අංග, මගධාදී ජනපදයන් සොළොසකින් යුක්ත වූ අතීත දඹදිව කෝසල ජනපදයට හිමි වුණේ විශේෂ තැනක්. ශාසනික වංශකථාවේ තිලෝගුරු ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පන්සාළිස් වසක සිදුවීම්වල වැඩි කොටසක් කෝසලය ඇසුරු කරගෙනයි සිදු වී තිබෙන්නේ. මේ සිදුවීමත් අප ගෞතම සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක සඟගණ පිරිවරා කෝසලයේ චාරිකාවේ වඩිමින් සිටියදී සිදු වූවක්.

පසුමහණුන් අතරේ භාග්‍යවතුන් වහන්සේට සමීපයෙන් ම වඩින ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ මඳසිනා පහළ කරනා අයුරු දුටුවා. ඒ මොහොතේ ශ්වේත රශ්මි මාලාවෝ සිදුකළ අසිරිමත් පෙළහරත් දුටුවා. ඒ දැක භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ විමසා වදාළා.

“ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, අසම වූ අසමසම වූ තථාගත අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා කිසි කලෙක කරුණක් රහිතව සිනා පහළ නොකරන සේක. දැන් මෙහිදී භාග්‍යවතුන් වහන්සේ දසන් පෙන්වා මඳ සිනා පෑ සේක. ස්වාමීනී, එයට හේතුව කුමක් ද?”

“ආනන්දය, මෙය මීට බොහෝ කලකට පෙරයි සිදු වූයේ. එකල මේ ප්‍රදේශයට සමීපව තිබුණා වේහලිංග නමින් නියම්ගමක්. මේ නියම්ගම ඉතාමත් සමෘද්ධිමත්ව දියුණුව තිබුණා. බොහෝම ජනාකීර්ණයි. ආනන්දය, එකල කාශ්‍යප අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔය වේහලිංගය ඇසුරු කරගෙන වැඩ වාසය කළා. ඒ සම්බුදුරජාණන් වහන්සේ උදෙසා කරවූ විහාරය පිහිටා තිබුණේ මෙන්න මේ ස්ථානයේ ම යි.”

ඒ මොහොතේ ම අපගේ ආනන්ද ස්ථවිරයන් වහන්සේ දෙපට සිවුර සිව්ගුණ කොට අතුරා එම ස්ථානයේ ආසනයක් පනවා “ස්වාමීනී, එසේ වී නම් භාග්‍යවතුන් වහන්සේ මෙහි වැඩහිඳිනා සේක්වා! එවිට මේ භූමිය සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දෙනමක් විසින් පරිභෝග කළා වෙනවා.” යනුවෙන් බුදුරජාණන් වහන්සේට ආරාධනා කොට වදාළා. අප මහා කාරුණික බුදුරජාණන් වහන්සේ එම අසුනේ වැඩ හිඳිමින් කාලයා විසින් ඉතා දීර්ඝ අතීතයකට ගෙන යන ලද, මනුලොව කිසිවෙකුත් නොදැන සිටි පුවතක් එහිදී දේශනා කොට වදාළා.

මීට බුද්ධාන්තරයකට පෙර…

එය මීට බුද්ධාන්තරයකට පෙරයි සිදුවූයේ. එකල සැදැහැවතුන් ‘බුද්ධං සරණං ගච්ඡාමි’ කියා සරණ ගියේ නවඅරහාදී ගුණයෙන් හෙබි, කාශ්‍යප නම් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේව යි. කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සසුනේත් තිස්ස, භාරද්වාජ යන අගසව් රහතන් වහන්සේලා ප්‍රමුඛ අර්හත් ශ්‍රාවක ශ්‍රාවිකාවන් වැඩ සිටියා. අනිකුත් මාර්ගඵල ලාභී උතුමන් වැඩ සිටියා. තිසරණය කෙරෙහි සිත් පහදවා ගැනීමේ වාසනාව ලැබුණු කෝටි සංඛ්‍යාත පිරිසකුත් වාසය කළා.

