භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වාසය කරන කාලයක එක්තරා උපාසිකාවක් අරබයා මෙම ප්‍රේත වස්තුව වදාළ සේක. සැවැත්නුවර වාසය කළ උපාසිකාවකගේ ස්වාමි පුරුෂයා මිය පරලොව ගියේ ය. එම උපාසිකාව තම ස්වාමියාගේ වෙන්ව යාම ඉවසාගත නොහැකිව ඔහු ආදාහන කරන ලද සොහොන අසලට ගොස් හඬා වැළපෙයි. ඇය කෙරෙහි වූ සෝවාන් ඵලය ලැබීමට හේතු සම්පත් දුටු භාග්‍යවතුන් වහන්සේ කරුණාවෙන් එම නිවසට වැඩම කළ සේක. පනවන ලද අසුනේ වැඩසිටි මහා කාරුණිකයන් වහන්සේට වන්දනා කළ උපාසිකාව එකත් පසෙක හුන්නී ය.

“පින්වත් උපාසිකාව, ඔබ කුමක් නිසා ශෝක කරන්නී ද?”

“එසේය භාග්‍යවතුන් වහන්ස, මා ප්‍රිය ස්වාමියාගේ මරණයට පත් වීම නිසා ඇති වූ ශෝකයෙන් පසු වෙමි.”

භාග්‍යවතුන් වහන්සේ ඇගේ ශෝකය පහ කරනු පිණිස පෙර අතීත කථාවක් දේශනා කළ සේක.

යටගිය දවස කපිල නම් නුවරක චූලනී බ්‍රහ්මදත්ත නම් රජෙක් විය. එම රජු අගතියට යාම බැහැර කළ, දසරාජ ධර්මයෙන් රාජ්‍ය විචාරන, රට වැසියන්ගේ දියුණුව හිත කැමති දක්ෂයෙක් වී ය. සමහර කලෙක එම රජතුමා තම රටවැසියන් කුමක් කියන්නේ ද? දුක් පීඩාවක් නොමැතිව ජීවත් වන්නේ ද? යැයි සොයාබැලීම පිණිස සන්නාලියෙකු ලෙස වෙස් වළාගෙන ගමින් ගමට, ජනපදයෙන් ජනපදයට ඇවිද යන්නේ ය.

දිනක් එසේ ඇවිද යන රජතුමා වැන්දඹු දුගී කාන්තාවකගේ නිවසක් දැක එහි ගොඩවැදුනේ ය.

ඇය රජතුමා දැක “ඔබ කවරෙක් ද? කොතැනක සිට ආවේ ද?” කියා විමසා සිටියා ය.

“මම ඇඳුම් මැසීමෙන් ජීවත් වන්නෙක් වෙමි. බත් වැටුප් ලබා දෙන්නේ නම් ඔබලාට ද සේවය කරන්නෙමි.”

“අපට කර ගත යුතු යමක් හෝ දීමට බත් වැටුපක් ද නොමැත. අනෙකුත් ගම්වැසියන් හට සේවය කරනු මැනවි.”

එම නිවසෙහි කිහිප දිනක් රැඳී සිටි රජු බොහෝ පුණ්‍ය ලක්ෂණයන්ගෙන් සමන්විත ඇයගේ දියණිය දුටුවේ ය. විවාහ ගිවිසගෙන නොමැති නම් ඇයව මා හට විවාහ කර ගත හැකිදැයි වෙස් වළාගෙන සිටි රජු එම මව්තුමියගෙන් විමසා සිටි අතර ඇගෙන් එයට කැමැත්ත ද හිමි විය. තවත් කිහිප දිනක් ඇය සමඟින් වාසය කළ රජතුමා ඇය අතට කහවණු දහසක් ලබා දුනනේ ය.

“සොඳුර, ඔබ මා එනතෙක් කලකිරීමෙන් තොරව වාසය කරන්න.” යැයි පැවසූ රජතුමා තම නුවරට පිටත්ව ගියේ ය.

