ප්‍රශ්න… ප්‍රශ්න…. ප්‍රශ්න… කෙළවරක් නැති ප්‍රශ්න… අවසානයේ ප්‍රශ්නවලට එකම විසඳුම මරණය යැයි සිතා අතිශයින් ම දුර්ලභ මිනිසත් බව අහිමි කරගත් අවාසනාවන්ත මිනිසුන් ගණන මෙතෙකැයි කියා කිව නොහැක. එය ඊයේ ද මේ මොහොතේ ද මෙන් ම නිසැකවම අනාගතයේ ද සිදුවනු ඇත. උපන් සත්වයාට ප්‍රශ්න යනු අරුමයක් නොවේ; උරුමයකි. අප කවුරුත් මේ සසරේ සැරිසරා යන්නේ අරුමයක් නැති දුක උරුමයක් කරගෙන, කරුමය නමැති කඩ ඇණයට සිර වී ය. ප්‍රශ්නවලට මුහුණ නොදුන් සත්වයෙක් මිහිපිට නැත්තේ ය. නමුත් ඒ අතරින් නිකෙලෙස් බුදු පසේබුදු මහරහත් උත්තමයන්ට පමණක් කිසිම ප්‍රශ්නයක් නොවීය. ඒ, මානසික දුක එවන් උත්තමයන් කරා නොපැමිණි නිසා ය. අන් සියල්ලෝම ප්‍රශ්නවලින් මිරිකී සිටිති. සමහරවිට ඔබේ ප්‍රශ්නය මට නැත. මගේ ප්‍රශ්නය ඔබට නැත. අප දෙදෙනාගේම ප්‍රශ්නය අනෙකාට නැත. එහෙත් ඔහුට වෙනත් ප්‍රශ්නයක් ඇත. මේ වනාහී සසරයි. කෙසේ වෙතත් මේ ලිපියෙහි අදහස එකී ප්‍රශ්න ගැන කතා කිරීම නොවේ. එහෙත් මෙහි කතා කරන්නේ ද ප්‍රශ්නයක් ගැනයි. ඒ, ප්‍රශ්න නිසා ම ඇති වූ ප්‍රශ්නයක් වන සියදිවි හානි කරගැනීම පිළිබඳවයි.

2022 – මාර්තු මාසයේ කළ විශ්ලේෂණයකට අනුව සෑම තත්පර 40ට වරක් ලෝකයේ කොතැනක හෝ කෙනෙක් සියදිවි හානි කරගන්නා බව අන්තර්ජාලයේ සඳහන් වේ. 1995 දී සියදිවි හානි කරගැනීමෙන් පළමු ස්ථානය අප රටට හිමි වූ අතර වාර්ෂික ව සියදිවි හානි කරගැනීම් සංඛ්‍යාව ද ඉහළ යමින් පවතී. ඒ අතරින් වැඩි පිරිසක් පුරුෂයෝ වෙති. වර්තමානය වන විට සියදිවි හානි කරගන්නා පිරිස අතරින් වැඩිම ප්‍රතිශතයක් වාර්තා වන්නේ තරුණ තරුණියන් වීම ඉතාම දුක්ඛදායක මෙන්ම සංවේදී තත්ත්වයකි. ඒ සඳහා ප්‍රධානතම හේතුව බවට පත්ව ඇත්තේ ප්‍රේම සබඳතා ය.

කුමන හේතුවක් මත වේවා සියදිවි හානි කරගැනීම ප්‍රශංසනීය කරුණක් නොවේ. බෞද්ධ රටක් වන අපි ඒ ගැන බොහෝ සේ සංවේගයට ද පත් විය යුත්තෙමු. බොහෝ ප්‍රශ්නවලට විසඳුම් ලබාගත හැකි ය. නමුත් චිත්ත ආවේග නිසාත්, නොදැනුම්වත්කම නිසාත්, නිවැරදි අවවාද අනුශාසනා නොලැබීම නිසාත් බොහෝ දෙනෙක් සිතන්නේ මරණය යනු ප්‍රශ්නවලට ඒකායන විසඳුමක් බවයි. නමුත් එහි ඇත්තේ මුළා වීම විනා යථාර්ථය දැකීම නොවේ. ප්‍රශ්න විසඳන්නට ඇති ක්‍රමය, ප්‍රශ්නවලින් පැන ගොස් දුර්ලභ මිනිසත් බවක් අහිමි කරගෙන කල්ප කාලාන්තරයක් දුක් විඳින්නට මග විවර කරගැනීම නම් නොවේ.

