ජයතු ගේට්ටුව ළඟට ඇවිද ගියේ සෙමෙනි. ගමට ගොස් ඉක්මනින් ම බේරාගැනීමට ගනුදෙනුවක් ඔහුට තිබුණ ද කිසියම් කුසීත හැඟීමකින් වෙළනා ලද ඔහු ගේට්ටුවට යාර කිහිපයක් මෑතින් නැවතුණි. පහළ ශ්‍රේණියක නිලධාරියෙකු පැමිණ ගේට්ටුව මඳක් විවර කොට ජයතු ඇමතීය.

“මොකද දාල යන්න බැහැයි කියල හිතෙනව ද? ආයෙ මේ පැත්ත පළාතේ එන්න එපා අපිට වද දෙන්න.”

ජයතු නිලධාරියා දෙස දැඩි බැල්මක් හෙළී ය.

“මොකද උඹ මට ගහන්න ද බැල්ලිගේ පුතා…” නිලධාරියා ඇසුවේ කේන්තියෙනි.

ජයතු කිසිවක් නොකියා ම ඉක්මනින් ගේට්ටුවෙන් එළියට පැන ගත්තේ ය. බොරැල්ලේ සිට ගමට ලොකු දුරක් ඇති බව ජයතු දනී. ඔහු සාක්කුවට අත දමා මුදල් ටික තිබේදැයි බැලුවේ ය.

පියවර කිහිපයක් ඉදිරියට ගිය ජයතු නැවතී බන්ධනාගාරය දෙස හැරී බැලුවේ ය. තමාගේ මෙතෙක් ජීවිතයෙන් හරි අඩක් – වසර තිස් එකක් ගෙවී ගියේ මේ තාප්පවලින් වට වුණු සිරගෙදර නොවේදැයි සිතූ ජයතුගේ මුවින් දිග සුසුමක් පිට වුණි. ‘දැන් ඉතින් උලත් එකයි. පිලත් එකයි. සිරිසෝම සමඟ ඇති අවසන් ගනුදෙනුවත් බේරාගත් පසු…’ ජයතු වියරු ලෙස සිනාසුණේ ය. එහෙත් එය බාහිරට නොපෙනුණි.

“මොකද යන්න හිතෙන්නේ නැද්ද?” නිදහස ලබා එළියට පැමිණියෙකු ජයතුට සමීපව ඇසී ය.

“නැහැ.”

“යන්න තැනක් නැතිව ද? ගෙදරින් කවුරුත් නාව නිසා අවුලෙන් ද?” අනෙකා එසේ ඇසුවේ සිනාසෙමිනි. ජයතු තුළ ද සිනා ඉපදුණි.

“දෙකම නෙමෙයි… අනෙක කාත් කවුරුත් නැතිව පිළිගන්න කවුරු එන්න ද? හිටියෙ අම්මා විතරයි. අවුරුදු ගාණක ඉඳලා අම්මා ආවෙත් නෑ. එක්කෝ ලෙඩ වෙලා ඇති. ගොඩක් වෙලාවට මැරිල ඇති.”

ජයතු කතා කළේ ශෝකයෙන් ද කෝපයෙන් ද කියන්න කාටවත් නොතේරුණි. ඔහුට ජයතු පිළිබඳ කිසියම් හිතවත්කමක් ඇති වුණි. හේ ජයතුගෙ අතකින් අල්ලාගෙන “යමං අපිටත් ලෝකෙ කවුරුහරි ඇති.” යි පැවසීය.

ජයතුට කිසියම් සහනයක් දැනුණි. ඔහු අනෙකා වෙතින් අත මුදාගෙන නිහඬව ඇවිද යන්නට විය. ටික දුරක් ඇවිදගෙන යන විට ඔවුන්ගේ දෑසට බන්ධනාගාර තාප්පයේ ලියා තිබුණු “සිරකරුවා ද මනුෂ්‍යයෙකි.” යන පාඨය පෙනුණි. “ඇතුළෙත් බොරුව. එළියෙත් බොරුව.” ජයතුට සිතුණ දේ අනිකා පැවසීය. බන්ධනාගාර තාප්පයේ වැසූ කොවුලෙකු එක දිගට නාද කරන්නට විය. ඒ දුටු ජයතු “අවජාතක හැත්ත.” යි ඒ කොවුලාට බැණ වැදුණි. අනෙකාට එකවරම සිනා නැගිණි. “උඹ කේන්තියෙන්.”