තම රාජ්‍යයත්, ගම්මානයත් අතර මාර්ගය විසිතුරු ලෙස සැරසූ රජතුමා මහත් රාජ්‍යානුභාවයෙන් එම නිවස වෙත ගොස් එම කුමරිය කහවණු රැසක් මත සිටුවා රන් රිදී කලස්වලින් පැන් නහවා අගමෙහෙසි තනතුරෙහි තැබී ය. මහත් රාජානුභාවයෙන් නුවරට ඇය ව රැගෙන ගිය රජු ජීවිතාන්තය දක්වා ඇය සමඟ රජ සැප විඳ අවසන මිය පරලොව ගියේ ය. එකල ද ස්වාමි වියෝවෙන් පීඩාවට පත් උබ්බරී නම් ඒ දේවිය රජුගේ ආදාහන ස්ථානයට ගොස් බොහෝ දවස්වල දී මල් සහ සුවඳ වර්ග පුදා බොහෝ සේ හඬා වැළපෙන්නට වූවා ය. උමතුවට පත් වූවක මෙන් ඈ සෑය ප්‍රදක්ෂිණා කරන්නී ය.

එම කාලයෙහි අපගේ භාග්‍යවතුන් වහන්සේ බෝධිසත්ව ගුණෝපේත ව ඍෂි ප්‍රව්‍රජ්‍යාවෙන් පැවිදි ව උපදවා ගත් ධ්‍යාන අභිඥා ඇතිව හිමවත් පව්වෙහි එක්තරා ආරණ්‍යයක වාසය කරන්නේ ය. උබ්බරිය වේදනාවෙන් හඬා වැළපෙන අයුරු දිවැසින් දුටු අප මහා බෝධිසත්වයන් වහන්සේ අහසින් එම ප්‍රදේශයට පැමිණියහ. තැන් තැන්වල සිටින මිනිසුන්ගෙන් අහසෙහි වැඩසිටිමින් ම “නොයෙක් සුවඳ හමන්නා වූ මේ සොහොන කාගේ ද? මෙම ස්ත්‍රිය කවරෙක් ද? කුමක් නිසා ‘බ්‍රහ්මදත්ත, බ්‍රහ්මදත්ත’ යැයි කියමින් වැළපෙන්නේ ද?” යැයි විචාළ සේක.

එය ඇසූ මිනිසුන් “ස්වාමීනි, මෙම සොහොන බ්‍රහ්මදත්ත නම් රජුගේ ය. මෙම තැනැත්තිය බ්‍රහ්මදත්ත රජුගේ උබ්බරී නම් බිරිඳ වෙයි. ඇය රජු මළ සොවින් මෙසේ පැමිණ රජුගේ නම කියමින් මෙසේ හඬා වැළපෙන්නී ය” යැයි පැවසූහ. “ස්වාමීනි, නුඹ වහන්සේ වැනි මහා ඍෂිවරුන් හිතවත් දේ සිතීමෙන් පරලොව සිටින්නවුන්ට ද බොහෝ යහපතක් සැලසෙන්නේ ය.” යන මිනිසුන්ගේ වචනය ඇසූ තාපසතුමා උබ්බරිය අසලට පැමිණ ඇගේ සෝ දුක් දුරුකිරීම පිණිස ඇය විමසන්නට විය.

“උබ්බරිය, බ්‍රහ්මදත්ත යන නම ඇතිව අසූ හයදහසක් දෙනා මේ සොහොනෙහි දවා අළු කරන ලද්දේ ය. ඒ අසූ හයදහසක් බ්‍රහ්මදත්තයන් අතුරෙන් කවර බඹදත් සඳහා ඔබ ශෝක කරන්නී ද?”

“ස්වාමීනී, චූලනී නම් රජ වූ මහා රථ නම් යෝධ වූ පංචාල රට වැසියන්ගේ බඹදත් නම් රජෙක් විය. මට සහ අන් සියල්ලන්ට ද කැමති කැමති දේ දුන්නා වූ මාගේ ස්වාමිපුරුෂ වූ ඒ බඹදත් රජු වෙනුවෙන් ශෝක කරමි.”

“උබ්බරී දේවිය, අසූ හයදහසක් වූ ඒ සියලු ම රජවරු බ්‍රහ්මදත්ත නම් ඇතිව විසූහ. ඒ සියල්ලෝ ම චූලනී පුත්‍ර වූ පංචාල රටවාසීන්ගේ ශ්‍රේෂ්ඨයෝ ම වූහ. ඔබ ද ඒ සියලු ම රජුන්ගේ අගමෙහෙසුන් බවට පැමිණ සිටියා ය. ගුණයෙන් හා ස්වාමි භාවයෙන් ද ඔවුන් අතර වෙනසක් නම් නොමැත. මෙපමණ මුලින් සිටි රජුන් සිටිය දී පසුව සිටි එක් රජෙකු වෙනුවෙන් මෙතරම් ශෝකයෙන් පසුවන්නේ කුමක් නිසා ද?”

