අපගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ වදාළේ තෙරුවන් සරණ ගිය උපාසක උපාසිකාවන් දිවිහිමියෙන් ප්‍රාණඝාතයෙන් වැළකී කටයුතු කළයුතු බවයි. එම නිසා කූඹින්, මීයන්, කැරපොත්තන් වැනි සතුන්ගෙන් අපට කරදර සිදුවෙන අවස්ථාවලදී පවා අප ප්‍රාණඝාතයෙන් වැළකී සංවර විය යුතුය. සියලු සත්වයෝ සැප කැමති බවත්, තමන්ගේ සැපය උදෙසා තවකෙකුගේ ජීවිතය තොර කරන්නේ නම් ඒ තැනැත්තා පරලොවදී සැපයක් නොලබන බවත් භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එම නිසා මෙවැනි කරදරවලදී ඛන්ධ පිරිතෙන් ආරක්ෂාව, ආශිර්වාද ලබාගැනීම භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළ සේක.

 

ඒ සඳහා ඛන්ධ පිරිතෙන් පිරිසිදු ජලය හෝ පිරිසිදු වැලි පිරිත් කොට ඒ සතුන් ගැවසෙන ස්ථානවලට ඉවසීමෙන් මේ ප්‍රශ්නයට විසඳුමක් ලබාගත හැකිය. තවත් නොයෙක් අයුරින් පිරිත් මඟින් ආරක්ෂාව සලසා ගන්නා අයුරු පැරණි පිරිත් පොත්වල සඳහන්ව ඇත. වැඩි වාර ගණනක් පිරිත් කිරීමෙන් උසස් අනුසස් ලබාගත හැකිය. මෙවැනි ප්‍රශ්නවලදී එවන් ධර්මානුකූල වූ පිළියමක් කරගත යුතුය.