highlights of the week
Home » NEW ARTICLES » පිරිතේ හාස්කම්

පිරිතේ හාස්කම්

(පුරාණ පොතකින් එන මහා ආරක්ෂක විධි)

අතීතයේ සිට ම “පිරිත” කියන වචනය ආරක්ෂාව කියන අර්ථයෙන් භාවිතා විය. තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයා තමාගේ සරණත් ඒ වගේම තමන් සරණ ගිය ශාස්තෘන් වහන්සේගේ අනන්ත ගුණ බලයත්, ශ්‍රී සද්ධර්මයේ ගුණානුභාවයත්, මහරහතුන්ගේ ආනුභාවයත් සිහිකරමින් ඒ ඒ අවස්ථානුකූලව හාස්කම්, විශ්මිත ක්‍රියා කළ බව ඔබත් අසා ඇති. නමුත් හින්දු හා බ්‍රාහ්මණ ආක්‍රමණ නිසා තිසරණ බලය අපේ අය ම හීන කර ගත්තා. මොහොතක් හිතන්න, මෙවැනි වෛද්‍ය විද්‍යාක්‍රම නොතිබුණ යුගයක මිනිසුන් කොහොමද ජීවත් වූයේ කියලා. එදා තම තමන්ගේ ජීවන බාධක දුරුකර ගන්නට ඔවුන් යම් යම් ක්‍රමවේදයන් අනුගමනය කළේ නම් අද ඒවාට සිදු වූයේ කුමක්ද? ඒ ආනුභාව සම්පන්න ආරක්ෂා ක්‍රමයන් සමාජයෙන් තුරන් වූවාද? නැතහොත් ඒ තියුණු අසිපත් ගෙයි මුල්ලේ මලකඩ කනවාද?

මහමෙව්නාවේ දහම් ප්‍රචාරයත්, උතුම් කල්‍යාණමිත්‍ර ආශ්‍රයත් නිසා තිසරණ සරණ ගිය ශ්‍රාවක පිරිසක් බිහි වූ බව රහසක් නොවේ. සියලු දෙනාම නොවුනත් ඒ අතර පිරිසක් සිටිනවා දිවිහිමියෙන් තෙරුවන් සරණ ගිය. ඒ අයට පුළුවන් ආයෙත් ඒ බාධක මැඩ පවත්වන පුරාණ ආරක්ෂක ක්‍රම පුරුදු කරගන්න. අදටත් පැරණි පොත් පත්වලත්, පැරණි ගැමියන් තුලත් ඒ පැරණි ආරක්ෂාවන් ඉතිරිව නැතැයි කිව නොහැක. පැරැන්නන්ගෙන් අසා දැන ගත් දේවලුත් පැරණි පොත පතිනුත් කියවන්න ලැබුණු දේවල් ලිපි පෙළකින් මෙසේ ලියන්නටයි මේ වෑයම.

ඊට කලින් ඒ පුරාණ විස්තර කිරීම ලියන්නම්. ඒ තමයි තථාගතයන් වහන්සේ සරණ යාමක් ඇද්ද, ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට ගරු කිරීමක් ඇද්ද, ආර්ය මහා සංඝ රත්නය කුලදේවතාවුන් කරගැනීමක් ඇද්ද ඔහු මහා බලසම්පන්න බවකින් යුත්තයි. මහා ආනුභාවයකින් යුත්තයි. දෙවියන් බඹුන් පවා තෙරුවන් සරණ ගිය, ශීලයෙන් යුක්ත ගිහි ශ්‍රාවකයාට පවා ගරුකරන බව දෙවියන් අතර නම් ප්‍රකට කරුණක්. ඒ නිසා මුළු හදවතින් ම තෙරුවන් සරණ යන්නට බාධා ඇතිවෙනවා. හැබැයි එහෙම සරණ ගියොත් ඒක සුළු දෙයක් නම් නොවෙයි. තුනුරුවන් සරණ ගිය, ශ්‍රී මුඛ බුද්ධ වචනය විශ්වාස කරන ශ්‍රාවකයෙකුට පිරිතෙන් ප්‍රාතිහාර්ය පාන්ට පුළුවනි. මේ ලිපි මාලාවෙන් ඊට මග පෙන්වීමක් කරන්න තමයි වෑයම් දරන්නේ. පිනැත්තෝ ප්‍රයෝජන ගනිත්වා ! පිහිට සලසා ගනිත්වා ! පිරිත් ආරක්ෂාව ඉගෙනගන්නට කලින් ධර්මාදාස නම් වූ මිලින්ද ප්‍රශ්නයේ එන මලපුඩුවෙන් මිදීමේ පැනය විමසා බලත්වා ! එය සැකෙවින් මෙසේය.

