බොරු කීමෙන්, කේළාම් කීමෙන්, සමඟි ව වාසය කරන්නන් බිඳවීමෙන් මතුවට තමන්ට විඳීමට සිදුවන භයානක අනතුරක අවදානම පිළිබඳ ව විග්‍රහ කෙරෙන කතා පුවතකි, පූතිමුඛ ප්‍රේත වස්තුව. බුද්ධ ශාසනයක දුර්ලභ ව ලද පැවිදි දිවියක් ගත කළ ද ආවාස පහසුවත්, සිව්පසයට ඇලීමත් හේතුවෙන් වචනයෙන් බොහෝ අකුසල් රැස්කර ගත් භික්ෂුවක් පිළිබඳ ව මෙහි විග්‍රහ වෙයි.

අතීත කාලයෙහි කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි කුල දරුවන් දෙදෙනෙක් පැවිදි ව ශීලාචාර සම්පන්නව සැහැල්ලු පැවතුම් ඇතිව එක්තරා ගමක සමඟි ව විසූහ.

ළාමක අදහස් ඇති, කේළාම් කීමෙහි ඇලුනාවූ එක්තරා භික්ෂුවක් එම භික්ෂූන් දෙනම වසන තැනට පැමිණියේ ය. තෙරුන් වහන්සේලා දෙනම ද ඒ ආගන්තුක භික්ෂුව සමඟ පිළිසඳර කථා කොට විසීමට සෙනසුනක් ද දී පසුදින එම භික්ෂුව ද කැඳවාගෙන පිඬු පිණිස වැඩියෝ ය.

ගම්මානයේ මිනිසුන් උන්වහන්සේලා දැක වත් පිළිවෙත් කොට කැඳ බත් ආදිය පූජා කළෝ ය. ආගන්තුක භික්ෂුව විහාරයට පැමිණ මෙසේ සිතී ය. ‘මේ ගම වාසයට ඉතා ම යහපත් තැනක්. මිනිස්සුත් ශ්‍රද්ධා සම්පන්නයි. රසවත් ආහාර නිතර පූජා කරනවා. සිසිල් සෙවණින් යුත් මේ ආවාසයට ජලයෙනුත් අඩුවක් නම් නෑ. මෙහි ඉතා සුවසේ වාසය කරන්නට පුළුවනි. මේ භික්ෂූන් වහන්සේලා දෙනම මෙහි වසනතාක් කල් මා හට මෙහි සැපෙන් වාසය කරන්නට නම් බැහැ. උන්වහන්සේලා එකිනෙකා බිඳවා පලවා හැරිය යුතුයි.’

දිනක් වැඩිමල් භික්ෂූන් වහන්සේ අනිත් භික්ෂූන් වහන්සේලා දෙනමට අවවාද දී තමන් වසන කුටියට පිටත්ව ගියහ. කේළාම් ගති ඇති භික්ෂුව ස්වල්ප මොහොතකින් උන්වහන්සේ වෙත පැමිණ වන්දනා කළේ ය.

“භික්ෂුව කුමක් පිණිස වැඩි සේක් ද?” වැඩිහිටි භික්ෂූන් වහන්සේ විමසා සිටියහ.

“එසේ ය ස්වාමීනී, කියන්නට යමක් ඇත්තේ ය.”

“ඇවැත්නි පවසන්න.”

“ස්වාමීනී, ඔබවහන්සේගේ මේ යහළු තෙරුන් වහන්සේ ඔබ වහන්සේ ඉදිරියේ දී මිතුරු වෙසින් සිටිය ද නොමැති තැන දී නුගුණ පවසනවා.”

එවිට වැඩිහිටි භික්ෂූන්වහන්සේ කුමක් කියන ලද්දේදැයි විමසා සිටියේ ය.

