‘‘දේවතා වුති” නම් සූත‍්‍ර දේශනාවේ දී භාග්‍යවතුන් වහන්සේ වදාළේ, චුත වෙන දෙවියන් අතරින් නැවත දෙවියන් අතර උපදින්නේ ඉතා ස්වල්පයක් බවයි. බොහෝ දෙවිවරු මරණින් මතු නිරය, තිරිසන් ලෝකය, පේ‍්‍රත ලෝකය, අසුර ලෝකය යන සතර අපායේ උපදින බවයි. සක්කාය දිට්ඨිය මත පදනම් වූ පෘථග්ජන භාවය ඊට හේතුවයි. මිනිස් ලොව දී රත්න හතක් සහ ආශ්චර්ය කරුණු සතරක් ද ඇතිව, දෙතිස් මහා පුරිස ලකුණු ද ලබා මුළු පෘථිවියට ම ධාර්මිකව රජකම් කරන සක්විති රජු පවා දෙව්ලොව ඉපිද ආයුෂ ගෙවීමෙන් පසු දුගතිගාමී විය හැකි බවයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ. වරක් එක්තරා දිව්‍ය පුත‍්‍රයෙකුගේ, මල් නෙළමින් සිටි දිව්‍යාංගනාවන් 500ක් ආයුෂ අවසන් වී චුත වුණා. දිව්‍ය පුත‍්‍රයා ඔවුන් ඉපදුණේ කොහේදැයි බලද්දී 500 දෙනාම නිරයේ ඉපිද සිටියා.

මේ නිසා දෙව්ලොව උපත පවා රැකවරණයක් පිණිස පවතින්නේ බුද්ධ ශාසනයක් තුළ ආර්ය ශ‍්‍රාවකත්වයට පැමිණීමෙන් පමණයි. මනුලොව දී මග ඵල ලබා දෙවිලොව ඉපදීමෙන් හෝ ශ‍්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප‍්‍රඥ යන සේඛ බල දියුණු කරගෙන දෙවිලොව දී මග ඵල ලැබීමෙන් හෝ යළිදු කිසිදු දිනක දුගතිගාමී නොවන උදාර ජීවිතයක් ඇතිකර ගත හැකියි. එම නිසා භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරා තිබෙනවා.

‘‘මුළු පෘථිවියට ම රජකම් කරනවාටත් වඩා, සුගතියේ උපදිනවාටත් වඩා, සක්දෙවි තනතුර ලබනවාටත් වඩා, සෝතාපන්න වීම ම යි උතුම් වන්නේ.”
(පඨව්‍යා එ්කරජජේන – සග්ගස්ස ගමනේන වා, සබ්බ ලෝකාධි පච්චේන – සෝතාපත්ති ඵලං වරං)

යොමු කරන්න ඔබේ දහම් ගැටලූවත් අප වෙත….

තැපැල් පත් : ‘ඔබේ දහම් ගැටලූව’, මහාමේඝ,
41 ශ්‍රී විජයාරාම පටුමග, නුගේගොඩ
ඊ මේල් : ask@mahamegha.lk
SMS : 071 547 86 55
තැපැල් පත්, ඊ මේල්, SMS ඔස්සේ පමණක් කෙටියෙන් ගැටලූ ඉදිරිපත් කළ හැකි බව කරුණාවෙන් සලකන්න
ඔබේ ගැටලූවලට පිළිතුරු ඉදිරි මහාමේඝ කලාපයන් ඔස්සේ…