ඔය අතරේ තමන් වයසට යමින්, ලෙඩ වෙමින් අසරණ වෙද්දීත්, කොයිතරම් දුක්පීඩා පැමිණෙද්දීත්, කොයිතරම් අසරණ වෙද්දීත් ඒ සම්බුදු සසුනේ පහළ වූ අසිරිමත් සරණ, තිසරණය හඳුනාගන්න බැරි වෙච්චි ඈයොත් ඕනෑතරම් ඉන්නට ඇති. ඒත් අපි මේ කථා කරන්නේ තිසරණය හඳුනාගැනීමේ වාසනාවවත් නැති ඈයෝ ගැන නම් නොවේ. ඒ අය සම්බුදු සසුනට අදාළ අය නොවෙයිනේ. මේ කථාව උපාසකයෙක් ගැනයි. ඔහු උපාසක රත්නයක්. උපාසක පියුමක්. උපාසක සුදු නෙළුමක්. හේ කවරෙක් ද?

ඔහු කුඹල්කරුවෙක්

වේහලිංගයේ හැමෝම වාගේ දැනගෙන හිටියේ ඔහු කුඹල්කරුවෙක් කියලයි. නමින් ඔහු ඝටීකාර. බාහිරින් කුඹල්කරුවෙක් වුණාට ඔහු බුදුරජුන් සරණ ගිය, ධර්මය සරණ ගිය, ශ්‍රාවක සඟරුවන සරණ ගිය උපාසකයෙක්. ඔහුට තිබුණා මේ තිසරණය ගැන කිසිවෙකුටවත් වෙනස් කළ නොහැකි ප්‍රසාදයක්. ඒ වගේම යළි කිසිදාක නොකැඩෙන විදියේ ආර්යයන් ප්‍රශංසා කරන ආකාරයේ සීලයකින් සංවර වෙලයි ඔහු වාසය කළේ.

ඝටීකාර සීලයට අතිශයින් ම ගෞරව කළා. පංචසීලයට අමතරව ඔහු විකාල භෝජනයෙනුත් වෙන් වී වාසය කළා. ඔහු බ්‍රහ්මචාරී කෙනෙක්. රන් රිදී මසු කහවණු පරිහරණ කළේ නැහැ. මුදලින් කරන ගණුදෙනු ඔහු සිදු කළේ නැහැ. ඔහු කුඹල්කරුවෙක් වුණත් පොළොව කැණීම පිණිස උදලු යොදාගෙන කටයුතු කළේ නැහැ. ඉවුරුවලින් කඩාගෙන වැටුණු පස්, සතුන් විසින් හාරලා ගොඩ කරන ලද පස් ගෙනැවිත් ඔහු වළං ආදී මැටි බඳුන් සකස් කරනවා.

ඒ මැටි බඳුන් තමන්ගේ කූඹල්ශාලාවේ තියලා මෙහෙම කියනවා. ‘යම් කෙනෙක් කැමති නම්, සහල් මුං ආදී දේ මෙහි තබා ඒ ප්‍රමාණයට සරිලන මැටි භාජන මෙයින් රැගෙන යනු මැනවි.’ මේ විදියට ලැබෙන දෙයකින් ඝටීකාර කුඹල්කරුවා තමන්ගේ නෙත් අඳ මව්පියන්වත් පෝෂණය කළා.

බුදු සසුනේ මෙබඳු ශ්‍රාවකයින් වාසය කළා…

අහෝ! මෙබඳු අසිරිමත් උපාසකයින්, සීලවන්තයින්, ගුණවන්තයින්, ධර්ම ගෞරවයෙන් යුතු ශ්‍රාවකයින්, ධර්මයට දිවිපුදා ධර්මයේ ඇති අයුරින්ම හැසිරීමට මහන්සි ගන්නා ධර්මකාමීන් සිටියදී නොවේ ද, සත්ගුණ දශමයක්වත් නැති මුග්ධයින් තිසරණයට, සීලයට, ධර්ම මාර්ගයට, ධර්ම දේශනාවට, ධර්මයට අනුව හැසිරීමට ගර්හා කරන්නේ. එය මෙබඳු උතුමන් හට කරන නින්දාවක් නොවේ ද?

වයෝවෘද්ධව පණ අදින මව්පියන් දුක්විඳිනවාට වඩා, මරණයට පත් කිරීම හොඳදැයි ප්‍රශ්න අසන නීච පිරිසක් සිටින වර්තමානයට මේ ඝටීකාර නම් උතුම් උපාසකයා කොයි තරම් ආදර්ශයක් ද? තමන්ගේ මව්පියන් හට සළකමින්, සීලයත් ආරක්ෂා කර ගනිමින්, තිසරණයත් කෙළෙසා ගන්නේ නැතිව ඝටීකාර චතුරාර්ය සත්‍ය ධර්මය කෙරෙහි සැක සංකා රහිත භාවයට පත්වයි වාසය කළේ. ඔහු ඕරම්භාගීය සංයෝජනයන් දුරු කළ අනාගාමී ශ්‍රාවකයෙක්.

සම්බුදු සසුනේ ධනවතෙක්ය ඔහු…

මේ කිසිවක් ඝටීකාර දෙසූ බැලූ කෙනෙකුට තේරුම් ගන්න බැහැ. බාහිරින් ඔහු කුලයෙනුත් හීන, ධනයෙනුත් හීන, රැකියාවෙනුත් උසස් නැති, තනිකඩ ජීවිතයක් ගත කරන කෙනෙක්. එහෙත් සම්බුදු සසුන තුළ මහා ධනවතෙක්. ඔව්! සම්මා සම්බුද්ධ රාජයන් වහන්සේගේ විශ්වාසවන්ත ම ශ්‍රාවකයෙක් වීමට තරම්ම ධනවතෙක්.

වරක් කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි බරණැස අගරජ වූ කිකී රජු බුදුරජාණන් වහන්සේට වස්සාවාසය පිණිස ඇරයුම් කළා. බුදුරජාණන් වහන්සේ ඒ ඇරයුම ප්‍රතික්ෂේප කොට වදාළේ වේහලිංගයේ ඝටීකාර උපාසකගේ වස් ආරාධනාවට අනුග්‍රහ කරමින්. ඒ මොහොතේ ඇති වූ සංවාදයේදී කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කිකී රජු හට ඝටීකාරයන්ගේ අසිරිය දේශනා කොට වදාළා.

මේ තරම් විශ්වාසයක්…

වේහලිංග නියම්ගම ඇසුරු කරගෙන වාසය කරන එක්තරා කාලයක කාශ්‍යප සම්මා සම්බුදු රජාණන් වහන්සේ පිණ්ඩපාතය පිණිස ඝටීකාරගේ නිවසට වැඩම කොට වදාළා. ඒ මොහොතේ ඝටීකරයන් නිවසේ සිටියේ නැහැ. දෑස් අන්ධ මව්පියන් දෙදෙනාගෙන් බුදුරජාණන් වහන්සේ “දැන් මේ ඝටීකාරයන් කොහි ගිහින් ද?” කියා විමසා වදාළා.

“ස්වාමීනී, ඔබ වහන්සේගේ උපස්ථායකයා බැහැරකට ගොහිං. ඒත් ස්වාමීනී, අසවල් අසවල් තැන්වල සකස් කරන ලද බතුත්, වෑංජනත් තිබෙනවා. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ඒ දන්පැන් රැගෙන වළඳන සේක්වා!”

කාශ්‍යප බුදුරජාණන් වහන්සේ නිවසේ කුස්සියට වැඩම කොට, එහි වූ භාජනවල වසුන් හැර, බතුත් වෑංජනත් තමන් වහන්සේ විසින් රැගෙන, එහිම වැඩහිඳ දානය වළදා යළි විහාරයට වැඩම කොට වදාළා. ඝටීකාරයන් පැමිණුනේ තරමක් දවල් වෙලා. නිවසට පැමිණි ඔහු මව්පියන් හට ආහාර ලබා දීමට බඳුන්වල වසුන් හරිනා විට එහි වූ ආහාරයන්ගෙන් කොටසක් අරගෙන තිබෙන බව තේරුණා. “මේ බඳුන්වල ආහාර කවරෙක් විසින් ගෙන ගියා ද?” යි ඔහු තම මව්පියන්ගෙන් විමසා සිටියා.

“පුතේ, කාශ්‍යප අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසිනුයි මෙහි වැඩම කොට බඳුන්වලින් ම දානය රැගෙන, මෙහිදී ම වළඳා වැඩම කොට වදාළේ.” එය ඇසෙත්ම ඝටීකාරගේ සිත ප්‍රීතියෙන් පිණා ගියා. ‘සැබැවින් ම මට ලාභයක් ම යි! සැබැවින් ම මට මනා වූ ලැබීමක් ම යි! යමෙකු කෙරෙහි භාග්‍යවත් අරහත් කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙසේ විශ්වාසවන්ත වන සේක් නම් ඒ මා කෙරෙහි ම යි’ කියලා සතුටු වුණා. මෙබන්දක් ඇසෙද්දී ත් අප හට කොයිතරම් සතුටක් ප්‍රීතියක් උපදිනවා ද? ඇත්තෙන් ම ඒ ඝටීකාර කුඹල්කරුවා අඩමසක් ම ඒ ප්‍රීති සුඛය අත් නො හැර සිටියා. ඔහුගේ මාපියන් සතියක් ම ඒ ප්‍රීති සුඛය අත් නො හැර සිටියා.

ශ්‍රාවක ගුණය නිසා සිදු වූ අසිරිය…

මෙබඳු ශ්‍රාවකයන් නිසා බුද්ධ ශාසනවල අසිරිමත් දේ සිදුවුණා. ඒ අසිරිය ශ්‍රද්ධාවක් නැති හිතකට නම් හුදෙක් කථාවක් විතරයි. එසේත් නැතිනම් ඔවුන් හට ඒවා පසුකාලීනව අතිශයෝක්තියෙන් එකතු කරන ලද දේවල්. ඒත් හැබෑවටම සැදැහැවත් ශ්‍රාවක චරිතයක අසිරිය බලන්න.

වේහලිංග නියම්ගමේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන එක් කාලයක වර්ෂාව නිසාවෙන් ගන්ධ කුටිය තෙමෙනවා. එවිට බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා මෙසේ පවසා වදාළා. ‘මහණෙනි, ඝටීකාර කුඹල්කරුවාගේ නිවසින් හෙවිල්ලන තෘණ ගෙනෙන්න.’ ඒ භික්ෂූන් වහන්සේලා වැඩම කොට ඝටීකාරගේ නිවසේ ඇති කුඹල්ශාලවේ අළුතින්ම සෙවිලි කළ තෘණ ඉවත් කරන්න පටන් ගත්තා. ඒ වෙලාවේත් ඝටීකාර නිවසේ නැහැ. මව්පියන්ට මේ හඬ ඇහිලා විමසුවා “ඔය කවුද?” කියලා. ඒ ස්වාමීන් වහන්සේලා බව දැන ගත්තාට පස්සේ ඒ මව්පියෝ හරීම සතුටින් “අනේ, ස්වාමීනී, ඇතිතාක් ගෙන යනු මැනවි.” කියා පැවසුවා.

එදා ඝටීකාර නිවසට පැමිණෙද්දී තමන්ගේ නිවසේ වළං නොතෙමෙන පරිදි තබන ශාලාවේ අළුතින්ම අතුරන ලද තෘණ සියල්ල ඉවත් කරලා. ඔහු මව්පියන්ගෙන් විමසුවා ‘ශිල්ප ශාලාවෙහි තෘණ ඉවත් කළේ කවුද?’ කියලා.
‘පුතේ, භික්ෂූන් වහන්සේලා යි. කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජුන්ගේ ගන්ධ කුටිය තෙමෙනවලු නෙව.’

එය ඇසෙත්ම ඝටීකාරයන්ගේ සිත පිනා ගියා. මහත් වූ සතුටක් දැණුනා. ‘සැබැවින් ම මට ලාභයක් ම යි! සැබැවින් ම මට මනා වූ ලැබීමක් ම යි! යමෙකු කෙරෙහි කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙසේ විශ්වාසවන්ත වන සේක් නම් ඒ මා කෙරෙහි ම යි’ කියල. පෙර පරිදිම ඒ ප්‍රීතිය ඝටීකාරයන් හට අඩමාසයකුත්, මවව්පියන්ට සතියකුත් නොපිරිහී ම තිබුණා.

ආශ්චර්යයි! අද්භූතයි! ඒ වස්සානයේ තුන් මාසය මුළුල්ලේ ම සෙවිල්ලක් නැති ඒ ශිල්ප ශාලාව වළාකුලින් ආවරණය වුනා. ඒ ප්‍රදේශයට ම වහිනවා. ඒත් ඝටීකාරගේ කුඹල් ශාලාව වැස්සෙන් නො තෙමී තිබුණා.

ජෝතිපාලගේ මිත්‍රයාය ඔහු…

මේ ඝටීකාර නම් සොඳුරු ගුණ ඇති උපාසකයා තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයන් අතරේ අග්‍ර උපස්ථායකයා බවට පත් වුණේ. එපමණක් නොවේ. සසර ගමනේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවට පෙරුම් පුරමින් පැමිණි අපගේ සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේ කාශ්‍යප බුදුසසුන පවතින කාලයේ ඉපදී සිටියේ වංශවත් බ්‍රාහ්මණ පවුලක ජෝතිපාල නමින්. ඒ අපගේ බෝසතාණන් වහන්සේට ඒ ජීවිතයේ හමු වූ උතුම් කල්‍යාණ මිත්‍රයා වුණෙත් මේ ඝටීකාර ම යි.