“මහතෙරුන් වහන්සේ කපටියෙකි, කළ වරද සඟවා නිදොස්  බව ම හඟවන මායාකාරී ය. නැති ගුණ පෙන්වන කුහකයෙක, නොකට යුතු දේ කරමින් ජීවිකාව ගෙන යන්නේ යයි ඔබ වහන්සේගේ නුගුණ කියන්නේ ය.” යි කී ය.
“ඇවැත්නි එසේ නොකියව, ඒ භික්ෂු තෙම මෙසේ මා නුගුණ නො කියන්නේ ය. ගිහිකාලයේ පටන් මාගේ ස්වභාවය දන්නේ ය. ඔහු ප්‍රියමනාප වූ සිල් ඇත්තෙක් ය” යි වදාළහ.

“ස්වාමීනී, ඔබ වහන්සේ තමන් පිරිසිදු සිත් ඇති බැවින් එසේ සලකන්නේ ය. ඒ තෙරුන් සමග මගේ වෛරයක් නැත. කුමක් නිසා ඔහු විසින් නො කියන ලද්දක් මම කියන්න ද? එය එසේ වේවා! කල්යත් ම ඔබ වහන්සේට ම දැක ගත හැකි වන්නේ ය.”

වැඩිහිටි තෙරුන් වහන්සේගේ සිතෙහි ද ක්‍රමයෙන් දෙගිඩියා සිත් ඇතිවන්නට විය. ‘මෙසේ ද වන්නට පුළුවන්’ යැයි සැක සහිත සිත් ඇතිව විශ්වාසය ලිහිල් වන්නට විය.

කේළාම් භික්ෂුව මහ තෙරුන් බිඳවා පසුව අනිත් තෙරුන් වහන්සේ වෙත ගොස් පෙර කියන පරදි ම විශ්වාසය බිඳවන වදන් තෙපලී ය. පසුව තෙරුන් වහන්සේලා දෙනම දෙවෙනි දවසෙහි ඔවුනොවුන් කථා නොකොට පා සිවුරු රැගෙන ගම්මානයේ පිඬුසිඟා වැඩියෝ ය. පිණ්ඩපාතය ගෙනැවිත් වළඳා සාමීචි කතාවක් හෝ නො වී ය. පසුදින පහන් වූ කල්හි ඔවුනොවුන් වෙත නො දන්වා ම පහසු තැන් සොයා වෙන් වී වැඩියහ.

කේළාම් භික්ෂුවගේ සිතැඟි ඉටු විණි. තනිව පිඬු පිණිස වඩින එම භික්ෂුව දුටු ගම්වැසියන් “ස්වාමීනී, අනෙක් භික්ෂූන් වහන්සේලා දෙනම කොහිද?” යි විමසා සිටියහ. රාත්‍රිය පුරා දබර කොටගෙන උදෑසනින් ම පිටත් ව ගිය බව එවිට එම භික්ෂුව මුසා බස් පැවසී ය.

“දබර නො කරව්, සමඟි වව්, දබරය අනර්ථය පිණිස ම පවතී. මතු භවයේ දුක් ඇතිවන්නේ ය. අකුසල පක්ෂයට අයත් ය. පෙර විසුවෝ ද කලහය හේතුවෙන් මහත් පිරිහීමකටම ලක් විය. මේ ආදිය කියන ලද නමුත් මගේ අවවාද ඔවුන් පිළිනොගෙන බැහැර වැඩියා” යි ද කී ය.

ගම්වැසි මිනිසුන් “තෙරුන් වහන්සේලා දෙනම කැමති තැනක වඩිත්වා! ඔබ වහන්සේ අපට අනුකම්පා පිණිස මේ ආවාසයෙහි ම නොකලකිරී වාසය කරනු මැනව” යි පැවසූහ.

කේළාම් කීමෙහි යෙදුන එම භික්ෂුව එහි වාසය කළ ද යහපත් භික්ෂූන් වහන්සේලා දෙනම ආවාස ලෝභය හේතුකොටගෙන බිඳවීම බලවත් අකුසල කර්මයක් යැයි නිතර පසුතැවීමෙන් ගතකොට, රෝගීව නොබෝ කලකින් අපවත් ව අවීචි මහා නරයෙහි උපන්නේ ය.

අනෙක් මිතුරු භික්ෂූන් වහන්සේලා දෙනම ගම් දනව් සැරිසරා වැඩම කරන්නේ එක් ආවාසයක දී ඔවුනොවුන් මුණගැසුනහ. කතා බස් කරනා අතරතුර කේළාම් කී මහණ විසින් කියන ලද මුසා බස් හෙළිදරව් වූ බැවින් සමඟ ව පෙර ආවාසයට ම නැවතත් වැඩම කළෝ ය. භික්ෂූන් දෙනම දැක සොම්නසට පත් ගම්වැසි මිනිසුන් සිව්පසයෙන් උපස්ථාන කොට පින් රැස්කර ගත්හ. තෙරුන් වහන්සේලා දෙනම විදසුන් වඩා නොබෝ කලකින් ම අරහත් ඵලය සාක්ෂාත් කළහ.

කේළාම් පැවසූ භික්ෂුව එක් බුද්ධාන්තරයක් මුළුල්ලෙහි නිරයෙහි පැසී මේ බුද්ධෝත්පාද කාලයෙහි රජගහ නුවරට නුදුරු තැනක පූතිමුඛ ප්‍රේත ආත්මයක් උපත ලැබී ය. ඔහුගේ ශරීරය රන්වන් පැහැ විය. එනමුත් කටින් පණුවෝ නික්මී මුඛය හාත්පස කති. ඔහුගේ මුඛයෙන් ඉතා දුර අවකාශයට වුව ද දුගඳ වහනය වෙයි. එක් දිනක් නාරද ස්වාමීන් වහන්සේ ගිජුකුළු පව්වෙන් බසිමින් සිටිය දී එම ප්‍රේතයා දැක ඔහු විසින් කරන ලද කර්මය කුමක්දැයි විචාළේ ය.

“ප්‍රේතය නුඹ දෙවියන්ගේ වැනි වූ යහපත් ඡවි වර්ණයෙන් යුක්ත ය. අහසෙහි සිටින්නේ ය. එසේ වුවත් ඉතා දුඟද වූ නුඹේ මුව පණුවෝ කති. මෙවන් දුක් ලැබීමට පෙර කලෙක කුමන අකුසල කර්මයක් සිදු කරන ලද්දේ ද?”

“ස්වාමීනි නාරද තෙරුන් වහන්ස, මම පෙර දුෂ්ට වචන හෙවත් පරුෂ වචන, බොරු කීම, කේළාම් කීම ආදි වාග් දුෂ්චරිතයෙහි ඇලුනු ශ්‍රමණ වේශධාරී පවිටු මහණෙක් වීමි. බ්‍රහ්මචර්යා කුසල් බලයෙන් ශරීරයේ රන්වන් පැහැය ලබන ලදී. කේළාම් කීමේ විපාක වශයෙන් මාගේ මුඛය දුර්ගන්ධ විය.

පින්වත් නාරදයන් වහන්ස, නුඹ වහන්සේ විසින් මාගේ රූපය දැකගන්නා ලදී. අනුකම්පා ඇති පරහිතකාමී, ප්‍රතිපත්තියෙහි දක්ෂ බුද්ධාදී උතුමන් වහන්සේලා යම් අවවාදයක් කරයි ද මා ද දැන් එය ම පවසමි. පරුෂ වචන නොපවසනු මැනවි. බොරු කීම, කේළාම් කීම ආදිය හැරදමා වචනයේ සංවරයෙන් යුක්ත වන්නේ නම් මහත් දිව්‍ය සම්පත් ලබාගත හැකි වන්නේ ය.”

නාරද ස්වාමීන් වහන්සේ එම කතා පුවත අසා පිණ්ඩපාතය නිමවා රජගහනුවරට වැඩම කළහ. බුදුරජාණන් වහන්සේ හමුවට වැඩම කළ උන්වහන්සේ පෙර කතා පුවත සැල කර සිටියේ ය. බුදුරජාණන් වහන්සේ එම කතාව අර්ථෝත්පත්ති කොට ධර්මය දේශනා කළ සේක.

හර්ෂ නිලංක පෙරේරා