මීට පෙර මහාමේඝයේ පළවූ ලිපි කිහිපයකින් ම බඹසර රැකීමේ ආනිසංස ගැන ඔබට කියවන්න ලැබුණා. බඹසර ගැන මෙතරම් කතා කරන්නට හේතුව; අනාගතයේ මේ සීලය ලෝකයෙන් අතුරුදහන් වනවා. ඒ ගැන කතා කරන්නේවත් නැතිව යනවා. කාම සිත් පාලනය කිරීම මානසික රෝග උපද්දවන හේතුවක් බව දැනටමත් කාමුකයන් පවසනවා. නමුත් ලෝකයේ ශ්‍රේෂ්ඨ පුරුෂයන් පුරුදු කළ එක්තරා ප්‍රතිපදාවක් මේක. පැවිදි වූ අය මුළු ජීවිතය ම බඹසරට පුදන්න ඕනා. දරුවන් විවාහ වන තුරු කුමර බඹසර, කුමරි බඹසර රකින්න ඕනා. ඒක මහා වාසනාවක්.

අනාගතය සාර්ථක කරනවා. විවාහ වූ අය කාලෙන් කාලෙට බඹසර රකින එක හොඳයි. වයසක අයත් දිවි හිමියෙන් සමාදන් වන්නට වටිනවා. කෙසේ නමුත් මේ උතුම් සීලය ආරක්ෂා කරගෙන පින් පල විපාක ලැබූ සොඳුරු කතාවක් ගැනයි දැන් ඔබට කියවන්න ලැබෙන්නේ.

මේ මහා භද්‍ර කල්පයේ කකුසඳ භාග්‍යවතුන් වහන්සේ පහළ වුනා. ඒ කාලේ එක්තරා භික්ෂුවක් හිටියා. උන්වහන්සේ හරි පරිස්සමෙන් බඹසර රැකගත්තා. නොමග යන හිත පාලනය කරගන්න උත්සාහ කළා. සීලය හොඳින් ආරක්ෂා කළා. ඒ අතර බ්‍රහ්මචාරී බව පණ වගේ රැක ගත්තා. තථාගත ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කළා. ඒත් මග ඵල ලබන්න බැරි වුණා. එතනින් කළුරිය කරලා දෙව්ලොව උපන්නා. සසර ගමනට වැටුනා. මේ සසරෙන් ගැලවෙන එක ලේසි නැහැ. සමහරවිට බුදුරජාණන් වහන්සේලා මුණ ගැහිලත් මග හැරෙනවා. රහතුන් ළග ඉඳලත් මග හැරෙනවා.

සසරින් එතෙර වනවා කියන්නේ විස්මිත ප්‍රාතිහාර්යයක්. අතිශයින්ම විස්මිතයි. නමුත් බුද්ධ ශාසනයක් මුණ ගැහීම භාග්‍යයක්. ඒක කවදා හරි විපාක දෙනවා. ඉතින් මේ කෙනා අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ වැදි පවුලක උපන්නා. පුදුම සසරක් කියන්නේ ඒ නිසයි. දැන් ඉතින් පුංචි කාලේ ඉඳලා දඩයමේ යනවා. මේ පොඩි ළමයා හරි දරදඬුයි. කාටවත් නැමෙන්නේ නෑ. කතා බහ අඩුයි. හරි සවිශක්තියෙන් යුක්තයි. වයස හතේදී මහා පොරවක් අතට දීලා අම්මා කිව්වා ‘තෝ දැන් තනියෙන් දඩයන් කොරාන ජීවත් වෙයං. ආයෙ මෙහෙ එන්ට එපා.’ කියලා. දැන් පොඩි එකා තනියෙන් ජීවත් වෙනවා. මොහුගේ හයි හත්තිය කොච්චර ද කියන්නේ ළඟට එන දිවියාට විලුඹින් ගසා හිස කුඩු කරන්න පුළුවන්. මොහුගේ හඬට සිංහයෝ මග හරිනවා. ඒ වනයට මිනිස්සුත් යන්න බයයි. මිනිස්සු හිතුවේ අංගුලිමාල ඉන්නේ ඒ කැලේ කියලා. දැන් මේ වැද්දා වයසින් මෝරලා. හැබැයි ජීවිතේට නොසිතුන දෙයක් තිබුණා. ඒ තමයි කාන්තාවකගේ පහස ලබන්න ඕනා යන අදහස. ඔහුට ස්ත්‍රීන් අප්‍රියයි. ඒ වැද්දා උපතින්ම කාම ක්‍රීඩාවෙන් බැහැර වූ කෙනෙක්. ඒ සසරේ බඹසර රැක්ක පින. අපගේ ආර්ය වූ අංගුලිමාලයන් වහන්සේගේ වනවාසී ජීවිතයත් ඒ වගේමයි. අංගුලිමාලයන් ඇඟිල්ල කපාගන්නවා මිසක් ස්ත්‍රියකගේ ශරීරය කවදාවත් ස්පර්ශ කරලා නැහැ. මලමිනී සමග කාම සේවනයේ යෙදෙන සිද්ධි අද කාලයේ අහන්නට ලැබෙතත් නාඹර තරුණ වියේ සිටි අංගුලිමාල ඒ පෙරේතකම බැහැර කළ කෙනෙක්. අංගුලිමාලයන් ද හරිම පිරිසිදු කෙනෙක් ඒ ජීවිතයෙන්.

ඉතින් අර වැද්දා කාටවත් යටහත් නැහැ. ඇත්තු පවා ඔහු ඉන්න දිශාව මග හරිනවා. පුදුම තේජසක්. ඒ කලින් රැකපු බඹසරේ විපාක. බ්‍රහ්මචාරී සීලයේ පිනෙන් තේජස උපද්දවනවා.

කාමාශක්ත බව කෙනෙකුව හීන කරවනවා. දිනක් මහවනයේ ඇවිදගෙන යද්දි මහා තෙදවත් රහතන් වහන්සේ නමක් මුණ ගැසුනා. උන්වහන්සේ දුටු ගමන් මේ වැද්දාගේ දණහිස් පණ නැතිව දණ ගැහුණා. අත් දෙක එකතු කරගෙන බලාන හිටියා. උන්වහන්සේ ළගට ඇවිත් පාත්‍රය වැද්දාගේ අතේ තිබ්බා. වැද්දා පසුම්බියෙන් පැණිවල දාපු දඩ මස් පාත්‍රයට පූජා කළා. පැත්තකින් ඉඳගෙන වළඳන හැටි බලාන හිටියා. උන්වහන්සේ ඇහුවා ඔය පව් වැඩ නතර කරන්න බැරිද කියලා. වැද්දා ඇහුවා පව් වැඩ කියන්නේ මොනවද කියලා. උන්වහන්සේ තිසරණය සරණ කරගෙන පවින් වළකින හැටි කියා දුන්නා. සිල් රකින හැටි කියා දුන්නා. තුන්වැනි සිල් පදයත් බඹසරත් ගැන කියා දෙද්දි ම ඒ වැද්දා සෝවාන් ඵලයට පත් වුණා. මීට කලින් බුද්ධ ශාසනයක බඹසර රැකීමේ පින ඒ විදිහට විපාක දුන්නා. හරිම පුදුම සහගතයි නේද!

ඉතින් ආයේ ඒ ශ්‍රමණයන් වහන්සේ දකින්න ලැබුනේ නැහැ. ඔහු පවින් වැළකුනා. ටික කාලයකින් ඔහු අකාලේ මිය ගියා. තව්තිසාවේ උපන්නා. අපගේ ආර්ය වූ අංගුලිමාලයන් වහන්සේ ද ටික කාලයයි වැඩ ඉඳලා තියෙන්නේ. ඉක්මනින් පිරිනිවන් පෑවා. ප්‍රාණඝාතයේ ම යෙදිලා ඉන් වැළකුණු අයගේ ඉරණම ඔය විදිහට තමයි විසඳිලා තියෙන්නේ.

