සූර්ය මාස ක‍්‍රමයට අනුව භාග්‍යවන්ත මාසය තමයි ‘බක් මාසය’, එහෙම නැති නම් ‘බග් මාසය’ කියල හඳුන්වන්නේ. එ් භාග්‍යවන්ත බක් මාසයේ දී ගස් වැල් පවා පැරණි පත් කොළ ඉවත් කරලා අලූත් දලූවලින් සැරසෙනවා. තුරුලතා මලින් වැසී යනවා. වටපිටාවේ ඇතිවන මේ නැවුම් වෙනසත් සමඟිනුයි චන්ද්‍ර මාස ක‍්‍රමයේ භාග්‍යවන්ත ම මාසය වන වෙසක් මාසය උදා වෙන්නේ. සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වුණ වෙසක් සමය තරම් භාග්‍යවන්ත කාලයක් තවත් කොහෙන් ද?

සූර්ය මාස, චන්ද්‍ර මාස කියලා වෙනසක් නැතිව ම අපේ රටේ මේ මාස දෙක ම සුවිශේෂී බවක් දරනවා. දකුණු ඉන්දීය ආක‍්‍රමණයන්ගේ ප‍්‍රතිඵලයක් විදිහට සූර්ය මාස ක‍්‍රමයේ විශේෂ සැලකුම් ලබන බක් මාසය අද අපේ රටේ ප‍්‍රමුඛ පෙළේ උත්සව මාසයක් බවට පත් වෙලා. ඉතිහාසයේ යම් තැනක සිදු වූ සුවිසල් වැරැද්දක් නිසාවෙන් විසින් අපේ නො වූ සංස්කෘතික සැණකෙළියක් අපේ ම වගේ දෙයක් බවට පත් කරවීම නිසයි බක් මාසය අපේ රටේ අලූත් අවුරුදු මාසය බවට පත් වී තිබෙන්නේ.

සංස්කෘතීන් දෙකක සිදු වුණු කලවම් වීම හරහා බිහිවුණ අපේ‍්‍රල් අවුරුද්ද අද වෙන කොට එ් සංස්කෘතීන් එකිනෙකින් වෙන් කරගන්න බැරි තරමට ම බද්ධ කරගත්තු උත්සවයක් වෙලා. අධර්මයට, මිථ්‍යාදෘෂ්ටියට යට නො වී, මේ සංස්කෘතික සම්මිශ‍්‍රණය කෙසේ දරාගත යුතු ද, සැමරිය යුතු ද කියන එක තීරණය කිරීම බුද්ධිමත්ව සිතා බලන බෞද්ධ ජනතාවට බාර කරලා, බක් මාසයේ රට පුරා ම පණ නඟන සොඳුරු ගුණධර්මයක් ගැන අද දවසේ අපි කථා කරනවා. මේ සත්පුරුෂ ගුණධර්මය තමයි, ‘බෙදා හදාගෙන පරිභෝජනය කිරීම’.

චාරිත‍්‍රයක් මුල් කරගෙන, කැවිලි පෙවිලි, ආහාර පාන ආදිය පවුලේ අය එක්කත්, ගමේ උදවිය එක්කත් බෙදා හදාගෙන කන අවුරුද්දෙ එකම දවස තමයි අපේ‍්‍රල් මාසයේ උදා වෙන්නේ. ඇඳුම් පැලඳුම් ආදිය වුණත් තව කෙනෙකුට තෑගි කරලා සතුටට පත් වෙන කාලසීමාවක් හැටියට අපේ‍්‍රල් මාසය නම් කරන්නට පුළුවනි.

තනි තනිව භුක්ති විඳින ආත්මාර්ථකාමීත්වය වෙනුවට අන්‍යයන් සමඟ බෙදා හදාගෙන ලාභයන් භාවිතයට ගන්නා පරාර්ථකාමීත්වය ඉස්මතු වීම තමයි අපේ‍්‍රල් මාසයේ උත්සව සමය තුළ අප දකින ප‍්‍රශංසනීය ම ගුණාංගය. බෙදා හදාගෙන පරිභෝජනය කිරීම කියන කාරණය අද කාලයේ අපේ‍්‍රල්වලටයි, දන්සැල්වලටයි සීමා වුණාට ඉස්සර කාලයේ නම් කොස් බෑයත් බෙදාගෙන කන සංස්කෘතියක් තමයි අපේ ගම්වල තිබුණේ. අදටත් සමහර ගම් පළාත්වල මේ දේවල් ශේෂ වෙලා තිබෙන බව දකින්නට ලැබීම සතුටට කාරණයක්.

ඇත්තටම වසරේ එක දවසක් හෝ දෙකක් පමණක් නෙමෙයි; හැම දවසක ම හැම මොහොතක ම පුරුදු පුහුණු කරන්නට වටිනා මහානීය ගුණධර්මයක් තමයි බෙදා හදාගෙන පොදුවේ පරිභෝජනය කිරීම. හුදු චාරිත‍්‍රයක් විදිහට නෙමෙයි, අවුරුද්ද පුරා ම මහා පුණ්‍ය සම්භාරයක් රැස් කරගන්නට උපකාරී වෙන පුණ්‍යධර්මයක් විදිහට අප මේ ගුණධර්මය හඳුනා ගත යුතුයි.

අප සරණ ගිය එ් භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්වත් ස්වාමීන් වහන්සේලාට පවා බෙදා හදාගෙන අනුභව කිරීම අනුදැන වදාළා. ස්වාමීන් වහන්සේලාගේ පුද්ගලික පරිහරණය උදෙසා නිර්දේශ කර තිබුණේ සිවුරු තුනක් සහ පාත‍්‍රය පමණයි. පින්වත් ස්වාමීන් වහන්සේලා විෂයෙහි උපන්නා වූ අන් සියලූ ලාභයන් සංඝයා වහන්සේලා අතර බෙදී යන පරිද්දෙන් ප‍්‍රයෝජනයට ගැනීම සිදු කෙරුණා. ලාභය බෙදන ස්ථාන වශයෙන් සංඝාවාසයන් තුළ ස්ථානයක් වෙන් කෙරුණ බව ඓතිහාසික වංශකථාවලින් වගේ ම පුරාවිද්‍යා සාක්ෂි හරහාත් ඔප්පු වී තිබෙන්නේ සම්බුද්ධ ශාසනය තුළ මේ උත්තරීතර ගුණධර්මය ප‍්‍රබල ලෙස පුරුදු පුහුණු කෙරුන නිසාවෙනුයි.

ආහාර පාන, ඇඳුම් පැලඳුම් පමණක් නෙමෙයි, අපට සුවපහසුව දනවන තවත් බොහෝ දේවල් බෙදා හදාගෙන පරිභෝජනය කරන්නට පුළුවනි. මේ ගැන හොඳින් සිතා බලා, බෙදා හදා පරිභෝජනය කිරීම අභ්‍යන්තර ගුණධර්මයක් ආකාරයෙන් වගා කරගන්නට අප සමත් වුණොත් ජීවිතයේ ගෙවී යන සෑම මොහොතක් පාසා ම අපරිමිත වූ පුණ්‍ය සම්භාරයක් රැුස් කරගැනීමේ වාසනාව අපට හිමි වෙනවා.

මගේ නිවස ඔබේ ද නිවසයි..!!!

නිවහනට ආගන්තුකව පැමිණෙන තැනැත්තා ? බෝ වී ඇතිවිටෙක ආපසු හරවා නො යන සමාජ සම්මතයක් දුරාතීතයේ පටන් අපට තිබුණා. ආපසු ගමන සුරක්ෂිතව අවසන් කිරීමට නො හැකි කිසියම් හෝ කාරණයක් තිබෙනවා නම් එ් ආගන්තුකයාට තමන්ගේ නිවහනේ රැුය පහන් කරන්නට ඉඩ හසර ලබා දෙන්නට අපේ පැරැන්නන් මැලි වුණේ නැහැ. හැකි උපරිම ආකාරයෙන් ආගන්තුක සත්කාරයේ යෙදෙමින්, ආගන්තුකයාගේ සුවපහසුව සලසවමින් ළබැඳිව කටයුතු කිරීමට සිංහල ජාතිය අතීතයේ පටන් සමර්ථයන් වුණා. සිංහලයන්ගේ ආගන්තුක සත්කාරය සිංහලයන්ට ම ආවේණික වූවක් ලෙස දේශ දේශාන්තර කරා කීර්ති රාවයක් නංවන්නට සමත් වූ බව රොබට් නොක්ස් වැනි විදේශිකයන්ගේ සටහන් තුළින් හෙළිදරව් වෙනවා.

නිවස පමණක් නො වෙයි, නේවාසිකාගාරය, නවාතැන්පළ ආදියත් අපට තවත් කෙනෙක් සමඟ බෙදා ගන්නට පුළුවන්. හදිසියේ හෝ කෙනෙකුට නවාතැනක් වුවමනා වුණොත් සතුටු සිතින් ම තමන්ගේ වාසස්ථානයේ ඉඩක් එ් කෙනා වෙනුවෙන් වෙන් කරන්නට හිත සකස් කරගන්න හැමෝටම බෑ. එ් දේ කරන්න පුළුවන් වෙන්නේ බෙදා හදාගැනීම තුළින් අන් අයට සුවපහසුව සැලසීම පුරුද්දක් කරගත් අයෙකුටයි.

බස් රථයක හරි, දුම්රියේ හරි ගමන් කරනකොට ඔබ ප‍්‍රිය කරන්නේ මොන වගේ තැනකට ද? වටපිටාව හොඳට පෙනෙන ආකාරයට කවුළුවක් අයිනේ හිඳගෙන ගමන් කරන්න ඔබ කැමති ඇති. එය මාත් ප‍්‍රිය කරන දෙයක්. ඔබ, මම පමණක් නො වෙයි තව බොහෝ දෙනෙකුත් එය ම ප‍්‍රිය කරනවා. ඉතින් හැමෝටම එ් කවුළුව ළඟ ආසනය ලැබෙන්නේ නෑනේ. එය ලැබෙන කෙනා ඔබ නම් තව කෙනෙකුගේ සුව පහසුව, කැමැත්ත ගැන හිතලා එ් ආසනය බෙදා හදා ගන්න ඔබ සැබෑවට ම බෙදා හදාගෙන පරිභෝජනය කිරීමේ දක්ෂයෙක්.

ඔබ පවුලේ හිතවතුන් සමඟ යන ගමනකදි මේ ගැන අත්හදා බලන්න. ඔබ ප‍්‍රිය කරන ම තැන හිමිවීම ගැන ඔබ සතුටින් සිටිය දී එතැන අහිමි වීම ගැන තව කෙනෙක් නුරුස්නා සිතින් ඉන්නවා වන්නට පුළුවනි. එ්ත් මාරුවෙන් මාරුවට එ් ආසනයත් බෙදා හදා ගන්නට හැකි නම් එ් නුරුස්නා සිත උපන් තැනදි ම මිය යනවා. එ් එකමෙක ගුණධර්මය නිසා සමඟිය, සුහදශීලී භාවය, මිත‍්‍රත්වය කියන ගුණධර්මත් වැඞී වර්ධනය වෙනවා. හැමදෙනාට ම එයින් සැලසෙන්නේ ලාභයක් ම යි නේ ද?

මට මෙන් ම ඔබටත් ආහාර..!!!

