තම දියණියගේ හිත සුව පිණිස දියුණුව කැමති දෙමාපියෝ ඔවුනට ආශීර්වාද කරන නොයෙක් ආකාර අපට අසන්නට දකින්නට ලැබේ. “හොඳට ඉගෙන ගනින් මගේ දුවේ. ඉගෙනගෙන වෛද්‍යවරියක්, ඉංජිනේරුවරියක් වෙන්ට මහන්සි ගනින් මගේ දුවේ.” ආදි ඒ නන් ආකාර ආශීර්වාදයන් බොහෝ ය.

තිලොව දිනූ මහා මුනි වූ ගෞතම අපගේ සම්බුදුරජාණන් වහන්සේ තෙරුවන් සරණ ගිය දෙමාපියන් හට තම දියණිවරුන් වෙත ආශීර්වාද කිරීමට අපූර්ව ආශීර්වාදයක් වදාළ සේක.

“මගේ දුවේ නුඹ… වේළුකණ්ඨකී නන්දමාතාව වගේ වෙයන්. ඛුජ්ජුත්තරා උපාසිකාව වගේ වෙයන්…” යන්න ඒ ආශීර්වාදය යි.

බුදුරජාණන් වහන්සේ වදාළේ මේ වේළුකණ්ඨකී නන්දමාතාව වනාහී, ඛුජ්ජුත්තරාවන් වනාහී තෙරුවන් සරණ ගිය උපාසිකාවන්ගේ පූර්වාදර්ශය වූ මිනුම්දණ්ඩ වන බවයි. කතා කරන මිනිසුන්ට උතුම් වූ අපගේ බුදුරජුන්ගේ සිරි මුව මඬලින් මේ ආකාර පැසසුම් ලබනට ඒ උපාසිකාවන්ගේ චරිත කෙතරම් උදාර වන්නට ඇත්ද?

ඛුජ්ජුත්තරාවන් ගැන අපි ඉදිරියේ දී දැන ගනිමු. අද මේ ලිපියෙන් දිග හැරෙන්නේ වේළුකණ්ඨකී නන්දමාතා නම් උපාසිකාවගේ උදාර චරිතයෙන් බිඳකි.

වස්සාන සමය අවසන් වූවා පමණි. වැහිබර ව ම තිබූ පරිසරයේ ඒ සොභාවය දැන් යාන්තමින් නැතිවී ගොසිනි. සැවැත්නුවර වස් එළඹ සිටි ශාක්‍යමුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේත්, උන්වහන්සේගේ භද්‍ර වූ අග්‍රශාවක යුග්මය වන සාරිපුත්ත මහා මොග්ගල්ලාන යන රහතන් වහන්සේලා ප්‍රමුඛ භික්ෂු සංඝයා මීට දින කිහිපයකට පෙර වස් පවාරණය කළෝ ය. දැන් මේ එළඹ ඇත්තේ චාරිකාවේ වඩින සමය යි.

භද්‍ර ශ්‍රාවක යුග්මය ඇමතූ මහාමුනි ගෞතම සම්බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක. “සාරිපුත්තයෙනි, මොග්ගල්ලානයෙනි, තථාගතයන් තව ටික කලක් මේ සැවැත්නුවර ම කල් ගත කරන්නේ ය. ඔබ භික්ෂු සංඝයා ද කැටුව දක්ඛිණගිරියට චාරිකාවේ වඩින්න.”

දක්ඛිණගිරි පෙදෙසට වන්නට පිහිටි වේළුකණ්ඨකී නම් නුවරකි. ඒ නුවර වට පවුර ආරක්ෂා වීම සඳහා බොහෝ උණ ගස් වවා තිබේ. ඒ හේතුවෙන් ම එනුවර වේළුකණ්ඨකී නම් ලද්දී ය.

