හිරු මඬල අහසට නැගිලා බැබළෙන හිරු රැස් පොළොවට එව්වා. ඒ හිරු රැසින් පණගැසුණු ගස් වැල් තවරාගෙන සිටි පිණි බිංදු ගසා දමලා මල් පුබුදුවන්න සැරසුනා. උදාවූ නව ලෝකයේ සුන්දරත්වය අත්දකින්නට පුංචි කුරුලු පැටවු කූඩුවලින් එළියට තම කුළුඳුල් පියාසැරිය ආරම්භ කළා. නමුත් තනිවම නොවෙයි. ඒ අයගේ දෙමව්පියන්ගේ ගුරුවරුන්ගේ අවවාද අනුශාසනා ඇතිව. ඔය වගේ තම දෙමව්පිය – ගුරුවර අවවාද අනුශාසනා ඇතිව මනා රැකවරණයක සිටි පුංචි කැට කිරිල්ලකට අවට ලෝකය හඳුනගන්න ඕන වුනා. අවට වටාපිටාව තමා අසා ඇති පරිදි ම තිබෙනවා ද, නැතිනම් ඊට වෙනස් ද? සියල්ල ම දෙමව්පියන් – ගුරුවරුන් තමාට කියූ පරිදි ම දැයි ඈට දැනගැනීමට උවමනා වුනා. ඉතිං ඈ හිතුවා තමාගේ පිය උරුම භූමියෙන් ඉවතට පියාඹන්නට. කුමක්ද ඇගේ පිය උරුම භූමිය? කුඹුර හාන විට පෙරලුණු පුංචි පස් කැටයක්. ඈ ඒ පුංචි පස් පිඩැල්ල යට ඉඳලා තමයි ලෝකය ගැන දැනගත්තේ.

ඇය ඒ පුංචි නවාතැනින් එළියට ආවා. වටපිට බැලුවා. ටිකක් වෙලා හිටියා. ඈතින් උස ගසක් තිබුණා. ඈ ඒ ගසට ඉගිලිලා ගියා. ඒ ගහේ වහලා හිටපු අනිත් කුරුල්ලෝ ඈව හොඳින් පිළිගත්තා. කතාබහ කළා. ඇගේ පියාසැරිය අගය කළා. කැටකිරිල්ලට සතුටු හිතුණා. තමා ගැන ආඩම්බරයක් ඇති වුනා. බාහිර ලෝකයට මුහුවෙන්න ප්‍රමාද වීම ගැන ඇය පසුතැවුනා. තමා මෙතෙක් පුංචි පස් කැටයකට සීමා කොට තැබීම පිළිබඳව දෙමව්පිය – ගුරුවරුන් කෙරෙහි නොකැමැත්තක් ඇතිකර ගත්තා. ඇයට හිතුනා, ‘මං ඉගෙනගත් ශිල්ප කිහිපයක් මේ අයට පෙන්නන්න ඕන’ කියලා. ඉතිං ඇය ගුවනට නැගිලා කරණම් කීපයක් දැක්වූවා. තමාගේ හැකියාව පෙන්වන විදිහට එහෙට මෙහෙට පියෑඹුවා. අනිත් කුරුල්ලන් ඈ වෙනුවෙන් අත්පුඩි ගැසුවා. නාද කළා. ළඟට ඇවිත් ඈ දිරිමත් කරවනසුළු කථා කිව්වා.

කැටකිරිල්ලට මෙහෙම හිතුණා. ‘මං මෙච්චර කාලයක් තනිවෙලා හිටියේ. දැන් මාව පිළිගන්න කී දෙනෙක් ඉන්නවද. ඒ අය මාව අගය කරනවා. මං ඒ අය විශ්වාස කරනවා. මං හැදුනේ වැඩුණේ, ගුරුහරුකම් ඉගෙන ගත්තේ පුංචි තැනක ඉඳලා තමයි. ඒත් ඉතිං එතැන ඉඳලා කවදා නම් දියුණුවක් ලබන්ට ද? මෙහි සිටියොත් අහස පුරා ඉගිලෙන්න පුලුවන්. ලෝකය ම දකින්න පුලුවන්.’ කියලා.

මේ පුංචි කැටකිරිල්ල අහසේ ඉගිලෙමින් කරණම් ගසන බව දුටු ඇගේ මහලු ගුරුතුමා ඈ අසලට පැමිනුණා. ඈට කතා කළා. ඈ හිස නමා ආචාර කොට ගුරුතුමා වසා සිටි අත්තේ ම වැසුවා. වෙනදා නම් ඇය ගුරුතුමා සමග සම අසුන් ගත්තේ නෑ. ඒත් අද ඈ වෙනස් පිළිවෙතක් අනුගමනය කළා.

“දරුවා, ඔබ මේ කොහේද වාසය කරන්නේ? ඔබට පිය උරුම භූමියක් තිබෙනවා නොවේ ද? ඔබට අනතුරකට මුහුණ පාන්නට සිදුවේවි.”

“ඇත්තෙන්ම නෑ ගුරුතුමනි, මා එහි වැසුවා ඇති. එහි සිට පුහුණු විය හැකි සියල්ල මා පුහුණු වූවා නොවැ. මා හට දැන් අවැසි ඉගෙනගත් දෑ සියල්ල ප්‍රායෝගිකව සිදු කරන්නයි. ඔබ නම් වෘද්ධ යි. ඔබත් තරුණ කල සියලු ශිල්ප උගෙන එය ක්‍රියාවෙහි යොදන්නට ඇති. මා හට ද අවස්ථාවක් දෙනු මැන.”

“ඇත්තෙන්ම දරුව, ඔබ ඉගෙන ගත් සියල්ල පුරුදු පුහුණු කළ හැකියි, එහි සිට ම. අවට ලෝකය බිහිසුණුයි, බියකරුයි, අන්තරායදායකයි. ඔබ මේ වෘක්ෂය මත සිටින විට ද, වලාකුළු අතර සිටින විට ද නිතැතින් ම ඔබ අනාරක්ෂිතයි. දරුව, පෙනෙන ප්‍රමාණයට වඩා නොපෙනෙන ප්‍රමාණය අති මහත්. ගුරුවරයාගේ අවවාදයෙහි පිහිටන්න. නිහතමානී බව, කීකරු බව, වැඩිහිටියන්ට ගරු කරන බව, නොකිපෙනසුළු බව, ඉවසීම, ලද දෙයින් සතුටු වීම, අල්පේච්ඡ බව ආදී උතුම් ගුණ ඇති කරගන්න.”

“ඔව් ගුරුතුමනි, මා ඒවායෙහි පිහිටලයි වාසය කරන්නේ. ගුණධර්ම දියුණු කිරීමට මා කැමතියි. ඒ වගේම මා කැමතියි නව ස්ථානයක වාසය කරන්නට. ස්ථානය වෙනස් වූවාට එය ගුණධර්ම දියුණු කිරීමට බාධා වන්නේ කෙසේද? මා අවැසි සියල්ල ඉගෙන ගත්තා. මාත් කැමතියි සැමවිට ම අන් අයට හිස නමාගෙන නොසිටින කෙනෙක් වන්නට, හරියට ඔබතුමා වගේ…… නමුත් ගුරුතුමනි, ඔබතුමා ඉක්මවා නොයමි මා. මා හට අවැසි මාහට ආවේණික වූ පිළිවෙතක, වෙන ම ස්ථානයක දිවි ගෙවන්නට යි. ශිෂ්‍ය කල, කළ කී දැයින් බැහැර වූ ස්ථානයක දිවි ගෙවන්නට යි. මාගේ අරමුණට ළං වීමට එය ම සුදුසු වේවි”

“හ්ම්… එසේ වුව ද දරුව අප හට පිය උරුමයෙන් ලද භූමිය තරම් ආරක්ෂාකාරී බවක් අන් කවර ස්ථානයක හෝ නොමැත්තේය. හොඳින් සිහිතබා ගනු එතැනදියි අප දිවි සුරැකෙන්නේ.”

       “ගුරුතුමනි, අසනු මැන. ඔබ උදෙසා පැතිර ගිය කල්‍යාණ කීර්ති රාවයක් ඇත්තේය. අන් හැම ඔබට ගරු සත්කාර කරන්නේය. ඔබ මා ගැන ඔතරම් කලබල වී ඇත්තේ මා ඔබ ඉක්මවා ප්‍රමුඛ බව ඇතිකර ගනී යන අපැහැදීමකින් ද? එවිට ඔබ කෙරෙහි අන් අය තුළ ගරු සත්කාර අහිමි වේදැයි බියක් උපන්නෙහි ද?