සැබෑ ලොවෙහි නැති සිහින මාලිගා…

මෙයට විසඳුමක් සෙවීම වටී. ප්‍රේමය මහානීය දෙයක් බවට පත් වී ඇත්තේ නවකතා, කෙටිකතා, ටෙලිනාට්‍ය, චිත්‍රපට, ගීත, වීඩියෝ ආදියෙන් සමාජයට පෙන්වන බොරු මවාපෑම නිසාවෙනි. බොහෝ ඒවා සාමාන්‍ය ලෝකයේ දී කිසිදා ඉටුකර ගත හැකි දේවල් නොවේ. සිහින මාලිගා තනාගෙන පෙම් සුව සොයන අය අතරින් වැඩි පිරිසකට ඒ සිහින මාලිගා යථාර්ථයක් කරගත නොහැකි ය. නොසිතූ විරූ අයුරින් බිඳ වැටෙයි. ‘සිතූ දේ නොම වෙයි. නොසිතූ දේම වෙයි.’ යනු ලෝක ස්වභාවය බව ඔවුනට අමතකව ගොස් ය. එහෙයින් බොහෝ තරුණ තරුණියන් ප්‍රේමයෙන් වල්මත්ව ඔහේ දුවති. අවසානයේ සියල්ල බිඳී ගිය කල දරාගත නොහැකි ශෝකයත්, ද්වේෂයත් ඉතිරිව එයට විසඳුම් නොදැක සිය ජීවිතයෙන් වන්දි ගෙවති.

මරණය තුළින් විසඳුණු ප්‍රශ්නයක් කොහේවත් නැත්තේ ය. ඒ මොහොතේ තිබූ ප්‍රශ්නය, දුක, ශෝකය, මරණය තුළින් සිදුවී ඇත්තේ මේ අතින් අනිත් අතට මාරු කිරීමක් වැන්න ය. තවද බොහෝ දෙනෙක්ට ඉතාම දුර්ලභ ව දුකසේ ලබාගත් මනුස්ස ජීවිතයෙහි ඇති වටිනාකම ගැන ද අවබෝධයක් නැත. සියදිවි නසාගත් කල්හි මිනිසත් ජීවිතය ද සම්බුද්ධ ශාසනය ද දෙක ම අහිමි වෙයි.

ප්‍රේමය යනු ජීවිතය ම නොවේ…

බොහෝ අය සිතා සිටින්නේ ප්‍රේමය වනාහි ජීවිතයේ සියලු දේ බවයි. ඒ නිසා ප්‍රේම සම්බන්ධතා බිඳ වැටුණ කල සිතන්නේ ජීවිතය ම අවසන් වී ගිය සෙයිනි. නමුත් සත්‍යය නම් ආදරය ජීවිතයේ එක් පැතිකඩක් පමණකි. අපේ ජීවිත පාලනය කළ යුත්තේ හැඟීම් විසින් නොව ප්‍රඥාවෙන් ය. හැඟීම්වලට වහලෙකු වූ කල සිදුවන්නේ අර්ථවත් දෙයක් නොව අනර්ථය ම ය. විරහව යනු සත්‍ය වශයෙන් ම පීඩාකාරී මහත් ම දුකකි. භාග්‍යවතුන් වහන්සේ පවා වදාළේ ප්‍රියයන්ගෙන් වෙන් වීම දුකක් බවයි. ඒ තුළින් ශෝක, පරිදේව, දුක්ඛ දෝමනස්ස සියල්ල හට ගනී. නමුත් ඒ කිසිවකට මරණය විසඳුමක් ලෙස උන්වහන්සේ කිසිවිටෙක දේශනා නොකළහ. එබැවින් කිසි දිනක ආදරයට ඔබේ ජීවිතය පැහැර ගන්නට ඉඩ නොදිය යුතු ය. මක්නිසා ද යත් ජීවිතය තුළ කළ යුතු තව බොහෝ දේ ඇති නිසාවෙනි. ඔබ යම් දිනෙක අහිමි වූ ප්‍රේමය වෙනුවෙන් ජීවිතය ද අත්හළහොත් සමහරවිට ඔහු හෝ ඇය සසරින් ම නිදහස් වන තෙක් ඔබට සතර අපායෙන් හෝ නිදහස් වෙන්නට නොහැකි වේවි. ඒ, සසර යනු සාධාරණීකරණය කළ හැකි දෙයක් නොවන නිසා ය.

අවිද්‍යාව නිසා ඇතිවන ප්‍රේමයෙන් තව දුරටත් අවිද්‍යාව ම වැඩෙන්නේ ය. අවිද්‍යාව වැඩෙන තරමට ප්‍රේමය ද තවදුරටත් වැඩෙන්නේ ය. එය කෙලෙස්වල ස්වභාවයයි. ප්‍රේමය, ආදරය නමැති මෙම කෙලෙස් උල්පත ශ්‍රී සද්ධර්මයෙහි බොහෝ තැන්වල දක්වා ඇත්තේ රාගය වශයෙනි. තරුණ තරුණියන් විසින් ඉමිහිරි, උතුම් අවැසිම දෙයක් වශයෙන් සලකන මේ රාගය සැබෑවට ම සත්ව සන්තානය දවා අළු කරන ගින්නකි. භාග්‍යවතුන් වහන්සේ වදාළේ රාගයට සම කරන්නට පුළුවන් වෙන ගින්නක් නැති බව ය, රාග ගින්නෙන් කාමයට ඇලුණු සත්වයෝ දවනු ලබන්නාහ වශයෙනි.

ආදරයට දිවි පිදුවොත්…?

ප්‍රේම සම්බන්ධතා අරබයා සියදිවි හානි කරගත්තත්, ඒ අවස්ථාවේ ඔවුන්ගේ සිත් තුළ ක්‍රියාත්මක වන්නේ රාගය, ද්වේෂය හෝ මෝහය නම් වූ අකුසලයන් ය. එසේම ඔවුන්ට ඇත්තේ පිරිසිදු සිතක් නොව දූෂිත සිතක් ය. ඔවුනට ලැබෙන උපත මේ අයුරින් බව භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.

“පින්වත් මහණෙනි, මේ ලෝකයේ ඉන්න දූෂිත වෙච්ච සිත් ඇති සමහර පුද්ගලයන්ගේ සිත මගේ සිතින් මේ විදිහට දැනගන්නවා. මේ පුද්ගලයා මේ කාලෙ මිය පරලොව ගියොත්, හරියට හිසින් ගත් බරක් බිමින් තියනවා වගේ නිරයේ තමයි උපදින්නේ. ඒකට හේතුව මොකක්ද? පින්වත් මහණෙනි, ඒ ඔහුගේ සිත දූෂිත වෙච්ච නිසා. පින්වත් මහණෙනි, සිත දූෂිත වීම නිසාම මේ ලෝකයේ සමහර උදවිය කය බිඳිලා මැරුණට පස්සේ සැප නැති, දුගතිය වූ, විනිපාත නිරයේ උපදිනවා.”

(ඉතිවුත්තක පාළි)

එසේනම්, ආදරය වෙනුවෙන් පමණක් නොව කුමන කරුණක් අරබයා සියදිවි හානි කර ගත්ත ද සිත කිලිටු වී නම් ඔහුට දෙලොවේ ම යහපත අහිමි වන්නේ ය.

අහිමි වූ ආදරයට පිළියම් නැද්ද?

ප්‍රේම සම්බන්ධතා බිඳ වැටී දුක් විඳින අයට මෙසේ සිතෙන්නට පුළුවන. ‘හිත හදාගන්න එක ලේසි වැඩක් නෙවේ, කියනවා වගේ ඒක ලේසි නැහැ, කාට වුණත් කියන්න.ලේසියි. මේක වෙලා ම බලන්න ඕන…’ එය.සැබෑවකි. මේ සිතෙහි ස්වභාවය එයයි. නමුත් සියදිවි හානි කර ගැනීම නම් ඒ කිසිවකට පිළියමක් නම් නොවන බව කිව යුතු ම ය.

මේ සඳහා විසඳුම් දෙකක් පෙන්වා දිය හැකි ය. එකක් තාවකාලික ය. ඒ තුළින් යළිත් ඔබට එවන් දුකක් නොඒවි යැයි කියා ශපථ කරන්නට නම් කිසිසේත් ම නොහැකි ය.
නමුත් අනෙක් විසඳුමෙන් නම් සත්‍ය වශයෙන්ම ඔබට යළි ඒ දුක නොපැමිණේවි. මේ දෙකින් කුමක් තෝරා ගන්නේ ද යන්න ඔබ සතු කාර්යයකි.

විරහවට පොහොර යෙදීම

බොහෝ දෙනෙක් කරන්නේ ප්‍රේම සම්බන්ධතා බිඳ වැටීමෙන් පසු ඒ ගැනම හූල්ලමින් විරහ ගීත අසමින්, චිත්‍රපට බලමින් තම තුවාලයට තව තවත් විෂ එකතු කිරීමයි. පොහොර එකතු කිරීමයි. එසේම තවත් තරුණයින් සූදුවට, මත්පැනට ඇබ්බැහි වෙති. එය සැබෑවටම මෝඩකමෙන් මෝඩකමකි. ඕනෑම ප්‍රශ්නයක දී සිත හදා ගන්නට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තරම් ශ්‍රේෂ්ඨ දෙයක්, ශ්‍රේෂ්ඨ ඖෂධයක් තුන් ලොවෙහි ම නොමැත. විරහව පමණක් නොව ඕනෑම ප්‍රශ්නයක දී ධර්මය දන්නා සඟරුවන මුණගැසුනහොත් බොහෝ විට පිළිසරණක් ලැබෙන්නේ ම ය. ශෝකය සහමුලින්ම දුරු කර ගත නොහැකි වුවත් ජීවිතය හෝ රැක ගත හැකි ය.

තාවකාලික පැලැස්තර

අපගේ ජීවිතයේ මුහුණදීමට සිදුවන නොයෙක් ප්‍රශ්නවල දී අපට බොහෝ විට ලැබෙන්නේ ස්ථිර විසඳුම් නොව තාවකාලික සැනසීමයි. සැබැවින්ම සියලු ප්‍රශ්නවලට සදාකාලික විසඳුම අමා මහ නිවන ම පමණි. ජීවිතය අහිමි කර ගන්නවාට වඩා තාවකාලික පැලැස්තරයක් හෝ ලැබෙන්නේ නම් අගනේ ය. ඇත්තෙන්ම අපේ ජීවිත තුළ අප නොදැනුවත් ව ම සිදුවන්නේ ද එයයි. පරණ දුක අලුත් දුකෙන් යටපත් වී යයි. පරණ සැපය අලුත් සැපයෙන් වැසී යයි. සැමදා සිදු වූ දෙය මෙය නොවේ ද? ඔබ තුළින් ද සමාජය තුළින් ද හොඳින් විමසා බැලූ විට එය මනා කොට පසක් වෙනු ඇත. සියල්ලෝම විවාහ වී සිටින්නේ තම පළමු පෙම්වතා හෝ පෙම්වතිය සමඟ ද? ඒ සියල්ලෝම සියදිවි හානි කර නොගත්තේ මන්ද?

තවත් හරි අපූරු එහෙත් තාවකාලික විසඳුමක් ගැන ධර්මයේ සඳහන් වේ.

“තමාව හැර දමන්නා, අත් හරින්න (ඔහු හෝ ඇය) ගැන ආශාවක්වත් සිතේ රඳවා නොගන්න. තමාට හිතවත් නැති කෙනා හා ඇසුරක් පවත්වා පලක් නැත. මේ ලෝකය ඉතා විශාල ය. ගෙඩි නොමැති ගසක් හැර දමන කුරුල්ලකු ගෙඩි ඇති ගසක් සොයා යන්නාක් මෙන් වෙනත් කෙනෙකු ගැන විමසා බලන්න. (අනිකෙකු තෝරාගන්න.)”

