේ කරන ලද අකුසල කර්මයන් රජුට විස්තර වශයෙන් පැහැදිලි කර දුන්නී ය. රජතුමාගේ පැමිණීමෙන් කර්ණමුණ්ඩ සුනඛයාගෙන් නිදහස් වූ බවත්, දැන් ශෝකය සහ බිය පහව ගිය බවත් රජු හට පවසා සිටියා ය. රජතුමා එම විමානයෙහි වාසය කිරීමට කැමැත්තක් නොමැති බව ඇයට ප්‍රකාශ කළේ ය. ස්ත්‍රිය රජු කෙරෙහි බොහෝ කැමැත්තක් උපදවාගෙන සිටි බැවින් එහි නැවතී දිව්‍ය සම්පත් අනුභව කරන ලෙස රජුට නැවත නැවතත් ඇවිටිලි කරන්නට වූවා ය.

ස්ත්‍රියගේ ආයාචනය ප්‍රතික්ෂේප කළ බැවින් රජු ව නැවතත් ඔහුගේ මාලිගාවට ඇරලවා බොහෝ වටිනා මැණික් වර්ගයන් රජුට තෑගි ලෙස ලබා දී බොහෝ සිත්තැවුලෙන් යුතුව හඬා වැළපී නැවත තම විමානයට ගියා ය. රජු එය දැක සංවේග සිත් ඇතිව දන් පින් කරමින් කල් ගතකර මිය පරලොව ගියේ ය.

අප භාග්‍යවතුන් වහන්සේ ලොව පහළ ව සැවැත්නුවර වැඩ වසන කාලයේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට දිනක් මෙම ස්ත්‍රිය දක්නට ලැබිණ. සියලු පුවත් දැනගත් උන්වහන්සේ ඔවුනට දහම් දෙසූ සේක. එම පුවත භාග්‍යවතුන් වහන්සේට සැල කිරීමෙන් පසුව බොහෝ මිනිසුන්ට හිත සුව පිණිස උන්වහන්සේ එපුවත අරමුණ ලෙස ගෙන ශ්‍රී සද්ධර්මය දේශනා කළ සේක. එය බොහෝ පිරිසකට බොහෝ හිත සුව පිණිස ම විය.

සටහන – හර්ෂ නිලංක පෙරේරා
(ප්‍රේත වස්තු වර්ණනාව ග්‍රන්ථය ඇසුරිනි.)