මිලින්ද රජු නාගසේන මහරහතන් වහන්සේගෙන් මෙසේ විමසයි “ස්වාමීනී නාගසේනයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වදාළා නේද මේ මරණයෙන් ගැලවෙන්නට අහසේ හෝ සමුද්‍රයේ හෝ කඳු විවරයක හෝ ලෝකයේ කිසිම තැනක් නැහැ කියලා, නැවතත් භාග්‍යවතුන් වහන්සේ වදාළා නේ ආරක්ෂාව පිණිස රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය, ඛන්ධ පිරිත, මෝර පිරිත, ධජග්ග පිරිත, ආටානාටිය පිරිත, අංගුලිමාල පිරිත භාවිතා කරන්න කියලා. මේක ප්‍රකාශ දෙකක් නෙව. මේ උභතෝකෝටික පැනය විසඳා දෙන සේක්වා !”

නාගසේන මහරහතන් වහන්සේ මෙසේ වදාළ සේක. “මහ රජතුමනි, ඒ ප්‍රකාශ දෙක ම භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. පිරිත භාග්‍යවතුන් වහන්සේ වදාළේ ආයුෂ ඉතිරි වූ, වයස සම්පන්න වූ, අකුසල කර්මයෙන් නොවැසී ඇති තැනැත්තාටයි. මහරජාණෙනි, ආයුෂ අවසන් වූ අයෙකුට පැවැත්ම පිණිස ක්‍රියාවක් හෝ උපක්‍රමයක් නැත්තේ ම ය. මැරුණු ගසට දිය වත් කල ද ප්‍රයෝජන නැත්තා සේය. පැසී ගිය ගොයමට ජලයෙන් ප්‍රයෝජන නැත්තා සේ ය. එහෙත් ජලයෙන් වැඩෙන වයස් සම්පන්න තරුණ ගොයම් ඇද්ද ඒවා දියෙන් වැඩෙයි. ඒ වගේම ආයුෂ ගෙවුන කෙනා පිරිතෙන් ගොඩ ගන්නට නොහැකිය. එහෙත් යම් මිනිසුන් ආයුෂ ශේෂව පවතී ද වයස් සම්පන්නව සිටී ද ඔවුන්ගේ පැවැත්ම පිණිස බෙහෙත් පිරිත් වදාරන ලද්දේය. ඔවුහු බෙහෙත් පිරිත්වලින් වැඩෙත්. රැකෙත්.”

පිරිත් කීමේදී පළමු ආරක්ෂාව, යහපත සිදුවන්නේ පිරිත් කියන කෙනාට ය. එය මිලින්ද ප්‍රශ්නයේ මේ අයුරින් සඳහන් වේ. “මහරජාණෙනි, පිරිත් දේශනා පවත්වන කල්හි ශබ්දය ඇසෙයි. දිව වියලෙයි. සිත පෙරලෙයි. උගුර ආතුර වෙයි. ඔවුන්ගේ පිරිත පවත්වන කල්හි සියලු රෝගාබාධ සංසිඳෙයි. සියලු අන්තරායෝ පහවෙති.” මේ අනුව පිරිත් සජ්ඣායනා කරන්නාත් අසන්නාත් ආශීර්වාද ලබාගන්නෝ බව පෙනේ. උගුර ආතුර වීම, දිව වියලීම ආදී විස්තරය බලන විට 7 වතාව, 21 වතාව, 108 වතාව, දහස් වතාව ආදී වශයෙන් පිරිත් කියනා වාර ගණන පසුව ආවාදැයි සිතේ.

