යමෙකු දානාදී කුසල කර්මයන් කරන විට එය සතුටු සිතින් අනුමෝදන් නොවී අපහාස උපහාස විහිළු තහළු කරන්නෝ බොහා් සිටිති. සුළුවෙන් සිතා කරන එවන් අකුසල කර්මයන්ගේ විපාකයන් විඳීමට සිදුවන විට කෙතරම් පීඩාවකට දුකකට පත්වන්නේදැයි මෙම උත්තර මාතෘ ප්‍රෙත වස්තුව අපට ඉතා සරල ලෙස පැහැදිළි කර දෙයි.

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවනින් පසු පළමු මහා ධර්ම සංඝායනාව පවත්වා ආයුෂ්මත් මහා කත්‍යායන ස්වමීන්වහන්සේ දොළොස් නමක් භික්ෂූන් සමඟින් කොසඹෑ නුවරට නුදුරු වූ එක්තරා අරණ්‍යයක වාසය කළෝය. එම කාලයේ උදේනි රජුගේ එක්තරා ඇමති වරයෙක් මිය ගියේ ය. ඔහුගේ රාජකාරිය වූයේ නුවර ඉදිකිරීම් කර්මාන්ත භාරව කටයුතු කිරීමයි. ඔහුගේ ඇවෑමෙන් රජු විසින් එම අමාත්‍යවරයාගේ පුත්‍රයා වන “උත්තර” එම තනතුරට පත් කරන ලදී.

දිනක් ඔහු නුවර ප්‍රතිසංස්කරණ කටයුත්තක් සඳහා අවශ්‍ය ලී දඬු රැගෙන ඒම පිණිස වඩුවන් පිරිසක් සමඟින් වනාන්තරයට පිටත්ව ගියේ ය. පාංශුකූල චීවර දරා විවේකීව වැඩ සිටින මහා කච්චායන ස්වාමීන්වහන්සේ දුටු ඔහු වැඳ එකත්පස්ව සිට පිළිසඳර කතාවට යොමු විය. තෙරුන් වහන්සේ ඔහුට ධර්මය දේශනා කළහ. තෙරුවන් ගුණ කෙරෙහි අප්‍රමාණ ප්‍රසාදයක් ඔහුගේ සිතෙහි හටගත් හෙයින් තෙරණුවන්ට පසුදින දනට ආරාධනා කර සිටියේ ය. තෙරුන් වහන්සේ එම ආරාධනය නිශ්ශබ්දව ඉවසා වදාළ සේක.

ආපසු නගරයට පැමිණි උත්තර “මා විසින හෙට දින දන් පිණිස තෙරුන් වහන්සේට ආරාධනා කරන ලදී. ඔබලාත් මාගේ දානයට පැමිණිය යුතුයි.” යනුවෙන් අනෙකුත් උපාසක වරුන් අමතා සිටියේ ය.

පසු දින ඉතා ප්‍රණීත ආහාර පාන පිළයල කළ උත්තර භික්ෂූන් පිරිස සමඟින් වඩින තෙරුන් වහන්සේ වෙත පෙරගමන් කර වැඳ නමස්කාර කර නිවසට වැඩමවාගෙන පැමිණියේ ය. ස්වාමීන්වහන්සේලාට කැප අතුරණු එළන ලද අසුන් වල භික්ෂූන් වහන්සේලා වැඩ සිටි කල්හි මල් පහන් සුවඳ දුම් පුදා අවසන ප්‍රණීත ආහාර පාන පිළිගන්වන ලදී. බොහෝ පැහැදීමට පත්වූ උත්තර භුක්තානුමෝදනා දේශණාව ද අසා තෙරුන් වහන්සේගේ පාත්‍රය ගෙන නුවර සීමාව තෙක් ගමන් කළේය.

“ස්වාමීනි, ඔබ වහන්සේලා නිරන්තරයෙන් මාගේ නිවසට වැඩම කරන්නේ නම් එය මා හට ඉමහත් භාග්‍යයකි.” යනුවෙන් තෙරුන් වහන්සේගෙන් ඉල්ලීමක් කළේ ය. තෙරුන් වහන්සේ ද එම ඉල්ලීම පිළිගත් සේක. මෙසේ උත්තර නම් උපාසකතුමා තෙරුන් වහන්සේගේ අවවාද අනුශාසනාවන් මැනවින් පිළිපැද උතුම් සෝවාන් ඵලයට පත් වීය.

තමාගේ සියළු නෑයින් මැනවින් තෙරුවන් කෙරෙහි පැහැදවූ උත්තර උපාසකතුමා විසින් විහාර කර්මාන්තයක් ද කරවීය. එනමුත් ඔහුගේ මව ඉතා මසුරු තැනැත්තියක් වූවා ය. දූෂිත සිතින් මැඩුණු ඇය උත්තර වෙත මෙසේ පරිභව කොට කීවාය.