වංශය නිසා මාන්නයෙන් යුතුව කාශ්‍යප බුදුරජාණන් වහන්සේව හමුවීමටවත් නොගිය ජෝතිපාල තරුණයාව කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සමීපයට කැඳවාගෙන ගොස් ඒ සම්බුදු සසුනේ පැවිදි උපසම්පදාව ලබා දෙන්නටත් ඝටීකාර උපාසකයන් හට හැකි වුණා.

ඝටීකාර ඒ ජීවිතයේ මියගොස් අනාගාමී උතුමන් උපදින සුද්ධාවාසයේ බ්‍රහ්මරාජයෙකු ලෙස උපත ලැබුවා. එහි සිටිමින් තමන් හට දුරු කරගන්නට නොහැකි වූ සංයෝජනයන් දුරු කර දමා නිකෙලෙස් වීම පිණිස ධර්මයේ හැසිරෙමින් සිටියදී, දෙව්මිනිස් ලෝකය සුවපත් කරවන සම්බුදු උපතක අසිරිය තුන්ලොවේ ම පතළ වුණා. ‘හා! කවරෙක් ද මේ සම්බුදු වන උත්තම පුරුෂ රත්නය? ඕ හෝ! මේ මාගේ අතිජාත මිත්‍රව සිටි ජෝතිපාලයන් නොවේ ද?’

විසිනව හැවිරිදි වියේදී ගෘහ බන්ධන සිඳලූ අප සිද්ධාර්ථ මහබෝසතාණන් වහන්සේට, තම අතිජාත මිත්‍රයා හට පැවිද්ද පිණිස සිවුරු පිරිකර රැගෙන ඇසළ සඳ නැඟුණු රාත්‍රියේ ඝටීකාර මහබඹු අහස් ගැබේ පෙනී සිටියා. එදා අප සිද්ධාර්ථ මහා බෝසතාණන් වහන්සේ අත්හළ ගිහි වස්ත්‍ර බඹලොවට රැගෙන ගිය ඝටීකාර මහබඹු විසින් ඒ වස්ත්‍ර තැන්පත් කොට ‘සළුමිණි මහා සෑය’ කරවනු ලැබුවා.

යළිත් ලැබුණි ඒ සුන්දර තිසරණය…

තමා ශ්‍රමණ පිරිකර පූජා කොට මනුලොව වර්ෂවලින් සය වසරක් ගත වෙද්දී, තම මිත්‍රයා අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බවට පත්වෙනු දැක ඝටීකාර බඹරජු කෙතරම් ප්‍රීති සුඛයකට පත් වන්නට ඇති ද? කාශ්‍යප බුදුසසුනේ පරිහානියෙන් මිනිසුන්ට අහිමි වී ගිය, අරහං සම්මා සම්බුද්ධාදී ගුණ ඇති බුද්ධ රත්නය යළි ලොවට පහළ වුණා. ස්වාක්ඛාත සන්දිට්ඨිකාදී ගුණ ඇති කෙලෙස් පරිදාහයන් නසාලන ධර්ම රත්නය යළි ලොවට පහළ වුණා. සුපටිපන්න උජුපටිපන්න ගුණ දරණා පිළිවෙතට ගරු ගෞරව ඇති, දිවි පුදා දහමේ හැසිරෙන, ශීල ගුණෝපිත මහා සඟරුවන යළි ලොවට පහළ වුණා.

තෙරුවනේ අගය දන්නා, තෙරුවනේ පිහිටෙන් සැපයට පත් වූ, ඒ ඝටීකාර මහාබඹරජුන් අදටත් මේ ගෞතම සසුනේ මහාර්ඝ තිසරණය සුරැකීමට දායක වෙනවා. ඔබ මේ ඝටීකාර නම් ශ්‍රාවක රත්නයේ චරිතාපදානය මෙතෙක් කියවීමෙන්, සිත පැහැදීමෙන් හටගත් යම් පිනක් වේද, එය ඝටීකාර බ්‍රහ්මරාජ තෙමේ අනුමෝදන් වේවා! මේ පින් අනුමෝදන්ව සම්බුදු සසුන චිරාත් කාලයක් සුරකීවා!

ඝටීකාරෝ බ්‍රහ්මරාජා – ඉමං පුඤ්ඤානුමෝදතු
පුඤ්ඤං තං අනුමෝදිත්වා – චිරං රක්ඛතු බුද්ධ සාසනං

– මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි