අදින් වසර ගණනකට එපිට පෙර අතීතයෙහි සුපින්බර වෙසක් පෝ දිනයක දී මිනිස් ලොව පහළ වූ අත්‍යුත්තම මනුෂ්‍ය රත්නය විසින් සකල විශ්වය අතැඹුලක් සේ සාක්ෂාත් කරනු ලැබූ මොහොතෙහි පටන් සම්මා සම්බුද්ධ නම් ලද සේක. ශ්‍රී සද්ධර්මය දෙසා තුන්ලොවට සසර දිනන මඟ පෙන්වූ ඒ සම්මා සම්බුදුරජාණන් හට මාගේ නමස්කාරය වේවා…!
පළමු කොට, දැන් මා පින්වත් ඔබගෙන් පැනයක් අසන්නට සූදානම් ය. ඒ නම්, මෙලොව ඔබ වැඩි වශයෙන් ම ආදරය කරන්නේ කාට ද? ඊට පිළිවදන් දීම අසීරු බවක් සමහර විටෙක ඔබට දැනෙනු ඇත. අප වටා ඇති ප්‍රිය වස්තූන්ගේ ප්‍රබල බලපෑම එකිනෙකට නොදෙවෙනි වීම ඊට හේතුවයි. උපතට පෙර පටන් ම අප වෙත රැස්වන ප්‍රිය දෙයින් ප්‍රබලතම කුලකය වනුයේ බැඳීම් නොහොත් බන්ධනයන් ය. මව, පියා දෙදෙනා ද දෙපස ඥාතීන් ද යන පිරිස අප වෙනුවෙන් ඒ වන විටත් බැඳී අවසාන ය. මූලාරම්භය එසේ අරඹා, ජීවිතයේ එක් එක් කඩඉම් හරහා මිතුරු පිරිස්, නව ඥාතීන්, ගුරුවරු වැඩිහිටි පිරිස්, පෙම්වතුන් පෙම්වතියන් ද තවත් දීර්ඝ ව සිතා බලන්නේ නම් දරුවන්, මුණුබුරු මිනිපිරියන්…. යනාදී වශයෙන් පුරුක් කිහිපයක් ම බැඳීම් හුයට එක් කළ හැකි ය. ඒ සියල්ල ම අතුරින් ඔබ වඩාත් ම මෙලොව ප්‍රිය කරන්නේ කා හට ද? ආදරය කරන්නේ කා හට ද? කුඩා කල දී නම් ඊට පිළිතුර මව, පියා හෝ ළබැඳි වැඩිහිටියෙකි, සහෝදරියක හෝ සහෝදරයෙකි. පසුව මිතුරියක් හෝ මිතුරියක්, විශේෂ ආදරණීයයෙක්, පරමාදර්ශී චරිතයක්, සමහර විටෙක සුරතල් සතෙක් යන එක් එක් අයෙක් වෙනුවෙන් ‘වඩාත් ම ළෙංගතු ආදරය’ ඇතිවිය හැකි ය. එහෙත් ඒ සෑම නාමයක් ම අභිබවා දිය හැකි අවංක පිළිතුර වනුයේ ‘මම’ යන පුද්ගල නාමය ය. ඒ ‘මම’ යන චරිතයට වඩාත් ම සතුට දනවන, රැකවරණය දෙන බාහිර චරිතයන්ට ‘මගේ’ ආදරය වැඩි ය. හොඳින් සිතා බලන්න. පෘථග්ජන සිතෙහි ස්වභාවය නම් එයයි. ප්‍රියතාවය එසේයි.

මෙකී ‘මම’ යන දෘෂ්ටියෙහි තවත් කෙනෙකුට පෙන්වාදිය හැකි, දැක ස්පර්ශ කළ හැකි, මසැසට පෙනෙන සාධකය වනාහි ‘ශරීරය’ යි. එම භෞතික ශරීරයට සුනිල්, කාන්ති, සිරිසෝම වැනි නාමයක් උපතේ දී ම දෙනු ලබන අතර ඒ ජීවිතයෙහි මරණය දක්වා ඒ ලද නාමයෙන් බාහිර සමාජය ඒ අය ව හඳුනාගනී. මෙසේ විවිධ නාමයෙන් හඳුන්වන්නා වූ ද, පුදුම සහගත යාන්ත්‍රණයකින් යුක්ත වූ ද ‘ශරීරය’ යනු ‘මමායනය’ යන උපායශීලී මැජික්කරුවාගේ සූක්ෂම විචිත්‍ර මවාපෑමකි. එහි ඇති මායාවී ස්වරූපය නිසා ම එයට අදාළ යථා තත්ත්වය දැකීම කිසිසේත් ම පහසු නැත. නමුත් එම අපහසුතාව ජයගෙන ඉවසීමෙන් හා නුවණින් යුක්ත ව තමාගේ ම ඇතුළාන්තයට බැස, එය පර්යේෂණය කරන්නට යම් පින්වත් සිතක් සමත් වේ ද එය නිසැක වශයෙන් ම තම හිතසුව පිණිස පවතිනු ඇත. ධර්ම ලාභය පිණිස පවතිනු ඇත.

“අත්ථි ඉමස්මිං කායේ කේසා ලෝමා නඛා දන්තා තචෝ මංසං නහර අට්ඨි අට්ඨිමිඤ්ජා වක්කං හදයං……” යනාදී ලෙසින් සඳහන් වන පැහැදිලි කිරීමට අනුව යතොත්, එහි දී ‘මගේ’ සිරුරෙහි ඇති සැබෑ සත්‍යය නුවණැසින් හඳුනාගැනීමට අපහසුවක් නොමැත. සරල ව විමසා වටහාගන්නේ නම්, කය යනු කුණප කොට්ඨාසයන් දෙතිසක (32) එකතුවක් මිස අනෙකක් නො වේ. ඒ කොටස් සියල්ල ම අයත් වනුයේ ඔබටවත්, මටවත් නොව පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයන්ට වන අතර එම කොට්ඨාසයන්ගේ පැවැත්මත්, වැඩීමත් තිීරණය වනුයේ කර්ම, චිත්ත, සෘතු, ආහාර යන සිව් වැදෑරුම් කරුණු පදනම් කොටගෙන ය.

හුදු බැල්මක් හෙළා අප විවිධ රූපයන් පිළිබඳ ව අනේක වූ සංඥාවන් ඇතිකරගෙන නිගමනයන්ට එළඹීම දුලබ නො වේ. එය අපි නිතිපතා අත් දකින්නෙමු. ප්‍රිය වූ රූපයන්ට ඇලී, අප්‍රිය රූපයන් හා ගැටී, දකින රූපමය සංඥාව මධ්‍යස්ථ නම් උපේක්ෂාවෙන් සිටීමට මනා පුහුණුවක් සසර මඟ තුළ ලබා ඇති හෙයින් ම ඒ සෑම රූපයක ම ඇති ඇතුළාන්ත සත්‍යතාවයන් වටහාගැනීම, සිහිපත් කිරීම පුහුදුන් සිතට අසීරු වුව ද නුවණැත්තන් සිය යහපත පිණිස ඒ පිළිබඳ ව වැඩිදුර සිතා බැලීම වටී.

උක්ත සඳහන් කළ පරිදි ශරීරයේ ගැවසි කොටස් දෙතිස ම සතර මහා භූතයන්ට අයත් ව පවතී. ක්‍රියාකාරී වේ. ඒ කෙලෙස ද යත් හිසකෙස්, ලෝම, නිය, දත්, හම, මස්, නහර, ඇට, ඇටමිදුළු, වකුගඩු, හෘදය වස්තුව, අක්මාව, දළබුව, බඩදිව, පෙණහලු, බඩවැල, අතුණුබහන්, බඩ, අහරමල, හිස්මොළ යන විසිවැදෑරුම් දෘඪ ගතියෙන් යුක්ත කොටස් විස්සක් ‘පඨවි’ ධාතුවට අයත් ව ශරීරය තුළ පිහිටා පවතින්නේ ය. මේවායින් සමහර කොටසක් තවත් අනු කොටස්වලට ද බෙදී තම තම ස්වභාවය අනුව ඒ ඒ පිහිටි ස්ථානයන් අනුව නම් කොට, වෙන් වෙන් වශයෙන් දැක්විය හැකි ය. දොළොස් ආකාර වූ ද්‍රවයන් හෙවත් ‘ආපෝ’ ධාතුවට අයත් වනුයේ පිළිවෙළින් පිත, සෙම, සැරව, ලේ, දහඩිය, මේදතෙල්, කඳුළු, වුරුණු තෙල්, කෙළ, සොටු, සඳමිදුලු, මුත්‍රා යන වැගිරීම සිය ස්වභාවය කර ගත් කොටස් පෙළයි.

තෙවනුව ‘තේජෝ’ ධාතුවට අයත් ඝණයෙහි ලා සැලකෙනුයේ පිළිවෙළින් ශරීරගත ව පවතින උෂ්ණත්වය, ශරීරයේ දිරීම්වලට හේතුවන ජීරක උෂ්ණත්වය, දැවීම් ඇතිකරවන පරිඩය්හන උෂ්ණත්වය හා ශරීරයේ ආහාරාදියේ පැසවීම් සිදුකරවන පරිපාක උෂ්ණත්වය හෙවත් පාචක උෂ්ණත්වය නම් තේජෝ ධාතූන් කිහිපය ම ප්‍රධාන වශයෙන් බෙදී සිටී.
වායෝ ධාතුවට අයත් වන්නා වූ කොටස් අංක වශයෙන්, ප්‍රභේද වශයෙන් සයක් වේ. උද්ධංගම, අධෝගම, කුච්ඡිසය, කොට්ඨාසය, අංගමංගානුසාරී හා අස්සාසපස්සාස වාතය යනු ඒ සය යි. මෙකී සකල අංගයන්ගේ ද චක්ඛු, සෝත, ඝාන, ජිව්හා කාය හා මන යනාදී ලෙසින් කියැවෙන ඉන්ද්‍රියයන්ගේ ද එක්වීමෙන් තැනී ඇති ‘ශරීරය’ යන පුඤ්ජය වනාහි අතිශය අනියත ය. පිළිකුල් සහගත ය. ශරීරයේ පැවැත්ම එක් ආශ්වාසයක් ප්‍රශ්වාසයක් අතර කාලයේ දී වුව ද සුන් වී යා හැකි ය. ශරීරයක් යම් තැනක උපන්නා නම් එයට නැතිව යාමක් ද නිසැකව ම ඇති අතර ‘මගේ ම යි’ කියා දහස් වරක් කියා සතපවා ගත්ත ද මේ දිරා යන සිරුර කිසිදාක අප හට අවැසි පරිදි පවත්වාගත නො හැකි ම ය. අන් ලෝකයාගේ ප්‍රදර්ශනය පිණිස විලවුන්, ආභරණ ලා, ඉතා වටිනා ඇඟලුමින් විසිතුරු කරවා තැබුව ද මේ සිරුර තරමක වේලාවක් ගතවත් ම සිය නියත ස්වභාවයට පත් වීම වළකාලිය නො හැකි ය. ජාතියත් සමඟ ම ජරාවට පත් වීම ඇරඹෙන ශරීරය අවසානයේ කිසිවකට ප්‍රයෝජනයට ගත නො හී බිම වැතිරගෙන, කාලානුරූපී ව විසිරී අතුරුදන් ව යන්නේ නම් ඒ කිසිවක් ‘මට’ ‘මගේ සිතට’ වුවමනා ආකාරයට සකස්කර ගත නො හැකි නම් මේ සිරුර ආශවෙන් උපාදානය කර ගැනීමෙන් කවර නම් ඵලක් වේ ද? සැරසූ සිරුර, මළ සිරුරක් බවට පත්වූ විට, දින කිහිපයක් ගතව ගොස් දුටුවේ නම් ඒ කෙරෙහි කවරාකාරයකින්වත් ප්‍රියජනක බැඳීමක් ඇති වේ ද? එය එසේ නම් අසාර සිරුර සාර වශයෙන් සලකා ඒ වෙනුවෙන් තවත් සසරෙහි බැඳී යාම නුවණැතියන්ට නොගැළපෙන බව සිහියෙන් ම දැන ගත යුතු ය.

“පරිජිණ්ණමිදං රූපං – රෝගනිඞ්ඪං පභංගුරං
භිජ්ජති පූතිසන්දේහෝ – මරණන්තං හි ජීවිතං”
(ධම්මපදය – ජරා වග්ගය)

“දිරා ගිය මේ රූපය රෝගයන්ට කැදැල්ලකි. වහා නැසෙන සුලු ය. නව දොරකින් කුණු වැගිරෙන ශරීරය වහා බිඳේ. ජීවිතය මරණය කෙළවර කොට ඇත්තේ ය.”

අකාලික වූ පරම සත්‍යය වූ මෙම බුදු වදන් අනුව කෙමෙන් පියවර සොයා යමින් උපදින – නැසෙන, කිසිදු ආකාරයකින් ‘මගේ’ නො වුණා වූ ද, නොවෙනා වූ ද ‘ශරීරය’ වෙත ඇති ආශාව අවබෝධයෙන් සිඳ දමන්නට පින්වත් ඔබට මෙම දහම් පඬුර උපකාරයක් ම වේවා…!

තෙරුවන් සරණයි!
සටහන -උත්පලී විජේසිංහ