“යම් හේතුවක් නිසා නුඹ මා අකමැති වන විටත් මහණුන් උදෙසා ආහාර පාන දන් දෙයිද? ඒ ආහාර පාන පරලොව දී නුඹට ලේවී උපදීවා.” යි පැවසුවා ය. විහාරය සංඝ සතු කොට පූජා කරන දිනයෙහි එක් මොනර පිල් මිටියක් පමණක් පූජා කිරීමට අවසරය ලබා දුන්නා ය.
ඇය මියගොස් ප්‍රෙත ආත්ම භාවයක් ලැබුවා ය. මොනර පිල් කළඹක් පූජා කිරීම හේතුවෙන් එම ප්‍රෙතියගේ නිල්වන් කෙස් කළඹ සිනිඳුව වෙළුණු අග ඇතිව ඉතා සියුම්ව, දික්ව පිහිටියා ය. එම ප්‍රෙතිය ජලය පානය කරමියි සිතා ගංගා නම් ගඟට බසින් යම් අවස්ථාවක් වෙයි ද එවිට ගඟෙහි ජලය ලෙයින් පිරී යයි. ඇය පනස් පස් අවුරුද්දක් මුළුල්ලේ ම සා පිපාසාවෙන් ඉතා පීඩාවට පත්ව ඇවිදිමින් එක් දිනක් කංඛාරේවත ස්ථවිරයන් වහන්සේ ගං ඉවුරෙහි දිවා විහරණයෙන් වැඩ සිටිනු දැක තමාගේ මහ පොළොව දක්වා දිගු කේශ කලාපයෙන් සිරුර වසාගෙන උන්වහන්සේ අසලට පැමිණ පැන් ඉල්ලා සිටියා ය.

“ස්වාමීනී, මම යම් දවසක කළුරිය කළා ද එතැන් පටන් මේ දක්වා පනස් පස් අවුරුද්දක් මුළුල්ලෙහිම කිසිම ආහාරයක් අනුභව නොකළෙමි. පැන් නොබීවෙමි. ස්වාමීනි, ඔබවහන්සේ පිපාසිතව පැන් සොයා ඇවිදින මා හට පැන්දෙනු මැනවි.

“ප්‍රෙත ස්ත්‍රීය මහත් පිනි ඇති නිසා හිමවත යයි නම් ලද පර්වත රාජයාගෙන් පටන්ගෙන සිහිල් දිය ඇති මේ ගංගා නම් නදිය ගලා බසියි. මේ ගඟින් පැන්ගෙන කැමති පරිදි බොනු මැනවි. කවර හේතුවක් නිසා නුඹ මගෙන් පැන් ඉල්ලා සිටින්නේ ද?”

“ස්වාමීනි, ගඟෙහි පැන් මා විසින් අතට ගත් විට පාප කර්මය හේතුවෙන් ලේ බවට පත්වෙයි. අතට ගත් ජලය ප්‍රමාණය රුධිරය බවට හැරෙයි. එම හේතුව නිසා මම ඔබ වහන්සේගෙන් පැන් ඉල්ලා සිටියෙමි.”

එවිට තෙරුන් වහන්සේ නැවත ඇයගෙන් පැනයක් විමසා සිටින්නට විය.

“නුඹ විසින් කවර අකුසල කර්මයක විපාකයක් හේතුවෙන් ගංගා නම් ගඟේ ජලය නුඹට රැධිරය බවට පත්වීද?”

“මාගේ පුත්‍රයා වන උත්තර නම් මානවකයා ශ්‍රද්ධාවන්ත උපාසකයෙක් විය. ඔහු මා අකමැත්ත නොසළකා ශ්‍රමණයන් හට චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍යය යන සිව්පසය දන් දෙයි. මසුරු බවින් පීඩිත වූ මා ඔහුට පරුෂ වචනයෙන් බැණ නින්දා කළෙමි. නුඹ මා නොකැමැති කල්හි ශ්‍රමණයන්ට චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍යය යන සිව්පසය දන් දෙයි ද, ඒ දෙන ලද දෙය පරලොවදී නුඹට ලේ බවට පත්වේවායි කියා දොස් කිරීම් වශයෙන් කරන ලද පාප කර්මයේ විපාකයයි මෙය..” යනුවෙන් පැවසුවා ය.

එය අසා සිටි රේවත ස්ථවිරයන් වහන්සේ එම ප්‍රෙතිය උදෙසා භික්ෂු සංඝයා හට දිය යුතු පැන් දුන්නේ ය. පිණ්ඩපාතයේ හැසිරී බත් ගෙනැවිත් භික්ෂූන් හට පූජා කළේ ය. කසල ගොඩවල් වලින් පාංශුකූල වස්ත්‍ර ගෙනැවිත් සෝදා පා පිස්නා වැනි අවශ්‍ය ද්‍රව්‍ය තනා මහා සංඝරත්නය උදෙසා පූජා කළේ ය.

ඒ හේතුවෙන් ප්‍රේතියට දිව්‍ය සම්පත් පහළ විය. ඈ තෙරුන් වහන්සේ වෙත පැමිණ තමා විසින් ලද දිව්‍ය සම්පත්තිය තෙරණුවන් හට දැක්වීය. තෙරුන්වහන්සේ එම ප්‍රවෘත්තිය තමන් වහන්සේ වෙත පැමිණෙන සිව් පිරිසට ධර්ම කථාවක් ලෙස දේශණා කළ සේක. ඒ හේතුවෙන් හටගත් සංවේගය ඇති මහජනයා මසුරු බව දුරුකොට දාන සීල ආදී දස කුසලයෙහි මනාව හැසිරෙන්නට විය.

සටහන – හර්ෂ නිලංක පෙරේරා.
ඇසුර – ප්‍රෙත වස්තු වර්ණනාව ග්‍රන්ථය.