මේ වේළුකණ්ඨකී නගරයේ වසනා නන්දමාතා නම් උපාසිකාවෝ එදින පාන්දරින් ම අවදි වූවා ය. සම්බුදුරජුන්ගේ දහම් අසා ජීවිතාර්ථය ලබා සිටින ඇය, ඒ ශ්‍රී සද්ධර්මයේ කියැවෙන ගම්භීර දහම් අරුත්වලට බොහෝ සේ ඇලුම් කළා ය. එනිසා ම ඈ මේ හිමිදිරි උදෑසන ගම්භීර දහම් අරුත් ඇති පාරායන වර්ගයේ උතුම් දේශනා මිහිරි සරින් සජ්ඣායනා කරමින් සිටියා ය.

“සුඤ්ඤතෝ ලෝකං අවෙක්ඛස්සු – මෝඝරාජ සදා සතෝ
අත්තානුදිට්ඨිං ඌහච්ච – ඒවං මච්චුතරෝ සියා
ඒවං ලෝකං අවෙක්ඛන්තං – මච්චුරාජා න පස්සති…”

යනාදී ලෙසින් පාරායන වර්ගයේ ගාථාවන් මේ නිස්කලංක හිමිදිරියේ ඇයගේ මිහිරි හඬින් ඇසෙමින් තිබුණි. එපමණක් ද නොව,

“පින්වත් වූ මෝඝරාජ – හැමවිට සිහි නුවණින් ඔබ
උදුරා දමමින් මුලින් ද – පවතින සක්කාය දිට්ඨි
‘මම මාගේ ආත්ම’ යන – දෙයින් හිස්ව පවතින මෙය
ඒ ලෙසින් ම බලනා විට – මරු ඉක්මවමින් යන්නේ
ලොව මෙලෙසින් බලන කෙනා – මාරයාට නො පෙනෙන්නේ…”

ලෙසින් ඒ උතුම් ගාථාවන්ගේ අර්ථ ද විමසමින් කෙරෙන මේ සජ්ඣායනාවේ මිහිරි ස්වරය තුළ අපූරු ශාන්ත බවක්, සන්සිඳී ගිය බවක් ගැබ්ව තිබුණි.

මේ මොහොතේ හදිසි කටයුත්තක් උදෙසා වෛශ්‍රවණ දෙව් මහරජු උතුරු දිසාවේ සිට දකුණු දෙසට මේ වේළුකණ්ඨකී නුවර හරහා යමින් සිටියේ ය.

‘ඕහෝ, ඒ ඇසෙනා වදන් අති මිහිරි ය. ශාන්ත ය. මේ ගම්භීර දහම් අරුත් සම්බුදුරජාණන්ගේ ය. මේ දහමට මෙතරම් ප්‍රිය කරන්නී, මෙතරම් සංහිඳියාවකින් ඒ දහම් සජ්ඣායනා කරන්නී, ඒකාන්තයෙන් මාගේ සොයුරියෙකි.’ යි සිතමින් බුදු සසුනට ඇලී ගිය සිත් ඇති වෛශ්‍රවණ දෙව්රජු මේ මිහිරි සජ්ඣායනයට සවන් දෙමින් ගමන් නැවතී ය. ඔව්, ඒ සජ්ඣායනාව අවසන් වන තෙක් ම සවන් දුන්නේ ය.

පාරායන ධර්මයන් පවසා නන්දමාතාව නිශ්ශබ්ද වූවා පමණි. “සාදු සොයුරියෙනි, සාදු සොයුරියෙනි” යි අහස් ගැබෙන් මිහිරි හඬක් ඇසේ. රුවක් නො පෙනේ. එහෙත් මේ ධර්මයට සාධුකාර දෙන්නේ නම්, මේ ධර්මය අනුමෝදන් වන්නේ නම් ඔහු කවරෙක් වුව ද සොඳුරු මුව ඇතියෙකු බැව් නන්දමාතාවෝ දන්නී ය.

“හා… භද්‍ර මුඛයාණෙනි, ඔබ කවරෙක් ද?”

