වචනයෙන් සිදුවන අකුසලය, ඉන්ද්‍රිය අසංවරයට පත් පුද්ගලයා අතින් ඉතා පහසුවෙන් සිදු විය හැකි අකුසල කර්මයක් ලෙස බොහෝ විට දැකගත හැකි ය. කෙලෙසුන් හේතුවෙන් සිහිය දුර්වල වූ අවස්ථාවල දී මෙවැනි පව් රැස්කර ගන්නා අයුරු වර්තමානයේ ද බොහෝ අවස්ථාවල දී දක්නට ලැබෙයි. එම අකුසල විපාකයන්ගේ භයානක බව කෙසේ ද යත් යමෙකුට පැවසීමට නොහැකි තරම් අප්‍රසන්න ය, භයානක ය.

දුසිල්වත් භික්ෂූන් වහන්සේනමකගේ වැරදි උපදෙස් පිළිගෙන අධර්මය සේවනය කරන පුද්ගලයෙකු මරණින් මතු එම භික්ෂුවත් සමඟින් ප්‍රේත ලෝකයෙහි අප්‍රසන්න උපතක් ලබා රුදුරු දුක් වේදනා විඳින ශෝචනීය පුවතක් මෙම ගුථඛාදක ප්‍රේත වස්තුවෙන් විස්තර වෙයි.

භාග්‍යවතුන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන සමයක දී අශූචි අනුභව කරන ප්‍රේතයෙකු අරභයා මෙම ප්‍රේත වස්තුව දේශනා කළ සේක. සැවැත් නුවරට සමීප එක්තරා ගමක විසූ පුරුෂයෙක් තමාගේ හිතවත් භික්ෂූන් වහන්සේනමක් උදෙසා විහාරයක් කරවී ය. එහි නොයෙක් ජනපදවලින් පැමිණ වැඩ වාසය කළ භික්ෂූන් වහන්සේලා බොහෝ විය.

සැදැහැවත් මිනිසුන් එම ආගන්තුක භික්ෂූන් වහන්සේලා දැක පහන් සිත් ඇතිව ප්‍රණීත ආහාරපානයන්ගෙන් යුත් දන් පැන් සකසා උපස්ථාන කරමින් බොහෝ පින් රැස්කර ගත්හ.

විහාරය කරවූ පුරුෂයාගේ හිතවත් භික්ෂුව එම උපස්ථානයන් කෙරෙහි හටගත් ඊර්ෂ්‍යාවෙන් පසු විය. නිතර භික්ෂූන්ගේ දොස් කියමින් විහාර කර්මාන්තය කරවන ලද පුද්ගලයා ලවා ද භික්ෂූන්ගේ නුගුණ ම කියවී ය. එම පුරුෂයා පසුව ආගන්තුක භික්ෂූන් වහන්සේලාට පමණක් නොව තමාට හිතවත් භික්ෂුවට ද පරිභව කරමින් නින්දා අපහාස කළේ ය.

කාලය ගතවත් ම ඔහුට හිතවත් භික්ෂූන් වහන්සේ අපවත් වී එම පන්සලේ ම වැසිකිළියේ ප්‍රේතයෙක් ව උපන්නේ ය. විහාරය කරවූ පුරුෂයා මිය පරලොව ගොස් එම ශ්‍රමණ ප්‍රේතයාගේ හිස මත ප්‍රේතයෙක් ව උපත ලැබීමට අභාග්‍ය සම්පන්න විය.

එකල ඉර්ධිලාභීන් අතර අගතැන්පත් මහා මුගලන් මහරහතන් වහන්සේ එම ප්‍රේතයා දැක තොරතුරු විමසා සිටි සේක.

“වැසිකිළියෙන් මතුවී බැගෑපත් විලාශයෙන් සිටින නුඹ කවරෙක් ද? බොහෝ පාප කර්ම කර ඇති නුඹ කෙසේ පුද්ගලයෙක්දැයි මම නිසැක ව ම හඳුනාගන්නේ කෙසේ ද?” යයි උන්වහන්සේ ගාථාවකින් විමසා සිටියහ.

“ස්වාමීනි, මම පව්කම් කොට මේ මිනිස් ලොවින් මිය ගිය පසුව යම ලෝකය යි කියන ලද ප්‍රේත ලෝකයෙහි උපතට පැමිණ දුක් විඳින ප්‍රේතයෙක් වෙමි.” ප්‍රේතයා රහතන් වහන්සේ වෙත පවසා සිටියේ ය.

“නුඹ විසින් කයෙන්, වචනයෙන්, මනසින් කුමන අකුසල කර්මයක් පෙර කරන ලද්දේ ද? මෙවැනි දුක් සහිත ප්‍රේත උපතකට පැමිණවීමට සමත් එම අකුසල කර්මය කුමක් ද?”

එවිට ප්‍රේතයා තමා විසින් පෙර කරන ලද අකුසල කර්මය ගාථා දෙකකින් ප්‍රකාශ කර සිටියේ ය.

“ස්වාමීනී, ඊර්ෂ්‍යා සිතක් ඇති, තද මසුරු සිතකින් යුක්ත වූ, ප්‍රියමනාප ඒ ආගන්තුක භික්ෂූන් වහන්සේලාට පරිභව කරන මාගේ නිවසට ලෝභයෙන් ඇළුණු භික්ෂුවක් විය. උන්වහන්සේ මා විසින් කරන ලද ආවාසයෙහි නිබඳව වාසය කරන ලදී. එම භික්ෂුවගේ කීම අසා මමත් ප්‍රියශීලී භික්ෂූන් වහන්සේලාට නිතර බැණ වැදීම් ආදිය කළෙමි. ඒ අකුසල කර්මයන්ගේ විපාකය ලෙස මම මිය ගිය පසු මෙම ප්‍රේත ලෝකයෙහි උපත ලැබුවෙමි.”

එවිට මහරහතන් වහන්සේ අනෙකාගේ උපත කෙසේදැයි විමසමින් ගාථාවක් වදාළ සේක.

“ප්‍රේතය, නුඹට මිත්‍රයෙකු මෙන් හිතවත් ව සිටි මහණෙක් විය. ක්‍රියාවෙන් සතුරෙකු වූ ඒ මෝඩ මහණා මැරී පරලොව කිනම් ගතියකට පැමිණියේ ද? උපත කෙසේ වූයේ ද?”

“පින්වත් ස්වාමීන් වහන්ස, පවිටු අදහස් ඇති, මා හට හිතවත් ව සිටි ඒ මහණගේ හිස මත මම දැන් සිටිමි. හිස් මුදුන කෙළින් අවකාශයෙහි නො වේ. ඔහු ද ප්‍රේත අපායේ උපත ලබා මාගේ මෙහෙකරුවෙකු බවට පත් විය. ස්වාමීනී, මෙම වැසිකිළියේ අන්‍යයන් විසින් යම් අශූචියක් හෙළනු ලබයි ද ඒ අශූචි මට දවසක් දවසක් පාසා ආහාර වෙයි. මම ඒ අශූචි අනුභව කොට වර්චස් කරන්නේ ද ඒ මා හට හිතවත් ශ්‍රමණ ප්‍රේතයා දවසක් පාසා ඒවා ආහාරයට ගෙන ජීවත් වෙයි.”
ඔවුන් දෙදෙනා අතුරෙන් එම පුරුෂයා, “මෙසේ ආහාර අනුභවයට වඩා අශූචි අනුභව කිරීම නුඹලාට හොඳ ය…” යි කියා ප්‍රියමනාප භික්ෂූන් වහන්සේලාට බැණ වැදුණේ ය. හිතවත් මහණා එම පුරුෂයා ව එම පරුෂ වදන්වල සමාදන් කරවමින් තමා ද එසේ ම නපුරු වචනයෙන් බැණ වැදුණේ ය. එම අකුසල කර්මය හේතුවෙන් ඒ භික්ෂුවගේ ජීවිකාව එම පුරුෂයාගේ ජීවිකාවටත් වඩා ඉතාමත් කිලිටි විය.

මහා මුගලන් මහරහතන් වහන්සේ එම පුවත භාග්‍යවතුන් වහන්සේට සැල කළ සේක. භාග්‍යවතුන් වහන්සේ එම කාරණය අර්ථය ලෙස ගෙන නින්දා අපහාස කිරීමේ වරද පෙන්වා දෙමින් පැමිණි පිරිසට ශ්‍රී සද්ධර්මය දේශනා කළ සේක. එම දේශනාව පැමිණ සිටි මහජනයාට යහපත පිණිස ම විය.

සටහන – හර්ෂ නිලංක පෙරේරා
ඇසුර – ගූථඛාදක ප්‍රේත වස්තුව – ප්‍රේත වස්තු වර්ණනාව ග්‍රන්ථය