highlights of the week
Home » NEW ARTICLES » නිය සිළට ගත් පස් බිඳ….

නිය සිළට ගත් පස් බිඳ….

අපගේ එක ම ශාස්තෘන් වහන්සේ වූ ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක දී මෙසේ දේශනා කළා කොට වදාළා.

“පින්වත් මහණෙනි, මාගේ ධර්මය අවබෝධ කර ගන්නා පිරිස මේ නිය සිළට ගත් පස් ප්‍රමාණය වැනි ය. අවබෝධ නොකර සතර අපායට යන පිරිස මහපොළොව හා සමාන වේ.”

‘නිය සිළ’ යනු විශාල වපසරියක් නො වෙයි. මහ පොළවට සාපේක්‍ෂව අබ ඇටයකටවත් සමාන කළ නො හැකියි. නිය සිළ පැතලි එකකුත් නො වෙයි. දෙකොණින් වක්‍ර වෙලයි තිබෙන්නේ. එහෙම නම් මේ නිය මත තිබෙන පස් අංශුව දිගට ම පවතීවි කියලා හිතන්නට හැකි ද? සුළු සෙලවීමකින් පවා පස් හැළෙනවා. වැඩිපුර ම තියෙන්නේ රැඳෙන ප්‍රමාණයට වඩා හැළෙන ස්වභාවය ම යි.

කාලයකට මිනිස්සු ‘මේ ධර්මය අවබෝධ කරන්න ඕන. සසරින් එතෙර වෙන්න ඕන. සසර දුකයි.’ කියල හිතල ධර්මය හොයාගෙන පූජනීය තැන්වලට එනවා. හරී ම සතුටින් බණ අහනවා. භාවනා කරනවා. දන් පින් කරනවා. වන්දනාමාන කරනවා. කඳුළු වගුරුවමින් පින් කටයුතුවල යෙදෙනවා. “මම නම් මේක අත අරින්නේ නෑ” කියනවා.

කාලයක් ගිහින් බලනකොට මේ අය හුඟ දෙනෙක් නෑ. අහල බැලුවම “අනේ වෙලාවක් නෑ. වැඩ වැඩ.” කියනවා. නැත්නම් වෙන මොකක් හරි දෘෂ්ටියක පැටලිලා වාද කර කර, උපවාද කර කර කොහේfදා් දුවනවා. මීට වඩා වේගයෙන් අවබෝධ කර ගන්න හැකි තැන් සොයනවා.

සංසාරික වශයෙන් බහුල කොට ම දුෂ්චරිතයට ම නැඹුරු වෙලා තිබුණ මේ සිත හරි ම නීචයි. කපටියි. වංචනිකයි, තුච්ඡයි, රළුයි. තණ්හාවෙන්, මාන්නයෙන්, ඉරිසියාවෙන්, ක්‍රෝධයෙන් වැසී යනවා. එවැනි අනේක කෙලෙස්වලට නවාතැන් පොළක් වගේ. නවාතැන් ගත්ත අමුත්තෝ දැන් එතන පදිංචි වෙලා. මුල් බැහැගෙන. ලේසියෙන් පන්නන්න බැහැ.

කෙනෙකුට මේ සිතේ ස්වභාවය ගැන අවබෝධයක් සිහියක් නැත්නම් වෙන්නේ සිත විසින් මේ සත්වයා ව නිරන්තර රැවටීමට ලක් කිරීමයි.

කාලෙකට “අතනට පලයන්, එතන තමා නියම පිරිසිදු ධර්මය කියා දෙන්නේ” කියල එතනට එළවනවා. තව කාලෙකට “එතන වැඩක් නෑ. අතනට පලයන්. අර අසවල් අයත් යන්නේ” කියල තව තැනකට පන්නනවා. තව කාලෙකට “එතනත් වේගයෙන් අවබෝධ වෙන්නේ නෑ. අතනට පලයන්” කියල එළවනවා. තවත් කාලයක් යනකොට “අන්න අතන අලුත් විදියකට හිතන්න කියල දෙනවා. එතනට පල” කියල එළවනවා. අන්තිමට දුවල, දුවල හති වැටිල, බිම වැටිල අතපයත් වලංගු නැතිව ඔහේ බලන් ඉන්නවා. ඇහුවා ම “වැඩක් නෑ අනේ. හැම තැන ම බොරුව තමා” කියල තමන්ගේ නොතේරුම්කමක් මාන්නෙකට පෙරලගෙන ‘තනියම කර ගන්නවා.’ කියල ඉන්නවා.

බලන්න හිත විසින් අප ව කොපමණ දුරකට නොමගට යවනවා ද කියල. අන්තිමට හිතට දාසයෙක් වෙලා ධර්මය පහළට දමනවා. තණ්හා, මාන, දිට්ඨි ඉහළට ගන්නවා.

ප්‍රඥාවෙන් අපි මේ හිත දිහා බලන්න උත්සාහ කරමු. ‘මම මේ ධර්මය හොයන්න අවංකව ම යන ගමනක් ද? මොන අදහසකින් ද මම යන්නේ?’ කියලා. ලාභ, සත්කාර, කීර්ති ප්‍රශංසා අපේක්ෂාවෙන් නම් අපි යන්නේ ඒවා ලැබෙන තාක් අපි නිය මත රැඳේවි. ඒවා ගිලිහුන දාට ඔබ අප ගිලිහේවි. ඔබේ මතයට, දෘෂ්ටියට, තර්කයට, න්‍යායට ධර්මය ගළපා ගත හැකි නම් නිය මත ඉන්නට තැත් කරාවි. ධර්මයේ මතයට ඔබ නො යන නිසා ගිලිහේවි. තර්ක, විතර්ක, වාද විවාද කරන්න කැමති, තමන් කිසි දෙයක් නොවිමසා, නොබලා පිළි නොගන්නා බව පෙන්වන්න කැමති ඔබ දන්නේ ම නැතිව ගිලිහිලා යාවි. අනුන්ට, අනිත් ස්ථානවලට ගරහන්න, අපහාස උපහාස කරන්න නින්දා කරන්න, අඩුව ම දකිමින් සමච්චල් කරන්න ඔබ කැමති නම්… හොඳක් දකින්නේ ම නැති නම් ඔබ ඔබටත් නො දැනී ම නිය මතින් ගිලිහේවි.

‘මම ම යි කළ යුත්තේ, මට ම යි කිව යුත්තේ, මට ම යි මුල් තැන දිය යුත්තේ, මම ම යි ප්‍රශංසා ලැබිය යුත්තේ, සියලු දෙනාම, සියලු දෙය ම මගෙන් අසා ම යි කළ යුත්තේ.’ කියලා ඔබට හිතෙනවා නම් ඔබ නිය මතින් වැටිලා. බොහෝ කල් උපක්ලේෂ හඳුනා නොගත්තොත්, ආදීනව නොදැක්කොත්, බැහැර නොකළොත් නිය සිළ මත සිටීම අසීරුයි.

අවිද්‍යාවෙන් වැහුන, තණ්හාවෙන් බැඳුන මේ සිතේ නො වෙද මේ පංච උපාදානස්කන්ධය මම ය, මේ පංච උපාදානස්කන්ධය මගේ ය, මේ පංච උපාදානස්කන්ධය මගේ ආත්මය ය යන සක්කාය දෘෂ්ටිය තිබෙන්නේ? ඒ දෘෂ්ටිය තිබෙන තාක් සිතේ වැඩෙන්නේ තණ්හාවත්, මාන්නයත්, මිත්‍යා දෘෂ්ටියත් නො වෙයි ද? එවැනි හිතක් මුල් වෙලා ආයතනය ක්‍රියාත්මක වෙනකොට දකින, අසන, දැනෙන හැමදේ ම ඇත්ත ද? බොරුනෙ….

ඉතින් එහෙම හිතක් ඉල්ලන ඉල්ලන දේ දෙන්න කරන්න ගියා ම කවදාවත් නිදහසක් තියේ ද? ඒක හරියට නොදරුවෙක්, නොතේරුම්කමට දකින දකින දේවල් ඉල්ලනකොට අරන් දෙන මෝඩ දෙමව්පියො කරදරේ වැටෙනවා වගේ. ළමයට සුදුසු දේ සුදුසු කාලයට දෙන්න දෙමව්පියන්ට නුවණක් එපායැ.

අපි දන් දෙන, සිල් සමාදන් වන, වන්දනා මාන කරන පොඞ්ඩක් භාවනාවකුත් කරන අය වෙන්න පුළුවනි. එපමණකින් අප නිය මත සිටියා වෙන්නේ නෑ. උපක්ලේෂ හඳුනා නොගත්තොත් අපි ශ්‍රද්ධාවේ වේශයෙන් අමාරුවේ වැටෙනවා. සමහර උපක්ලේෂ උඩින් පල්ලෙන් බැලුවාම අකුසලයක් ය කියලා, සිත කිලිටි කරනවා ය කියලා අපට තේරෙන්නෙ නැහැ (කියවන්න අනංගණ සූත්‍රය, ම. නි. 1) මේ උපක්ලේෂවල නියම ස්වභාවය දන්නේ සියල්ල මනා ව දැන, දැක පිරිසිඳ අවබෝධ කළ අපගේ ශාස්තෘන් වහන්සේ ම තමා.

අපි මෙහෙම හිතමුකො. නිය සිළ කියන්නෙ බුද්ධ ශාසනය කියලා, එහෙම නම් මේ නිය සිළ මත රැඳෙන්න කොයි තරම් අමාරු ද කියලා දැන් කල්පනා කරන්න. සීයට දෙසීයක් තියෙන්නේ ගිලිහෙන්න මිස රැඳෙන්න නො වේ. අමාරුයි කියල බැහැනෙ. ආරක්ෂාවක් හදාගන්න එපායැ. නිය සිළේ රැඳී ඉන්න, නො ගිලිහී ඉන්න ඔබ නිය සිළේ ඇලෙන පස් බිඳක් වෙන්න. නිය සිළේ ඇලෙන ගම් එක මොකක්ද? ශ්‍රද්ධාව…! මේ වචනය දැන් හැමතැන ම ඇහෙන ලාභ වචනයක් වෙලා. ඒ වුණාට ශ්‍රද්ධාව කියන්නේ ලේසි පහසු දෙයක් නම් නෙමේ. ඒක කයට අයිති දේකුත් නෙවේ. ශ්‍රද්ධාව අයිති සිතටයි.

නොසෙල්වෙන ආකාරයට සිතේ ශ්‍රද්ධාව උපන්නා නම් ඒ සිත විසින් අවබෝධයෙන් ම කය සහ වචනය මෙහෙයවනවා. සන්සිඳවනවා. යහපත කරා ගෙන යනවා.

ශ්‍රද්ධාවට එන්න නම් අපි භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ගැන මනා කොට දැන ගත යුතු වෙනවා. නා නා විධ දෘෂ්ටි මතවාදවලින් කිලිටි නො වූ ඒ පිරිසිදු අවබෝධය ම දැනගෙන මේ නම් මගේ ශෘස්තෘන් වහන්සේ අවබෝධ කළ දේ ම යි, ඒකාන්ත සත්‍ය ම යි කියා මැනවින් අදහාගත යුතු වෙනවා. කලින් කලට කැඩෙන ලෙස නොව නො වෙනස් ව එය තබාගත යුතුයි.

ශාස්තෘන් වහන්සේගේ අවබෝධය තමා උන්වහන්සේ අනුශාසනා කරන්නේ. අවබෝධය තමා උන්වහන්සේගෙත් ශාස්තෘන් වහන්සේ. ශාස්තෘන් වහන්සේව පිළිගන්නවා නම් ධර්මයත් ඒකාන්තයෙන් ම පිළිගන්නවා. ඒ ධර්මය තුළින් ප්‍රතිඵල ලැබූ පිරිස තමා රහතන් වහන්සේලා. එහෙම නම් ‘ඒ ධර්මය අන් අයටත් අවබෝධ කළ හැකි දෙයක්, අන් අයත් එතෙර කරවන දහමක්, එතෙර වූ අය ද සිටිනවා, එතෙර වන්නන්ට ද මඟ මනා කොට විවෘත කර දී ඇත්තේ ය’ කියා නොසෙල්වෙන පැහැදීමකට පැමිණිය යුතු යි.

භාග්‍යවතුන් වහන්සේගේ ඒ උතුම් අනුශාසනාව තුළ පිහිටා සිටින්නට, ගෞරවයෙන් කීකරු වන්නට, අප්‍රමාණ ආදරයකින් අපට පෙන්වූ මග යන්නට, මහත් සෙනෙහසින් සරණ යන්නට අප සමත් වූවහොත් අප ද නිය සිළ මත රැඳෙන වාසනාවන්ත පිරිස වෙනවා ඇත. අපට ඇති එක ම සරණය තිසරණය පමණ ම ය.

– ශ්‍රාවිකාවක් –

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

සෝවාන් මාර්ගය සහ සෝවාන් ඵලය

".......යම්තාක් සෝවාන් ඵලය සාක්ෂාත් කරන්නේ නැත්නම්, ඒ තාක් ම (සෝවාන් වනතුරු) ඔහුට කළුරිය කරන්න පුළුවන්කමක් නෑ.”