“සොයුරියෙනි, මා තිගේ සොයුරාණෝ වූ වෛශ්‍රවණ දෙම් මහා රජාණන් ය.”

“යහපති, භද්‍ර මුඛයාණෙනි, එසේ වී නම් මේ උදෑසනින් මා විසින් දහම් සජ්ඣායනා කරමින් ලත් යම් උදාර පිනක් වේ ද මම එය ඔබට පුදමි. මේ පින ඔබට ආගන්තුක පඬුරක් වේවා…!”

“අපට අසවල් දේ කර දීපං, අසවල් දේ කර දීපං” කිය කියා යාදිලි කරන, පූජා වට්ටි තබ තබා කන්නලව් කරන හිස් ප්‍රජාවක් තුළ මේ සොඳුරු පින් පඬුර පුදන නන්දමාතා නම් සම්බුද්ධ ශ්‍රාවිකා උත්තමාවිය ගැන හටගත් බලවත් පහන් සිතින් වෛශ්‍රවණ දෙව්මහාරජු “සාදු මේ පින මා හට ආගන්තුක පඬුරක් ම වේවා සොයුරියෙනි” යි අනුමෝදන් විය. අනතුරුව සැවැත්නුවරින් චාරිකාවේ එළඹි අග්‍රශාවක රහතන් වහන්සේලා ප්‍රමුඛ භික්ෂු සංඝයා ගැන වෛශ්‍රවණ දෙවියන් විසින් නන්දමාතාවන් හට පවසන්නට විය.

“සොයුරියෙනි, හෙට දිනයේ හීල දානය නොවැළඳූ, සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම වහන්සේලා ප්‍රමුඛ භික්ෂු සංඝයා වේළුකණ්ඨකයට වඩින්නාහ. ඒ භික්ෂු සංඝයාට ද දන් වළඳවා මා හට ඒ පින දෙන්නී නම් මෙසේත් එය මා හට ආගන්තුක පඬුරක් වන්නේ ය.”

ඒ ගැන ප්‍රීති ප්‍රමුදිත සිතැති නන්දමාතා උපාසිකාවෝ එදින රාත්‍රිය ඇවෑමෙන් ප්‍රණීත අයුරින් දන්පැන් පිළියෙල කළා ය. පසුදින උදෑසනින් ම සාරිපුත්ත මොග්ගල්ලාන දෙනම වහන්සේලා ප්‍රමුඛ භික්ෂු සංඝයා වේළුකණ්ඨකයට වැඩම කළ සේක. එක්තරා පුරුෂයෙකු ලවා ඒ සංඝයා වහන්සේලාට දානය පිණිස කල් දැන්වූ නන්දමාතාව තම නිවසට වැඩම කළ ගෞතම බුදු සසුනේ අග්‍රශ්‍රාවක වූ සාරිපුත්ත මහා මොග්ගල්ලාන දෙනම වහන්සේලා ප්‍රමුඛ සංඝයාට සියතින් ම දන්පැන් පූජා කළා ය. මැනවින් පිළිගැන්වූවා ය.

දන් වළඳා අවසන පාත්‍රයෙන් ඉවතට ගත් අත් ඇති අපගේ සාරිපුත්තයන් වහන්සේ අසලට පැමිණි නන්දමාතා උපාසිකාව මහත් ගෞරවයෙන් වැඳ නමස්කාර කොට එකත්පස්ව හිඳගත්තී ය. අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇයගෙන් මෙසේ විමසුවේ ය.

“නන්දමාතාවෙනි, පෙර දැනුම්දීමක් නො කොට වැඩම කළ භික්ෂු සංඝයාගේ පැමිණීම ගැන ඔබට දැන්වූයේ කවරෙක් ද?”

ඉක්බිති නන්දමාතාව සිදුවූ පුවත සාරිපුත්ත මහරහතන් වහන්සේ හට පවසා,

“එනිසා ස්වාමීනී, මේ දානයෙන් ලද යම් පිනක් ඇද්ද, එය වෛශ්‍රවණ දෙව් මහාරාජයා හට සැපය පිණිස වේවා!” යි පින් අනුමෝදන් කළා ය.

සාරිපුත්ත මහරහතන් වහන්සේ නන්දමාතාවගේ කතාව අසා සිට සතුටට පත්ව මෙසේ පැවසූහ.

“නන්දමාතාවෙනි, ආශ්චර්යයි, අද්භූතයි, මේ සා මහා ඉර්ධිමත් වූ මහේශාක්‍ය වූ වෛශ්‍රවණ දිව්‍ය පුත්‍රයා සමඟින් ඔබ කතා සල්ලාප කරන්නී නොවැ.”

“ස්වාමීනී, මෙකරුණ ම මාගේ ආශ්චර්යයක්, අද්භූතයක් නො වේ. මා හට වෙනත් ආශ්චර්ය අද්භූත ධර්මයක් ඇත්තේ ය. ස්වාමීනී, මාගේ එක ම ප්‍රියමනාප පුත්‍රයා නන්දයන් ය. රජු යම් කරුණක් හේතුවෙන් ඔහු ව බලාත්කාරයෙන් ගෙන ගොස් මරා දැමුවේ ය. ඒ මාගේ ප්‍රියමනාප දරුවා ව අල්ලා ගනු ලැබූ මොහොතේවත් බඳිනු ලැබූ මොහොතේවත්, වධ පමුණුවන මොහොතේවත්, නසා දමන වෙලාවේ හෝ ඒ පුත්‍රයා නැසුණු මොහොතේවත් මාගේ සිතෙහි කිසි වෙනසක් හටගත් බවක් මම නො දකිමි.”

“නන්දමාතාවෙනි, සැබැවින් ම ආශ්චර්යයෙකි, අද්භූතයෙකි. සිතක් ඉපදීමත් පිරිසිදු කරන්නී නොවැ.”

“ස්වාමීනී, අනෙකක් ද ඇත්තේ ය. කලුරිය කළ මාගේ සැමියා එක්තරා යක්ෂ යෝනියක ඉපිද, කලින් සිටි ස්වරූපයෙන් ම මා ඉදිරියේ පෙනී සිටියි. එහෙත් ඒ හේතුවෙන් හෝ මාගේ සිතේ කිසි වෙනසක් හටගත් බවක් මම නො දකිමි.”
“නන්දමාතාවෙනි, යම් හෙයකින් සිතක් ඉපදීමත් පිරිසිදු කරන්නී නොවැ. ආශ්චර්යයෙකි. අද්භූතයෙකි.”

“ස්වාමීනී, ඒ මම ඉතා ම තරුණ වයසේ ම යි මාගේ සැමියා ආවාහ කොටගෙන කැන්දාගෙන ආවේ. එහෙත් එදින සිට සිතකින්වත් වෙනත් පුරුෂයෙකුගේ පහසක් පැතූ බවක් මම නො දනිමි. කයෙන් නොමනා දෙයක් කිරීම ගැන කවර කතා ද?”

“ආශ්චර්යයි නන්දමාතාවෙනි, අද්භූතයි. සිතක් ඉපදීමත් මනා ව පිරිසිදු කරන්නී නොවැ.”

“ස්වාමීනී, මම යම් කලෙක මේ බුදු සසුනේ උපාසිකාවක් වෙමි යි ප්‍රතිඥා දුන්නී ද එදා සිට දැන දැන ශික්ෂාවක් කඩ කළ බවක් නො දනිමි.”

“නන්දමාතාවෙනි, ආශ්චර්යයි, නන්දමාතාවෙනි අද්භූතයි.”

