මේ අපට නිතර ම වගේ ඇහෙන කථාවක් නේ ද….? බොහෝ දෙනෙක් කා එක්ක හරි අමනාපයක් ඇති වුණා ම කියනව ‘‘දෙන දෙයක් කාල, වෙන දෙයක් බලන් ඉන්නෙ නැතුව එනව මෙතන දොඩවන්න…” කියලා. ඒ වගේ පෘථග්ජන කථා නිතර ම ඇහෙනව. සමහර වයසක අම්මල, තාත්තලට ඒ අය හුඟක් ආදරේ කරපු දුවලා පුතාලත් බොහෝ වෙලාවට මෙහෙම කියනව… ‘‘දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්න….” ඇත්තට ම මොකද්ද මේ ‘දෙන දේ’ සහ ‘වෙන දේ…?’

මිහිඳු මහ රහතන් වහන්සේ අපේ රටට වැඩම කළාට පස්සේ සිංහල අපට උරුම වුණා මහා ලාභයක්. ඒ උතුමන් වහන්සේ අපට අරගෙන ආව මේ ලෝකෙ කෙනෙක්ට දෙන්න පුළුවන් වටිනාම තෑග්ග. උතුම් මුනිඳු දෙසූ නිර්මල ශ්‍රී සද්ධර්මය…. එදා පටන් අපේ මුතුන් මිත්තෝ ‘සිංහල බෞද්ධ’ වුණා. අපි වගේ උප්පැන්න සහතිකේ ‘සිංහල බෞද්ධ’ කියලා ලියාගෙන ද? නෑ… ඒ නුවණැති සත්පුරුෂයෝ අවබෝධයෙන් ම තෙරුවන් සරණ ගියා. ශ‍්‍රද්ධාවෙන් මේ උතුම් ධර්මය ජීවිතයට පුරුදු කර ගත්තා; ජීවිතයේ ම කොටසක් කරගත්ත. අන්න එහෙම ධර්මය පුරුදු කරද්දි භාවිත කරපු මහා අර්ථයක් තියෙන, ගාම්භීර කියමනක් තමයි අද නුවණ නැති අන්ධබාල පෘථග්ජන සමාජය වැරදි විදියට යොදා ගන්නෙ.

භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් අප දැන ගත්තා මේ ලෝකේ සත්‍යය. හැම දේක ම තියෙන යථා ස්වභාවය තමයි මගෙ බුදු පියාණන් වහන්සේ අපට කියලා දුන්නෙ. උන් වහන්සේ ශ‍්‍රාවකයින්ට දේශනා කළේ ‘‘උෂ්ණ වේවා, ශීතල වේවා ලැබෙන අහරක් වළඳන්න… ජීවිතේ පැවැත්ම පිණිස විතරක් ආහාරය ගන්න. ශරීරය ලස්සන කරගන්න නෙවෙයි…”

ඉතින් ඒ උතුම් ශ‍්‍රාවකයින් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ කියපු දේ කරන අය ම වුණා. අප වගේ මේ අහලා මේ අත් හැරලා දැම්ම ද? නෑ….. ඒ ශ‍්‍රාවකයින් වහන්සේලා අර්ථය දැනගෙන ම ආහාරය ගත්තා. අපේ නුවණැති මුතුන්මිත්තෝ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ඒ අවවාදය ජීවිතේට ගළපාගත්තෙ කොහොම ද? දෙන දෙයක් කාලා ඉන්න, ලැබෙන දෙයක් කාලා ඉන්න පුළුවන් උදාර, අකම්පිත හිත් ඇති අය වුණා. කෑමවලට ඇලි ඇලී ගියේ නෑ. රසයට ගිජු වෙලා ගියේ නෑ. කෑම ගැන ම හිත හිතා හිටියේ නෑ. එකයි බතයි හරි කන්න පුළුවන් අය වුණා. දරුවන්ට රසට අනලා කවලා ඉතුරු වුණ දන්කුඩ ටික කාලා හිනාවෙලා ඉන්න තරම් අපේ ඒ රත්තරං අම්මලාට පුළුවන් වුණේ අන්න එහෙමයි. ඒ දේවල් අපට ලැබුණේ මහානර්ඝ බෞද්ධ සංස්කෘතික උරුමයක ලක්ෂණයන් විදියට.