“ඔව් ඒකෙන් වැඩක් නෑ. කොහෙටද යන්නේ?”

“අනුරාධපුරේට.”

“හරි, එහෙනම් මට හොඳම ජාතියේ රම්බෝ පිහියක් ගන්න උදව් කරපන්. ගනුදෙනුවක් බේරගන්න ඉතුරුවෙලා තියනවා. මට කොළඹ පුරුදු නැහැ.” වතාවක් දෙකක් පමණ කොළඹ පැමිණ ඇති ජයතු අනිකාට බැගෑපත්ව කීවේ ය. ”කීය වුණත් කමක් නෑ. හොඳ එකක්. මම ළඟ රුපියල් දහතුන්දාහක් විතර තියෙනවා.” තමා දෙස පුදුමයෙන් බලා සිටින අනෙකාට ජයතු ආයෙම කීවේ කලබලයෙනි.

“උඹටත් හිරේ අල්ලලා ගියා එහෙනම්. එළියෙ අමාරු වුණොත් මාත් ආයේ එනවා. යමං මං දන්නවා බඩු තියෙන තැන්.” යැයි කියූ අනිකා ජයතුවත් ඇදගෙන පාර මාරු වූයේ පිටකොටුවට යෑම පිණිස බසයකට ගොඩ වීමට ය.

“මොකක්ද ඇත්තටම සීන් එක උනේ?” පිටකොටුවේ පටු අඳුරු වීදියකට ඇතුළු වෙමින් අනෙකා ජයතුගෙන් ඇසුවේ ය.

“පවුලෙ මම විතරයි හිටියේ. තාත්තා මැරිලා ටික කලයි ගියේ මහප්පා බොරු ඔප්පුවක් හදාගෙන අපේ ඉඩමට නඩු දැම්මා.”

“ඊට පස්සේ?”

“මට නඩු කියන්න සල්ලිවත්, තේරුමක්වත් තිබුණෙ නෑ. අම්මට පාරට බහින්න සිද්ද නොවෙන්න මම මට පුළුවන් දේ කෙරුවා.” ජයතු කීවේ කේන්තියෙනි.

“මහප්පව මැරුව ද?”

“උගේ කටහැකර ගෑනිවත්…” ගමන නතර කොට ජයතු පැවසීය.

“ආයෙ පිහියක් කාව මරන්න ද?” අනෙකා ඇසුවේ ජයතු දෙස තියුණු බැල්මක් හෙළමිනි. ඔහු දෙස රවා බැලූ ජයතු,
“ඒක මගේ ගනුදෙනුවක්. උඹට වැඩක් නැහැ.” යි කියා අනෙකාට තර්ජනය කළේ ය. ඉනික්බිතිව ඔහුට පෙරාතුව ගමන් කරන්නට විය.
“මහප්පට දරුවෝ හිටියේ නැද්ද?” අනෙකා ඇසුවේ තරමක සැකයෙනි.

“එකෙක් ඉන්නවා.” කියූ ජයතු අඳුරු වීදිය දෙපස ලෑලි තට්ටුවල තබා තිබූ පිහි දෙස බැලුවේ ගිජු ලෙසිනි. “මෙතනින් ඇතුළට යමං. හොඳම බඩු තියෙන්නෙ ඇතුළෙ.” ජයතු පැකිලීමකින් තොරවම අනෙකා පසුපස වැටුණි. කිසියම් ගුප්තමය බියකරු බවක් හාත්පස වී ද ජයතුගෙ සිතට බයක් හෝ ඒ හා සමාන අන් හැඟීමක් නොදැනුණි. ඔහුට අවශ්‍ය තිබුණේ සිතේ සටහන්ව ඇති පිහියක් මිලදී ගැනීම පමණකි.

“මේන් තියනවා මං හොයපු එක.” එක් තැනක නතර වුණ ජයතු අඟල් අටකට ආසන්න තියුණු මුවහත සහිත පිහියක් අතට ගනිමින් කීවේ සතුටිනි.

