ගිඤ්ජකාවසථ සූත්‍රය (සං.නි. – 2.2.3)

ගඩොලින් කළ කුටියෙහි වැඩහිඳ වදාළ දෙසුම

එක් සමයෙක අපගේ ශාස්තෘ වූ භාග්‍යවතුන් වහන්සේ ඤාතික නම් ගම්මානයෙහි ගඩොළින් කරන ලද කුටියෙක හෙවත් ගෙඩිගෙයක වැඩවසන සේක. එහිදී අපගේ භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ කියා භික්ෂු සංඝයා ඇමතූ සේක. ‘පින්වතාණන් වහන්ස’ කියා ඒ භික්ෂූහු අපගේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. එකල්හි අපගේ භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, ධාතු ස්වභාවය හේතුවෙන් සංඥාව උපදියි. දෘෂ්ටිය උපදියි. විතර්ක උපදියි.”

අපගේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් කච්චාන තෙරණුවෝ අපගේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.

“ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, සම්මා සම්බුද්ධත්වයට පත් නොවූ පුද්ගලයන් තුළ ‘තමනුත් සම්මා සම්බුදුවරු ය’ යන මේ දෘෂ්ටියක් තිබෙයි නම්, ස්වාමීනී, මේ දෘෂ්ටිය හටගන්නේ කුමක් නිසාවෙන් ද?”

“කච්චානයෙනි, යම් මේ අවිද්‍යාව නමැති ධාතු ස්වභාවයක් ඇද්ද, මෙය මහත් වූ ධාතු ස්වභාවයකි. කච්චානයෙනි, හීන වූ ධාතු ස්වභාවය නිසා හීන සංඥාව උපදියි. හීන දෘෂ්ටිය උපදියි. හීන විතර්ක උපදියි. හීන චේතනා උපදියි. හීන ප්‍රාර්ථනා උපදියි. හීන ප්‍රණිධිය උපදියි. හීන පුද්ගලයා උපදියි. හීන වචන උපදියි. හීන වූ දෙයක් කියයි. හීන දෙයක් දෙසයි. හීන දෙයක් පනවයි. හීන දෙයක් පිහිටුවයි. හීන දෙයක් විග්‍රහ කරයි. හීන දෙයක් ඉස්මතු කරයි. ඔහුගේ උත්පත්තිය හීන වූවක් බව කියමි.

කච්චානයෙනි, මධ්‍යම වූ ධාතු ස්වභාවය නිසා ………………. ඔහුගේ උත්පත්තිය මධ්‍යම වූවක් බව කියමි.

කච්චානයෙනි, ප්‍රණීත වූ ධාතු ස්වභාවය නිසා ………………. ඔහුගේ උත්පත්තිය ප්‍රණීත වූවක් බව කියමි.

සාදු! සාදු!! සාදු!!!