දෙන දෙයක් කා, වෙන දෙයක් බලන් ඉන්නෙ කොහොම ද…?

මේ ලෝකෙ කොච්චර නම් දේවල් වෙනව ද? අලූත් අලූත් දේවල් හොයා ගන්නව. ඔන්න දැන් අඟහරු ලෝකෙ ජනාවාස හදන්නත් යනවලූ… රියදුරු නැතිව යන්න පුළුවන් වාහනත් හදලලූ… එක එක ඒව.
සාමාන්‍ය පෘථග්ජන ලෝකයා ‘ලෝකෙ’ කියලා දකින්නෙ ඕව නේ ද? ඒත් ඒ ගෞතම ශ‍්‍රාවක දරුවෝ බැලූවේ ඒ ලාමක ලෝකෙ ගැන නෙවෙයි. ශ‍්‍රාවක දරුවන්ට ඒ හිස් බවින් පිරුණු ලෝකවල ගැන හිස් විදියට හිස් දේවල් කල්පනා කර කර ඉන්න වෙලාවක් නෑ. ශ‍්‍රාවක දරුවො බැලූව තම තමන් හදන් ඉන්න ලෝකවල සැබෑ ස්වභාවය. ඒ ලෝකෙ වෙන දේවල්.

මොකද්ද තමන්ගේ ලෝකය…? මේ ඇස තමයි තමන්ගේ ලෝකය. මේ කන තමයි තමන්ගේ ලෝකය. මේ නාසය, මේ දිව, මේ ශරීරය, මේ මනස. මේවා තමයි මම කියලා මගේ කියලා ලෝකයක් හැදුවේ. ශ‍්‍රාවක දරුවා බලනව භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකය ගැන බලන්න කිව්ව ඇත්ත. මොකද්ද මේ ඇත්ත…? ඒ තමයි මේ ඇස වයසට යනව… මේ ඇස ලෙඩ වෙනව… මේ ඇස මැරිලා යනව… මේ කන, මේ නාසය, මේ හැම දෙයක ම උරුමය… මොකද්ද මේ වෙන්නේ…? මේ ඇස වෙනස් වෙලා යනවා. ඒ කිව්වේ මේ ඇස අනිත්‍යය යි. හේතුන් නිසා හට ගෙන හේතු නැති වීමෙන් නැති වෙලා යනවා. හට ගැනීමක් තියෙනවා… පවතින දේ තුළ වෙනස් වීමක් පේනවා… අවසානයේ නැති වෙලා යනවා. මේ ඇස මාගේ ඇස මෙසේ වේවා… මාගේ ඇස මෙසේ නො වේවා… කියලා තම තමන්ට ඕන විදියට පවත්වන්න බෑ. මේ ඇස වෙනස් වෙලා යනව. වෙනස් වෙන හැම දේ ම දුකටයි අයිති… මාගේ ආත්මය කියලා පවත්වන්න බෑ. ඒ වගේ ම තමයි මගේ කියල හිතන් ඉන්න හැමදේක ම උරුමය. ඒ වගේ ම තමයි මම කියලා සලකන මේ ශරීරය. මොකද්ද මේ ශරීරය කියලා තියන් ඉන්නේ?
මොකද්ද මේ නාවලා, ඇඳුම් අන්දලා, සුවඳ ගල්වල ලස්සනට තියන් ඉන්න ශරීරය ගැන අප හිතන් ඉන්නෙ? මොකද්ද මේකෙ ඇත්ත?

යටි පතුලෙන් උඩටත් හිස කෙස්වලින් පහළටත් හමකින් වැහිල තියෙන මේ ශරීරයේ ඇත්ත මොකද්ද? මේ ශරීරයේ තියෙනව කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහරවැල්, ඇට, ඇට මිදුලූ, වකුගඩු, හදවත, අක්මාව, පිත්තාශය, බඩදිව, පෙනහලූ, කුඩා බඩවැල්, මහා බඩවැල්, ආමාශය, මොළය, අශුචි, පිත, සෙම, සැරව, ලේ, ඩහදිය, තෙල්මන්ද, කඳුළු, වුරුණුතෙල්, කෙළ, සොටු, සඳමිදුලූ, මුත‍්‍රා….