අනෙකා පිහිය පරීක්ෂා කර බලා ජයතු අතට දුන්නේ වැඩි කැමැත්තකින් නොවේ.

“මීට වඩා හොඳ එකක් ගන්න පුළුවන්.”

“මේක තමයි මං හොයපු එක. මුදලාලි කීය ද?”

“හයදහස් දෙසීයයි.” ජයතුගේ දැඩි අවශ්‍යතාවය තේරුම් ගත් කපටි වෙළෙන්දා කීවේ ඕනෑවට එපාවට මෙනි.

“මේක එච්චර වෙන්නේ නැහැ.” අනෙකා ජයතුට අවධාරණයෙන් ම පැවසීය.

“ගාන තුන්දාහයි. ඒ ගානට දෙනවා ද?” ඊළඟට හෙතෙම වෙළෙන්දාගෙන් ඇසුවේ ය.

“හාරදහස් දෙසීයයි.” වෙළෙන්දා එවර ද කීවේ නියම මිල නොවේ. ජයතුට ද එය වැටහුණත් ඔහු ඒ මිලට පිහිය ගැනීමට කැමැති විය.

“උඹ කලබල වුණා.” ආපහු එන ගමනෙදි අනෙකා ජයතුට කීවත් ඔහු ඒ ගැන තැකීමක් කළේ නැත.

“මට දැන් සල්ලිවලින් වැඩක් නැහැ. ඕන බඩුව හම්බවුණා. ඒ ඇති.” ඒ ගැන කතාව අවසන් කරමින් ජයතු කීවේ සරමක ඔතා පොලිතින් මල්ලේ දමා ගත් පිහිය ඔහු සතු වටිනා ම වස්තුව ලෙස සලකමිනි.

කොළඹින් හොරණට බසයක පැමිණි ජයතු හොරණ දී අඟුරුවාතොට හරහා කළුතර බලා දිවෙන බසයකට ගොඩ විය. ඔහුට මගතොට දකින්නට ලැබුණ හැම දෙයක් ම වෙනස් ය. අමුතු ය.

බසය ධාවනය වන්නේ සෙමිනි. මිනිත්තු තිහක් ගෙවිණි. මිනිත්තු හතළිහක් ගෙවිණි. ජයතු පාලන් හන්දියෙන් බසයෙන් බැස ගත්තේ මහත් කලබලයෙනි. පරණ පාලම වෙනුවට අලුත් පාලමකි. ඒ වෙනසත් සමග ජයතුගේ කලබලය සංසිඳුනි. ගමේ හන්දිය ඇත්තේ පාලමෙන් එගොඩ ය. ජයතු වටපිට නොබලාම පාලම මැදට පැමිණ නතර විය. ඔහුට තම ගමත්, උඩුවරත් වෙන් කරමින් ගලා බසින ගඟ හොඳින් පෙනේ. වසර තිස් එකක කාලයකට ගඟ බොහෝ පළල් ව ඇති බව ජයතු කල්පනා කළේ සංවේගයෙනි. දෙපස ඉඩම්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ගඟට කැඩී ගොස් ඇති බව ජයතුට සිතුණි.

“දැන් ගඟ හරහා පීනන එකත් ලෙහෙසි නැහැ.” යි අතීතය සිහිවෙමින් ජයතුට කියවිණි.

සැඳෑ හිරු ගඟ පහළ වනරොද අතරේ සැඟව යමින් පවතියි. ඒ රත් පැහැය ඔහුට උණුසුම් හැඟීම් ඇති කරවන්නට සමත් විණි. ‘මොන මඟුලකට මෙතන සුනංගු වෙනවා දැ?’ යි සිතූ ඔහු ඉක්මනින් එතනින් පිට විය. වටපිට බැලීමකින් තොරව තවත් මීටර් සියයකට ආසන්න දුරක් ඉදිරියට ගිය ඔහු ගමේ හන්දියට පැමිණියේ ය. මාර්ගය මැද පිහිටි පැරණි බෝගස හැරුණු කොට ඔහුට මතක කිසිවක් අද එහි නැත. ඔහු කල්පනාකාරී ව වටපිට බැලුවේ තමාව හඳුනාගත් කිසිවෙක් සිටීදැයි දැනගැනීම පිණිස ය. කිහිප දෙනෙකු තමා දෙස උවමනාවෙන් බලා සිටින බව දුටුවත් ඔවුන් කිසිවකු තමාව හඳුනා නොගත් බව පැහැදිලි විය. ඔහු ද ඒ කිසිවකු හඳුනා නොගත්තේ ය. “මේ මඟුල ඉක්මනට ඉවරයක් කරලා දාන්න ඕනෑ.” කියා තමාට ම කියා ගත් ඔහු අත තිබූ පිහියත් රැගෙන පරීක්ෂා කර බලා ආයෙම තිබූ පරිදි තැබුවේ ය.