නිතර නිතර අප විසින් සපයා ගන්නා නිසා ම නිතර නිතර දන් දෙන්නට පුළුවන් දෙයක් තමයි ආහාර කියන්නේ. ප‍්‍රියමනාප, රසවත් ආහාර පානයන්ට අපි හැමෝම කැමතියි. තමන් ප‍්‍රිය කරන ආහාරයක් ලැබුණොත් ලොකු ම කොටස තමන්ට ගන්න ගොඩක් දෙනා උත්සාහ කරනවා. එ් ලොකු ම කෑල්ල ගන්න හිතාගෙන ඉන්න තව කෙනෙක් එතැන ඉන්න පුළුවන්. එහෙම වෙලාවක මධ්‍යම ප‍්‍රමාණයේ හරි, කුඩා ප‍්‍රමාණයේ හරි කොටසක් තමන්ට ලබාගෙන ‘ලොකු ම කොටස’ වෙනත් කෙනෙක් වෙනුවෙන් පරිත්‍යාග කරන්නට හැකි නම් අප එයින් රැස් කරගන්නේ දානමය පුණ්‍යකර්මයක්.

කෑම මේසයෙත් පින් රැස් කරගන්න උත්සුක වෙන කෙනෙකුට බෙදාගෙන ආහාර ගැනීම කියන්නේ පහසුවෙන් සිදු කරගන්නට පුළුවන් පිනක්. ඇතැම් හිත්වල තිබෙන ලෝභය නිසා ආහාර කුණු වෙලා නාස්ති වෙලා ගියත් මනුෂ්‍යයෙකුටවත්, සතා සිව්පාවෙකුටවත් ආහාර පිණිස දෙන්න පෙළඹෙන්නේ නෑ. තවත් සමහරු නීරස දෙය නම් ලෝභකමක් නැතිව බෙදා හදා ගන්නවා; එහෙත් ප‍්‍රණීත ආහාරයක් ලැබුණොත් තනිව ම භුක්ති විඳිනවා. නැති නම් එයින් ඉතා සුළු කොටසක් පමණක් බෙදා දෙනවා. මධුර වූ, ප‍්‍රණීත වූ ආහාර පාන ලෝභ නැතිව බෙදා හදාගෙන පරිභෝජනය කරන්නට පුරුදු වීම ඉතා දුෂ්කරයි. එහෙත් එය සිදු කරන අය මසුරු මල දුරුකරපු සිතින්, සතුටු සිතින් ප‍්‍රමුදිතව ආහාර බෙදා හදා ගැනීමෙන් අප‍්‍රමාණ පින් ඵල නෙළා ගන්නවා.

ඇඳුම් පැලඳුම්වලින් දන් පින්

වස්ත‍්‍ර ලාභයන් උපදිනකොට හැමදේම පොදි බැඳගන්නේ නැතිව පරිහරණයට සුදුසු ඇඳුම් පැලඳුම් අපට තවත් කෙනෙකු සමඟ බෙදා ගන්නට පුළුවන්. සහෝදර සහෝදරියන්, හිතමිතුරන් අතරේ එකිනෙකාට අවස්ථානුකූලව වුවමනා කරන ඇඳුම් පැලඳුම්, ආභරණ ආදිය හුවමාරු වෙනවා. එයත් බෙදා හදා ගැනීමක්. එ් හරහාත් පින් රැස් කරගන්නට පුළුවනි.

එ් වගේ ම ඇඳුම් පැලඳුම් හිඟ දුගී අයට හොඳ ඇඳුමක් තිළිණ කරලා ඔවුන් සතුටට පත්කිරීමත් අපට කරන්නට පුළුවනි. නිතර නිතර කළ නො හැකි වුණත්, කලාතුරකින් හරි තවත් කෙනෙකුට නූපදින්නා වූ ලාභයන් ධාර්මිකව උපද්දවා දීම සතුටට කාරණයක් නේ ද? අවුරුද්දකට වතාවක් හරි අම්මට, තාත්තට, සහෝදර සහෝදරියන්ට ඇඳුමක් පැලඳුමක් ලබා දීමෙන් ඥති සංග‍්‍රහයක යෙදෙන්නට සමත්කමක් අප තුළ ඇති කරගැනීම සමාජ සබඳතා තිර කරන්නටත්, දෙලොව යහපත සලසා ගන්නටත් අතිශයින් උපකාරී වෙනවා.

සැප පහසුවත් බෙදා හදා ගමු..!!!

අප එකිනෙකා සතුව තිබෙන කර්ම ශක්තීන් අනුව අපේ ප‍්‍රත්‍ය ලාභයන් විවිධාකාර වෙනවා. සමහරුන්ට ආහාර පාන, වස්ත‍්‍රාභරණ, යාන වාහන ආදිය උසස් අන්දමින් ලැබෙනවා. සමහර අයට එක දෙයක් උසස් අන්දමින් ලැබෙනවා; එ්ත් අනිත් දේවල් ඉතා අපහසුවෙන් තමයි ලබා ගත යුතු වෙන්නේ. ඇතැම් අයට එ් කිසිවක් ම ලැබෙන්නේ නැහැ.

ගිලන් වූ මොහොතක එකම රෝගයෙන් පීඩා විඳින රෝගීන් හැම දෙනාට ම එකම ආකාරයේ සත්කාර ලැබෙන්නේ නැහැ. දියුණු වෙමින් පවතින රටක් විදිහට අපේ රටේ සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යන්නේ නොයෙකුත් දුෂ්කරතා මැද. එහෙම තියෙද්දි එක රෝගියෙකුට ගිලන් ඇඳක් ලැබුණට තවත් කෙනෙකුට පුටුවක් මත හිඳගෙන ප‍්‍රතිකාර ලබන්නට සිදු වෙන්න පුළුවන්. එ් අවම පහසුකම් යටතේ ප‍්‍රතිකාර ලබන කෙනාට ඇඳක නිදා සිටින ඉරියව්වක් අත්‍යවශ්‍ය වූ අවස්ථාවක තමන්ගේ ගිලන් බව උග‍්‍ර වී නැති නම් අපට ගිලන් ඇඳ එ් තැනැත්තා වෙනුවෙන් ලබා දෙන්නට පුළුවනි.

දිගු කාලයක් එක්තැන්ව සිටින්නට සිදුවන රෝගීන්ගේ පීඩන තුවාල ඇති වීම වළක්වන්නටත්, පහසුව සලසන්නටත් වතුර මෙට්ට හෝ වායු මෙට්ට ලබා දීම සිදු කෙරෙනවා. එ් දේවල්වලින් තමන්ට ලැබෙන සුවපහසුව ඊට වඩා එය අවශ්‍ය කෙනෙකු සිටී නම් එ් තැනැත්තාට ලබා දෙන්නට හැකි මට්ටමේ උසස් මානූෂීය ගුණාංගයන් දැරීමට කෙනෙකුට වාසනාව ලැබෙන්නේ කලාතුරකින්. අවස්ථාව ලද විටෙක ප‍්‍රමුඛතාවය සලකා ගිලන් සත්කාර පවා බෙදා හදා ගන්නට, පරිත්‍යාග කරන්නට ඔබට හැකි නම් ඔබ මේ ලෝකයට යහපත ම දන් දෙන උතුම් මනුෂ්‍යයෙක් බව නිසැකයි.

මුදල් හදල්, දේපළ, යාන වාහන ආදිය වුණත් ගැටලූකාරී නො වන අය සමඟින් බෙදා හදාගෙන පරිහරණය කරන්නට අපට පුළුවනි. සතුටින් යුතුව මේ කටයුතු සිදුකිරීමෙන් නිරන්තරව අපේ ජීවිතවලට පින් රැුස් වෙනවා.

මේ ආකාරයෙන් නොයෙක් අවස්ථාවන්වල අප වෙත හිමිවන සුවපහසුව අන්‍යයන් සමඟ බෙදා හදා ගැනීමෙන් එකිනෙකා අතර සමාජයීය බැඳීම්, සුහදතාවයන් වගේ ම ගුණධර්මයන් වර්ධනය කරගැනීමටත් වටිනා ඉඩ ප‍්‍රස්තාවක් උදා වෙනවා.

නො ලැබෙන්නවුන් – ලැබෙන්නවුන් කරවමු…

අවස්ථාවන් දුර්ලභ, ප‍්‍රතිලාභ – තෑගිබෝග ලැබීම් දුර්ලභ මිනිසුන් මේ සමාජයේ ඕනෑ තරම් සිටිනවා. එ් වගේ ම අන්‍යයන්ට නො ලැබෙන අන්දමේ විරල වූ, දුර්ලභ වූ අවස්ථාවන් හිමි වන පුද්ගලයන් ද සමාජයේ සිටිනවා. ඔබ සමහර විට මේ විරල වූ අවස්ථාවන්වලට උරුමකම් කියන වාසනාව ඇති කෙනෙක් වන්නට පුළුවන්. සාමාන්‍ය කෙනෙකුට ලබා ගැනීමට අති දුෂ්කර වූ එවන් විරල ලැබීම් ගැටලූවක් ඇති නො වන ආකාරයෙන් එ් අය සමඟත් බෙදා ගන්නට හැකි නම් එය කරන්නට කිසිසේත් ම පැකිලෙන්නට එපා. බෙදා හදා ගත හැකි අනුස්මරණීය වූ දුර්ලභ ලැබීම් අනුන්ට හොර රහසේ භුක්ති විඳිනවාට වඩා අන්‍යයන් සමඟ එක්ව භුක්ති විඳීමට යොමු වීම ඔවුන් තුළ සතුට ඇති කරලීමටත්, ඔබේ කල්‍යාණ ගුණ රාවය පැතිර යාමටත් හේතු වෙනවා.

නැති බැරි අයට දන් දෙන එක බෞද්ධ සම්ප‍්‍රදායේ සුලබ අංගයක්. එ් ආකාරයෙන් දන් දෙන්න පුරුද්දක් තිබෙන අපට පුළුවන් නිරන්තරයෙන් අපට හිමි වන ප‍්‍රීති සහගත අවස්ථාවන් එවැන්නක් අහිමි කෙනෙකුට ලබා දීලා සතුටු වෙන්න.

අපි මේ පිළිබඳ එක නිදසුනක් දක්වන්නම්. ඔබේ උපන්දිනයට සුභ පතන්න අවම වශයෙන් කිහිප දෙනෙක් ඔබ සමීපයේ සිටිනවා කියා සිතමු. එ් අයගෙන් ඔබට උපන්දින තෑග්ගක් ලැබෙනවා නම් ඔබ මොන තරම් සතුටු වෙනව ද? සමීපතමයන් සමඟ නිතර රැුඳී සිටින අපට එයින් නො මඳ සතුටක් ලැබෙනවා නම් අනාථ නිවාසයක හැදෙන වැඩෙන දරුවන්ට උපන්දින තෑගි ලැබුණොත් ඔවුන් මොන තරම් සතුටු වෙයි ද? ඔවුන් දුර්ලභ වූ, විරල වූ එ් සතුට අත්විඳින්නට ඉඩ සැලැස්වීමෙන් ඔබටත් මහා සතුටක් අත්විඳින්නට පුළුවන්. බෙදා හදාගෙන පරිභෝජනය කිරීම තුළින් සතුට මහා සතුටක් බවට පත් කෙරෙනවා. එ් සතුට උතුම් දෙයක්. එ් උතුම් සතුටට උරුමකම් කියන හිතක් හදා ගැනීම සෑම කෙනෙකුට ම උදා කර දෙන්නේ සුන්දර ප‍්‍රතිලාභයක්….

පින් ඵලත් දන් දෙමු…!!!

පින් දහම් කරන්න අවස්ථාව සැලසෙන එකත් අපට ලැබෙන මහත් ම වූ ලාභයක්. ‘පින කියන්නේ සැපය යි’ කියන කාරණය තථාගතයන් වහන්සේ වදාළ බුද්ධ භාෂිතයක්. ඉතින් අප වගේ ම අන් සියලූ දෙනාත් සැපවත් වූ ජීවිත ලබන්නේ නම් එ් ගැන අප සතුටට පත් විය යුතු ම යි නේ ද? එ් නිසා සැපය උපදවා දෙන පින් දහම් සිදු කරන අවස්ථාවල අන් අයත් එයට සහභාගි කරවාගැනීමට අප වග බලා ගත යුතුයි.

දාන මාන ආදි නොයෙකුත් පින්කම් සිදු කරන කොට කිසිම භේදයක් නැතිව හැකි තාක් දෙනාව එ් පිනට සහභාගි කරවාගෙන, පිනට අනුමෝදන් කරවාගෙන තමන්ට උපදින්නා වූ පුණ්‍ය ලාභය තව බොහෝ දෙනෙකුටත් උපද්දවලා පුණ්‍ය සම්පත්තීන් බෙදා හදා ගන්නට අප නිරන්තරයෙන් උත්සාහ කළ යුතු වෙනවා. සම්බුද්ධ ශාසනයක ඇති අසිරිමත් ස්වභාවයක් තමයි එ්. සාමූහිකව එ්කරාශී වී පොදු වගකීමක් වශයෙන් සලකා පින් දහම් තුළ නියැලෙන ශ‍්‍රාවකත්වය බුදු සසුනක දකින්නට ලැබෙන සුන්දර ගුණාංගයක්. එසේ පිරිස් එ්කරාශී කොට ගෙන පින් දහම් කරමින්, බොහෝ දෙනා පිනෙහි සමාදන් කරවීම උපදින්නා වූ අත්භවයන් තුළ සේනා සහිතව, පිරිවර සහිතව උපදින්නට හේතු පාදක වන බව එ් උතුම් ශ්‍රී සද්ධර්මය තුළ දක්වා තිබෙනවා.

පිනෙන් පින උපද්දවමින් අග‍්‍ර වූ පින් රැුස් කරගන්නට අපට සුන්දර මාර්ගයක් විවර වී තිබෙන්නේ එ් ආකාරයෙන්. එ් සුන්දර මාර්ගයේ ගමන් කරන සුන්දර හිතක් ඇති කෙනෙක් වීම ජීවිතයට ලැබෙන සුන්දර ලාභයක් බව අප සිත්හි දරා ගත යුතුයි.

අග‍්‍ර වූ දෙයත් බෙදා හදා ගමු..!!!

දන් දෙන්නට පුළුවන් දේවල් අතරින්, බෙදා හදා ගන්නට පුළුවන් දේවල් අතරින් අග‍්‍ර වූ දෙය තමයි අනුත්තර වූ තථාගත ශ්‍රී සද්ධර්මය. එ් නිර්මල ධර්ම පර්යායන් අපට අවබෝධ කරගත හැකි ආකාරයෙන් විවෘත වෙලා බබළන මේ යුගයේ නො පැකිලව දහම් දැනුම සියලූ දෙනා අතරේ බෙදා හරින්නට අපට හැකියි. සම්බුද්ධ ශාසනයක මිස අන් කිසිම තැනක උදා නො වන මේ ලාභය හිමි වීම මහත් වූ භාග්‍යයක් ලෙසින් අප සැලකිය යුතුයි.

ඔබ ධාර්මිකව උපයන දෙයින් පින් දහම් උදෙසා වෙන් කරන කොටසින් ඔබට පුළුවනි ධර්ම ග‍්‍රන්ථයක් කෙනෙකුට තෑගි කරන්නට. සමහර විට එ් තෑග්ග ලබන පුද්ගලයාගේ ජීවිතයට අනන්ත සැපයක්, සැනසුමක් ළඟා කරදෙන්න උපකාරී වූ කල්‍යාණ මිත‍්‍රයෙකු බවට ඔබව පත් කරන්නට එ් දහම් තිළිණය මුල් වේවි. විහාරස්ථානයේ දී පින්වත් ස්වාමීන් වහන්සේලාට සදහම් ග‍්‍රන්ථ, සදහම් පුවත්පත් ආදිය පූජා කරන්නට ඔබට හැකියි. ඔබ පූජා කරන එ් දේවල් පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් දහම් සේවනය පිණිස පැමිණෙන අයට පිළිගන්වාවි. උන්වහන්සේලාත් එ් දේවල් භාවිත කරාවි. එ් සෑම මොහොතක් පාසා ම අග‍්‍ර වූ දෙය බෙදා හදා ගැනීමෙන් රැස් වූ අග‍්‍ර වූ පින් පෙත් ඔබේ ජීවිතයට ළඟා වෙනවා. මොන තරම් නම් ලාභයක් ද?

බෙදා හදාගෙන ධාර්මිකව ප‍්‍රීති වෙමු..!!!

වැඩි වැඩියෙන් බෙදා හදා ගැනීම් සිදු කෙරෙන සමයක අපි මේ සටහන තැබුවේ එ් තුළින් අවබෝධයෙන් ම මහත් වූ පුණ්‍ය සම්භාරයක් රැස් කරගැනීමේ අවස්ථාව බොහෝ දෙනෙකුට සැලසීමේ අරමුණින්. තම තමන්ගේ අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීම පිණිස නො නවතින තරගයක යෙදිලා ඉන්න සමාජ ක‍්‍රමයේ මඳක් නැවතිලා අබිබවා යෑම වෙනුවට සාමූහිකව ප‍්‍රතිලාභයන් බෙදා හදා ගැනීම කියන ගුණධර්මය පුරුදු කරගන්නට පුළුවනි නම් සමාජයේ තියෙන නොයෙක් විෂමතාවයන්, හැල හැප්පීම් පිටුදකින්නට එයට පදනම කරගන්නට පුළුවනි.

එක් රැස් කොටගෙන තනිව භුක්ති විඳීම වෙනුවට බෙදා හදාගෙන පොදුවේ භුක්ති විඳීම කියන කාරණය මුල් බැස ගන්නේ ගුණධර්මයන්ගෙන් සුපෝෂිත වූ සාරවත් සමාජයක් තුළ පමණයි. බෙදා හදාගෙන පරිභෝජනය කිරීමේ අගය ලෝකයට පෙන්වා දුන් සම්බුදු දහමෙන් ගොඩනැගුණු ජීවන සම්ප‍්‍රදායක් ම මිස අනෙකක් නම් මෙවැනි සොඳුරු ගුණ ශෝභාවක් සමඟ ගැළපී යන්නේ නැහැ.

එවන් වූ උත්තරීතර ජීවන ක‍්‍රමයක් අප සතුයි. එහෙම නම් වසරේ එක කාල සීමාවක පමණක් නෙමෙයි, ගත වන සෑම ඇසිල්ලක් පාසා ම බෙදා හදා ගැනීමෙන් සතුටු වීමේ වාසනාවත් අප සතුයි…

සෑම සියලූ දෙනාට ම බෙදා හදා ගැනීම තුළින් උපන්නා වූ ධාර්මික සතුටින් සෑම ඇසිල්ලක් පාසා ම සිත් සතන් ප‍්‍රමුදිත කරගැනීමේ දුර්ලභ වූ භාග්‍යය උදා වෙත්වා!!!

සටහන
උදුලා පද්මාවතී