මගේ කියන ශරීරය හැදිල තියෙන්නේ ඔන්න ඔය වගේ අපිරිසිදු දේවල්වලින් තමයි. අනුන්ගේ කියන ශරීර හැදිල තියෙන්නෙත් ඔන්න ඔය වගේ අපිරිසිදු දේවලින් ම තමයි. ඕක තමයි මේ ශරීරයේ ඇත්ත.
මේ කෙස් ටික සුදු වෙලා යනව. හැලිල යනවා. මේ දත් ටික කහ ගැහිල, දිරල, කැඩිල යනව. හැලිල යනව. මේ හම රැලි වැටිල යනව. පැහැපත් බව නැති වෙලා යනව. ගඳ ගහන්න ගන්නව. මේ කොන්ද වකුටු වෙලා යනව. අතේ පයේ තියෙන මේ හයිය හත්තිය නැතුව යනව. පිම්බිලා හැඩට තියෙන මේ ඇඟ හැකිලිලා යනව. දර කඩකටවත් ගන්න බැරි විදියට හරි ඉක්මනට අප වයසට යනව; දිරල යනව.

නොයෙක් නොයෙක් රෝග හැදෙනව. ඇස් රෝග හැදෙනව. කන් රෝග හැදෙනව. නහයෙ, දිවේ, කයේ රෝග හැදෙනව. මානසික රෝග හැදෙනව. නොයෙක් නොයෙක් රෝගවලට කැදැල්ලක් වගේ මේ ශරීරය. නිදන්ගත රෝග තියෙනව. පිළිකා වගේ මාරාන්තික ලෙඩ තියෙනව. අද හිනා වෙලා සතුටින් ඉන්න අපට හෙට දැනගන්න ලැබුණොත් ලේ පිළිකාවක් හැදිලා කියලා…. මොනව හිතේවි ද? ඒත් ගෞතම ශ‍්‍රාවක දරුවා දන්නවා මේ ශරීරය ලෙඩ රෝග උරුම කරන් ඉන්නෙ. ඉපදුණු හැමෝට ම උරුම ඕක තමයි. එයා එයාගෙ ජීවිතේ ගැන දන්නව. එයා දන්නවා මොන වෙලේ, මොන විදියෙන් හරි ‘මරණය’ කියන දේ සිද්ධ වෙන්න පුළුවන් කියලා. එයා භය නෑ.

ඕන ම වෙලාවක මැරෙන්න හැකි බව දන්න කෙනා, සිහිකරන කෙනා හැම වෙලේ ම හිත ගැන අවධානයෙන් ඉන්නව. එයා අකුසල් කරන්න ලැජ්ජයි. බයයි. ඇයි මොන වෙලේ, මොන විදියෙන් මරණය වෙයි ද දන්නෙ නෑ…. මැරෙන වෙලාවෙදි හිතේ අකුසල් නම් තියෙන්නේ, ඒක එයාට යහපතක් නෙවේ. ඒ නිසා එයා කා එක්කවත් තරහක් ගන්න, කා ගැනවත් නපුරක් හිතන්න පෙලඹෙන්නෙ නෑ. එයා දන්නවා මං වගේ ම තමයි අනෙක් අයත්. මොන වෙලේ මොන විදියෙන් මැරිලා යයිද දන්නෙ නෑ. මැරෙන්න ඉන්න මං, තවත් මං වගේ ම මැරෙන්න ඉන්න කෙනෙක් එක්ක තරහ අරන් මොකට ද? එයාට තවත් කෙනෙක්ට ඉරිසියා කරන්න, තවත් කෙනෙක්ගෙ අගුණ හිත හිත ඉන්න වෙලාවක් නෑ. ඇයි? එයා දන්නවා මොන වෙලේ හරි එයාට උරුම මරණය එයා කරා එන බව. එයා කර්මය දායාදය කරගෙනනෙ ඉන්නෙ. එයා උපන් අකුසල් දුරු කරන්න වීරිය කරනව. නූපන් කුසල් උපදවන්න වීරිය කරනව. එයා උපන් කුසල් දියුණු කරන්න වීරිය කරනව.නූපන් අකුසල් නූපදවා ඉන්න වීරිය කරනව.එයාගෙන් ලෝකයට කරදරයක් නෑ.එයා එයාගෙ පාඩුවේ ඉන්නවා. එයා ගෞතම ශ‍්‍රාවක දරුවෙක්. භාග්‍යවතුන් වහන්සේ කරන්න කියපු දේ කරන කෙනෙක්. භාග්‍යයවතුන් වහන්සේ කරන්න එපා කියපු දේ නො කරන කෙනෙක්.