ත්‍රීරෝද රථ ගාලේ සිටියවුන් දැන් දැන් තමාට අඬ ගසයි සිතා ජයතු දෙස ම බලා සිටින්නට වූහ. කිසියම් අපහසුතාවයකට පත් වූ ජයතු කොලුගැටයෙකුට අඬ ගැසුවේ ඔහු තමා ව නොදන්නා නිසාවෙනි.

“සිරිසෝමලගෙ ගෙදරට. උඹ දන්නව ද එයාව?” ත්‍රිරෝද රථයට ගොඩවෙමින් ඔහු ඇසුවේ ය.

“සපුමල්ගෙ තාත්තා නේද?” කොලුවා හැරී බලා ඇසී ය.

“වෙන්න ඇති. ගමට කාලෙකින් ආවේ.” යි ජයතු පිහිය සහිත බෑගය පරිස්සමට උකුළ මත තබා ගනිමින් පැවසීය. ඔහුට හදිසියේම අම්මා ව සිහි විය.

“උඹ දන්නව ද කොලුවො ඇල්ල පාලම ළඟ සීලවති ආච්චි ව?”

“දන්නවා. වැඩක් නෑ. සීලවතී ආච්චි මැරිලා ගොඩක් කල්.”

ජයතුගෙ සිත ශෝකයෙන් බර විය.

“මොකද උනේ? ලෙඩ ද?”

“අම්මා කිව්වා හිතේ ලෙඩ කියලා. එයයිගේ පුතා ඉන්නෙ හිරේනේ.” ජයතුගේ ශෝකය තීව්‍ර විය. සිරිසෝම සමඟ ගනුදෙනුව බේරා ගැනීමට පෙර අම්මව වළ දැමූ තැනට යාමේ බලවත් ආශාවක් ජයතු තුළ ඉපදුණි.

“ළමයා, මුලින්ම උන්දැගෙ සොහොන බලන්න යමං.”

රථය නැවතූ කොලුවා හැරී ජයතු දෙස බැලුවේ සැකයෙනි. තරමක බියෙනි.

“අන්කල් සීලවතී ආච්චිගෙ කවුද?”

“ළඟ ඤාතියෙක්.” ජයතු බොරුවක් කීවේ ය.

“පුතා ද?”

නැති බව හඟවන්නට හිස සැලුවා මිස ජයතු කතා නොකළේ ය. සැකයෙන් නමුත් කොලුවා ජයතුලාගේ පවුලේ සුසාන භූමියට රථය පැදවීය.

ජයතු රථයෙන් බැස්සේ බෑගය කිහිල්ලක සිර කරගෙන ය. කොලුවා රථයෙන් නොබැස සිදුවන දේ බලා සිටියා පමණි.

වරිග පරම්පරාවේ මෑතක දී මිය ගිය සියලු දෙනා නමින් සොහොන් කොත් ඉදිව තිබුණ ද මව වෙනුවෙන් සොහොන් කොතක් නොවන බව ජයතුට පැහැදිලි විය.

“බැහැලා ඇවිත් වළ දාපු තැන පෙන්නපන්.” ඔහු කොලුවාට කෑගසා කීවේ ය. කොලුවා ආවේ වැඩි කැමැත්තකින් නොවේ.

“අන්න අතන.”

පොළොව තරමක් ගිලා බැසී ගිය තැනක් පෙන්වමින් කොලුවා කීය. මල්ල අතට ගත් ජයතු එතැනට ළං වුණේ සෙමෙනි. බලවත් ශෝකයෙනි. “අම්මා…” ජයතුට කියැවුණි. ඔහුගේ කටහඬ හැඬුම්බර විය. කොලුවා රථයේ වදින තෙක් ම ජයතු දෙසම බලාගෙන පිටුපසට ගියේ ය.