“ස්වාමීනි, මා හට අන්‍ය වූත් ආශ්චර්ය ධර්මයක් ඇත්තේ ය. මෙහිලා කාමයන්ගෙන් වෙන්වූ, අකුසල ධර්මයන්ගෙන් වෙන්වූ, විතර්ක විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතියත් සැපයත් ඇති පළමු ධ්‍යානය උපදවාගෙන මම කැමති තාක් කල් වාසය කරමි.

විතර්ක විචාරයාගේ සන්සිඳීමෙන් ම තමා තුළ ම පැහැදීම ඇති කරවන, සිතේ එකඟ බවින් යුතු විතර්ක විචාර රහිත වූ සමාධියන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති දෙවැනි ධ්‍යානය උපදවාගෙන මා කැමති තාක් කල් වාසය කරමි.

ආර්යයන් වහන්සේලා විසින් උපේක්ෂාවෙන් යුතු සිහියෙන් යුතු සැප විහරණය යැයි යම් ධ්‍යානයකට වදාළ සේක් ද ඒ තුන්වෙනි ධ්‍යානය තුළ මම කැමති තාක් කල් වාසය කරමි.

ස්වාමීනි, සැපයන් ප්‍රහාණය කිරීමෙන්, දුකත් ප්‍රහාණය කිරීමෙන් පළමු කොට සොම්නස් දෙක නැති කිරීමෙන් දුක් සැප රහිත වූ උපේක්ෂා සති පාරිශුද්ධිය ඇති සතරවෙනි ධ්‍යානය උපදවාගෙන මම කැමති තාක් කල් වාසය කරමි.”

“නන්දමාතාවෙනි, සැබැවින් ම ආශ්චර්යයි, අද්භූතයි.”

“එමෙන් ම ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් ඕරම්භාගීය සංයෝජනයෝ පහක් දේශනා කරන ලද්දේ ද ඒ කිසිවක් මා තුළ ප්‍රහාණය නො වී ඇති බවක් නො දකිමි.”

“නන්දමාතාවෙනි, ආශ්චර්යයි, අද්භූතයි.”

මේ අසිරිමත් කතා සල්ලාපයෙන් පසු අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ නන්දමාතා උපාසිකාවට මැනැවින් දහම් කතාවෙන් කරුණු දක්වා, සමාදන් කරවා, තෙද ගන්වා, සතුටු කරවා හුනස්නෙන් නැගිට වැඩම කළ සේක.
මේ මහා භද්‍ර කල්පයේ සිව්වනුව ලෝකානුකම්පාවෙන් පහළ වී වදාළ මහා ප්‍රඥා ඇස වූ තිලෝගුරු ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උපාසිකා බවට පත් වූ වේළුකණ්ඨකී නන්දමාතාවන්ගේ අසිරිමත් ශ්‍රාවක භාවය ගැන අංගුත්තර නිකායේ ඡක්ක නිපාතයේ මහායඤ්ඤ වර්ගයට අයත් නන්දමාතු සූත්‍රය ඇසුරිනි මේ ලිපිය සකස් වූයේ. පහන් සිතින් මේ කියවන සැම සම්බුදු සසුනේ ශ්‍රාවකයන්ගේ අසිරිය ගැන සිත පහදවා ගනිත්වා! දෙවියන් හා කතාබස් කොටත් උද්දාමයට පත් නොවන මේ ශ්‍රාවක චරිත ගැන දැන සුළු කරුණකින් උදුම්මවා ගන්නා සිත දුරුකර ගනිත්වා! ජීවිතයේ කම්කටොළු ඉදිරියේ කඩාවැටෙන බෙලහීන බව දුරු කරගෙන උතුම් තිසරණය තුළ අකම්පිත ජීවිත ඇති කර ගැනීමට වෙහෙසෙත්වා! මේ ගෞතම බුදු සසුන තුළ ම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස වෙර වීරිය බලවත් කර ගන්නට අප සැමට වාසනාව ලැබෙත්වා!

තෙරුවන් සරණයි!

මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් සම්පාදිතයි.