මන්ත්‍ර ජප කිරීමෙන් සර්ප විෂ බැස්සවීම වගේම අතීතයේ අහසින් යෑම, නොපෙනී යෑම ආදී නොයෙක් හාස්කම් සිදුවිණි. ඒවා එසේ නම් වචනයක් වචනයක් පාසා රහතුන් බිහි කරවන, දසබල ඤාණ තුල පිහිටා, විශාරද ඤාණ තුල පිහිටා, අනන්ත සම්බුදු බලයෙන් අර්ථ සහිතව, සිදුවූ දෙයක් ම වදාරණ, ලෝක ධාතු ලක්ෂ කෝටි ගණන් කම්පා කරවන වචන ඇති අපගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයෙහි කොතරම් ආනුභාවයක් ඇද්ද? රතන සූත්‍රාදී ආරක්ෂක පිරිත් ශ්‍රාවකයාගේ ආරක්ෂාව පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් ම වදාරණ ලද්දේ ම ය.

පිරිතෙන් කරන ලද හාස්කම් බිඳක් නාගසේන මහරහතන් වහන්සේ මෙසේ වදාළ සේක. “මහරජාණෙනි, පිරිතෙන් ආරක්ෂාව ලැබූ කල්හී, පුරුෂයෙකුට දෂ්ඨ කරනු කැමති සර්පයා දෂ්ඨ නොකරයි. විවර කල මුඛය වසා ගනී. සොරුන් විසින් ඔසවාගත් මුගුරත් ඇඟට නොවදී. ඔවුහු මුගුරු බැහැර දමා ප්‍රේමයෙන් ළගට එති. කිපුණු හස්තියා ළඟටම දුව විත් නවතී. දැල්වෙන ගිනිකඳ පවා ළඟට පැමිණ නවතී. කැවුණු හලාහල විෂ පවා බෙහෙතක් වෙයි. ආහාරයක් වශයෙන් හෝ දිරවා යයි. නසනු කැමතිව ළඟට පැමිණි වධකයෝ, ළඟට පැමිණි දාසයෝ වෙති. පයට පෑගුණු උගුලට හසු නොවෙති.” මේ විස්තරය සිව් පිළිසිඹියා පත් ත්‍රිවිද්‍යාලාභී නාගසේන මහරහතන් වහන්සේගේ ය.

පිරිත නිතර භාවිතා කළ යුතුය. ඒතාක් ආරක්ෂාවයි. ඒ ගැන මෙසේ සඳහන්ය. “මහරජාණෙනි, පිරිතේ ආරක්ෂාව කරගත් මොණරා සත්සිය වසරක් වැද්දාගේ උගුලෙහි නොවැටී සිටියේය. පිරිත් ආරක්ෂාව නොකළ දිනයේ ම උගුලට හසු වූයේය.” එනිසා නිතර පිරිත් සිහි කළ යුතුය. වත පිරිත නොකරන භික්ෂුව වුවද වහා පිරිහෙන්නේය. යම් භික්ෂුවක් සිවුරු හැර ගිහි වූයේ නම් ඔවුන් ගැන සිහි කරද්දී ඒ භික්ෂුව බුද්ධ වන්දනා, වත පිරිත ආදිය මග හැරිය බව පොදු ලක්ෂණයක් ලෙස අපි ද අසා ඇත්තෙමු.

පිරිතේ ආරක්ෂාව හැම දෙනාටම ලැබේද යන මිලින්ද රජුගේ පැනයට නාගසේන මහ රහතන් වහන්සේගේ පිළිතුර හරි අගේ ය. පැහැදිලි ය. විස්මිත ය. උන්වහන්සේ පවසන්නේ සියලු දෙනාට ම එක ලෙස ආරක්ෂාව නොලැබෙන බවයි. එයට හේතුව පිරිත නොව පිරිත භාවිතා කරන කෙනා බව මෙලෙස පැහැදිලි කරයි.