මිනිත්තුවක් දෙකක් ගත වුණි. එක්වරම ක්‍රියාත්මක වූ ජයතු වළ වසා නැගී සිටි කුඩා තණ පඳුරු වේගයෙන් ගලවන්නට විය. මිනිත්තු කිහිපයක දී ඔහු ඒ කටයුත්ත අවසන් කළේ ය. පළමුවරට පිහිය සහිත මල්ල බිම තැබූ ඔහු වළට වැඳගෙන සිතින් හඬා වැටුණේ ය. ඔහුගේ දෑස්වල කඳුළු පටල බොඳව යන්නට වෙත්ම ජයතු සුළු වේලාවක් දෑතින් මුහුණ වසාගෙන සිටියේ ය. තමා ලෝකයේ තනි වී ඇති බව පළමුවරට ඔහුට සිතුණි. මුහුණෙන් දෑත් ඉවත් කළ ජයතු හාත්පස සිසාරා බැලුවේ ය. මහපොළවෙන් උඩට නැගුණු සොහොන් කොත් මිස අන් කිසිවක් ඔහුගේ දෑස්වලට හසු නොවුණි. සංවේගය මුසු වූ බලවත් සිතුවිල්ලක් ඔහු තුළ ඉපදුණේ ය. ජයතු දෑස් පියාගෙන ඒ පිළිබඳව ආයෙම සිතා බැලී ය.

ස්වල්ප වේලාවකට පසුව ජයතු නැගී සිටියේ පොලිතින් මල්ල ද අතට ගනිමිනි. බිය රැඳි දෑසින් තමා දෙස බලා සිටින කොලුවාට සමීප වූ ජයතු, “බය නැතුව යමං. මං උඹව මරන්නෑ.” යි කීවේ ය. කොලුවා රථයට නැග්ගේ ජයතු නැග්ගාට පසුව ය.

වැඩි වේගයකින් රථය ධාවනය කළ කොලුවා සිරිසෝමගේ නිවස ඉදිරිපිට රථය නවතා ජයතු දෙස බැලුවේ ය. රුපියල් තුන්සියයක් ජයතු කොලුවා අත තැබීය. මුදල් අතට ගත් කොලුවා පැමිණියාටත් වඩා වේගයෙන් රථය ධාවනය කළේ කිසියම් භයානක දෙයක් සිදු වෙන බව ඉවෙන් මෙන් දැනගත්තාක් මෙනි.

රථය පිටව ගිය ශබ්දය ඇසී නිවස තුළ සිටි සිරිසෝම එළියට ආවේ ය. ඒ වනවිටත් ජයතු සිටියේ නිවසේ එළිපත්තේ ය. ඔවුන් දෙදෙනාගේ දෙනෙත් එකට හමුවිණි.

“ජයතු නේද?” සිරිසෝමට කියැවිණි.

“ඔව්. ඉඳා.” කලබලයෙන් පිහිය අතට ගත් ජයතු සිරිසෝම වෙතට පිහිය දිගු කරමින් කීවේ ය. සිරිසෝමගේ විශාල දෑස් නළලට ම එසවී ඔහුගේ මුහුණේ පෙනුම විකාරරූපී විය. “උඹෙන් ඉල්ලගත්ත පිහිය නඩු භාණ්ඩයක් විදිහට උසාවියට ගත්තා. ඒකේ ණය ගෙවන්න මං අවුරුදු තිස් එකක් බලන් හිටියා.” සිරිසෝම ප්‍රකෘතියට පැමිණියත් පිහිය අතට නොගෙන ජයතු දෙස ම බලා සිටින්නට විය. ජයතු අතින් ගිලිහුණ පිහිය බිම වැටුණේ පොළොවේ කුඩා වළක් ද හාරමිනි.

“මහපොළොව මිනිස්සුන්ට අයිති නැහැ. මිනිස්සු මහපොළොවට අයිතියි.” සුසාන භූමියේ දී තමා තුළ උපන් බලවත් සිතිවිල්ල ජයතුගේ මුවින් පිට වූයේ සංවේගයෙනි.

රයන් අල්මේදා