ඉතින අර දිව්‍ය පුත්‍රයාට දිව්‍ය අප්සරාවෝ හැටදාහක් ඉන්නවා. රන් ලියවැල් වගේ ලස්සනයි. ඒත් ඔහු බ්‍රහ්මචාරීයි. එච්චර ලස්සන දිව්‍ය ස්ත්‍රීන් හැටදාහක් මැද පිරිසිදු ප්‍රතිපදාවක ඉන්න හැකියාව ඉපැද්දුවේ සසරේ රැකපු බඹසරයි. ඒ දිව්‍යපුත්‍රයාගේ අණට සියලු දෙනා යටත්. ඒ අප්සරාවෝ ද දාසියන් සේ යටහත් පහත්ව ගරු බුහුමන් දක්වමින් ඔවුන් ද බඹසර රකිනවා. ස්ත්‍රීන්ට යටත් නොවී තමන්ගේ වචනයට ස්ත්‍රීන් යටත් වීමේ සංස්කාරය බඹසරින් උපද්දවනවා. ඒ වගේම බලන්න කෙනෙකුගේ බඹසර තවත් කී දෙනෙක්ගේ බඹසරට බලපානවාද කියලා. යම් කෙනෙක් බඹසරට ආසා කොට දෙව්ලොව උපදිද්දී ඔවුහූ මේ දිව්‍යපුත්‍රයා යටතේ ම උපත ලබලා තියෙනවා. මේ දිව්‍යපුත්‍රයාගේ විමානයේ දොරටුපාලයා පවා බ්‍රහ්මචාරීයි. ඒ විමානයේ කිසිවෙක් බඹසරට අකැමති අය නම් නැත. කාමය නම් පිළිකුල්ය. ඔවුන් නිතර පතනා දෙයක් ඇත, එනම් නිවන් දකිනා ජාති දක්වා කරුණක් ඇතිව හෝ පිරිමියෙක්වත් අපගේ ශරීර ස්පර්ශ නොකරත්වා යන ප්‍රාර්ථනාවයි. ස්ත්‍රීන් ගැන කවර කතාද? එතරම් බඹසරට ආසා ඇත්තේය. එහි සැපය එතරම් දන්න නිසා එසේ ප්‍රාර්ථනා කරති.

බ්‍රහ්මචාරීහු බ්‍රහ්මචාරීන්ට ම මුණ ගැසෙනවා. එයත් බඹසරෙහි විපාකයක්. ඒ දිව්‍යපුත්‍රයා මාර්ගඵලලාභී කෙනෙක් නිසා ඔහුගේ පිරිවරට කොතරම් අනුග්‍රහයක් ද. ඉතින් මේ දිව්‍යපුත්‍රයා සුධර්මා දිව්‍ය සභාවට පැමිණෙද්දී සියලු දෙවිවරු හිස පහත් කොට ගරු කරනවා. ඒ වනාහී බඹසරෙහි විපාකයකි. සක් දෙවිඳු තම යහළුවෙකු සේ ඇසුරු කරනවා. උතුම් අයගේ ඇසුර බඹසර නිසා ලබා දෙනවා. මොහුට දිව්‍ය සභාවේ නියෝග පැනවෙන්නෙ නෑ. මොහුගේ අදහස් විමසනවා. අන් අයට දාස නොවීමට බඹසර පින බලපානවා. මේ වනාහී එක්තරා දෙවියෙකුගේ විමාන කතාවකි. මේ කතාව බඹසර රකින අයට දෙව්ලොවත් බඹසර රැකීමට උපකාර ඇති බවට මහත් අස්වැසිල්ලකි. අමාරුවෙන් නමුත් උතුම් සීලයක් පුරුදු කරනකොට එහි විපාකය කවදා හෝ තමාව සුවපත් කරන බවයි ඒ විස්තර කෙරුණේ. තුනුරුවන් පිහිට කරගෙන ශාසනයට ගෞරවයෙන් සිල් රැකීම කොයි තරම් යහපත් දැයි දැන් ඔබට තේරෙනවා ඇති. මේ කතාව බඹසරේ පිනට එක් උදාහරණයක් පමණි. තවත් කොයිතරම් නම් විස්තර ඇත්ද!

අද පවා සසරේ කරන ලද පින්වල විපාකයෙන් හොඳින් බඹසර ආරක්ෂා කරගෙන ගුණධර්ම පුරුදු කරන අය සිටිනවා. ඒක මහා වාසනාවක්. තවත් බෙහෝ දෙනා සිල් පුරුදු කරන්නට ගොස් නොහැකි වීමෙන් පීඩාවෙන් සිටිනවා. අපට නොහැකි යැයි අඳෝනා නගනවා. නමුත් හේතු හැදෙනකොට ඵලය ලැබෙනවා. ඒ නිසා බඹසර රකිමින් පිං කරන්න.

– මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි