එදා 2017 ජනවාරි මස 23 වන සඳුදා දවසයි. ස්ථානය මීගමුව මහ රෝහලයි. මෙම සටහන තබනුයේ එහි පිරිමින් සඳහා වෙන්කර ඇති ඩෙංගු උණ රෝගීන් බහුල ව වාසය කරනු ලබන හතර වන වාට්ටුව පාදක කරගෙනයි.

එදින එම වාට්ටුවේ ඇඳන් රෝගීන්ගෙන් පිරී ගොස් ය. එක ඇඳේ දෙපැත්තට හිස දමා දුකට පත්වූ ගිලන් වූ රෝගීන් ය. සමහරුන් කෙඳිරි ගාමින් වාරු නැතිව ජීවිතය යදිමින් සිටියි. මෙම රෝගී අවස්ථාවේ දී බොහෝ විට ජීවිතය පවත්වන්නට සිදුවන්නේ සේලයින් වතුර ටිකකින්, දියරමය වශයෙන් ගන්නා ආහාර ටිකකින් ය. මෙම රෝගීන් හට උපස්ථාන කිරීමට බොහෝ විට එක් අයෙකු පමණක් නතර කර ගනු ලබයි.

මේ පිරිමි වාට්ටුවේ මැදට වෙන්නට භික්ෂූන් වහන්සේලා දෙනමක් පිරිත් කියමින්, ගිලනුන් හට පිරිත් නූල් බඳිමින් ජීවිතයේ ඇත්ත ස්වභාවය පෙන්වා දෙමින්, සසරේ බියජනක ස්වභාවය පෙන්වා දෙමින් දහම් කථාව කරමින් සිටියි.

මතක හැටියට වේලාව සවස හතරට පමණ ඇත. වාට්ටුවේ කොණකට වෙන්නට එක් ඇඳක් අසලට ගිලන් නොවූවන් එකා දෙන්නා කලබලයෙන් මෙන් එකතු වෙයි. මම ද එදෙස එක එල්ලේ ම බලා සිටියෙමි. ඒ ඇඳ මත ගිලන් බවට පත්වූ, වයස අවුරුදු හැට පහක පමණ පුද්ගලයෙකු උඩුබැලි අතට ජීවිතයත්, මරණයත් අතර සටනක නිරත ව සිටින අයුරු මට දැක ගන්නට ලැබේ. හදවතේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ව දැක ගැනීමට සවිකර ඇති රූපවාහිනී තිරයේ දත්ත සටහන ද වෙනස් වෙමින් පවතී. වාට්ටුවේ රාජකාරියේ නිරතව සිටින තරුණ වියේ පසුවන වෛද්‍යවරු ඇතුළු හෙදියන්, කාර්ය මණ්ඩලය වහ වහා යුහුසුලු ව ඒ රෝගියාට අවශ්‍ය ප්‍රතිකාර කරනු ලබයි. ඒ රෝගී පුද්ගලයාගේ පුත්‍රයෙකු යයි සැලකෙන වයස හතලිස් පහක පමණ පුද්ගලයෙකු තම පියාගේ ජීවිතය රැක ගැනීමේ බලාපොරොත්තුවෙන් ඒ අසලට ම වී නොඉවසිලිමත් ව බලා සිටියි. පැයකට පමණ අධික කාලයක්, ඒ වෛද්‍යවරු ඇතුළු කාර්ය මඩුල්ල, මාරුවෙන් මාරුවට ඒ ගිලනාගේ ඇඳ වෙත නැඹුරු වෙමින් නොනවත්වා ම පපුව තෙරපමින් මියැදීමට සූදානම් වන හෘදයට පණ ලබාදීමට මහත් උත්සාහයක්, වෙහෙසක් දරයි. සවි කර ඇති රූපවාහිනී තිරය දෙස හැම දෙනාම නෙත් දල්වා බලා සිටියි. මම පැයක පමණ කාලයක් ඒ සිදුවීම පිළිබඳ ව මහත් ඕනෑකමින් බලා සිටියෙමි. වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය අධිකව වෙහෙසට පත්ව, එකිනෙකා මාරුවෙන් මාරුවට නො නවත්වා ම රෝගියාගේ පපුව තෙරපමින් ජීවිතය ලබා දෙන්නට උත්සාහ ගනිමින් සිටියි. නමුත් වෛද්‍යවරුන්ගේ ඒ නොමඳ උත්සාහයට සාධාරණයක් ඉටුනොකරමින්, ඔහු තමන්ගේ අවසන් හුස්ම පොද වා තලයට මුසුකොට තම දිවියෙන් සමුගෙන ගියේ ය.

මම මේ සිදුවීම මහාමේඝයට අකුරු කරන්නට සිතුවේ, ඒ මියගිය මිනිසා ගැන සඳහන් කිරීමට නො වේ. මරණය යනු ඉපදුණු හැම සත්ත්වයෙකුට ම පොදු වූ ලෝක ධර්මතාවයකි. ඔහු කර්මානුරූප ව, රැගෙන ආ ආයුෂ අවසන් වූ විට මේ ජීවිතයෙන් සමුගන්නට ඇත. නමුත් ඉන් ඔබ්බට මේ කථා පුවත ඇසුරු කරගෙන කථා කළ යුතු සුවිශේෂී වූ කාරණයක් ඇත.

අද මේ රටේ බොහෝ වෛද්‍ය වෘත්තියේ නියැලෙන්නන් ගැන, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් ගැන, මාධ්‍ය තුළින් අපට දැන ගන්නට ලැබෙනුයේ විවේචනයන් ම ය. ඔවුන්ගේ දොස් සහිත තැන් ම ය. වැඩ වර්ජන, අකුරට වැඩ කිරීම, රෝගීන්ට දෙන ලද බෙහෙත් විෂ වීම් මේ ආදි කොට ඇති නොයෙක් කරුණු කාරණා හේතු කොටගෙන, මහජනතාව අතර ඔවුන් කෙරෙහි විශ්වසනීය භාවය අඩුවෙමින් පවතින මෙබඳු කාල වකවානුවක, ඉහත කථා ප්‍රවෘත්තිය තුළින් අපට ගම්‍ය වන්නේ අප රට තුළ, මේ සමාජයේ යහපත් කරුණාවන්ත ශ්‍රේෂ්ඨ වූ වෙදැදුරන් තවමත් අප අතර සිටිනා බවයි. ඒ වෙදැදුරන් ඇතුළු නිලධාරී පිරිස ඒ රෝගියා වෙනුවෙන් කළ කැප කිරීම, නොමඳ උත්සාහය ඉතා ශ්‍රේෂ්ඨ ය.

ඒ මොහොත වන විට සතර මහා ධාතූන්ගෙන් හටගත් ඒ හැඩිදැඩි සිරුර නිසල වී ඔහුගේ විඤ්ඤාණය පිටව ගොස් හමාර ය. ඔහු තවත් තැනක ඉපදී හමාර ය. උපන්නා වූ සෑම සත්වයෙකුට උරුම වන මරණය ඔහු කරා ද පැමිණ ඇත.

මට මේ මොහොතේ බුදුරජුන් වදහළ බුදු වදනක් සිහියට නැගේ.

“යෝ භික්ඛවේ මං උපට්ඨෙය්‍ය, සෝ ගිලානං උපට්ඨෙය්‍ය.”

“පින්වත් මහණෙනි, යමෙක් මට උපස්ථාන කරන්නේ නම්, ඔහු ගිලනුන් හට උපස්ථාන කරන්නේ ය.”

ඒ වෙදැදුරන් ඇතුළු නිලධාරීන් මේ බුදු වදන ශ්‍රවණය කර තිබුණාවත් ද? නැති නම් ඔවුන් අවංක ව කාරුණික ව තම රාජකාරිය ඉටු කරනවාවත් ද? ඔවුන් එම ඔවදන අසා තිබෙන්නට පුළුවන. අසා නොතිබෙන්නටත් පුළුවන. ඒ කෙසේ වෙතත් ඔවුන් මෙතැන දී තම රාජකාරිය නිසි අයුරින් ඉටු කරනවා යැයි මට හැඟින. මාධ්‍ය තුළින් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පිරිහීමක් පවතින බව කියවෙන මේ කාලය තුළ මෙම කථා පුවතට පාදක වූ වෛද්‍ය නිලධාරී මඬුල්ලට තුති මල් මිටක් පුදනු කැමැත්තෙමි. මන්ද නියම වෛද්‍යවරුන් සතු වගකීම යුතුකම, නිසි ආකාරයෙන් අවංක ව සිදු කිරීම හේතු කරගෙන ය. ඔවුන් එම මිනිසාට තමා දුර්ලබ ව ලද මිනිසත් බව රැක දීමට ගන්නා ලද උදාර වූ කැපවීම හේතු කරගෙන ය. මා සිතන ආකාරයට නම් මෙවැනි වෘත්තිකයන් අපට මහත් ආඩම්බරයකි. තම රාජකාරිය නිසි ලෙස ඉටු නොකරන්නන්ට මෙවැන්නක් මහත් වූ ආදර්ශයකි.

‘සේවා උපස්ථාන කිරීමේ විපාක ඇත. යහපත සිදු කිරීමෙන් යහපත් විපාක ඇත. අයහපත සිදු කිරීමෙන් අයහපත් විපාක ඇත.’ යන අයුරින් පින් පව් විශ්වාස කරමින්, මෙලොව පරලොව විශ්වාස කරමින් තම රාජකාරිය, සේවාව නිසි පරිදි ඉටු කරන්නේ නම්, ඔහු හෝ ඇය බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට තම ජීවිතය තුළ ලෞකික සම්මා දිට්ඨිය උපදවාගෙන වාසය කරයි. ඒ කෙනා සැබෑ ම වාසනාවන්තයෙකි. සැබෑ ම පින්වන්තයෙකි. ඒ කෙනා තමන්ගේ ජීවිතයට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා ආජීවය පුරුදු කරමින් සිටී. මෙම ධර්මයන් තමන්ගේ ජීවිතයට නිවැරදි ව පුරුදු කරගත හැක්කේ, කලණමිතුරු ඇසුර තුළින් ම ය. බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීම තුළින් ම ය. ධර්මානුධර්ම ප්‍රතිපදාව තුළින් ම ය. ඒ කෙනා තම ජීවිතයේ සැබෑ ම අරුත ලබා ගනී. ක්‍රමයෙන් ජීවිතාවබෝධය කරා ළඟා වීමේ මග විවෘත කර ගනී.

සටහන – දිවුලපිටියේ එච්. එස්. හේවා ඩබ්ලිව්.