එයා තමන් ගැන බලන් ඉන්නව. එයා ප‍්‍රීතියෙන් ඉන්නව. එයා හිනාවෙලා ඉන්නව. හැම විදියෙන් ම සතුටෙන් ඉන්නව. එයාට දුක් වෙන්න දෙයක් නෑ. ඇයි….? භාග්‍යවතුන් වහන්සේ මේ දුක ගැන එයාට කියලා දීලා තියෙන්නෙ. දුකෙන් මිදෙන හැටි කියලා දීලා තියෙන්නෙ. කල්‍යාණ මිත‍්‍රයන් වහන්සේලාගෙන් එයාට ඒ ගෞතම මුනිඳුන් කියා දීපු ධර්මය ඒ විදියට ම ලැබිලයි තියෙන්නෙ. එයාට මේ ධර්මය ගැන සැකයක් තියෙනව ද? නෑ….එයාට කල්‍යාණ මිත‍්‍රයා ගැන සැකයක් තියෙනව ද? නෑ… එයා කල්‍යාණ මිත‍්‍රයන් වහන්සේ විශ්වාස කරගෙනයි ඉන්නෙ. එයා දන්නව කල්‍යාණ මිත‍්‍රයන් වහන්සේගේ කරුණාව ගැන. එයා දන්නවා කල්‍යාණ මිත‍්‍රයන් වහන්සේගෙන් ලැබෙන උපකාරය. එයා කල්පනා කරනව ඒ ගුණ. එයා හැම පැත්තකින් ම මනාකොට දේශනා කළ, මුලත් පිරිසිදු, මැදත් පිරිසිදු, අගත් පිරිසිදු ධර්මය අදහාගෙන ජීවිතේට ගළපගන්න උත්සාහ කරනවා. වීරිය කරනව. කෙටියෙන් කිව්වොත්, ‘වෙන දේ බලාගෙන ඉන්නව.’

අපෙන් ඈත් වෙලා ගියපු ඒ උතුම් ධර්මය ආයෙත් විවර වෙලා. දුර්ලභව ලෝකෙට පහළ වෙන සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය, දුර්ලභව මේ ලෝකෙට පහළ වෙන කල්‍යාණ මිත‍්‍රයන් වහන්සේලා නිසා ආයෙත් විවර වෙලා තියෙන්නෙ. නුවණ තියෙන අය දැන් මොකද කළ යුත්තෙ? ‘‘ඕක හරි යයි ද?… ඕක ඇත්ත ද?” කිය කියා සැක කරමින් ඉඳලා හරි යනව ද? දුකෙන් මිදෙන මඟ කියලා දීලයි තියෙන්නේ. වයසට යද්දි, ලෙඩ වෙද්දි, ප‍්‍රි‍්‍රයයන්ගෙන් වෙන් වෙද්දි අඬන්නෙ නැතුව, වැලපෙන්නෙ නැතුව, ශෝක කරන්නෙ නැතුව, ඇත්ත ඇති සැටියෙන් හිතන හැටි කියලා දීලයි තියෙන්නෙ. සංසාරෙ විඳපු දුක ගැන කියලා දීලයි තියෙන්නෙ. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ දුකෙන් මිදෙන හැටි මනාකොට කියලා දීලයි තියෙන්නෙ. මරණයට පත් වෙන වෙලාවෙදි හිනා වෙලා ඉන්න හැටි කියලා දීලයි තියෙන්නෙ.

ඉතින් තවත් නම් මොනව ද? අපිත් දැන් දැන් ම ‘දෙන දෙයක් කා, වෙන දෙයක් බලන් ඉන්න අය වෙමු’ නේ ද?

සටහන
ධනංජය ජයවික්‍රම