මෑත ඉතිහාසයේ බිහි වූ උගත්, ධර්මධර, විනයධර පැවිදි උතුමන් අතුරින් අපවත් වී වදාළ කල්‍යාණවංශ නිකායේ හිටපු මහා නායක අම්බලන්ගොඩ, පොල්වත්තේ අග්ගාරාම විහාරයේ විහාරාධිපතිව වැඩ විසූ අග්ගමහා පණ්ඩිත අති පූජනීය පොල්වත්තේ බුද්ධදත්ත නාහිමිපාණන්ට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි.

උන්වහන්සේගෙන් සිදු වූ ශාසනික හා ශාස්ත්‍රීය මෙහෙවර දෙස් විදෙස්හි පවා පැසසුමට පාත්‍ර විය. අදට පවා බුදු දහම හා පාලි භාෂාව ගැන උනන්දුවක් දක්වන විදේශිකයන්ගෙන් පොල්වත්තේ බුද්ධදත්ත හිමියන්ට හිමිවනුයේ ඉමහත් ආදර ගෞරවයකි. එයට විශේෂ හේතුව වී ඇත්තේ පාලි භාෂාව ඉගෙනීම සඳහා වූ, 1937 සහ 1938 යන වර්ෂ වලදී උන්වහන්සේ ඉංග්‍රීසියෙන් පළකරන ලද New Pali Course කෘති පෙළ යි.

එසේම 1949 දී පළ කරන ලද Concise Pali English Dictionary

1951 දී පළ කරන ලද Aids to Pali Conversation and Translation සහ The Higher Pali Course

1955 වසරේ දී එළිදැක්වූ English Pali Dictionary යනාදී කෘතීන් පාලි භාෂාව ඉගෙනීම ගැන උනන්දුවක් දක්වන බොහෝ විදේශිකයන්ට ඉමහත් පිටුවහලක් වී ඇත.

මේ මහා යතිවරයාණෝ උපත ලද්දේ 1887 ජූලි මස 23 වනදා අම්බලන්ගොඩ පොල්වත්තේ දී ය. පියාණන් වූයේ ඕබඩගේ ලුවිස් ද සිල්වා මහතා සහ මෑණියන් වූයේ තුයියගම්හේවා සාංචිහාමි මහත්මියයි.

හිමිපාණන් වයස අවුරුදු 12 දී ශ්‍රී කල්‍යාණවංශ පූජ්‍යපාද පෝරඹ ධර්මාධාර රාජගුරු නාහිමි යටතේ වර්ෂ 1899 නොවැම්බර් මස 02 වන දින අම්බලන්ගොඩ පොල්වත්තේ අග්ගාරාමයේ දී පැවිදි දිවියට ඇතුළත් විය.

වර්ෂ 1903 දී වයස අවුරුදු 16 දී අභිධර්මය ඉගෙනීම සඳහා ප්‍රථමයෙන් බුරුම රටට වැඩම කළ උන්වහන්සේ ‘බෝල් මෙයින්’ අසල ‘කොණ් හන්’ විහාරයේ දී අවුරුදු දෙකක් ඉගෙනීමෙන් පසු ලංකාවට වැඩම කරන ලදී. නැවත වර්ෂ 1906 දී බුරුමයට වැඩම කොට තම ඉගෙනීමේ කටයුතු ආරම්භ කරන ලදී.

හිමිපාණන් 1907 ජනවාරි 23 වන දින බුරුමයේ කොන්තන් විහාරීය සුවණ්ණමණී විජ්ජොතරතන සීමා මාලකයේ උපසපන් විය. ඉගෙනීම සම්පූර්ණ කරගත් උන්වහන්සේ 1911 දී නැවත ලක්දිවට වැඩම කරන ලදී.

නාහිමිපාණන් බුරුමයේ වැඩවිසූ කාලය තුළ දී පාලි භාෂාව ඉගෙනීම සඳහා..සංස්කරණය. කරන ලද මුල්ම බුරුම කෘතිය ‘පාළි භාසප්පවෙසනී’ වර්ෂ 1988 දී එළිදැක්වී ය. මෙය උන්වහන්සේ විසින් සංස්කරණය කොට පළ කරන ලද මුල් ම කෘතිය විය. මින්පසු බුරුම භාෂාවෙන් ‘අභිධානප්පදීපිකා’, ‘සාන්ථලක්ඛණ අභිධාන’, (බුරුම – ඉංග්‍රීසි) සහ ‘බුධසොසු විපත්ති’ කෘතීන් වර්ෂ 1908 දී පළකරන ලදී. උන්වහන්සේ විසින් රචිත මුල්ම සිංහල කෘතිය වූයේ වර්ෂ 1919 දී පල කරන ලද ‘අභිධර්ම මාතෘකා ස්වරූපයයි.’ බුරුම දේශයේ දී භාෂා ශාස්ත්‍රය පිළිබඳව මහා පඬිරුවනක් බවට පත් වූ හිමිපාණන් ලංකාවට වැඩම කළ පසු වර්ෂ 1923 දී කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ දී පාලි භාෂාව පිළිබඳ ගුරුවරයෙකු වශයෙන් සේවය ආරම්භ කරන ලදී.

මින්පසුව ලංකා විශ්වවිද්‍යාලයේ ඉගැන්වීමේ නියුක්ත විය. 1923 වසරේ දී ම පාලිභාෂාවතරණය පළමු කොටස මුද්‍රණය කොට ප්‍රසිද්ධ කරන ලදී.

බුරුමයේ ගත කළ කාලයේ දී උන්වහන්සේට හමු වූ එක් වටිනා කෘතියක් වූයේ ‘සිහලවත්ථුප්‍රකරණය’ යි. එහි තවත් එක් පිටපතක් බුරුම භාෂාවෙන් මහා කප්පින මුදලින්දාරාමයේ තිබී සොයා ගැනිණි. මෙයින් ධෛර්යට පත් උන්වහන්සේ මෙහි සිංහල අනුවාදය ‘ඉතා පැරණි සිංහල බණ කතා’ යනුවෙන් වර්ෂ 1959 දී එළිදක්වන ලදී. එබඳු ම වටිනා කෘතියක් වූ ‘සහස්සවත්ථුප්‍රකරණය’ එම වර්ෂයේදීම උන්වහන්සේ අතින් පළ විය. නාහිමිපාණන් බුරුම භාෂාවෙනුත්, සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හා පාලියෙනුත් පළකර ඇති කෘතීන් සංඛ්‍යාව සියය ඉක්මවයි. ප්‍රවීණ ගත්කරු මාටින් වික්‍රමසිංහ ශූරීන් සඳහන් කරන ආකාරයට “බුද්ධදත්ත හිමියන් මහත් ම සන්තෝසය ලැබුවේ ලිවීමෙනි. ලිවීම උන්වහන්සේට භාවනා විශේෂයක් විය.” (ශ්‍රී බුද්ධදත්ත සිරිසීවලී 1965)

ඉංග්‍රීසි භාෂාව පිළිබඳ හසල බුද්ධියක් තිබූ හිමිපාණන් වර්ෂ 1938 දී ‘හියුං සියං භ්‍රමණවෘත්තාන්තය’ සිංහලට පරිවර්තනය කරන ලදී. ධම්ම පදය සහ සමන්තකූට වර්ණනාව ඉංග්‍රීසියට හැරවූ පරිවර්තනයන් කීපයක් තිබුණත් හිමිපාණන්ගේ පරිවර්තනයට සම කළ හැකි කිසිවක් එකල තිබී නැත.

උගතුන් විසින් පාලි පොත් ඉංග්‍රීසියට පරිවර්තනයේ දී පැන නැගී තිබූ සාවද්‍ය තැන් උන්වහන්සේ පෙන්වා දුන්හ. ගෛගර් වැනි අපරදිග උගතුන් මහාවංශය පරිවර්තනයේ දී දැන හෝ නොදැන කර ඇති වැරදි පෙන්වා ඒවා නිවැරදි කිරීමට උන්වහන්සේ අප්‍රමාණ ප්‍රයත්නයක් දරා ඇත. විනය පිටකයට අයි. බී. හෝනර් මැතිණිය විසින් කර ඇති ඉංග්‍රීසි පරිවර්තනයේ වැරදි තැන් පෙන්වා තිබීම පිළිබඳ සාසනලැදි සියලු දෙනාගේම ගෞරවය උන්වහන්සේට හිමිවිය යුතුයි. ඊ. ජේ. තෝමස් පඬිතුමා ලියූ History of Buddhist Notes කෘතියේ වැරදි තැන් පෙන්වා දුන් පසු නිහතමානී ඒ පඬිතුමා උන්වහන්සේට මෙසේ ලියා එවා ඇත. “ඔබවහන්සේගෙන් මට බොහෝ දේ ඉගෙනගන්නට ලැබුණි.”

නාහිමිපාණන් විසින් 1949 දී පළකරන ලද ‘භාරතීය බෞද්ධාචාර්යෝ’ 1950 දී පළ කරන ලද ‘සමීපාතීතයෙහි බෞද්ධාචාර්යයෝ’ සහ 1960 දී පළ කරන ලද ‘ථේරවාදී බෞද්ධාචාර්යයෝ’ යන කෘතීන් තුන එකට ගතහොත් බෞද්ධාචාර්යවරුන් පිළිබඳ අප්‍රකට තොරතුරු ගැබ්කොට ඇති චූල විශ්වකෝෂයක් සේ පිළිගත හැක.

පාලි භාෂාව අධ්‍යනය සඳහා ද හිමිපාණන් විසින් කරන ලද සේවය ඉතා අගනේ ය. ඒ උන්වහන්සේ විසින් ලියන ලද ‘පාලිභාෂාවතරණය’ නමින් ප්‍රකට පොත්පෙළ නිසා පාලි භාෂාව ඉගෙනීම සඳහා ඇති වූ උද්යෝගය යි. අදට ද මේ පොත්පෙළ පාලි භාෂාව හදාරන සිසුන්ගේ අත්පොත් වී ඇත.

හිමිපාණන් විසින් 1953 වර්ෂයේ දී ‘ත්‍රිපිටක සුචිය’ එළිදැක්වූ අතර පිළිවෙළින් 1961 සහ 1962 වර්ෂවල දී Moha Vicchedani සහ Jinakalamali රෝම භාෂාවෙන් එළිදක්වන ලදි ලදී.

විදේශ ධර්මදූත සේවාව

උගත් ධර්මධර විනයධර පොල්වත්තේ බුද්ධදත්ත නාහිමිපාණන් විදේශීය ධර්ම ප්‍රචාරය සඳහා වර්ෂ 1926 දී මලබාර් දේශයටත්, 1928 දී ස්විට්සර්ලන්තයටත්, එංගලන්තයටත් වැඩම කරන ලදී. එසේ ම ඉතාලිය, ජර්මනිය ආදී යුරෝපා රටවල බෞද්ධ ධර්ම ප්‍රචාරක කටයුතු කරන ලද ප්‍රථම ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේ වූහ. ජර්මනියේ කරන ලද දහම් ප්‍රචාරයේ ප්‍රතිඵලයක් ලෙස වැඩිහිටි ජර්මන් බෞද්ධයන් බොහෝ කලක් මහානාහිමියන්ගේ නාමය ඉතා ගෞරවයෙන් සිහිපත් කොට ඇත.

සයවෙනි සංගායනාවේ කතෘ මණ්ඩලයට පත් කිරීම

බුරුමයේ ධර්ම සංගායනා ප්‍රධාන කතෘ මණ්ඩලයට පොල්වත්තේ බුද්ධදත්ත මහා ස්ථවිරයන් වහන්සේ පත් කර ඇති බව බුරුම ආණ්ඩුවෙන් ස්වදේශ ඇමති කාර්යාලයට දන්වා එවා තිබුණි. ඒ වර්ෂ 1953 මැයි 16 දා ය.

නිකායේ අනුනායක ධූරය

වර්ෂ 1953 ජූනි 27 වැනි දින කල්‍යාණවංශ නිකායේ මහා සංඝයා වහන්සේ විසින් මහතෙරුන් වහන්සේ ව නිකායේ අනුනායක ධූරයට පත් කළ වග නිකායේ ස්ථවිරයන් වහන්සේලා විසින් දැනුම් දෙන ලදී.

සංගායනාව සඳහා විනය පිටකය රැගෙන යයි

බුරුමයේ පැවැත්වෙන හයවෙනි ධර්ම සංගායනාවේ උත්තරීතර මණ්ඩලයට තෝරාගනු ලැබූ පොල්වත්තේ බුද්ධදත්ත නාහිමි ද කොස්ගොඩ ධම්මවංශ හිමියන් ද ලීලානන්ද කල්දේරා මහතා ද බුරුමය බලා ගමන් ඇරඹීම පිණිස වර්ෂ 1953 දී ජූලි 17 දින ‘ස්ටැපඩිෂයර්’ නැවට නැග්ගහ. මේ පිරිස සමඟ මහා සඟ රුවන ද හිටපු අගමැති ඩඩ්ලි සේනානායක මැතිතුමා හා අනෙකුත් මැති ඇමතිවරු සහ ප්‍රභූ පිරිස ද විය. අග්‍රාමාත්‍ය සර් ජෝන් කොතලාවල මහතා ඇතුළු අනෙකුත් ඇමතිවරු දූත පිරිසට පසු ගමන් කිරීම සඳහා පැමිණ සිටියහ.

බුරුම රජයේ ඉල්ලීම පරිදි ලංකාවෙන් සපයනු ලබන විනය පිටකය හා සූත්‍ර පිටකයේ සංයුත්ත නිකාය ද තුන් නිකායට අයත් නායක ස්ථවිරයන් වහන්සේලා විසින් ද ප්‍රභූපන්තියට අයත් ගිහියන් විසින් ද පොල්වත්තේ බුද්ධදත්ත නාහිමියන්ට බුරුමය බලා රැගෙන යාමට පවරාදෙන ලදී.

ඉතිහාසගත වූ ගමන

වැලිවිට සරණංකර සංඝරාජයන් වහන්සේ මේ දිවයිනේ උපසම්පදාව පිහිටුවා වර්ෂ දෙසීයක් සපිරුණු දිනයේ ම පොල්වත්තේ බුද්ධදත්ත නාහිමිපාණන් බුරුමයට ලංකාවෙන් ධර්ම ග්‍රන්ථ වැඩම කරවීම ඵෙතිහාසික සිද්ධියක් බව මහාචාර්ය ජී. පී. මලලසේකර ශූරීන් සඳහන් කොට ඇත.

බුරුම රටින් ලත් හරසර

1953 ජූලි 17 වන සිකුරාදා රාත්‍රී 7ට කොළඹ වරායෙන් පිටත් වූ නැව 21 වනදා දහවල් 11.00ට පමණ රැන්ගූන්වලට ළඟා විය. ධර්ම පුස්තකයන් සහිත දූත පිරිස බෝට්ටුවෙන් ජැටියට ළඟා වෙත්ම රැස්ව සිටි සංගායනාවේ ලේකම් දෙනම ඇතුළු පනස්නමක් පමණ මහා තෙරවරුන් ද ප්‍රභූපක්ෂයට අයත් ගිහි උපාසක, උපාසිකාවන් විසින් ද ඉතා උත්කර්ෂවත් අන්දමින් පිළිගන්නා ලදී.

අලංකාර ලෙස සරසන ලද මෝටර් රථයකින් ධර්ම ග්‍රන්ථයන් සහ මහා නාහිමිගේ ප්‍රධානත්වයෙන් දූත පිරිස වැඩම කරන විට භික්ෂුණීන් වහන්සේලා සියදහස් ගණනින් මල් ඉසිමින් පූජා පැවැත්වූහ. දෙතුන්සියයක් වූ දසසිල් උපාසිකාවෝ දූත පිරිස වැඩම කරන විට බුරුම භාෂාවෙන් බුදුගුණ කියමින් වැඳ වැටුණෝ ය. දසදහස් ගණනින් උපාසක උපාසිකාවෝ මග දෙපස හිඳිමින් වන්දනා කළහ. පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් ඇතුළු මහ තෙරවරුන් විසින් සංගායනාව සාර්ථකව පවත්වන ලදී.

බුරුමයේ අග්ගමහා පණ්ඩිත උපාධිය

බුරුමයේ නිදහස පිළිබඳ හයවෙනි සංවත්සරය වර්ෂ 1954 පෙබරවාරි 4 වනදාට යෙදී තිබුණි. මෙම දිනයේ දී පිළිගන්වන ලද උසස් ම උපාධිය නම් අග්ගමහා පණ්ඩිත උපාධියයි. මෙම වර්ෂයේ දී මෙම උපාධිය පොල්වත්තේ බුද්ධදත්ත ස්වාමීන් වහන්සේට ප්‍රධානය කෙරිණ. බුරුම රජය එරටින් පිට හිමිනමකට මෙම උපාධිය ප්‍රධානය කළ ප්‍රථම අවස්ථාව එය විය.

මෙම උසස් උපාධිය පිරිනමනු ලබන්නේ ත්‍රිපිටකය ගැන පුළුල් අවබෝධයත්, සිල්වතෙකු වීමත්, ජනප්‍රිය ආචාර්යවරයෙකු වීමත් හා පැවිදි වී සිල්රැකි කාලය දීර්ඝ වීමත් යන කරුණු මුල් කරගෙන ය. එසේම සයවෙනි සංගායනාවේ නාහිමිපාණන් කරන ලද කාර්යය මෙම උපාධිය ලැබීමට තවත් හේතුවක් වී ඇත.

