මේ මිනිස් ජීවිතය ලැබීම අතිශය දුර්ලභ දෙයක්. නමුත් ජීවිතය ගත කරද්දී ඇතිවන දුක් කරදර පීඩා නම් දුර්ලභ නෑ. එක ප්‍රශ්නයක් විසඳනකොට තවත් ප්‍රශ්නයක්. ඒ දුක් පීඩාවලින් බේරෙන්න සමහරු සුබ නැකැත්, සුබ නිමිති සරණ යනවා. දේවාල සරණ යනවා. තවත් සමහරු යන්ත්‍ර මන්ත්‍ර සරණ යනවා. නමුත් මේ දේවල් සරණ ගියා කියලා මේ අයට නිසැක පිහිටක්, රැකවරණයක් ලැබෙන්නේ නැහැ. හේතුව පිහිට ඉල්ලාගෙන යන තැන ඉන්න ඒ සියලු දෙනාම රාග, ද්වේෂ, මෝහ සහිත ව අවිද්‍යාව නැමති අන්ධකාරයේ සිටින අය ම වන නිසා. ඒ අය ද ස්වභාවයෙන් ම අසරණයි. දුක් කරදරවලට පත් වූ යම් කෙනෙක්, ඒ ස්වභාවය ම ඇති අයගෙන් පිහිට පිළිසරණ පතාගෙන යනවා කියන්නේ හරියට අන්ධයෙක් තවත් අන්ධයෙක්ගෙන් පාර අහනවා වගේ වැඩක්.

බහූ වේ සරණං යන්ති – පබ්බතානි වනානි ච
ආරාමරුක්ඛචේත්‍යානි – මනුස්සා භයතජ්ජිතා

“බයේ ගැහි ගැහී ඉන්න බොහෝ මිනිස්සු පිහිටක් හොයාගෙන පර්වත සරණ යනවා. වනාන්තර සරණ යනවා. දේවාල සරණ යනවා. ගස්කොළන් සරණ යනවා.”

නේතං ඛෝ සරණං ඛේමං – නේතං සරණමුත්තමං
නේතං සරණමාගම්ම – සබ්බදුක්ඛා පමුච්චති

“ඔය ගස් ගල් සරණ යන එකෙන් කිසිම ආරක්ෂාවක් නම් ඇතිවෙන්නේ නෑ. අනික ඔය සරණ කිසිසේත් උතුම් නෑ. ඔය සරණට පැමිණිලා නම් කවදාවත් කිසිම දුකකින් නිදහස් වෙන්න පුළුවන්කමක් නෑ.”

යම් කෙනෙකුට ජීවිතයේ දුක් කරදර නිවා ගන්නත්, සසර ගමන සුවපත් කර ගන්නත් හැබෑම ඕනකමක් තියෙනවා නම් ඔහු සරණ යන්න ඕන රාග, ද්වේෂ, මෝහ නැති – කෙලෙස් පටලැවිලිවලින් මිදුණු භාග්‍යවතුන් වහන්සේව යි, දුක් දොම්නස්වලින් මිදෙන ආකාරය කියා දෙන භාග්‍යවතුන් වහන්සේගේ මිහිරි ශ්‍රී සද්ධර්මය යි, ඒ ධර්මය අනුගමනය කර සසර කතරින් එතෙරට වැඩි ශ්‍රාවක සඟ රුවනයි කියන මේ උතුම් තිසරණය ම යි.

‘භාග්‍යවත් වූ ගෞතම බුදුරජාණන් වහන්සේ මාගේ සරණ ය, මාගේ පිහිට ය, විපතින් ආරක්ෂා කරන්නා ය, යහපත සලසන්නා ය.’ යැයි මුළු හදවතින් ම පිළි අරගෙන සරණ යන කෙනාට නම් නිසැක ආරක්ෂාවක් තියෙනවා.

යෝ වදතං පවරෝ මනුජේසු – සක්‍යමුනී භගවා කතකිච්චෝ
පාරගතෝ බලවිරිය සමංගී – තං සුගත සරණත්ථමුපේහි

“කතා කරන මනුෂ්‍යයන් අතර උත්තම වූ යම් කෙනෙක් ඉන්නවා. උන්වහන්සේ තමයි නිවන් මඟ සම්පූර්ණ කළ ශාක්‍ය මුනීන්ද්‍ර වූ භාග්‍යවතුන් වහන්සේ. තමන් වහන්සේගේ ප්‍රඥා බල මහිමයෙන්, චතුරංග සමන්නාගත වීර්යයෙන් සංසාරෙන් එතෙරට වැඩියා. අන්න ඒ සුගතයන් වහන්සේ සරණ යන්න.”

භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලද ධර්මය අවබෝධ කළ යුතු දුකත්, ප්‍රහාණය කළ යුතු දුකෙහි හේතුවත්, සාක්ෂාත් කළ යුතු දුකෙහි නිරෝධයත්, පුරුදු පුහුණු කළ යුතු මාර්ගයත් සහිතයි. ඒ අයුරින් ම එය පිළිපදින අය සතර අපායෙන් මිදී යනවා. ලෝකයේ හේතූන්ගෙන් හට ගත් යම්තාක් දේවල් ගැනේ ද ඒවා අතරින් ආර්ය අෂ්ටාංගික මාර්ගය ම යි අග්‍ර වෙන්නේ.

රාග විරාග මනේජ මසෝකං – ධම්මමසංඛත මප්පටිකූලං
මධුරමිමං පගුණං සුවිභත්තං – ධම්මමිමං සරණත්ථමුපේහි

“ශ්‍රී සද්ධර්මයෙන් රාගය දුරු වෙනවා. තෘෂ්ණාව නැති, ශෝක නැති, පිළිකුල් රහිත වූ අසංඛත නිවන යි ඒ ධර්මය. මේ ධර්මය මධුරයි. හොඳින් ප්‍රගුණ වෙනවා. විස්තර විභාග සහිතයි. මේ ධර්මයත් සරණ යන්න.”

යත්ථ ච දින්න මහප්ඵලමාහු – චතුසු සුචීසු පුරිසයුගේසු
අට්ඨ ච පුග්ගල ධම්මදසාතේ – සංඝමිමං සරණත්ථමුපේහි

“යම් ආර්ය සඟ පිරිසකට දානය පූජා කළ විට මහත්ඵල ලැබෙනවා කියලා කියනවා නම් එසේ වූ උන්වහන්සේලා පාරිශුද්ධ පුද්ගල යුගල වශයෙන් සතරකින් යුක්තයි. ධර්මයේ පිහිටි උන්වහන්සේලා පුද්ගල වශයෙන් අට දෙනෙක් වෙනවා. මේ ආර්ය සංඝයරත්නය ද සරණ යන්න.”

ඔය විදිහට තෙරුවන් සරණයේ පිහිටි ඡත්ත මාණවකයා නොබෝ වේලාවකින් මංපහරන සොරුන්ගෙන් මැරුම් කෑමට ලක් වුණා. ඔහු නිදා පිබිදියාක් සේ දෙව්ලොව උපන්නා…

හදවතින් ම තථාගතයන් වහන්සේ සරණ යාමේ අසිරිය දකින්න මේ කාරණාත් සිහි කර ගනිමු.

පිප්ඵලී තරුණයා ගිහිගෙය අතහැර කසාවත පොරවා ගත්තේ, ‘මම ඒකාන්තයෙන් ම ශාස්තෘන් වහන්සේව දකිමි. භාග්‍යවතුන් වහන්සේව ම දකිමි. සුගතයන් වහන්සේව ම දකිමි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ම දකිමි. භාග්‍යවතුන් වහන්සේ උදෙසා මාගේ පැවිද්ද වේවා’ යි අධිෂ්ඨානයක් සිතේ රඳවාගෙන. පැවිදි වූ ඔහු යම් තැනක දී භාග්‍යවතුන් වහන්සේව දුටුවා ද එතැන සිට නමස්කාර කරමින් ගොස් මුනි සිරිපා ළඟ වැතිරී “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෘන් වහන්සේ වන සේක. මම ශ්‍රාවකයා වෙමි.” යි තුන්වරක් පවසා සම්බුදු සසුනේ පැවිදි උපසම්පදාව ලැබුවා. මනාකොට තිසරණයේ පිහිටියා. නිවන් අවබෝධ කර ගත්තා. මේ බුදු සසුනේ ධුත ගුණයෙන් අග තනතුරු ලබා භාග්‍යවතුන් වහන්සේගේ ශාසන භාරධාරී ශ්‍රාවක පුත් රුවන ලෙසින් වැඩ සිටියා.

මහා තෙද ඇති ආලවක සෙන්පති භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා මනා කොට සරණ පිහිටා මෙසේ සතුටු වුණා.

“සෝ අහං විචරිස්සාමි – ගාමා ගාමං පුරා පුරං
නමස්සමානෝ සම්බුද්ධං – ධම්මස්ස ච සුධම්මතන්ති”

“ඒ මම් බුදුරජාණන් වහන්සේටත්, ශ්‍රී සද්ධර්මයටත් මහ සඟරුවනටත් වන්දනා කරමින් ගමින් ගමට, නගරෙන් නගරෙට ගුණ කිය කියා යනවා.”

බ්‍රහ්මායු බ්‍රාහ්මණයා අසුනින් නැගිට උතුරුසළුව ඒකාංශ කරලා භාග්‍යවතුන්ගේ දෙපා මුවින් සිඹිමින් භවත් ගෞතමය මම බ්‍රහ්මායු වෙමි, භවත් ගෞතමය මම බ්‍රහ්මායු වෙමි, භවත් ගෞතමය මම බ්‍රහ්මායු වෙමි යි පවසා තෙරුවන් කෙරෙහි නොසෙල්වන ප්‍රසාදයට පත්ව සසර ගමන සුවපත් කරගත්තා.

අහෝ අසිරියකි! මහත් අසිරියකි! තිසරණයේ මනාකොට පිහිටි එකදු අයෙකු හෝ සසර ගමනේ දී සතර අපායේ නොවැටෙන බව භාග්‍යවතුන් වහන්සේ වදාළා.

යෝ ච බුද්ධඤ්ච ධම්මඤ්ච – සංඝඤ්ච සරණං ගතෝ
චත්තාරි අරියසච්චානි – සම්මප්පඤ්ඤාය පස්සති

“යම් කෙනෙක් අවබෝධයෙන් යුක්තව බුදු සමිඳුන් සරණ ගියා නම්, ශ්‍රී සද්ධර්මයත්, ආර්ය සංඝරත්නයත් සරණ ගියා නම්, ඔහු ප්‍රඥාව දියුණු කරගෙන, චතුරාර්ය සත්‍යය අවබෝධ කරනවා.”

දුක්ඛං දුක්ඛසමුප්පාදං – දුක්ඛස්ස ච අතික්කමං
අරියඤ්චට්ඨංගිකං මග්ගං – දුක්ඛූපසමගාමිනං

“දුක කියන්නෙ ආර්ය සත්‍යයක්. දුකේ හටගැනීමත් ආර්ය සත්‍යයක්. දුක ඉක්මවා ගිහින් නිවන අවබෝධවීමත් ආර්ය සත්‍යයක්. දුක් සංසිඳුවන ආර්ය අෂ්ටාංගික මාර්ගයත් ආර්ය සත්‍යයක්.”

ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං සරණමුත්තමං
ඒතං සරණමාගම්ම – සබ්බදුක්ඛා පමුච්චති

“ඔය තිසරණය තමයි එකම ආරක්ෂාව. ඔය තිසරණය ම තමයි උතුම් ම සරණ. ඔය තිසරණයට පැමිණුනා ම යි සියලු දුකෙන් නිදහස් වෙන්නේ.”

මේ ලෝකයේ උපන් පමණින් සෑම මිනිසෙකුට ම නොලැබෙන, ‘තිසරණය’ නමැති දුක් දුරුකරන මාවත අප ඉදිරියේ පහළ වී තිබෙනවා. අප කළ යුත්තේ අමාරුවෙන් හරි පියවරින් පියවර ඒ මාර්ගයේ ගමන් කිරීමයි.

එහෙම නැති වුණොත් ආයෙමත් සසර ගමනේ මහ ගෙදර වන සතර අපායේ ලගින්න සිදුවන එක නවත්තන්න බෑ. එනිසා නුවණ ඇති මිනිසුන් තිසරණයට පැමිණෙත්වා!

අනත්ත ගුණ ඇති, අනන්ත සිල් ඇති, අනන්ත සමාධි ඇති, අනන්ත ප්‍රඥා ඇති, අනන්ත විමුක්ති ඇති, අනන්ත විමුක්ති ඥාන දර්ශන ඇති බුදුරජාණන් වහන්සේ මම සරණ යමි…!

බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මිහිරි ශ්‍රී සද්ධර්මය මම සරණ යමි…!

ඒ ශ්‍රී සද්ධර්මය අනුගමනය කොට මග ඵල ලබා සසර කතරින් එතෙරට වැඩියා වූ ශ්‍රාවක සඟරුවන ද මම සරණ යමි…!

මේ උතුම් සරණ මාගේ ජීවිතයට – එක ම සැනසිල්ල වේවා!
මේ උතුම් සරණ මාගේ ජීවිතයට – එක ම රැකවරණය වේවා!
මේ උතුම් සරණ මාගේ ජීවිතයට – එක ම පිළිසරණ වේවා!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.