ජානුස්සෝනි සූත්‍රයේ දී දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ, කෙනෙකුට කල්‍යාණ මිත්‍ර ඇසුරක් ලැබුණොත් එයා නිවන් දකින්න කැමති වෙන්න ඕනෙ කියලා. මේ සංසාරයේ අපිට හමු නො වුණේ ම සත්පුරුෂයෝ. සත්පුරුෂ ඇසුර, කල්‍යාණ මිත්‍රයන් මුණගැසීම මේ සංසාරයේ ඉතාමත් දුර්ලභ දෙයක්. අපිට දරුවෝ හමු වෙලා ඇති. අපිට ගුරුවරු හමු වෙලා ඇති. යාළුවො හමු වෙලා ඇති. යෙහෙළියෝ හමු වෙලා ඇති. මැති ඇමතිවරු හමු වෙලා ඇති. අපිට හමු වෙලා නැත්තේ කල්‍යාණ මිත්‍රයෝ. කල්‍යාණ මිත්‍රයෙක මුණගැසුණත් ඒ කල්‍යාණ මිත්‍රයා කෙරෙහි හිත පහදවා ගන්නවා කියන එක බොහෝ දුෂ්කර දෙයක්. ගොඩාක් දෙනෙකුගේ හිත පහදින්නේ අසත්පුරුෂයාට. මොකද හේතුව, ගොඩක් දෙනෙකුට තියෙන්නේ ළාමක සිතුවිලි නිසා.

බණ ඇහුවට, සිල් ගන්න ආවට හිතේ තියෙන්නේ විභාගෙ පාස් වෙලා, රස්සාවක් කරලා, හොඳ ගෙයක් හදාගෙන කසාදයක් බැඳලා දරුමල්ලො හදාගෙන සතුටින් ඉන්ට නොවැ. ඕකනේ හිතේ තියෙන්නේ. ඔය ඇත්ත ඇතුලේ තියාගෙන තමයි මේ පෝය දවසේ චුට්ටක් වෙනස් දෙයක් පුරුදු කරන්නේ. ඒ ඇත්ත නෑ කියල හිතන්න එපා. ඒ ඇත්ත තියෙනවා. හැබැයි අපි තේරුම් ගන්න ඕන මෙහෙම ගමනක් තමයි අපි ආවෙ. ඉස්සරහට යන්න තියෙන්නෙත් මෙහෙම ගමනක. මේ ආපු ගමනෙදි අපි වින්දෙ නැත්තේ සතුට. මොහොතක් හිනා වුණාට එතන සතුටක් නෑ. අපි වින්ද දුක, හිතින් හඬපු වාර ගණන, හිතින් විඳවපු වාර ගණන බැලුවොත් හිනා වුණ වාර ගණනට වඩා වැඩි නැද්ද? ඉතාමත් වේගයෙන් අපේ ස්පර්ශය වෙනස් වුණා. ඒ නිසා අපිට විඳපු දුක අමතක වුණා. කී පාරක් නම් හිතිල ඇද්ද මීට වඩා හොඳයි මැරිල ගියා නම් කියලා. වින්දෙ සැපක් නම් ඇයි එහෙම හිතෙන්නේ?

ඒ නිසා දරුවනේ, ඒ ඇත්ත අපි තේරුම් ගන්න ඕන. අපිට අනාගතයේ දී බොහෝ දුක් කම්කටොලු විඳින්න තියෙනවා. බුදුරජාණන් වහන්සේ තනියම සොයා ගත්තා මේ මනුෂ්‍යයා දුකට පත්වන ක්‍රමය මොකක්ද කියලා. මේ සත්වයාගේ චිත්ත අභ්‍යන්තරයේ ලෝභය කියලා දෙයක් තියෙනවා. ඒ වගේ ම මේ මනුස්සයා තුළ තියනවා ද්වේෂය, තරහා යන ස්වභාවය. ඒ වගේ ම මේ මනුෂ්‍යයා තුළ තියෙනවා යමක් හරියට අවබෝධ කර ගන්න බැරි නොමග යන ස්වභාවය. අපි ඒකට කියනවා මෝහය කියලා. රැවටෙන ස්වභාවයක් තියෙනවා. මේ කාරණා තුන හේතු කොටගෙන සත්වයාට කරන්න ඕන දේ හරියට තෝරගන්න බැරුව යනවා. නොකරන්න ඕන දේත් හරියට තෝරගන්න බැරුව යනවා. ඒ නිසා නොකළ යුතු දේවල් කරනවා. කළ යුතු දේවල් මඟ හැරෙනවා. ඒ නිසා උන්වහන්සේ දේශනා කළා “ලෝභය කියන්නේ සියලු අකුසල් හට ගන්න මුල්වන එක කරුණක්. ද්වේෂය කියන්නේ සියලු අකුසල් හටගන්න මුල්වන තව කරුණක්. මෝහය කියන්නේ සියලු අකුසල් හටගන්න මුල්වන තවත් කරුණක්” කියලා. මේ ලෝකයේ කයින් වෙන යම්තාක් අකුසල් ඇද්ද, වචනයෙන් වෙන යම් තාක් අකුසල් ඇද්ද, ඒ සියලු අකුසල් හට ගන්නේ කරුණු තුනකින්. ඒ තමයි ලෝභයෙන්, ද්වේෂයෙන් සහ මෝහයෙන්.

ආර්ය ශ්‍රාවකයන් වශයෙන් අපි කළයුතු වන්නේ ‘මේක ඒකාන්තයෙන් සත්‍යයයි’ කියලා පිළිගැනීම. උන්වහන්සේට කවුරුවත් මේවා කියලා දුන්නෙ නෑ. උන්වහන්සේ තනියම හොයාගත්තා. හොයාගෙන උන්වහන්සේ කල්පනා කළා එහෙනම් සියලු අකුසල් ඇති වන්නේ මේ කරුණු තුන නිසා. මේ කරුණු තමා තුළ තියෙන තුරු එයා තුළ අකුසල් සිද්ධ වෙනවා. එහෙනම් මේ අකුසල්වලට වග කියන්න ඕන ලෝභය යි, ද්වේෂය යි, මෝහය යි. ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් යුක්ත වෙලා යමක් කරනවා ද ඒවා අකුසල පක්ෂයට අයිතියි.

ඒ හටගන්න දේවල් නිසා තමනුත් පීඩාවට පත්වෙනවා. අනුනුත් පීඩාවට පත්වෙනවා. ඒ පීඩාවට පත්කරන අයට උපදින තැන් තියෙනවා. බුදුරජාණන් වහන්සේලා දුෂ්චරිතය කරන අය අපායට එක්කරන් යන්නෙ නෑ “උඹ අකුසල් කළා නම් පලයන් අපායට” කියලා. ඒ වරද වෙනකොට එයා තුළ සකස් වෙනවා අර විපාකවලට අදාළව උපදින්න ඕන තැන. අවිද්‍යාව නමැති බිත්තර කටුවෙන් එළියට ආපු නිසා ඒක බුදුරජාණන් වහන්සේ දැක්කා.

කටුව ඇතුළෙ ඉන්න කෙනා මේක නො දැක්ක නිසා ආයෙ ආයෙත් අර තැන්වලට ම යනවා. ඊට පස්සෙ උන්වහන්සේට හට ගත්තා අනුකම්පාවක් “අනේ මේ ලෝක සත්වයා අසරණයි. අනේ මේ ලෝක සත්වයාට පිහිටක් නෑ. මේ ලෝක සත්වයාට සරණක් නෑ. මේ ලෝක සත්වයාට මං මේක කියා දීලා, මේ ලෝක සත්වයන්ව මේකෙන් නිදහස් කරවන්න ඕන” කියලා. ඒකට කියනවා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව කියලා. අපිටත් කරුණාව එන අවස්ථා තියෙනවා. මං මේ උදව්ව කළොත් මෙයා මට මෙහෙම මෙහෙම පෙරලා උදව් කරයි. නමුත් උන්වහන්සේට එවන් අපේක්ෂා නෑ. උන්වහන්සේට තිබුණේ තව කෙනෙක් මේ බිහිසුණු අනතුරින් නිදහස් වෙනවා නම් කොච්චර හොඳ ද යන්න පමණයි.

මේ ලෝකයේ තමන්ටත් අයහපතක් වෙන, අනුන්ටත් අයහපතක් වෙන කරුණු සියල්ල උපදින්නේ කාරණා තුනකින්. ඒ නිසා තමයි මේ සත්වයා දුකට පත්වෙන්නේ. මේ සත්වයා සැපයට පත්වෙන්නේ කොහොමද? සැපයට පත්වෙන දේවලුත් තියෙන්නේ තමා තුළ ම යි. කෙනෙක් තුළ ලෝභ නැති බවක් ඇද්ද, තරහා නැති බවක් ඇද්ද, මුළාවට පත් නොවන ස්වභාවයක් ඇද්ද ඒ කරුණ මුල් කරගෙන යමක් කරනව ද කියනව ද හිතනව ද ඒ කටයුත්තෙන් තමන්ටත් යහපතක් වෙනවා, අනිත් කෙනාටත් යහපතක් වෙනවා. ඒ යහපත කරන අය ඒ හේතුවෙන් උපදිනවා බොහෝ සැප ඇති තැන්වල. ඒකත් උන්වහන්සේ දැක්කේ අර බිත්තර කට්ටෙන් එළියට ආවට පස්සේ.