පොල්වත්තේ බුද්ධදත්ත මහානාහිමියන් බහුශ්‍රැත ය. එඩිතර ය. කාර්යක්ෂම ය. ඍජු ය. සැහැල්ලු ගති පැවතුම්වලින් යුක්ත ය. වෙලාවට වැඩ කිරීම උන්වහන්සේගේ ජීවිතයේ පුරුද්දක් විය. කොපමණ හිරිහැර, බාධා ඇති වුවත් ස්වකීය පරමාර්ථය ඉටු වනතුරු නොපසුබට වීර්යෙන් ඉදිරියට යාම උන්වහන්සේගේ ජීවිතය තුළ තිබූ විශේෂ ලක්ෂණයකි.

නාහිමිපාණන්ගේ සේවාවන් ඇගයීම සඳහා උන්වහන්සේ හට 1956 ඔක්තෝබර් 20 දින ප්‍රාචීන භාෂෝපකාර සමිතියෙන් සම්මාන පණ්ඩිත උපාධිය ලැබිණි. 1958 මාර්තු 6 දින ශ්‍රී කල්‍යාණවංශ නිකායේ මහානායක පදවියට නිකායේ උත්තරීතර විධායක සංඝ සභාව විසින් හිමිපාණන් පත් කරන ලදී. වර්ෂ 1959 දී ලංකාදීප පුවත්පතින් සාහිත්‍ය කීර්ති ගෞරව සම්මානය පිරිනමන ලදී. වර්ෂ 1959 දී ශ්‍රී ලංකා සාහිත්‍ය මණ්ඩලයේ සාමාජිකත්වයට පත් කරන ලදී.

වර්ෂ 1959 දී ලංකා විද්ය්‍යෝදය විශ්ව විද්‍යාලයෙන් සාහිත්‍යශූරී (PhD) උපාධිය පිරිනමන ලදී. 1962 වර්ෂයේ දී ශ්‍රී ලංකා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ බෞද්ධ දර්ශනය පිළිබඳව මහාචාර්ය ධුරය දරනු ලැබූහ.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ දහම සසුන තුළ ස්ථාපිත කිරීමටත්, කලක් තිස්සේ පැළපදියම් වූ දුර්මතවලට පහර දීමටත් මහානාහිමියන් පසුබට නොවූහ.

බුද්ධදත්ත නාහිමිපාණන් විද්වතුන්ට මිණි පහනක් වූහ. බුදුදහමේ බලධාරියෙකු වූහ. දහම ලොව තුළ ප්‍රචලිත කිරීමේ අභීත සෙන්පතියෙකු වූහ. අයුක්තිය පිටු දැකීමේ පතාක යෝධයෙකු වූහ. උපන් දේශයට ආචාර්යවරයෙක් වූහ. සසුනඹර එළිය කරමින් දිදුලන තාරකාවක් වූහ.

හිමිපාණන්ගේ අවසාන කෘතිය වූයේ වර්ෂ 1962 දී පළ කරන ලද ‘පාලි සන්දේසාවලී’ කෘතිය යි.

මෙසේ සසුන හා ශාස්ත්‍රීය ලෝකය ඒකාලෝක කළ මිණිපහන අනිත්‍ය ධර්මතාවය පසක් කරමින් ශාසන හිතෛශී, ජාති හිතෛශී දෙස් විදෙස් සියලු දෙනාගේ නෙතඟ කඳුළක් රඳවමින් අවුරුදු 75ක් ආයු වළඳා 1962 නොවැම්බර් 9 වන දින අපවත් වී වදාළ සේක.

එනමුදු ලෝකපූජිත යතිවරයාණෝ විසින් කරනු ලැබූ ශාසනික හා ශාස්ත්‍රීය මෙහෙවර ඉන්පසුව ලක්බිමෙහි ජනිත වූ යුග පුරුෂයන්ට ඉමහත් පිටුවහලක් විය. හිමිපාණන් අපවත් වී වදාළ නමුදු උන්වහන්සේ විසින් සිදු කරන ලද අති දැවැන්ත මෙහෙවර තවත් බොහෝ කාලයක් දෙස් විදෙස්හි රැව් පිළිරැව් දෙනු ඇත. උන්වහන්සේට අමා මහ නිවන් සුව බොහෝ දුර නොවේවා!

ඇසුර – පූජිත යතිවරයෙකු ගැන මතක සටහන් (නින්දානේ වජිරඤාණ හිමි හා විජයසේන මාදුවගේ මහතා)

මහමෙව්නාව භාවනා අසපුවාසි ස්වාමීන් වහන්සේ නමක් විසිනි.