“මහරජ, ආහාරය වැඩිපුර ගැනීම නමැති මිනිසාගේ වරද නිසා ආහාරය ඔහු ජීවත් කරයි ද?”
“නැත ස්වාමීනී, ආහාර වැඩිපුර ගැනීම නිසා විසූචිකා රෝගයෙන් ඔහු මැරෙයි.”
“එසේ වන්නේ ආහාරයේ වරදක් නිසාද?”
“නැත ස්වාමීනී, ආයුෂය දෙන්නා වූ භෝජනය වැඩිපුර කෑමෙනුත් කුසගින්න දුර්වල බැවිනුත් ඒ නපුරු කරුණු යෙදීම නිසා ජීවිතය නසයි.”
“මහරජ පිරිතත් එසේ ම යි. ජීවය ලබා දෙන ආහාරයක් වගේ. එහෙත් භාවිතා කරන කෙනාගේ ස්වභාවය අනුව ප්‍රතිඵලය වෙනස් වෙනවා. මහරජතුමනි, තුන් කරුණක් නිසා පිරිතේ ආරක්ෂාව නොලැබී යනවා.

I ඔහුගේ ජීවිතය හා ආරක්ෂාව කර්මයෙන් වැසී යෑම.
II කෙලෙසුන්ගෙන් වැසී යෑම (පිරිතට සිත මනාව යොමු නොවී රාග අරමුණු, ද්වේෂ අරමුණු, ඉරිසියා ක්‍රෝධ නපුරුබව ආදී උපක්ලේෂ හිතේ බලවත් වූ විට පිරිතේ ආරක්ෂාව නොලැබී යයි.)
III විශ්වාසය නොමැති බව.

මේ අනුව අනන්ත ආනුභාවය ඇති පිරිතේ ආරක්ෂාව නැති වෙන්නේ තමාගේම ක්‍රියාවෙනි.

“මහරජතුමනි, පිරිත් බලය අම්මා කෙනෙක් වගේ. තම පුතු අශූචියෙන් බැහැරකොට නාවා සුවඳ කොට සනසා ආරක්ෂා කරයි. ඒත් ඇගේ පුතු සීමාව ඉක්මවා ගිය වරදක් කොට රජයට පමුණුවා දඬුවම් දෙන විට ඒ මවට පුතාව රැකගත නොහැක. එසේ වන්නේ මවගේ වරදින් නොව පුතු කළ ක්‍රියාව නිසාවෙනි. ඒ වගේම ආරක්ෂාව ඇති පිරිතෙන් කර්ම බලවේගයෙන් යටපත් වීම, ක්ලේස වසඟය හා විශ්වාස නැති කම නිසා ආරක්ෂාව නොසැලසෙයි.”

ඒ නිසා සිත පහන් කරගෙන ශ්‍රී මුඛ බුද්ධ වචනය ගැන විශ්වාසයෙන් පිරිත් ආරක්ෂාව නිතර භාවිතා කරත්වා! රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය, මෝර පිරිත, ඛන්ධ පිරිත, ධජග්ග පිරිත, අංගුලිමාල පිරිත, ආටානාටිය පිරිත යන සක්වල ලක්ෂ කෝටියක පැතිරුණු ආනුභාව ඇති පිරිත් බල හාස්කම් ගැන ඉදිරියේදී මහාමේඝයෙන් කියවන්න ලැබේවි. එතෙක් ඒ පිරිත් හත කටට හුරුකරගන්න. විස්තර ඉගෙන ගන්නකොට පුදුම හිතේවි. පෞරාණික පොත පතේ විස්තර හා පුරාණ කෙම් ක්‍රම ගැන මීළඟ කලාපයෙන් බලාපොරොත්තු වන්න. ඔබ සැමට උතුම් සම්බුදු බලයෙන්, පසේබුදු ගුණ බලයෙන්, රහතුන්ගේ තේජසින් සියලු රැකවරණ වේවා !

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසින් සම්පාදිතයි.

One comment

  1. තෙරුවන් සරණයි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

සෝවාන් මාර්ගය සහ සෝවාන් ඵලය

".......යම්තාක් සෝවාන් ඵලය සාක්ෂාත් කරන්නේ නැත්නම්, ඒ තාක් ම (සෝවාන් වනතුරු) ඔහුට කළුරිය කරන්න පුළුවන්කමක් නෑ.”