ආයෙමත් පාරක් එක ම දේ සිද්ධ වුණා…

කලින් විදිහට ම යි… දෙමාපියන්, දූ දරුවන්, ඤාති හිතමිත්‍ර සනුහරය මහා විපතක ගොදුරු බවට පත් වද්දී හදවත දවාලමින් උපන්න මහා දුක්ඛ පීඩාවන් කඳුළු බවට පත් වෙලා ඇස්වලින් එළියට ගැලුවා. සුසුම් බවට පත් වෙලා නාස් පුඩුවලින් පිට වුණා. ජීවිත කාලයක් ඉපැයූ වත්කම් සැඩ දිය කඳින් වැසී යද්දී සිත් කම්පා වුණේ යම් ආකාරයකින් ද එයට වඩා සියදහස් ගුණයකින් ප්‍රබල වූ දුක් පීඩා ඇති වුණේ සමීපතමයන්ගේ දුක්ඛ පීඩාවන් සහ අහිමි වීම හමුවේ. ලේ මස් නහර ඇට ඇටමිදුලු දක්වා කා වදින ඒ දුක්ඛ පීඩාවන් ජීවිතය පවත්නා තුරු වරින් වර අප ව යටපත් කරාවි…

මෙසේ මව්පියන්ට දරුවනුත්, දරුවන්ට මව්පියනුත් අහිමි වීම පිළිබඳ ව ඇති වන භය හඳුන්වන්නේ ‘අමාතාපුත්තික භය’ කියලයි. අමාතාපුත්තික යැයි කියා භය තුනක් පෘථග්ජන ලෝකය විසින් හඳුනාගනු ලබන බව සම්බුදුරජාණන් වහන්සේ වදාරණවා.

“පින්වත් මහණෙනි, මව්පියන්ට දරුවනුත්, දරුවන්ට දෙමව්පියන්වත් අහිමි වීමේ භය නම් වූ මේ අමාතාපුත්තික භය තුනක් අශ්‍රැතවත් පෘතග්ජනයාට තියෙනවා. ඒ කවර තුනක් ද?
පින්වත් මහණෙනි, යම් කලෙක මහා ගින්නක් හටගන්නවා නම්, එබඳු කාලයක් තිබෙනවා තමයි. පින්වත් මහණෙනි, මහා ගින්නක් හටගත් කල්හි එයින් ගම් ගිනිගන්නවා. නියම්ගම් ද ගිනිගන්නවා. නගරත් ගිනිගන්නවා. ගම් ගිනිගනිද්දී, නියම්ගම් ගිනිගනිද්දී, නගර ගිනි ගනිද්දී එහි මවට දරුවා නො ලැබී යනවා. දරුවටත් මව නො ලැබී යනවා. පින්වත් මහණෙනි, මෙය පළමුවෙනි අමාතාපුත්තික භය කියලයි අශ්‍රැතවත් පෘථග්ජනයා කියන්නේ.”

මේ බිය ලෝකයේ තිබෙන බව අප අසා දැක තිබෙනවා. මහා ගිනි ජාලාවන්ගෙන් කර්මාන්ත ශාලා, ගොඩනැගිලි දැවී යද්දී දරුවන් වෙනුවෙන්, මව්පියන් වෙනුවෙන් එකිනෙකා හඬා වැළපෙන අයුරු අප දැක නැත්තේ නෙවෙයි…

“පින්වත් මහණෙනි, තවදුරටත් කියනවා නම්, යම් කලෙක මහා වැසි හටගන්නවා නම්, එබඳු කාලයක් තිබෙනවා තමයි. පින්වත් මහණෙනි, මහා වැසි හටගත් කල්හි මහා ගංවතුර හටගන්නවා. මහා ගංවතුරක් පැතිරී යන විට ගම් ගසාගෙන යනවා. නියම්ගම් ද ගසාගෙන යනවා. නගරත් ගසාගෙන යනවා. ගම් ගසාගෙන යද්දී, නියම්ගම් ගසාගෙන යද්දී, නගර ගසාගෙන යද්දී එහි මවට දරුවා නො ලැබී යනවා. දරුවටත් මව නො ලැබී යනවා. පින්වත් මහණෙනි, මෙය දෙවෙනි අමාතාපුත්තික භය කියලයි අශ්‍රැතවත් පෘථග්ජනයා කියන්නේ.”

එවන් බිය ලෝකයේ ඇතිවන බව තමයි ඇදහැළුණු මහා වර්ෂාවන් හමුවේ සිය ගණන් ජීවිත අහිමි වී ගිය ඛේදවාචකය තුළ අප අත්දුටුවේ…

සම්බුදුරජාණන් වහන්සේ අශ්‍රැතවත් පෘථග්ජන ලෝකයේ ව්‍යවහාර වන තුන්වන අමාතාපුත්තික බිය පිළිබඳ ව මෙසේ වදාරණවා.

“පින්වත් මහණෙනි, තවදුරටත් කියනවා නම්, යම් කලෙක සොරසතුරු උවදුරක් ඇතිවෙනවා නම්, ජනපද වැසියන් බියෙන් තැතිගෙන කරත්තවල නැගී හිස් ලූ ලූ අත පලායනවා නම්, එබඳු කාලයක් තිබෙනවා තමයි. පින්වත් මහණෙනි, සොරසතුරු උවදුරක් ඇතිවෙද්දී, ජනපද වැසියන් බියෙන් තැතිගෙන කරත්තවල නැගී හිස් ලූ ලූ අත පලායද්දී, එහි මවට දරුවා නො ලැබී යනවා. දරුවටත් මව නො ලැබී යනවා. පින්වත් මහණෙනි, මෙය තුන්වෙනි අමාතාපුත්තික භය කියලයි අශ්‍රැතවත් පෘථග්ජනයා කියන්නේ.”

කුරිරු ත්‍රස්තවාදී බලපෑමෙන් අප රට පීඩාවට පත් කාලයේ මේ බිය අප අත්දුටුවා. පාතාල ක්‍රියාකාරකම්, සමාජයීය අරගල ආදිය ඔඩු දුවද්දී කවර මොහොතක ඒ දේවල ගොදුරු බවට පත් වෙලා දෙමාපියන් අහිමි වේ ද යන බය දරුවන්ටත්, එයින් දරුවන් අහිමි වේ ද යන බය දෙමාපියන්ටත් ඇති වන්නේ නැති ද? ඇති වනවා ම යි.

මේ අවස්ථාවන් තුනේ දී ම මව්පියනට දරුවන් අහිමි වීමේත්, දරුවනට මව්පියන් අහිමි වීමේත් බිය ඇති වනවා. එහෙත් ඒ බිය ‘අමාතාපුත්තික බිය’ කියා හැඳින්විය නො හැකි බවයි සම්බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. මක් නිසා ද යත්, එම විපත්වලදී මවට දරුවා මුණගැසෙනවා නම්, දරුවාට ද මව මුණගැසෙනවා නම් එබඳු අවස්ථා ඕනෑතරම් තිබෙනවා.
“පින්වත් මහණෙනි, මව් සහිත ව ම, දරුවන් සහිත ව ම ඇතිවන සමාතාපුත්තික භය වන ඒ තුන් බියටයි අශ්‍රැතවත් පෘථග්ජනයා අමාතාපුත්තික භය කියල කියන්නේ.”

මව්පියන්, දරුවන් සිටිය දී ම යි ඒ බිය ඇති වන්නේ. ඔවුන් සහිත ව ම ඇතිවන නිසා ඒ බිය ‘සමාතාපුත්තික බිය’ කියලයි හැඳින්විය යුත්තේ. ඒ වගේ ම, සැබැවින් ම මව්පියන්ට දරුවනුත්, දරුවන්ට මව්පියනුත් අහිමි වීමේ දී උපදින අමාතාපුත්තික බිය තුනක් තිබෙන බව ලොව විනිවිද දුටු මහා ප්‍රඥා ඇති සම්බුදුරජාණන් වහන්සේ වදාරණවා.