(පක්කගෝධ ජාතකය – ජාතක පාලි)

සිතින් දුක් විඳිමින් හූල්ලමින් ජීවත් වනවාට වඩා මරණය යෙහෙක යැයි සිතන අයට මෙය විසඳුමක් නොවේ ද? මෙහි වෛර කිරීමට හෝ පළිගැනීමට දුන් උපදෙසක් නැත. මේ ලෝකය ඉතා ම විශාල ය. සමහර විට ඔබට අහිමිව ගිය කෙනාට වඩා යහපත් ගුණධර්ම ඇති කෙනෙකු ඔබට මුණගැසෙනු ඇත. මැනවින් සොයා බලා එවැන්නෙකු හෝ එවැන්නියක තෝරා ගැනීම නොවේ ද නුවණැත්තන් කළ යුත්තේ? නමුත් මෙය සදාකාලික විසඳුමක් නොවේ…

සදාකාලික සැනසුම සොයා…

අලුතෙන් හමුවන කෙනා ද ඔබව අතහැර දමා නොයාවි කියා තහවුරු කළ හැකි සාක්ෂිය කුමක්ද? තම ලෙයින් පවා ශපථ කළ අය සැණෙකින් වෙනස් වූ අයුරු අසා ඇතුවා නොවේ ද? පෙර අයත් පැමිණියේ සැමදා එක්ව වසන වහසි බස් දොඩා නොවේ ද? එහි තීරණය ඔබ සතු ය.

එසේනම් අපට සදාකාලික විසඳුමක් අවැසි ය. එවැන්නක් ඇත්තේ ය. නමුත් මේ සත්‍ය විසඳුමට පැමිණෙන්නේ ඉතා ම අල්ප පිරිසක් පමණි.

භාග්‍යවතුන් වහන්සේ විසින් අපට නිරන්තරයෙන් සිහි කළ යුතු යැයි වදාළ දේ අතරට මෙය ද ඇතුළත් ය. එනම්, “සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනාභාවෝති.” – “මා හට ප්‍රිය වූ මනාප වූ සියළු දැයෙහි වෙනස් වෙනස් ස්වභාවයන්ට පත් වීම, විනාශයට පත්වීම තිබෙන්නේ ය.” යන්නයි. කවදා කෙලෙසින් කුමන අයුරින් සිටිය ද අපට ඔහු හෝ ඇය අහිමි වනවා ම ය. එයයි ලොවෙහි සදාතනික දහම. කෙසේ නම් එය ඉක්මවා යන්න ද? එබැවින් සදාතනික විසඳුම කුමක්දැයි තේරුම් ගන්නට මෙම උතුම් ගාථා පමණක් සඳහන් කරන්නෙමි. එය නුවණින් දකින්නට උත්සාහවත් වෙත්වා!

මා පියේහි සමාගඤ්ඡි – අප්පියේහි කුදාචනං
පියානං අදස්සනං දුක්ඛං – අප්පියානඤ්ච දස්සනං

“තමන් කැමති උදවිය සමග පමණ ඉක්මවා හිත මිත්‍රකම් ඇතිකරගන්ට එපා! අප්‍රිය පුද්ගලයන් හා හිතමිතුරුකම් කොහෙත්ම ඕනෙ නෑ. ප්‍රියයන්ට ඇළුණොත්, ඔවුන් දකින්ට නොලැබීමෙන් දුක් ඇතිවෙනවා. අප්‍රිය පුද්ගලයන් දකින්ට ලැබීමෙනුත් දුක් ඇතිවෙනවා. ”

තස්මා පියං න කයිරාථ – පියාපායෝ හි පාපකෝ
ගන්ථා තේසං න විජ්ජන්ති – යේසං නත්ථි පියාප්පියං

“ඒ නිසා කිසිදෙයක් කෙරෙහි ඇල්මක් ඇතිකරගන්ට එපා! ඒක එහෙම තමයි. ප්‍රියයන්ගෙන් වෙන්වෙන්ට සිදුවුණොත් ඒක ඔහුට දුකක් වෙනවා. නමුත් යමෙකුට ඔය ප්‍රිය-අප්‍රිය දේවල් මොකවත් නැත්නම් ඔවුන් තුළ කෙලෙස් ගැට නෑ.”

පේමතෝ ජායතී සෝකෝ – පේමතෝ ජායතී භයං
පේමතෝ විප්පමුත්තස්ස – නත්ථි සෝකෝ කුතෝ භයං

“ආදරය කරන දෙයින්මයි ශෝකය උපදින්නෙ. ආදරය කරන දෙයින්මයි බිය උපදින්නෙත්. ආදරයෙන් නිදහස් වුණ කෙනාට ශෝකයක් නෑ. භයක් කොයින්ද?”

(ධම්මපදය – ප්‍රිය වග්ගය)

දුක් කඳුළු, සෝ සුසුම්, හඬා වැළපුම් නැති ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා…!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.