උන්වහන්සේ කැමති වුණා මේ සත්වයෝ සැප විඳිනවට. ඒ නිසා උන්වහන්සේ කියා දුන්නා මෙහෙම සැප තියෙන තැන් තියෙනවා. ඒ තැන්වලට යන්න උදව් වෙන්නේ ලෝභ නැති හිත, තරහා නැති හිත, මුලාවට පත් නො වුණ හිත. මෙහෙම කරුණු පෙන්වා දීලා කියනවා “ඔබේ රැකවරණය ඔබ හදාගන්න” කියලා. මේ තමයි ඊ ළඟ කාරණාව. කම්මැලි මනුස්සයට මෙහෙම දෙයක් තියෙනවා. “ඔයා ඉන්න මං කරල දෙන්නම්, ඔයා නිදන් ඉන්න, මම ඇඳුම් ටික හෝදලා දෙන්නම්.” කිව්වොත් එපා කියන්නෙ නෑ. “ෂෝක්” කියයි. “කාපු පිඟාන හෝදන්නම්.” “අනේ හොඳයි.” කියයි. ඒ කම්මැලි මනුස්සයාට වෙන කෙනෙක් කරල දෙන වැඬේ හරී හොඳයි. සැපයි. බුදුරජාණන් වහන්සේලා එහෙම කිව්වෙ නෑ. “මෙන්න සැප ලැබෙන ප්‍රතිපදාව. මේක ඔබ පුරුදු කරන්න” කියලා උන්වහන්සේලා දේශනා කළා. කම්මැලියට ඒක ගැළපුනේ නෑ. මේ ධර්මය තියෙන්නේ ප්‍රඥාවන්තයන්ට වගේ ම වීර්යවන්තයන්ට යි.

තමන් අවංක ව කැමති නම් සැප විඳින්න, එයා ඒක අවංක ව ම පිළිපදිනවා. එයා හොඳට සෝදිසියෙන් ඉන්ට ඕන තමන් ගැන. මොකද ලෝභය හටගන්නේ ඇඟිලිවල නෙමේ, ලෝභය ඇතිවන්නේ යටිපතුලේ නෙමේ. ලෝභය ඇතිවන්නේ හිතේ. තරහ නිමිත්ත හටගන්නේ හිතේ. මුළාවට පත් වීම හටගන්නේ හිතේ. දුක් විඳින්න අකමැති කෙනා පරිස්සම් වෙනවා. තමන් ගැන, මනස ගැන හොඳ කල්පනාවක් ඇතිකර ගන්නවා. සිතට එන එන සිතුවිලි හිතන්නෙ නෑ. එයා අවධානයෙන් ඉන්නවා සිත ගැන. ඒකට කියනවා සතිපට්ඨානය කියලා. එයා බලනවා “මම දැන් මේක හිතන්න ගත්තොත් මේ කරුණෙන් මගේ හිතට එන්නේ ලෝභයක්, එහෙනම් මේක ගැළපෙන්නේ නෑ මට. මං මේක කල්පනා කළොත් මගේ හිතට එනවා තරහක්. එහෙනම් මං මේක හිතන්න හොඳ නෑ. මං මේක කල්පනා කරන්න ගත්තොත් මම මුළාවට පත්වෙනවා, මේක ගැළපෙන්නේ නෑ” කියලා එයා ඒක තෝර තෝර බලනවා…

එහෙම බලනකොට ලෝභයයි ද්වේෂයයි මෝහයයි උපදිනවා නම් යම් කරුණකින් එයා ඒක ඇසුරු කරන්නෙ නෑ. යම් රූපයක් දිහා බලන් ඉද්දී දන්නෙ ම නැතුව තමන්ට තරහා එනවා දන්නවා නම් එයා ඒ රූපයේ සටහන් ගන්නෙ නෑ හිතට, යම් කිසි ශබ්දයක් අහන් ඉඳලා තේරෙනවා නම් මං මේකෙ සටහන් ගත්තොත් මේක මට ආයෙ ආයෙ මතක් වෙද්දි මගේ හිතට තරහ එයි කියලා, රාගය එයි කියලා, එයා ඒ ශබ්දයේ සටහන් ගන්නෙ නෑ. ඒකට කියනවා ඉන්ද්‍රිය සංවරය කියලා. එතකොට මෙයා ඉස්සරහට යද්දී ආපස්සට එද්දී කථාබහ කරද්දී, රස්සාව කරද්දි, ඉගෙන ගනිද්දී පොදුවැඩ කරද්දී මේ හැමදේ ම කරන්නේ හොඳ සිහිකල්පනාවෙන්. ඒකට කියන්නේ සති සම්පජඤ්ඤය කියලා. මේ ඔක්කොම අයිති වෙන්නේ සතිපට්ඨානයට. ඒ තුළ වාසය කරන කෙනාට දුක්ඛිත තැනක උපදින්න හේතු හැදෙන්නෙ නෑ. ඒක තමා මහා කරුණාවෙන් යුතු ශාස්තෘන් වහන්සේ අපිට ආරක්ෂාව පිණිස දුන් තැන, සතිපට්ඨානය.