ක්ෂේමභූමිය බලා යාත්‍රා කරන අවසන් නෞකාව වරායෙහි නැංගුරම්ලා තිබිණි. ධවල පැහැගත් නෞකාව මෙවෙලෙහි සංඛයක පැහැගත්තේ මනාව සංවිධානය කරන ලද නගරෙක ඒසිකා ටැඹක් මෙන් නෞකාව මතින් ඉහළට නැගුන සුවිශාල කුඹගසට සම්බන්ධ කර තිබෙන්නා වූ විදුලි ආලෝක ධාරා පහකින් නැගෙන දීප්තිමත් කහ පැහැති ආලෝකය නිසාවෙනි.

නෞකාවේ තැනින් තැන ඉහළ අහසට නැගුණ වර්ණවත් ධජ පතාක ද ධවල පැහැය ම ගන්නා වූ රුවල් ද නෞකාවට එක් කොට තිබුණේ සාඩම්බර බවකි.

දිවයිනේ සිට සේද මාවත දිගේ ගමන් ගන්නා නෞකාවේ අවසන් ගමනට එක් වූ මිනිසුන්ගේ කලබලය නිසා නෞකාව තුළ තරමක කලබලකාරී බවක් ද නොවුණා ම නො වේ. තවමත් ඉඳහිට එකෙකු දෙන්නෙකු ගමන සඳහා නෞකාවට ගොඩවෙනු ද දක්නට ලැබේ.

හෙට උදෑසන පිටත්වෙන ගමනට කළ මනා වූ අවසන් කටයුතු ද නොපිරිහෙලා ඉටුකිරීමෙහි නියළුණු නෞකාවේ කාර්ය මණ්ඩලයට අයත් සියලු දෙනා තුළ ම උද්ය්‍යෝගිමත් සතුටක් දක්නට ලැබෙත්, අවිනිශ්චිත බවක් හෝ ඒ හා සමාන අන් හැඟීමක් ද විද්‍යාමාන වීමක් ද නොවේ ම ය.

සත්‍ය වශයෙන් ම නුදුරේ දී පැමිණෙන චණ්ඩ කුණාටුවට පෙර සිය ගමන නිරුපද්‍රිතව නිමා කිරීමට හැකිවන බවට නෞකාවට ගොඩව සිටි සියලු දෙනා තුළ ම වූයේ බලවත් විශ්වාසයකි.

එකරුණ වඩාත් දැන සිටියේ ඉතා පළපුරුදු නාවිකයා ය. ඇදහිය යුතු, විශ්වාස කළයුතු නිපුණතාවයෙන් පිරිපුන් ව සිටි ඔහුගේ වචනය, විශ්වාසය කාර්යමණ්ඩලය තුළ ද මුල් බැසගෙන තිබුණි.

“මම හැමදේම අත්හැරිය මේ ගමන වෙනුවෙන්. ