highlights of the week
Home » NEW ARTICLES » අධිරාජ්‍යවාදීන්ගෙන් මිහින්තලේ පුදබිම රැකගත් බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා

අධිරාජ්‍යවාදීන්ගෙන් මිහින්තලේ පුදබිම රැකගත් බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා

පසුබිම

එක්දහස් පන්සිය වසරකට ආසන්න කාලයක් ලොව කීර්තිමත් රාජධානියක් බවට පත්ව තිබුණ සිංහලද්වීපයේ අනුරාධපුරය අගනගරය කොට පැවති රජරට ව්‍යවහාර වර්ෂ පූර්ව දෙවැනි සියවසේ සිට සිට දකුණු ඉන්දීය චෝල ද්‍රවිඩ ආක්‍රමණවලට ගොදුරු විය. ස්වාභාවික ආරක්ෂා, රැකවරණ කිසිවක් නොමැති මෙම අහිංසාවාදී රාජධානිය, පස්වැනි සියවස දක්වා රහතන් වහන්සේලාගේ සිරිපා පහසින් පූජනීයත්වයට පත්ව තිබුණේ ය. පණ්ඩුකාභය, දේවානම්පියතිස්ස, ගාමිණී අභය, සද්ධාතිස්ස, ධාතුසේන, 1 වැනි අග්ගබෝධි ආදි ප්‍රබල රජවරුන් යටතේ සංවර්ධනය වී සම්බුද්ධ ශාසනයට පුදන ලද ලංකා රාජ්‍යය, පසුකාලයේ බෙලහීන රජුන්ගේ පාලනයට හසුවීමත් සමඟ ම අඛණ්ඩ ව කඩා වැදුණු දකුණු ඉන්දීය ආක්‍රමණිකයන්ගෙන් නැසී වැනසී ගියේ ය. නව වැනි සියවසේ දී රජකමට පත් IV වැනි අග්ගබෝධි රජු, අගනුවර අනුරාධපුරයෙන් ඉවත්කොට පුලස්ති පුරයට රැගෙන යාම නිසා රජරට රාජධානිය අරාජික විය. II වැනි සියවසේ දී රාජරාජ නමැති සොලී ආක්‍රමණිකයා අනුරපුර හා පොළොන්නරු යන නගර දෙක ම තම අණසක යටතට ගත්තේ ය. සියලු බෞද්ධ සිද්ධස්ථාන වනසා දැමිණි. 1215 දී කාලිංගමාඝ ආක්‍රමණිකයා අනුරාධපුරයේ ඉතිරි ව පැවති දැවැන්ත ගොඩනැගිලි විනාශ කොට වෙහෙර විහාර පුස්තකාල ගිනි තබා මහා විලෝපණයක් සිදු කළෙන් යලි ගොඩනැංවිය නො හැකි අන්දමින් පැරණි සිංහල රාජධානිය ඇද වැටුණේ ය.

අනතුරුව කෝට්ටේ රාජධානිය යුගයෙන් පසුව පෘතුගීසි ලන්දේසි පාලකයන් රටේ මුහුදුබඩ පෙදෙස්වල තම බලය ව්‍යාප්ත කළ සමයේ රජරට ප්‍රදේශයේ නටබුන් ආවාස බලවත් පරිශ්‍රමයකින් ප්‍රතිසංස්කරණය කරවාගෙන සංඝයා වහන්සේ වැඩ වාසය කළ බව සමකාලීන පොතපතේ කියැවෙයි. වැලිවිට සංඝරාජ හිමිපාණන්ගේ ශාසන පුනරුත්ථාපන වෑයමත්, කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ අනුග්‍රහයත් මේ කටයුතුවලට ලැබීම බුදු සසුනේ පසුකාලීන පුනරුදයට හේතුවක් විය.

රජරට ශාසන පුනරුදය හා බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍රතුමාගේ කාර්යභාරය

19 වැනි සියවස අගභාගයේ දී දකුණුලක බෞද්ධ ප්‍රබෝධයක් ඇති කිරීමට අනගාරික ධර්මපාලතුමා දිවි පරදුවට තබා මහා ව්‍යායාමයක් දියත් කළා සේ ම අනුරාධපුර පූජනීය ස්ථාන රැකගැනීමට සමකාලීන යුගයේ දී දේශමාමක වලිසිංහ හරිශ්චන්ද්‍රතුමාගේ ඉදිරිපත්වීම සියලු ම ලක්වැසියන්ගේ බුහුමනට ලක්විය යුත්තකි.

එතුමා අනුරාධපුරයේ රැඳී සිට පුරා වස්තු ගැන සොයා බලමින් කළ මහා පරිශ්‍රමය පිළිබඳ අගනා තොරතුරු රැසක් එතුමා විසින් ලියන ලදුව 1927දී පළ කරන ලද ‘සිතියම් සහිත පුරාවිද්‍යාව’ නමැති මහාර්ඝ ග්‍රන්ථයේ ඇතුළත් වේ.
බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනය නිසා සිංහල බෞද්ධ හැඟීම් යහපත් වී ගිය යුගයක පොදු ජනකාය පුබුදුවන ග්‍රන්ථයක් ලියනු තබා අදහසක්වත් පළ නොකරන පසුබිමක් තුළ මෙරට පළමු පූජනීය අගනගරය අවට තොරතුරු පිළිබඳ ව එතුමා ලියූ එම ග්‍රන්ථය එවක සියල්ලන්ගේ ම ඇස් ඇරවීමට සමත් විය.

පරිච්ඡේද විසි හතරකින් යුතු මේ මහාර්ඝ ග්‍රන්ථය කියවන සෑම සිංහලයෙකු කෙරෙහි ම ජාති හිතෛෂී භාවය ද ශ්‍රද්ධා සම්පන්න ගුණය ද ත්‍යාගවත් භාවය ද වර්ධනය වනු ඇතැයි එතුමා එහි සංඥාපනයේ ඇතුළත් කොට තිබේ. මේ එහි ආරම්භයේ දැක්වෙන පාඨයකි.

“ඉංග්‍රීසි වර්ගයා ජාතියක් මෙන් ඇති වූයේ දහතුන්වැනි ශත වර්ෂයෙහි ය යනු යුරෝපීය ඉතිහාස කතුතුමෙක් ලියා තිබේ. ක්‍රිස්තු වර්ෂ පිළිවෙළින් මේ පවත්නේ විසිවැනි ශත වර්ෂය වේ. ඉංග්‍රීසි ජාතියේ උත්පත්තියට අවුරුදු එක්දහස් පන්සියයකට පූර්වයෙහි දී සිංහල ජාතියෙහි පැවති උත්කෘෂ්ටභාවය ගැන දැනගන්න අකමැති එක ම සිංහලයෙක් මිහිපිට ඇතැයි නො සිතමි.”

සම්බුද්ධ ශාසනය ලක්දිව ප්‍රචලිත වීම නිසා සිංහල ජාතිය දියුණුවට පත්වූ බව පවසන බ්‍රහ්මචාරී වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා 19 වැනි සියවසේ දී අනුරාධපුර නටඹුන් බැලීමට පැමිණි ඉංග්‍රීසි ආණ්ඩුකාරවරුන් ඇතුළු විදේශික වියතුන් එහි පෙර කළ පැවති දියුණුව මෙනෙහි කර මවිතයට පත්වූ අයුරු පෙන්වා දෙයි.

ගරා වැටී තිබුණ රුවන්වැලි මහා සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළේ 1873 වර්ෂයේ දී නාරංවිට සුමනසාර ස්වාමීන් වහන්සේ විසින් බව පවසන වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා මෙසේ ද විස්තර කරයි.

‘උන්වහන්සේ (සුමනසාර හිමි) මේ මහා චෛත්‍යරාජයා ප්‍රතිසංස්කරණය කිරීමට අධිෂ්ඨාන කොට නවාතැනට සුදුසු කාමරයක්වත් නො තිබුණු බැවින් සෑ මළුවෙහි එක් තැනක බර කරත්ත අඹරාවක් පිහිටුවා එහි නැවතී වැඩ ආරම්භ කළහ. එබඳු අතිශය දුක්ඛදායී ස්වභාවයකින් මහ සෑ ස්ථානය පැවති නමුත් අවුරුදු පතා දහස් ගණන් වන්දනාකාර සමූහයා මහ සෑය වැඳ පුදා ගැනීමට පැමිණියේ ය. ඔවුන්ගෙන් ලබන ලද විපුල ආධාර හේතුකොටගෙන සුමනසාර ස්වාමීන් වහන්සේගේ උත්සාහයේ ප්‍රතිඵල ඉක්මනින් ම විද්‍යාමාන විය.’ (සිතියම් සහිත පුරාවිද්‍යාව – 103 පිටුව)

ඉන් වසර තුනකට පසුව එනම් 1876 පෙබරවාරි 15 වැනි දින රුවන්වැලි මහා සෑය නැරඹීමට පැමිණි ලංකාණ්ඩුකාර ශ්‍රීමත් විලියම් ග්‍රෙගරිතුමා එහි උතුම් බව එංගලන්ත ආණ්ඩුවට දන්වා යවා තිබේ. එම වාර්තාවේ සිංහල පරිවර්තනය මෙසේ දැක්වේ.

‘රුවන්වැලි දාගැබ වෙත මම පැමිණියෙමි. වර්ෂ තුනකට පෙර එය ගඩොල් ගොඩැල්ලක් මෙන් පෙනිණ. නාරංවිට සුමනසාර උන්නාන්සේගේ දෘඪතර වීර්යය ලක්වැසි ස්වදේශීය ජනයා උතුම් කොට සලකා උන්වහන්සේට ආධාර දෙන්ට ඇතැයි මම විශ්වාස කරමි. මේ වැඬේට මම සම්මාදම් දුනිමි. එසේ කළේ ආගමානුකූල ගොඩනැගිල්ලක් හැටියට සලකාගෙන නොව සිංහල ජාතිය සිහිපත් වීමට හේතු වූ අනගි ගොඩනැගිල්ලක් මෙන් සලකාගෙන බව දත යුතුයි. මේ දාගැබ වනාහි පුරාතන සිංහලයන්ගේ උසස් ශිල්ප ශාස්ත්‍ර දැනීමේ උතුම් ප්‍රතිඵලයක් මෙන් ද ලක්දිව රාජාභිෂේකය ලත් ඉතා බලසම්පන්න ශ්‍රේෂ්ඨ රජතුමා සිහිපත් වීමේ ලකුණක් මෙන් ද පවතියි.’ (සිතියම් සහිත පුරාවිද්‍යාව – 104 පිටුව)

බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතූන් වහන්සේ නිදන් කොට ගොඩනංවා තිබෙන ස්වර්ණමාලී මහා ථූපය ශත වර්ෂ ගණනාවකට පසු ප්‍රතිසංස්කරණය කිරීමට අති මහත් පරිශ්‍රමයක් දැරූ නාරංවිට සුමනසාර ස්වාමිපාදයාණන් වහන්සේට සියලු ම බෞද්ධ ජනතාවගේ ගෞරවය හිමි විය යුතු ය. 1902 වර්ෂයේ දී ‘අනුරාධපුර රුවන්වැලි මහා චෛත්‍ය වර්ධන සමාගම’ නමින් සංවිධානයක් ඇති කොට උන්වහන්සේ හුදෙකලා ව කළ මහා පරිශ්‍රමය පිළිබඳ ව වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා දීර්ඝ ලෙස තොරතුරු ඉදිරිපත් කොට තිබේ.

මිහින්තලා පුදබිමේ අගය විදේශික ඇසින්

බි්‍රතාන්‍ය පාලන සමය මෙරට දැඩිව බලපැවැත්වූ 19 වැනි සියවසේ දී මිහින්තලා පූජනීය භූමියේ පැවති ස්වරූපය බ්‍රිතාන්‍ය පාලකයන්ගේ කියුම්වලින් ම ඉදිරිපත් කිරීමට වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා සමත් වී තිබේ. මිහින්තලා පින්බිම උදෙසා සිංහල රජවරුන් විසින් ඉදිකරන ලද විශාල දාගැබ්, ලෙන්, ආවාස, විහාරාරාම, මංමාවත් ආදිය පිළිබඳ ව බි්‍රතාන්‍ය ජාතිකයන් විමතියට පත්වූ අයුරු ‘සිතියම් සහිත පුරාවිද්‍යාව’ ග්‍රන්ථයේ සවිස්තරව දක්වා ඇත.

බි්‍රතාන්‍ය යුද හමුදා නිලධාරියෙකුව සිටි මේජර් ෆෝබ්ස් 1841 දී ලියූ ‘ලංකාවේ එකොළොස් වසක්’ නමැති ග්‍රන්ථයේ එන කියුමක් වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා ඉදිරිපත් කළේ මෙසේ ය.

‘වර්ෂ 1832 සැප්තැම්බර් මස තුළ මම මිහින්තලයට ගියෙමි. මම ගල් පඩි ගනිමින් නගිනාතර බොහෝ සෙයින් වෙහෙසීම හේතුකොටගෙන ගණන් කිරීම නවත්වා මෙහි නිවැසි භික්ෂූන් වහන්සේගෙන් පඩිවල ගණන ඇසුවෙමි. එක්දහස් අටසිය හතළිහක් බව උන්වහන්සේ කීවේ ය.’

1833 වසරේ දී ලංකාණ්ඩුව විසින් ප්‍රසිද්ධ කරන ලද ‘ලංකාව සම්බන්ධ ප්‍රයෝජනවත් කරුණු’ නමැති සටහන් පොතේ එන කියුමක් මෙසේ ය.

‘අනුරාධපුරයේ මැද සිට නැගෙනහිර දිසාවේ සැතැප්ම අටකට ඈතින් මිහින්තලා පර්වතය පිහිටා තිබේ. එය අනුරාධපුරයේ කොටසක් හෝ නුවර ප්‍රාකාරයේ අවයව මෙන් හෝ පවතින්නට ඇත. මිහින්තලේ තිබෙන පෞරාණික ගොඩනැගිලි ආදිය කැණීම ගැන ක්‍රියාකර තිබෙන අන්දමින් සහ ඒ දේවල් කලින් කල ගරා වැටී තිබෙන අන්දමිනුත් ඒ සියල්ල සම්බන්ධව සිංහල ඉතිහාසයෙහි අන්තර්ගත කරුණු සත්‍යයයි ප්‍රකාශ වේ.’

උතුරුමැද දිසාවේ දිසාපති (ඒජන්ත) වරයා වශයෙන් කටයුතු කළ ආර්. ඩබ්ලිව්. අයිවස් විසින් 1889 වර්ෂයේ දී ප්‍රකාශයට පත් කළ තොරතුරු වාර්තා පොතේ සඳහන් කොට තිබූ සේ විහාර, දාගැබ්, ගොඩනැගිලිවලින් පිරී පැවති මිහින්තලා පර්වත ප්‍රදේශය මිහිඳු මාහිමියන්ගේ ශාරීරික ධාතු පිහිටීම හේතුකොටගෙන විශේෂ පූජනීයත්වයකින් යුතු බවය.

පුරාවිද්‍යාඥ එම්. ඩබ්ලිව්. කේව් මහතා විසින් 1908 වර්ෂයේ දී පළ කරන ලද ‘The book of Ceylon’ නමැති ග්‍රන්ථයේ එන අනුරාධපුරය හා මිහින්තලා පුදබිම් පිළිබඳ විස්තරයක කොටසක් ‘සිතියම් සහිත පුරාවිද්‍යාව’ ග්‍රන්ථයේ ඇතුළත් කොට තිබේ. එය මෙසේ ය.

‘සිංහල ජාතිය විසින් පිහිටුවන ලද්දා වූ ඉතා විශාල නගරයන් සහ දාගැබ් ආදි ගොඩනැගිලිත් තැනීමට තරම් ඥානසම්පන්න වික්‍රමභාවයක් ඔවුන් වෙත ඇති වීමට හේතු භූත වූ බුද්ධාගම පිළිබඳ කටයුතුවල ආරම්භය සිදුවූයේ මිහින්තලෙන් බැවින් එම ස්ථානය සම්බන්ධ පළමු කොට අප විසින් සංග්‍රහ කටයුතුව තිබේ. ලක්දිව බුද්ධාගම පිහිටුවීමට එළඹියා වූ රාජකීය ධර්මදූත මහින්ද තෙරුන්නාන්සේගේ වැඩවල ගරුභාවය සිහිපත් කරන්නා වූ නොයෙක් වැදගත් පෞරාණික දේවලින් පර්වතය හාත්පස ගැවසී තිබේ.’ (සිතියම් සහිත පුරාවිද්‍යාව – 162 පිටුව)

මිහින්තලේ පූජනීය භූමිය අත්පත් කර ගැනීම සඳහා බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් 1910 දී මිහින්තලේ බෞද්ධ සමාගමට විරුද්ධව පැවරූ නඩුවේ දී එවකට සිටි පුරාවිද්‍යා මහ කොමසාරිස් එච්. සී. පී. බෙල් මහතා දුන් සාක්ෂිය වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා සිය ග්‍රන්ථයේ ඇතුළත් කොට ඇත. එය පහත දැක්වේ.

‘මිහින්තලා පර්වත මස්තකයෙහි ගත වූ විසි වර්ෂය මුළුල්ලෙහි භික්ෂූන් වහන්සේලා වාසය කරන බව දනිමි. ඇතැම් කලෙක මුළු පර්වතය එක ම විහාරය මෙන් පවතින්ට ඇතැයි විශ්වාස කරමි. මායිම් කළ නො හැකි තරම් කාලයක් මුළුල්ලෙහි වන්දනාකාර සමූහයා විසින් ගල්පඩි භාවිත කරගෙන එනු ලබන බව කල්පනා කරමි. මිහින්තලේ කන්ද ශුද්ධ වූ පර්වතයකි.’ (සිතියම් සහිත පුරාවිද්‍යාව – 163 පිටුව)

මිහින්තලේ පුදබිම රාජසන්තක කිරීමට එරෙහිව නැගී සිටීම

මිහින්තලා පර්වතය හා එහි අවට පිහිටි දාගැබ්, විහාර, සංඝාරාම, භෝජන ශාලා, ගිමන් ශාලා, පොකුණු, මහාර්ඝ කැටයම් සහිත ගල්කණු, ගල් පඩි ආදියෙන් යුතු භූමි භාගය බි්‍රතාන්‍ය පාලකයන් විසින් රාජසන්තක කිරීමට කටයුතු කරන බව වලිසිංහ හරිශ්චන්ද්‍රතුමාට සැල විය. එම ආඥාව ක්‍රියාත්මක කිරීමට අත්සන් තබා ඇත්තේ 1909 මැයි 07 වන දා ය. ඉන්පසු 1909 ජූලි 6 වැනිදා බී. ගොර්ස්බරා ඒජන්තවරයා තවත් නිලධාරීන් කිහිපදෙනෙකු සමඟ මිහින්තලා පර්වත මුදුනට නැග මුළු පර්වත භූමිය ම රාජසන්තක කර ඇතැයි නිවේදනය කළේ ය. මහසෑය, මහා මහින්ද චෛත්‍යය, ආවාස ගෘහ, මිහිඳු ගුහාව සහ නාග පොකුණු පිහිටි ප්‍රදේශයේ අක්කර 16ක් පමණ බිම්කොටස ස්වාමීන් වහන්සේලාට පින් පිණිස වෙන්කර දෙන බව තෝල්කයෙකු මගින් විහාරාධිපතීන් වහන්සේට තේරුම්කර දෙන ලදී. එම බිම් ප්‍රමාණය ආණ්ඩුවෙන් ලැබුණු බවට ලියවිල්ලකට අත්සන් කර දිය යුතු බව ද සැලකරන ලදී.

එවකට සිටි විහාරාධිපති හිමිවරුන් වූ කුඹුක්වැවේ රේවත හිමි සහ වීරපොකුණේ ගුණරතන හිමි ඇතුළු සංඝයා වහන්සේ 1909 ජූලි මස 16 වැනිදා අනුරාධපුර පූජනීය භූමියට වැඩම කොට උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ ව සාකච්ඡා කොට වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා ලවා ඉංගිරිසි බසින් ලිපියක් ලියවාගෙන ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාට යැවූහ. මිහින්තලා පර්වතය ඇතුළු සිද්ධස්ථාන නටඹුන් පිහිටි මුළු භූමි භාගය ම එහි විහාරස්ථානය හා මහා සංඝයා සතු බව එහි සඳහන් විය. අනතුරුව 1909 ජූලි 22 වැනිදා ආණ්ඩුකාරවරයා, ඒජන්තවරයා හා බුලන්කුලම රටේ මහතා ඇතුළු පිරිස මිහින්තලා විහාරයට පැමිණ නායක ස්වාමීන් වහන්සේලාට අවවාදාත්මක ස්වරූපයෙන් කතාකොට ආපසු ගියහ.

ඉන් දින කිහිපයකට පසුව බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයාගේ කාර්යාලයෙන් හසුන්පතක් මිහින්තලේ විහාරවාසී ස්වාමීන් වහන්සේලාට ලැබිණ. බ්‍රිතාන්‍ය ආණ්ඩුව නියම කළ ඉඩම් කොටස පිළිගන්නා බැව් දන්වා සතුට ප්‍රකාශ කරන ලිපියක් අප්‍රමාදව එවන ලෙසත්, ඉන්පසුව ඒ ගැන කටයුතු සම්පාදනය කරන බවත් එම නිවේදනයේ සඳහන් විය. ඊට පිළිතුරු වශයෙන් වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා විසින් ඉංග්‍රීසි බසින් කෙටුම්පතක් කරන ලදුව විහාරාධිපති ස්වාමීන් වහන්සේලාගේ නමින් උතුරු මධ්‍යම දිසාවේ ඒජන්ත වෙත යැවූ ලිපියේ සිංහල පරිවර්තනය මෙසේ ය.

‘ශ්‍රී බුද්ධ වර්ෂ 2453 හෙවත් ක්‍රි. ව. 1909 ක් වූ අගෝස්තු මස 15 වෙනි දින මිහින්තලා විහාරස්ථානයේ දී ය.

උතුරු මධ්‍යම දිසාවේ ඒජන්ත උන්නාන්සේ වෙතටයි.

භවතුනි, අප වෙත එවන ලද මේ මස 5 වන දින දරණ ලියුම ලැබී කියවා බලා ගතිමු.

දේවානම්පියතිස්ස රාජෝත්තමයාණන් වහන්සේගේ කාලයේ සඟසතු කොට පූජා කරන ලද ශුද්ධ වූ මිහින්තලා පර්වතය හා අවට සුළු පර්වත ද ගොඩමඩ භූමි භාග ද බුද්ධාගම හා සම්බන්ධ වැඩ ගැන වෙන්කර තැබීම උතුම් වූ ඉංග්‍රීසි ආණ්ඩුවට භාර වැදගත් කටයුත්තක් බව සැලකර සිටිමු.

මිහින්තලා විහාර භූමිය වනාහි ගල්ලෙන් 68ක් ද දාගැබ් 360ක් ද ප්‍රතිමා ගෘහයන් 100ක් ද සංඝාවාස 1600ක් ද පැවතියේ ය. දැනුදු ඒ දේවලින් සමහරක් පවතින්නේ ය. කුඹුරු ඉඩම් හා ගොඩමඩ බිම් ගැන පිඹුරු කඩදාසි අප්‍රමාදව සාදවාදීමෙන් මිහින්තලය සම්බන්ධ ඉදිරියට ඇතිවිය හැකි ආරවුල් වළක්වා එම උතුම් විහාරයේ දියණුවට පිටිවහල් වන මෙන් අයැද සිටිමු. මහා සංඝරත්නයට අයත් මේ මිහින්තලා විහාරයේ භූමි භාග ගැන මීට වෙනස් දෙයක් කීමට අපට නුපුළුවන් බව සලකන මෙන් ඉල්ලා සිටිමු.

තමුන්නාන්සේ විසින් මායිම් ලකුණු කරන ලද ඉඩම් කැබැල්ල අප පිළිගන්ට ලෑස්ති නැති බව සැලකර සිටිමු.’

මීට ශාසනස්ථිතිකාමී – වීරපොකුණේ ගුණරතන හිමි, කුඹුක්වැවේ රේවත හිමි.

ඊට පිළිතුරු ලිපියක් ඒජන්තවරයා විසින් 1909. 11. 03 වන දින එවා තිබුණි. එහි මෙසේ සඳහන් විය.

‘ආණ්ඩුව මිහින්තලේ ඉඩම් වෙන්කිරීමේ යෝජනාව ගෙනාවේ එහි සිද්ධස්ථානයන් ඔප්පුවක් පිට දීමෙන් සුරක්ෂිත කිරීමට ය. එය පිළිනොගත් නිසා එම දීමනාව මෙයින් ප්‍රතික්ෂේප කරන ලදී.’