“පින්වත් මහණෙනි, මව්පියන්ට දරුවනුත්, දරුවන්ට මව්පියනුත් අහිමි වීමේ භය නම් වූ මේ අමාතාපුත්තික භය තුනක් තියෙනවා. ඒ කවර භය තුනක් ද? ජරා භය, රෝග භය හා මරණ භය යි.”

මේ තුන් බියට මව්පියන් මුහුණ පාද්දී ම යි, දරුවන් මුහුණ පාද්දී ම යි, ඒ තුළින් එකිනෙකා අහිමි වෙමින් යද්දී ම යි, එය වැළැක්විය ද නො හැකි ව තිබෙද්දී ම යි ‘අහිමි වීමේ බිය’ සිත් තුළ උපදින්නේ. ඒ බිය උපදින ආකාරය සම්බුරජාණන් වහන්සේ මෙසේ හෙළිදරව් කොට වදාරණවා.

“පින්වත් මහණෙනි, ජරාවට පත්වෙමින් සිටින දරුවා දකින මවට ‘මම පමණක් දිරම්වා! මගේ දරුවා නම් දිරන්නට එපා!’ යන මෙය ලබන්නට බෑ. පින්වත් මහණෙනි, ජරාවට පත්වෙමින් සිටින මව දකින දරුවාට ‘මම පමණක් දිරම්වා! මගේ මව නම් දිරන්න එපා!’ යන මෙය ලබන්න බෑ.

පින්වත් මහණෙනි, රෝගී වෙමින් සිටින දරුවා දකින මවට ‘මම පමණක් රෝගී වෙම්වා! මගේ දරුවා නම් රෝගී වෙන්න එපා!’ යන මෙය ලබන්නට බෑ. පින්වත් මහණෙනි, රෝගී වෙමින් සිටින මව දකින දරුවාට ‘මම පමණක් රෝගී වෙම්වා! මගේ මව නම් රෝගී වෙන්න එපා!’ යන මෙය ලබන්න බෑ.

පින්වත් මහණෙනි, මරණයට පත්වෙමින් සිටින දරුවා දකින මවට ‘මම පමණක් මරණයට පත්වෙම්වා! මගේ දරුවා නම් මරණයට පත්වෙන්න එපා!’ යන මෙය ලබන්නට බෑ.

පින්වත් මහණෙනි, මරණයට පත්වෙමින් සිටින මව දකින දරුවාට ‘මම පමණක් මරණයට පත්වෙම්වා! මගේ මව නම් මරණයට පත්වෙන්න එපා!’ යන මෙය ලබන්න බෑ.”

බලන්න… සැබැවින් ම, සැක රහිත ව ම අහිමි වීම දක්නට තිබෙන්නේ මේ ජරා, ව්‍යාධි සහ මරණ තුළ නෙවෙයි ද? ජරාවට පත් වීම විසින් අපට නියත ව ම එකිනෙකා අහිමි කරවනවා. ව්‍යාධීන් නිසා වගේ ම මරණය නිසා සැක රහිත ව ම අපට එකිනෙකා අහිමි වනවා. එසේ නම්, අහිමි වීම නිසැක වූ ‘අමාතාපුත්තික බිය’ තුන තමයි ජරා, ව්‍යාධී, මරණ කියන්නේ…

මා පිය දූ දරු සබඳතා පදනම් කොටගෙන ඇති වන්නා වූ මේ සියලු බිය අපට හඳුන්වා දෙන මහා කාරුණිකයාණන් වහන්සේ ඒ සියලු බිය දුරලන මාර්ගයක්, ප්‍රතිපදාවක් ඇති බවත් පෙන්වා දෙනවා.

“පින්වත් මහණෙනි, මව සහිත ව ම, දරුවන් සහිත ව ම උපදින සමාතාපුත්තික භය තුනත්, මවට දරුවා නොලැබීමෙන්, දරුවාට මව නොලැබීමෙන් උපදින අමාතාපුත්තික භය තුනත් ප්‍රහාණය වීම පිණිස, ඉක්මවා යෑම පිණිස පවතින්නා වූ මාර්ගයක් තියෙනවා. ප්‍රතිපදාවක් තියෙනවා. පින්වත් මහණෙනි, සමාතාපුත්තික තුන් බිය ද අමාතාපුත්තික තුන් බිය ද ප්‍රහාණය වීම පිණිස පවතින, ඉක්මවා යෑම පිණිස පවතින ඒ මාර්ගය කුමක් ද? ඒ ප්‍රතිපදාව කුමක් ද?”

සම්බුදුරජාණන් වහන්සේ මෙහි දී වදහළ ඒ සියලු බිය දුරු කරලන මාර්ගය, ප්‍රතිපදාව ලොවට පළමු වරට අසන්නට ලැබුණේ අද වැනි ඇසළ පුර පොහොය දවසක, බරණැස ඉසිපතන මිගදායේ දී. දස දහසක් සක්වළ කම්පා කරවමින්, තදින් ම කම්පා කරවමින්, බලවත් ව කම්පා කරවමින් ලොවට නැගි සෑසි මුනි සිහනද යි මේ…

“ඉදං දුක්ඛනිරෝධගාමිනිපටිපදාය අරියසච්චන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි.”
“පින්වත් මහණෙනි, මෙය වනාහි දුක නැති වීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය යි කියා මා හට පෙර නොඇසූ විරූ ධර්මයන්හි දහම් ඇස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.

(දම්සක් පැවතුම් සූත්‍රය)

සියලු දුක් බිය නසාලන ඒ ඒකායන ප්‍රතිපදාව ලොවට හෙළි කරන්නේ සම්බුදුරජාණන් වහන්සේලා ම යි.

“ඉදං ඛෝ පන භික්ඛවේ, දුක්ඛනිරෝධගාමිනිපටිපදා අරියසච්චං. අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. සෙය්‍යථීදං; සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි.”

“පින්වත් මහණෙනි, මෙය වනාහි දුක නැති වීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය යි. ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම ය. එනම්, සම්මා දිට්ඨිය ද සම්මා සංකල්පය ද සම්මා වාචා ද සම්මා කම්මන්තය ද සම්මා ආජීවය ද සම්මා සතිය ද සම්මා සමාධිය ද යන මෙය යි.”

(දම්සක් පැවතුම් සූත්‍රය)

අනන්ත සසරේ මව්පියන් දූ දරුවන් සහිත ව ම ගින්නෙන් ද ජලයෙන් ද කලකෝලාහලයෙන් ද හට ගත් සමාතාපුත්තික තුන් බිය නිසාත්, මව්පියන් දූ දරුවන් අහිමි කරවමින් ජරාවෙන් ද ව්‍යාධියෙන් ද මරණයෙන් ද හට ගත් අමාතාපුත්තික තුන් බිය නිසාත් අපේ නෙත්වලින් වැගිරුණු කඳුළු කොතරම් වන්නට ඇති ද? මේ, කඳුළු වියළා අප සුවපත් කරලන දම් අමා ඔසු ලොවට දායාද වූ පින්බර ඇසළ මාසය යි. බොහෝ මං මාවත්වල නොයෙක් ජීවිත ලබා ඇවිද ගිය අපට මෙතෙක් යා නො හැකි වූ එක ම මාවත වූ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ගමන් කිරීම පිණිස අදිටන් කර ගැනීමට මේ සුදුසු ම කාලය යි. නිවනට, සන්සිඳීමට යොමු වූ ඒ සුපින්බර මාවත අපගේ ද උරුමය වේවා!

සටහන – උදුලා පද්මාවතී