“හහ් හහ් හා… ඔබ මෙතරම් අනුවණ යැයි මා නොසිතුවෙමි. ශිෂ්‍ය ප්‍රේමයත්, දාරක ස්නේහයත් ය මා ඔබට පතළ කළේ. ඔබ එය තේරුම් ගත්තේ නැහැ. ඔබේ පිය උරුම භූමියෙහියි නියම ආරක්ෂාව ඇත්තේ. එහි වාසය කිරීමට හැකි වන්නේ ගුණධර්ම දියුණු කරගත්විට පමණයි. නිහතමානී බව, කීකරු බව, ගුරු භක්තිය ආදී ගුණයන් ඇතිකර නොගතහොත් සතුටින් එහි වාසය කළ නොහැකියි.  ගුණධර්ම නොමැති විටයි ආරක්ෂා භූමිය හැරදා යන්නට සිත් වන්නේ. තමාට අනාගත අභිවෘද්ධිය පිණිස අවවාද කරන උතුමන් පවසන කරුණු ඉක්මවමින් ආරක්ෂක භූමියෙන් යමෙක් නික්ම ගොස් කල්‍යාණ මිත්‍ර සේවනයෙන් යමෙක් බැහැර වූවා ද, ඔහු හට තබන තබන පියවරක් පාසා ඇත්තේ අනාරක්ෂිත බවයි. නමුත් ඔහුට එය දැනෙන්නේ ද නැහැ. හැඟෙන්නේ ද නැහැ. කිමද, ඔහු ගුණධර්මවලින් ද ආරක්ෂක භූමියෙන් ද බැහැර වී ඇති බැවිනි ඒ.

කැටකිරිල්ල, ඔබට එය වැටහුණේ නම් මෙහි නොසිට යනු කල්‍යාණ මිත්‍ර ඇසුර වෙත. යනු නැවත ආරක්ෂක භූමිය වෙත. ජීවිතය විනාශ වී ගියද ගුණධර්ම විනාශ වී යන්නට ඉඩ හරින්නට එපා. ගුණධර්මයන්හි පිහිටා නොසිටීම සැමට අභාග්‍යය උදා කරන්නක්. මා යමි. අවවාද අවශ්‍ය විට මා උපකාර වන්නෙමි.”

   ගුරුතුමා නික්ම ගියා. කැටකිරිල්ල වටපිට බැලුවා. දැඩි හිරුරැසින් ගහකොළ මැලවිලා. වසා සිටි අනිත් කුරුල්ලෝත් යන්නට ගොසින්. ඈට පිපාසය දැනුනා. දිය බිඳක් හොයාගන්න වටපිට ඉගිලෙන්නට සිතලා අත්තටු ගැසුවා. එක්වර ම විසල් අඳුරු ඡායාවක් තමා වසා පැතිරුන බව ඈ දුටුවා. ඈ ඉහළ අහස දෙස බැලුවා. ගොදුරු සොයා ගුවන සරණ විසල් රාජාලියෙකු ඈට කුරුමාණම් ගන්නා බව තේරුම් ගත් කැට කිරිල්ල ගුරුවර අවවාද සිහි කළා. තමා ගුරුවර අවවාද නොපිළිගෙන අකීකරු වූ බව සිතා ලැජ්ජාවට පත්වුණා. ගුරුතුමා උදෙසා සිතින් වන්දනා කළා. කල්‍යාණ මිත්‍ර සේවනය අතැර ගිය විට අනතුරක වැටෙන බව අත් දුටුවා. උගත් ශිල්ප සිහිකළා. ඊයක වේගයෙන් අහසට නැග පොළොව දෙසට යොමු වී පිය උරුම භූමිය වෙත පියඹා ආවා. හිස යොමා අහස දෙස බැලුවා. රාජාලියාගෙන් ඈ මිදිලා. ඈ ගලා යන දොලින් පැන් බී පිපාසය නිවා ගත්තා. පස් පිඩැල්ල යට සෙවණින් ගතේ විඩාව දුරු වුනා. ඈ දුටුවා ඈතින් ඇගේ පරම කල්‍යාණ මිත්‍ර වූ ගුරුවරයාණන් සිටින බව. ඈ එතුමා ළඟට පැමිණ සමාව අයැද වන්දනා කළා. මියෙන තුරු ගුණධර්මයන්හි පිහිටන බව සපථ කළා. වත් පිළිවෙත් කරමින් ධාර්මිකව අවවාදයෙහි පිහිටා ජීවත් වුණා.

අප හටත් ඒ උතුම් ගුණධර්ම දියුණු කරගැනීමටත් උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාගෙන් බැහැර නොවීමටත් වාසනාව ලැබේවා!

උත්පලා නදුනි ලියනගේ