highlights of the week
Home » NEW ARTICLES » සිහි කළ යුතු මෙත් සිත ම ය හැම විට

සිහි කළ යුතු මෙත් සිත ම ය හැම විට

දුම්රියක හෝ බස් රථයක දිගු ගමනක් යාමට සූදානමින් අප, එම රථය පැමිණෙන තුරු නොඉවසිල්ලෙන් බලා සිටිනුයේ කෙසේ හෝ ආසනයක් ලබා ගැනීමේ අරමුණින් ය. අප මෙන් ම එම නැවතුමේ සිටින අනෙක් සියල්ලන්ගේ ම බලාපොරොත්තුව වනුයේ ද කෙසේ හෝ තම සැප පහසුව සලසා ගැනීම යි.

කරණීය මෙත්ත සූත්‍රයේ සඳහන් වන පරිදි ‘එක ම පුතෙකු ඇති මව් විලසින්නේ – සියලු සතුන් හට මෙත් පතුරන්නේ’ යන භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය කෙතරම් අසීරු ද යන්න වැටහෙනුයේ තෙරපෙමින්, පොරකමින් දුම්රියට හෝ බසයට ගොඩ වී අනෙකාට පෙර තමාගේ ප්‍රියයන්ටත්, තමාටත් අසුන් ලබාගෙන තමාගේ සුව පහසුව සලසා ගන්නා මිනිසුන් දකිනා විටයි.

මෙය බොහෝ අය අත්දැක ඇති සිදුවීමක් හෙයින් උදාහරණයක් ලෙස දැක්වුව ද තරඟකාරී සමාජය තුළ නිතර ම සිදුවෙනුයේ මෙවන් ම දෙයකි. තමන්ගේත්, තම ප්‍රියයන්ගේත් සතුට වෙනුවෙන් මඟ සකසා ගැනීමට යමෙක් යම් ආයාසයක් ගනුයේ තවකෙකුගේ සැපයක් කෙසේ හෝ වළකාලමිනි. දීර්ඝ වූ සංසාරයක මතක අපට අමතක ව ගොසිනි. මේ ජීවිතයේ පමණක් තමා සමඟ සිටින්නා වූ ප්‍රියයන්ගේ සතුට තමාගේ යුතුකමක් කොට සලකා අනෙකෙකුගේ සැපය උදුරා ගනිමින් තමන්ගේ ම ප්‍රියයන්ට සැපය සලසා දීම, තමන්ගේ සංසාර ජීවිත ගැන අවබෝධය ඇත්තෙකු හට නම් කෙසේවත් ආස්වාදයක් නොවනු ඇත.

“පින්වත් මහණෙනි, මේ සා දීර්ඝ කාලය තුළ යමෙක් (ලෝකයේ සිටින ඕනෑම සත්වයෙක්) මවක නො වූයේ නම්, පියෙකු නො වූයේ නම්, පුතෙකු නො වූයේ නම්, දුවක නො වූයේ නම්, සොයුරියක නො වූයේ නම්, සොයුරෙකු නො වූයේ නම් එබඳු එකම සත්වයෙකුවත් සොයා ගැනීම ලෙහෙසි නෑ…”

(අනමතග්ග සංයුත්තය – සං. නි. 2)

සිතන්න… ඔබ අද ඔබේ ප්‍රියයන්ගේ සැපය සලසනුයේ ඔබේ ම මවකගේ සැපය උදුරාගෙන විය හැකියි නේ ද? ඔබේ ම පියෙකුගේ, සොයුරු සොයුරියකගේ, පුතෙකුගේ හෝ දුවකගේ සැපය උදුරාගෙන විය හැකියි නේ ද? සංසාරය තුළ මුළා වී සිටින ඔවුන්ටත්, අපටත් අතීතයේ සියල්ල අමතක වී ගොසිනි. එහෙත් සත්‍ය නම් එය යි.

අද ඔබ ඔබේත්, ප්‍රියයන්ගේත් සතුට වෙනුවෙන් තවකෙකුගේ සැපයක් උදුරා ගන්නේ නම් හෝ තවකෙකු ව පරාජය කරන්නේ නම් මේ බව සිත්හි තබා ගත යුත්තේ ය. එනම් ඔබ උදුරා ගැනීමට උත්සහ කරනුයේ යමෙකුගේ සැපයක් ද පෙර භවයක ඔහුගේ ම සැපය උදෙසා මේ ජීවිතයේ ප්‍රියයන්ගේ සැපය එදා ඔබ උදුරා ගන්නට ඇත. අද ඔබ තමන්ගේ දරුවන්, බිරිඳ සුව පහසු වාහනවල රැගෙන යන විටදී ඔබ සමීපයට පැමිණෙන සිඟන්නන්, රෝගීන් පිළිකුල් වන්නට පුළුවන. එහෙත් පෙර ජීවිතයක ඒ සිඟන්නන් ම, රෝගීන් ම තමන්ගේ ආදරණීයයන් වී සිටිය දී අද සිටින ඔබගේ ප්‍රියයන් ව ම ඇතැම් විට ඔබ එදා පිළිකුල් කළා වන්නට ඇත.

හොඳින් සිතන්න… අද ඔබ සමඟ සිටින දරුවෙකුට හෝ මවට හෝ වෙනත් ප්‍රිය කෙනෙකුට යම් රෝගී තත්ත්වයකින් සියල්ල අමතක වී ගියහොත් ඔවුන් ඇතැම් විට ඔබව ප්‍රතික්ෂේප කරනු ඇත. ඔවුන් තුළ ඔබ කෙරෙහි පැවති සෙනෙහස ද නැති වී යනු ඇත. එහෙත් කෙදිනකවත් ඔවුන් කෙරෙහි පැවති සෙනෙහස ඔබ කෙරෙන් නැති වී යාවි ද? මේ සංසාරගත සියලු සත්වයන්ටත්, අපටත් සියල්ල අමතක බව සත්‍යයකි. එහෙත් යථාර්ථය නම්, මේ සියලු දෙනාම කවර හෝ ජීවිතයක දී අපේ දිවි දෙවෙනි කොට සෙනෙහසින් රැක ගත් බවයි.

තවත් කරුණක් මෙහි දී මතක් කළ යුතු ය. අද සමාජයේ සොරුන්, ගණිකාවන්, සල්ලාලයන්, මිනීමරුවන්, ස්ත්‍රී දූෂකයන් ලෙස පිරිහුණු පුද්ගලයන් පිළිකුලෙන් යුතුව හෙළා දකිමින් අපි කතා කරන්නෙමු. එහෙත්…

දිනක් අපගේ භාග්‍යවතුන් වහන්සේ මාර්ගයක් හරහා ගමන් කරන කඩි පේළියක් දෙස බලා දේශනා කළේ, ඒ කඩි පේළියේ කඩි අතරින් සක්විති රජෙකු නො වූ කිසිදු කඩියෙකු නො දකින බවයි.

එසේ ම තවත් දේශනාවක දී උන්වහන්සේ දේශනා කළේ අප මේ සංසාරයේ සොරුන් වී සිටිය දී, වැරදි කාම සේවනයේ යෙදෙන්නන් ව සිටිය දී හිස ගැසුම් පහර කද්දී වැගිරී ගිය රුධිරය සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි බවයි.
අද අපි වැරදිකරුවන් ලෙස දකින පිරිස ම දිනෙක සක්විති රජුන් වී මේ මුළු ලෝකය ම ධර්මයෙන් පාලනය කරන්නට ඇත. ඒ යුගයේ ම අද නිවැරදිකරුවන් ලෙස සිටින අප මං පහරන සොරුන් වී, පර ස්ත්‍රීන් සොයා යන්නන් ව සිටින්නට ඇත. එදා අපි නොමඟ යන විට අප ව හරි මඟට ගන්නට ඇත්තේ ද අද අප වරදකරුවන් ලෙස හෙළා දකින, කොන් කරන අය ම විය හැකි ය. මව්වරුන් වී, පියවරුන් වී එදා අප නොමඟ යාමට නො දී සෙනෙහසින් රැක ගත්තේ ඔවුන් ම විය හැකි ය. ඒ නිසා මේ සා දීර්ඝ සංසාරය දෙස බලන විට කිසිවෙකුත් වැරදිකරුවන් නො වේ. කිසිවෙකුත් නිවැරදිකරුවන් ද නො වේ. මාර්ග ඵලයකට පත් වීමෙන් තොරව තමා නිවැරදි යැයි කීමට කිසිවෙකුටත් නො හැක.

