දෙවියන් බඹුන් මිනිසුන් ඇතුළු සකල ලෝකවාසී ජනතාවගේ අසමසම විමුක්ති මාර්ගෝපදේශකයාණන් වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය සම්බුද්ධත්වයට පත්වීම හා පරිනිර්වාණය සිදු වූ වෙසක් මස පසළොස්වක පොහොය දිනය අති උතුම් දිනයක් ලෙස සමරනු ලබන්නේ අවුරුදු දෙදහස් පන්සියයකට අධික කාලයක සිට ය.

පුන්සඳ පායන දිනය පූජනීය දිනයක් වූයේ බුදුරජාණන් වහන්සේ නිසාය. වෙසක් මාසයේ උදාවන පුන් පොහොය දිනය, බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනු ලබන උතුම් ම දිනය ලෙස යොදා ගනු ලැබුව ද, වසරේ අනික් මාසයන්හි පුන්සඳ උදාවන දිනයන් ද සීල භාවනා ආදී බෞද්ධ වත්පිළිවෙත් සඳහා යොදා ගැනීමේ පිළිවෙත අනාදිමත් කාලයක සිට සිංහල බෞද්ධ ජනකාය අතර පැවතින. එහෙයින් පුන්සඳ බෞද්ධ සංකේතයක් බවට පත්වූ අයුරු පහත දැක්වෙන නිදසුන් පද්‍ය පාදයන්ගෙන් පැහැදිලි වෙයි.

‘පුන්සඳ මඬල අහසින් විත් යහන පිට’
‘අසල ගමක පුන්සඳ පිරිමදිමින් නේ’
‘අහස් උඩින් පුන්සඳ ලෙස වැඩම කළ’
‘දෙපෝදාට පායන පුන්සඳ ලෙසට’
‘පිරිසිදු යහනෙ සැතපෙන පුන්සඳ ලීලා’

මේ වූකලී එක ම පැරණි කාව්‍යයක, එනම් ‘යසෝදරා වත’ කාව්‍යයෙහි නෙතැන්හි දැක්වෙන පුන්සඳ සංකේතයන්ගෙන් කිහිපයකි. අතීතයේ සිට ම බෞද්ධ සාහිත්‍යයේ උතුම් ම පුණ්‍යමය සංකේතය බවට පත්වූයේ පුන්සඳ ය. පුන්සඳ අහස්කුස බබළන උතුම් ම පොහොය දිනයේදී බුදුරජාණන් වහන්සේගේ උපත, සම්බුද්ධත්වයට පත්වීම හා පරිනිර්වාණය සිදු වූ නිසා වෙසක් දිනය ලෝවැසි ජනයා ඉමහත් සැදැහැයෙන් යුතුව සමරති.

සම්බුදු සසුන ලක්දිව පිහිටවූ සමයේ සිට ම වෙසක් මස පසළොස්වක පොහොය දිනය, රජවරුන් ඇතුළු මහ ජනතාව උතුම් ම දිනය ලෙස සලකා නොයෙක් පින් දහම් පූජෝත්සව සිදු කළ බවට තොරතුරු ලක් ඉතිහාසය විමර්ශනය කරන විට පෙනී යයි.

මිහිඳු මහ රහතන් වහන්සේ, දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු රාජකීය පිරිසට බුදු දහම දේශනා කිරීමෙන් පසුව ලක්වැසි සියලු ජනතාව ඉමහත් සැදැහැයෙන් ඉපිලී ගොස් බුදු දහම වැළඳගෙන ඒ අනුව දිවිමඟ සකස් කොට ගත් බවට ඉතිහාසය සාක්ෂි දරයි. එසමයේ සිටම බුදු රජාණන් වහන්සේ අනුස්මරණය කොට පුද පූජා පවත්වමින් වෙසක් පුන් පොහොය දිනය සැමරූ අයුරු වංශ කතා තොරතුරුවලින් හෙළි වෙයි. ව්‍යවහාර වර්ෂ පූර්ව 251 වැනි වසරේදී දේවානම්පියතිස්ස රජතුමා දෙවැනි වරට අභිෂේක උත්සවය පැවැත්වූයේ වෙසක් පුන් පොහොය දිනයේදී ය. එම උතුම් දිනයේදී රාජාභිෂේකයක් පැවැත්වීම මුළු මහත් ලංකා රාජ්‍යය ම සම්බුද්ධ ශාසනයට පූජා කිරීමක් වැන්න. එදින සිට වෙසක් පොහොය දින උළෙල රාජ්‍ය අනුග්‍රහයෙන් යුතුව පැවැත්වෙන පූජෝත්සවයක් ලෙසින් ලක්දිව පුරා සම්බුදු තෙමඟුල උත්කර්ෂවත් අන්දමින් අනුස්මරණය කිරීම ආරම්භ වූයේය.

ඉන් පසුව ලක් ඉතිහාසයේ වාර්ෂිකව පවත්වන ලද මහානීය වූත් අනුත්තර වූත් වෙසක් පුන් පොහොය දින උළෙල වූයේ ගාමිණී අභය මහරජතුමන්ගේ ප්‍රධානත්වයෙන් රුවන්වැලි මහා සෑයේ සර්වඥධාතූන් නිදන් කරවන පුණ්‍යෝත්සවය යි. ප්‍රමාණයෙන් ද්‍රෝණයක් වූ සම්බුද්ධ ධාතූන් සෑ ගර්භයේ තැන්පත් කිරීම වෙනුවෙන් පවත්වන ලද මේ මහා පුණ්‍ය උළෙල වර්ණනා කිරීම සඳහා මහාවංශ කතු හිමියන් ගාථා අසූ දෙකක් ම යොදාගෙන තිබීමෙන් හෙළි වන්නේ එම පින්කමේ මහනීයත්වයයි. දුටුගැමුණු රජතුමා එම වෙසක් පසළොස්වක පොහොය දින සියලු රාජාභරණයෙන් සැරසී මාලිගයෙන් පිටත්ව ගිය අයුරු මහාවංශයේ දැක්වෙන්නේ මෙපරිද්දෙනි.

“උපෝසථේ පණ්ණරසේ – අපරණ්හේ සුමානසෝ
පණ්ඩිතෝ රාජකිච්චේසු – සබ්බාලංකාරමණ්ඩිතෝ

යන්තෝ මහාමේඝවනං – සිරියා සෝ මහායසෝ
යන්තේ’ව නන්දනවනං – දේවරාජා අසෝභථ”

පසළොස්වක පොහොය දිනයේ සියලු රාජාභරණයෙන් සැරසුණ රජතුමා, නන්දන වනයට යන සක්‍රදේවේන්ද්‍ර විලාශයෙන් මහ පිරිවරින් යුතුව මහමෙව්නා උයනට යාම සඳහා පිටත් වූයේය. මේ මහා පුණ්‍යෝත්සවය සිදු වූ වෙසක් පොහොය දිනය ලක් ඉතිහාසයේ දක්නට ලැබුණ ආශ්චර්යවත් සම්බුදු පෙළහර ලෙස සැලකිය හැකිය. දුටුගැමුණු රජතුමා ඉමහත් ශ්‍රද්ධාවෙන් ඉපිලෙමින් හිස මත තබා වැඩහුන් සධාතුක කරඬුව රජතුමාගේ හිසින් අහසට පැන නැඟ, විවෘතව ගිය කරඬුව තුළින් ධාතූන් වහන්සේලා මතුව බුදුරජාණන් වහන්සේ ස්වරූපය නිරූපණය වී පෙළහර පෑමේ අසිරිය මහාවංශ කතුහිමියන් දක්වා ඇත්තේ මෙසේය.

“ගණ්ඩම්බමූලේ බුද්ධෝ’ව – යමකං පාටිහාරියං
අකංසු ධරමානේන – සුගතේන අධිට්ඨිතං”

‘ගන්ධබ්බ රුක්මුල යමක මහා ප්‍රාතිහාර්යය පෑ බුදුරජාණන් වහන්සේ පරිද්දෙන් ම අප භාග්‍යවතුන් වහන්සේ ජීවමාන සමයේ කළ අධිෂ්ඨානය පරිදි අහස් තලයෙහි යමා මහ පෙළහර දක්වා වදාළ සේක.’

දුටුගැමුණු රජතුමා විසින් සිය රාජ්‍ය කාලය තුළ සිදු කරන ලද වෙසක් උත්සව විසිහතරෙන් අග්‍රගණ්‍ය වූ උත්සවය වූයේ රුවන්වැලි සෑයේ ධාතු නිදන් කිරීමයි. එතුමා පැවැත්වූ එම වෙසක් උත්සව විසිහතරෙන් තුනකදී ම ලක්දිව එවක වැඩසිටි සියලුම භික්ෂූන් වහන්සේ වෙත තුන් සිවුරු පූජා කළ බව මහාවංශයේ 32 පරිච්ඡේදයේ 35 වැනි ගාථාවෙන් කියැවෙයි.

ඉන් අනතුරුව දාහතර වසරක් ධාර්මිකව රාජ්‍ය පාලනයේ නියැලුන මහාමූලික මහාතිස්ස රජතුමා වෙසක් පොහොය දිනය නිමිති කොටගෙන තිස් දහසක් භික්ෂූන් වහන්සේලාට හා දොළොස් දහසක් භික්ෂුණීන් වහන්සේලාට සිවුරු රෙදි පූජා කළ බව වංශ කතා තොරතුරුවල ඇතුළත්ව තිබේ.

විවිධ තෙල් වර්ග භාවිත කොට වීදි මංමාවත් දෙපස තෙල් පහන් දල්වා ආලෝක පූජා පැවැත්වීමේ සිරිත මෑත කාලය දක්වා ම ලක්දිව පැවතිණ. මෙයින් කැකුණ තෙල් පහන් දැල්වීම වෙසක් උත්සව දිනයන්හි අතීත යුගයේදී බහුලව දක්නට ලැබිණ. මහදැලියාමාන රජතුමාගේ කාලයේදී මුළු ලක්දිව පහන් පෙළින් ආලෝක කොට හාත්පස මුහුදේත් පහුරු බැඳ කණු සිටුවා ඒ ඒ තන්හි පහන් දල්වා ආලෝක පූජා පවත්වමින් වෙසක් දිනය සැමරූ අයුරු මහාවංශයේ 34 වැනි පරිච්ඡේදයේ 80 වැනි ගාථාවෙන් කියැවේ.

“අකාසි සකලේ දීපේ – දීපමාලා නිරන්තරං
සලිලේපි සමුද්දස්ස – සමන්තා යෝජනන්තරේ”

ව්‍යවහාර වර්ෂ 65 සිට 109 දක්වා රාජ්‍යය විචාල වසභ රජතුමා ලංකාව පුරා වැඩ විසූ සියලුම භික්ෂූන් වහන්සේලාට තුන් සිවුරු පූජා කරමින් නගරයේ දොරටු හතරේ දිළින්දන්ට සංග්‍රහ කරමින් වස්තු ලබා දෙමින් ගිලන් භික්ෂූන් වහන්සේලාට උවටැන් වියදම් පිරිනමමින්, තමා රාජ්‍යය විචාල සිවුසාළිස් වසර තුළ වෙසක් උත්සව හතළිස් හතරක් පැවැත්වූ අයුරු මහාවංශයේ 35 වැනි පරිච්ඡේදයේ 100 වැනි ගාථාවේ මෙසේ කියැවෙයි.

“චතුතාළීසවස්සානි – පුරේ රජ්ජමකාරයි
චතුත්තාළීසවේසාඛ – පූජායෝ ච අකාරයි”

වෝහාරිකතිස්ස රජතුමා (214 – 236) තමන් රාජ්‍යය විචාල දෙවිසි වසර තුළ සිරිලක පුරා වෙසක් උත්සව පවත්වා ලංකාවාසී සියලු භික්ෂූන් වහන්සේ වෙත තුන් සිවුරු පූජා කළ බව වංශකතාවන්හි කියැවේ. රාජ්‍ය අනුග්‍රහයෙන් පැවති ඉපැරණි වෙසක් උත්සවයන්හි සංඝයා වහන්සේ උදෙසා චීවර දාන පිංකම් පැවැත්වීම වසර ගණනාවක් ම නොකඩවා සිදුවී ඇත.

දැහැමි සිරිසඟබෝ රජතුමාට පසුව රාජ්‍ය පදවියට පත් ගෝඨාභය රජතුමා, මේඝවණ්ණාභය යන නම් ගොත් ගෙන, තමන්ට පූර්වයෙහි සිටි දැහැමි රජතුමන්ට කළ ද්‍රෝහී ක්‍රියා සිහිකොට නිරතුරුව පුණ්‍ය ක්‍රියාවන්හි යෙදෙමින් වසරක් පාසා, වෙසක් උළෙල උත්කර්ෂවත් ලෙස පවත්වමින් සංඝයා වහන්සේලා උදෙසා ෂඞ් චීවර දානය පිරිනමා තිබේ. ඔහු පුත් ජෙට්ඨතිස්ස රජු ද සිය දසවස් රාජ්‍ය කාලය තුළදී පවත්වන ලද වෙසක් උළෙල නිමිත්තෙන් සංඝයා වහන්සේ උදෙසා චීවර දාන පින්කම් පවත්වා ඇත.

වර්ෂ 303 සිට 331 දක්වා ලංකා රාජ්‍යය කරවූ කීර්ති ශ්‍රී මේඝවණ්ණ රජතුමාගේ කාලයේදී දන්ත ධාතුන් වහන්සේ සිරිලක්දිවට වැඩම කරවීම වෙසක් උළෙලේ පූජාර්හ බව හා බුද්ධාලම්භන ප්‍රීතිය තීව්‍ර කරන්නක් විය. සියලු වීදි හා මංමාවත් දෙපස චිත්‍ර අන්දවා සැරසිලි කරවා දන්ත ධාතූන් වහන්සේ ඇතුපිට හිඳුවා මහ පෙරහැර පවත්වමින් වීදි සංචාරය කරමින් වෙසක් දිනය අනුස්මරණය කිරීමේ චාරිත්‍රය ආරම්භ කරන ලද්දේ කිත්සිරිමෙවන් රජතුමා විසිනි. එදවස පටන් මහනුවර යුගය දක්වා වෙසක් උළෙල පවත්වන ලද්දේ දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය කිරීම හා දළදා පෙරහැර පැවැත්වීම මුල්කොට ගෙනය.

අනුරාධපුර යුගය අග භාගය වන විට විදේශීය ආක්‍රමණ හේතුකොට ගෙන ඇති වූ සාමාජීය හා සාමයික කැලඹීම් මෙන්ම රජවරුන් අතර ඇති වූ අර්බුද පැවතිය ද, වෙසක් උළෙල පැවැත්වීම පිළිබඳ චාරිත්‍රය ලක්දිව අඛණ්ඩව පැවතිණ. එය ආදිතම යුගයේ සිට සිංහලයා සතුව පැවති එක ම වාර්ෂික උළෙල බැවිනි. තුන්වැනි මුගලන් රජතුමා (618 – 623) පැරණි චාරිත්‍ර විධි අනුගමනය කොට මහත් ගෞරවනීය ලෙස වෙසක් උළෙල අනුස්මරණය කළ බව චූලවංශයේ දැක්වෙයි. දෙවැනි සේන රජතුමා (853 – 857) වෙසක් පූජා සැරසිලි පවත්වමින් සැදැහැවත් ජනතාව සමඟ ප්‍රීති වූ බවත් දිළිඳු ජනයා කැමති කෑම බීම හා වස්ත්‍රාභරණ ආදිය ප්‍රදානය කළ බවත් චූලවංශය කියයි. පැරණි කාලයේ සිට ම දන්සැල් පැවැත්වීම පිළිබඳ චාරිත්‍රය ගැන ඉඟියක් මෙයින් පළ කෙරේ.

පොළොන්නරු යුගය වන විට වෙසක් උළෙල වත් පිළිවෙත් පූජා හා දාන මාන කටයුතු වෙනුවෙන් පමණක් නොව ජාතික උත්සවයක් ලෙස ද පිළිගෙන තිබුණ බැව් පෙනී යයි. මේ කාලයේදී ගිරග්ග සමජ්ජ වැනි උත්සව සරස්වතී මණ්ඩපයේ පැවති ප්‍රාසංගික අවස්ථා ආදිය තිබුණ ද ජාතික උත්සවයක් ලෙස මුළු දිවයින ම පිළිගෙන පැවතියේ වෙසක් උත්සවය යි. 1 වැනි පරාක්‍රමබාහු රජතුමා පැවැත්වූ වෙසක් සැනකෙළි පිළිබඳව රාජාවලිය හා පූජාවලිය ආදී ග්‍රන්ථ හෙළි කරයි.

පොළොන්නරු යුගය අවසාන කාලයේදී කාලිංග මාඝගේ ආක්‍රමණයෙන් පසුව වෙසක් උළෙලට තිබුණ ගෞරවනීය ස්ථානය අහිමි වී වෙනත් නැකැත් කෙළිවලට මුල්තැන ලැබිණ. කෙසේ වුවද පොදු මහ ජනතාව තුළ පාරම්පරිකව මුල් බැසගෙන පැවති වෙසක් දින උළෙල රාජ්‍ය අනුග්‍රහයෙන් තොරව වුවද ගම් දනව්වල පැවතිණ. රජුන්ගේ මූලිකත්වයෙන් පැවති වෙසක් උළෙල කඩින් කඩව හෝ බි්‍රතාන්‍ය පාලන යුගය දක්වා දළදා පෙරහැරට අනුබද්ධව ක්‍රියාත්මක වී ඇත.

අප දිවයින බි්‍රතාන්‍ය පාලනයට හසුවීමෙන් පසුව 1828 වර්ෂයේදී පවත්වන ලද වෙසක් උළෙල හා දළදා පෙරහැර ගැන විස්තරයක් දේශ හිතෛශියෙකු වූ ඊ. ඩබ්ලිව්. පෙරේරා මහතා විසින් රචිත ග්‍රන්ථයක ඇතුළත්ව තිබී මහාචාර්ය රැල්ෆ් පීරිස් මහතාගේ ‘සිංහල සමාජ සංවිධානය’ නැමැති පර්යේෂණ කෘතියෙහි දක්වා තිබේ. එය මෙසේය.

“සිංහලේ රජුන් දවස ඉටු කළ ආකාරයට ම අංග සම්පූර්ණ දළදා පූජෝත්සවයක් 1828 මැයි 28 වැනිදාට යෙදුණ වෙසක් පුර පසළොස්වක පෝය දා ඉංගිරිසි ආණ්ඩුව මඟින් වියදම් දරා පවත්වන ලදී. උඩරට වාසීන්ගේ ඉල්ලීම පරිදි සිදු වූ මෙම පූජෝත්සවය සියලු අංගෝපාංග චාරිත්‍ර විධි සම්පන්නව පැවැත්වූ අවසාන දළදා උත්සවය ලෙස ගණිනු ලැබේ.”

ඉන්පසු දළදා පූජෝත්සව දිනය හින්දු භක්තික උළෙලකට සමගාමීව ඇසළ මාසයේදී පවත්වන්නට යෙදිණ. ‘ඇසළ කෙළිය’ නමින් හඳුන්වන ලද එම දළදා පෙරහැර ඇසළ මස අලුත් හඳ උදාවන දිනයේදී ඇරඹෙන බව වෙල්ලස්සේ දිසාව විසින් තබන ලද සන්නසක දැක්වෙයි. ’සිංහල සමාජ සංවිධානය’ නම් ග්‍රන්ථයෙහි ඒ පිළිබඳව දක්වා ඇති දීර්ඝ විස්තරයේ මෙසේ ද වෙයි.

‘මූලික තේවාවන් සිදු කොට කප සිටුවා පස්වැනි දිනයේදී කපුරාළවරු දේවාල සතරෙහි දෙවිවරුන්ගේ දුනුහී ඊතල රැගත් ඇතුන් හතර දෙනා සහිත පෙරහැර මහමළුවට කැඳවාගෙන යන අයුරු විස්තර කරන වෙල්ලස්සේ දිශාව මෙසේ ද කියයි. “මේ වෙලාවටම මාලිගාවේ භික්ෂූන් වහන්සේලා ධාතු කරඬුව වඩමවා ගෙනවුත් මාලිගාවේ දොරටුව අබියස සිටි ඇතෙකු පිට සවිකර තිබූ රන්පිලිගෙයි තැන්පත් කරති. අනතුරුව සර්වඥ ධාතු වඩමවා තිබෙන දොරටුව අසලින් පෙරහැර ආරම්භ කරයි.”

(සිංහල සමාජ සංවිධානය – මහනුවර යුගය, රැල්ෆ් පීරිස් – 127 පිටුව)

අනාදිමත් කාලයක් තිස්සේ ලක්දිව පැවති වෙසක් පෝය දින උළෙලේ අභිමානවත් පූජනීය සංකේතය වූ ශ්‍රී දළදා පෙරහැර ඇසළ සැනකෙළි උළෙලක සිරි ඉසිලුවේ එපරිද්දෙනි.

එසේවතුදු සමස්ත ලාංකේය බෞද්ධ පොදු ජනකාය සම්බුදු තෙමඟුල සිහිපත් කරන පොහොය දින උළෙල වෙසක් මස පුන් පොහොය දිනයේදී පවත්වාගෙන එනු ලබන්නේ රාජාඥාවකින් තොරව ම ය. ආදියේ සිට ම පැවති සාම්ප්‍රදායික මැටිපහන්, ගෙඩි පියලි පහන් පූජා වෙනුවට නූතන තාක්ෂණ දියුණුවත් සමඟ ම ආදේශ වූ විදුලි බුබුළු වැටින්, තොරණින් නගරබද පෙදෙස් අලංකාර වූව ද මෑතක් වනතුරු ම ගම්බද ජනතාව ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් පැරණි සැරසිලි ආලෝක පූජා, දන්සැල් ආදිය පවත්වනු ලබන්නේ අතීත සම්ප්‍රදායයන්හී ක්‍රම විකාශයේ ඵලයක් වශයෙනි.

දයාපාල ජයනෙත්ති