මිහින්තලා පූජනීය භූමියේ බෞද්ධ අයිතිය තහවුරු කිරීම

එයින් අනතුරුව මහනුවර මල්වතු විහාරාධිපති තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද ‘මිහින්තලේ බෞද්ධ සමාගම’ මගින් මිහින්තලා පූජනීය භූමියේ සංවර්ධන කටයුතු ආරම්භ කරන ලදී. එවිට පුරාවිද්‍යා කොමසාරිස් එච්. සී. පී. බැල් මහතා මුස්ලිම් කුලීකරුවන් 103 දෙනෙකු මිහින්තලේ විහාර පර්වතයට යවා තැනින් තැන හෑරවීමට පටන් ගත්තේ බෞද්ධ ජනතාව කුපිත කිරීමේ අදහසිනි. ඒ අවස්ථාවේ දී වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා ඉදිරිපත්ව ආරාධනා පත්‍ර යවා ගිහි පැවිදි උතුමන් පනස් දෙනෙකු 1910 මාර්තු 6 වැනිදා කොළඹ මාළිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනට කැඳවා හික්කඩුවේ සුමංගල නාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පවත්වා මිහින්තලේ පුදබිම සඟසතු උරුමයක් බව කියැවෙන සන්දේශයක් හෙන්රි මැකලම් ආණ්ඩුකාරයා වෙත ඉදිරිපත් කරන ලදි. ඉන්පසු 1910.09.10 වන දින මහානායක හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආනන්ද ශාස්ත්‍ර ශාලාවේ දී යළි මහාසභා රැස්වීමක් පවත්වා සන්දේශයක් ආණ්ඩුකාරයා වෙත ඉදිරිපත් කළ ද ඊට ද සතුටුදායක පිළිතුරක් නො ලැබුණි.

එයින් තුන් මසකට පසුව 1911. 01. 27 වන දින නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මගින් සේල චෛත්‍යය මළුව, මිහිඳු ගුහාව, නාග පොකුණ ආදී සියලු පූජනීය ස්ථාන මුඩුබිම් පනතට යටත් කොට තුන්මසක් ඇතුළත රාජසන්තක කරන බවට ආඥාවක් නිකුත් කෙරිණි.

ප්‍රතිචාර වශයෙන් මල්වතු විහාරයේ මහානායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් යළිත් වරක් ආනන්ද විද්‍යාලයේ දී ම මහාසභා රැස්වීමක් කැඳවා වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා ඇතුළු ගිහි පැවිදි උතුමන් 260 දෙනෙකුගේ අත්සනින් එංගලන්තයේ මහලේකම් වෙත සන්දේශයක් ඉදිරිපත් කෙරිණි. ඊට සතුටුදායක පිළිතුරක් ලැබිණ. බෞද්ධයන්ගේ වැඩ සඳහා පූජා කර තිබෙන කිසිම සිද්ධස්ථානයක් ලංකාණ්ඩුව අත්පත් කොට ගැනීමේ අදහසක් නොමැති බව එහි සඳහන් විය.

මහලේකම්ගේ නියමය එසේ වුව ද මිහින්තලා මහාවිහාර භූමියේ ඉතා වැදගත් කොටස විහාරස්ථානය සඳහා වෙන්කොට ඉතිරි ඉඩම් ආණ්ඩුව අත්පත් කර ගන්නා ලදී. ඊට විරුද්ධව නැගී සිටි වලිසිංහ හරිශ්චන්ද්‍රතුමාගේ දැඩි කැපකිරීම් මධ්‍යයේ ‘මිහින්තලේ බෞද්ධ සමාගම’ ඉදිරිපත් ව මිහින්තලා පූජා භූමිය සම්පූර්ණයෙන් නිදහස් කර ගැනීමට කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් එම සිද්ධස්ථානය ඇතුළු රජරට සමස්ත පූජනීය භූමිය ම ඒකාබද්ධ කොට සංවර්ධනය කිරීමේ කාර්ය අරඹන ලද්දේ ය.

ඓතිහාසික සටහන – දයාපාල ජයනෙත්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

පිරිහෙන ලොවක නොපිරිහෙන සැබෑ ශ්‍රාවකයෝ

"තාක්ෂණයේ දියුණුවත් සමඟින් මුළු ලෝකය ම එක ම විශ්ව ගම්මානයක් ලෙස කටයුතු කරන යුගයක රූපවාහිනී, ගුවන්විදුලි, අන්තර්ජාලය වැනි විවිධ මාධ්‍ය ඔස්සේ දිවා රාත්‍රී ධර්ම ප්‍රචාරය වුව ද ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක ශ්‍රාවිකාවන් සිටිය ද සැබැවින් ම යථාර්ථය අවබෝධ කර ගැනීමට උත්සාහ දරන්නේ ඉතාමත් අල්ප වූ පිරිසකි. "