තවත් කරුණක් මෙහි දී පැවසිය යුතු ය. පෙර දැක්වූ උදාහරණ ඇතුළත් වූ සංයුත්ත නිකාය පොත් වහන්සේගේ අනමතග්ග සංයුත්තයේ ම භාග්‍යවතුන් වහන්සේ මෙලෙසින් ද දේශනා කොට තිබේ. එනම් දීර්ඝ කාලයක් මුළුල්ලේ ගවයන් ව, මී හරකුන් ව, එළුවන් ව, බැටළුවන් ව, මුවන් ව, ඌරන් ව, කුකුළන් ව ඉපදී හිස ගැසුම් පහර කද්දී වැගිරී ගිය රුධිරය සතර මහා සාගරයේ ජලයට වැඩි බවයි. එදා අපි මිය යන විට අපේ මාංශය රස බැලුවේ අද සිටින අපේ ම ප්‍රියයන් විය හැකියි. අද එලෙසින් මිය යන සතුන් ද එදා අපේ මවක්, පියෙක්, දරුවෙක් විය නො හැකි ද? අද බල්ලෙකු, ගවයෙකු, මැස්සෙකු, මදුරුවෙකු ආදි අපේ නෙත් මානයේ ගැවසෙන සියලු සත්වයන් පෙර ජීවිතයක තම ජීවිතය දෙවැනි කොට අප ව රැක ගත් අපේ ම ප්‍රියයන් විය නො හැකි ද?

අවිද්‍යාවෙන් වැසී ගිය, තණ්හාවෙන් බැඳී ගිය ලෝක සත්වයා කාලයේ වැලි තලාවෙන් වැසී ගිය මේ දීර්ඝ සංසාරය නො දැක ම ඒ ඒ තැන සතුටින් පිළිගනිමින් තමන්ගේ සැපය පිණිස අනෙකාගේ සැපය වනසමින් සිටින්නේ තමාගේ ම සත්‍ය වූ අතීත ගමන නොදන්නාකම නිසා ය. යමෙක් මේ යථාර්ථය දකියි නම් භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය වන,

“මාතා යථා නියං පුත්තං
ආයුසා ඒකපුත්තමනුරක්ඛේ
ඒවම්පි සබ්බ භූතේසු
මානසං භාවයේ අපරිමාණං”

“තම දිවි සම කොට පුතු සුරකින්නේ
එකම පුතෙකු ඇති මව් විලසින්නේ
මෙලෙසට ලොව සැම සතුන් දකින්නේ
අපමණ මෙත් සිත ම ය පතුරන්නේ”

ලෙසින් වදාළ කරුණ හුදෙක් මවා ගැනීමක් පමණක් නොව එය අප කළ යුතු ම දෙයක් බව පෙනී යනු ඇත. ඉතින් එවන් වූ මෛත්‍රී සිතකින් යුතුව සුන්දර වූ ආධ්‍යාත්මික සතුටත්, උතුම් වූ පරම පිවිතුරු නිර්වාණයත් මේ ගෞතම බුද්ධ ශාසනයේ දී ම උදාකර ගැනීමට සියලු දෙනාට වාසනාව උදා වේවා…!

සටහන – තරිඳු නිශ්ශංක

One comment

  1. Purudu karalama tika tika hari diyunu karaganna ona bawa watahenawa.darmaya kiyadena kalyana mithtrayanta namaskara wewa.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

අසිරිමත් මහා කරුණාව ( 1 වන කොටස)

ඒ සිතුවිල්ල හට ගත්තේ සියලු ලෝසතුන් මේ ජරා දුකින් බේරා ගන්න, මේ රෝග පීඩා වැළඳීමේ දුකින් බේරා ගන්න, මේ මරණ දුකින් බේරා ගන්න. ඒත් සමඟ ම උන්වහන්සේට කල්පනා වුණා,