“නිදුකාණන් වහන්ස, යම් කෙනෙක් සෑම භවයක ම ස්ත්‍රියක් ම වෙයි ද? නැතහොත් පුරුෂ බවට පත් වීමට හැකියාවක් ඇති ද? මේ කාරණය ස්ත්‍රියක් වූ මා හට සිතින් සිතා විග්‍රහ කර ගත නොහැක. බොහෝ කලක් සංසාරයෙහි මාගේ අනෙක් ඉපදීමක් නො වූයේ ද? ඒ සියලු ම රජවරුන්ට මා ස්ත්‍රියක් ව සිටි බව ඔබ වහන්සේ විසින් පවසන ලද්දේ ය.”

“ස්ත්‍රිය දිගින් දිගට ම ස්ත්‍රියක් ම වෙයි, පුරුෂයා පුරුෂයෙක් ම වෙයි කියා නියමයක් සංසාරයෙහි නැත්තේ ය.

උබ්බරිය, නුඹ සමහර කලෙක ස්ත්‍රී විය. තවත් කලෙක පුරුෂ බව ලැබී ය. එපමණක් ද නො වෙයි. තිරිසන් යෝනියෙහි ද ඉපදී සිටියේ ය. මෙසේ ඉක්ම ගිය ආත්මභාවයන්ගේ පූර්ව කෙළවර නුවණැසින් මහත් උත්සාහයකින් බලන කෙනෙකුටත් දැකගත නො හැකි ය. සසර කරකැවී ඇවිදින සත්වයන්ගේ කෙළවරක් නම් නො පෙනේ ම ය.”

තාපසයන් වහන්සේගේ ධර්මය ඇසූ උබ්බරී දේවියගේ ශෝකය පහව ගියේ ය.

“ගිතෙල් ඉසිනා ලද ගින්නක් මෙන් ශෝකයෙන් දැවුණු මගේ සිත ගින්නට ජලය වත් කළාක් මෙන් සියලු දැවිලි නිවී ගියේ ය. යම් තාපසයෙක් මාගේ හෘදයෙහි පැවති ශෝකය නම් වූ උල ඒකාන්තයෙන් ම උදුරා දැමුවේ ය.
පින්වත් මහා මුනි වූ තාපසයන් වහන්ස, මම ඔබ වහන්සේගේ ධර්මය අසා සිහිල් වූයෙමි. නිවුනු සිත් ඇත්තේ වෙමි. දැන් මම ශෝක නො කරමි. නො හඬමි.”

ඒ උබ්බරී දේවිය තාපසයාගේ සුභාෂිත වූ ධර්මය අසා පා සිවුරු ගෙන ගිහි ගෙයින් නික්ම ගොස් පැවිදි විය. බඹලොව උපත ලැබීම පිණිස මෛත්‍රී සහගත සිත වැඩුවා ය. බුදු කෙනෙකුන් නූපන් කාලයක් බැවින් විදර්ශනා භාවනාව වැඩීමට මගක් නො වී ය. බ්‍රහ්ම ලෝක උපත පිණිස මෛත්‍රී සිත වඩමින් ගම් නියම්ගම් ආදියෙහි ඇවිදිමින් උරුවෙල් නම් ගමේදී මිය පරලොව ගියා ය. ඇය ස්ත්‍රී භවයෙහි ආශාව දුරු කොට බඹ ලොව උපත ලද්දී ය.

ශාස්තෘන් වහන්සේ මෙම දේශනාව අවසන උපාසිකාවගේ ශෝකය දුරු කොට චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කළ සේක. එය අවසන උපාසිකාව සෝවාන් ඵලයෙහි පිහිටියා ය. අසා සිටි බොහෝ පිරිසක් ධර්මාවබෝධය කළහ.

සටහන – හර්ෂ නිලංක පෙරේරා

ඇසුර – ප්‍රේත වස්තු වර්ණනාව ග්‍රන්ථය.