අංගුත්තර නිකායේ පංචඉට්ඨධම්ම නම් සූත්‍ර දේශනාවේදී භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරනවා. “පින්වත් මහණෙනි, ලෝකයේ ලැබීමට දුර්ලභ වූ ඉෂ්ට, කාන්ත, ප්‍රියමනාප කාරණා පහක් තිබෙනවා. එම කාරණා ප්‍රාර්ථනා කිරීමෙන් හෝ යාඥා කිරීමෙන් හෝ ලැබිය නො හැකියි. එම කාරණා ලැබෙන්නේ ඒවා ලැබෙන ප්‍රතිපදාවන් අනුගමනය කිරීමෙන් පමණි. එම නිසා ආර්ය ශ්‍රාවකයන් විසින් එම කාරණා ලබාගැනීම පිණිස ප්‍රාර්ථනා කිරීම හෝ ආයාචනා කිරීම නො කළ යුතුයි. එම කාරණා පහ නම් ආයුෂය, වර්ණය, සැපය, යසස, සුගතිය යන මේවා ය.”

එම කරුණු ලබාගැනීම පිණිස පුරුදු කළ යුතු ප්‍රතිපදාවන් ලෙස භාග්‍යවතුන් වහන්සේ සූත්‍ර දේශනා තුළ පෙන්වා දී ඇත්තේ පහත සඳහන් කරුණු ය.

ආයුෂ – ප්‍රාණඝාතයෙන් වැළකීම, බ්‍රහ්මචාරී ජීවිතයක් ගතකිරීම, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම, සිල්වතුන් ගුණවතුන් වහන්සේලාට ගෞරවයෙන් වන්දනාමාන කිරීම.

(අභිවාදන සීලිස්ස – නිච්චා වද්ධා පචායිනෝ
චත්තාරෝ ධම්මා වඞ්ඪන්ති – ආයු වණ්ණෝ සුඛං බලං)

වර්ණය – මෛත්‍රී සහගත ක්‍රියාකිරීම, මෛත්‍රී සහගත වචන කථාකිරීම, මෛත්‍රී සහගත අදහස් පැවැත්වීම, මෛත්‍රී භාවනාව වැඩීම සහ ශ්‍රද්ධාවෙන් දන්දීම.

සැපය – දානමය පුණ්‍ය ක්‍රියා, සීලමය පුණ්‍ය ක්‍රියා, භාවනාමය පුණ්‍ය ක්‍රියා සිදුකිරීම.

“මහණෙනි, පින යනු සැපයට කියන තවත් නමකි. ඉෂ්ඨ වූ ප්‍රිය වූ මනාප වූ දෙය ලබාදෙන දෙයට කියන නමකි.” (මා පුඤ්ඤභායී සූත්‍රය – ඛු.නි.)

යසස –
උට්ඨානවතෝ සතිමතෝ – සුචිකම්මස්ස නිසම්මකාරිනෝ
සඤ්ඤතස්ස ච ධම්මජීවිනෝ – අප්පමත්තස්ස යසෝ’භිවඞ්ඩති

නැගී සිටින වීරියෙන් යුක්ත නම්, හොඳින් සිහිය පවත්වනවා නම්, පිරිසිදු ක්‍රියාවෙන් යුක්ත නම්, නුවණින් විමසා බලා කටයුතු කරනවා නම්, සංවර නම්, ධාර්මික ජීවිතයක් ගෙවනවා නම්, අන්න ඒ අප්‍රමාදී කෙනාගේ කීර්ති රාවය ඉහලින් ම පැතිරෙනවා.

ඒ වගේ ම යම් කෙනෙක් අනුන්ට ලැබෙන ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදියට ඊර්ෂ්‍යා නොකරයි නම්, අනුන්ගේ දියුණුව දැක සතුටු වෙයි නම් ඔහු උපනුපන් ආත්මභාවවල මහේශාක්‍ය (ඉහළ සමාජ තත්වයක් සහිත, සියලු දෙනාගේ ම පිළිගැනීමට ලක්වෙන) කෙනෙක් වෙනවා.

සුගතිය –
දන් දීම සුගතියට ඉණිමගකි.
(දානං සග්ගස්ස සෝපානං)

සිල් රකින කෙනා, දස කුසලයෙන් යුතු කෙනා මරණින් මතු සුගතියේ උපදිනවා.
(කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උප්පජ්ජති)

නිතර නිතර බහුල වශයෙන් මෛත්‍රී භාවනාව වඩන කෙනා, මේ ජීවිතයේදී ඉහළ මාර්ග-ඵල අවබෝධයකට පත් නොවුනහොත් බඹලොව උපදිනවා. (උත්තරිං අප්පටිවිජ්ඣන්තෝ බ්‍රහ්මලෝකූපගෝ හෝති)
එමෙන් ම “ඉජ්ඣති භික්ඛවේ සීලවතෝ චේතෝපණිධි” “සිල්වත් කෙනාගේ බලාපොරොත්තුව ඉටු වේ” යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට ඇත්තේ ද හුදු ප්‍රාර්ථනාවකින් නොව සිල්වත් ගුණවත්භාවය තුළින් පැතුම් ඉටුවන බැවිනි. එම නිසා සංඛාරුප්පත්ති සූත්‍රයේ ද (මජ්ඣිම නිකාය 3) සඳහන් ආකාරයට ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා යන සේඛ බල ඇතිකරගෙන කරනු ලබන ප්‍රාර්ථනාවන් සඵල වේ.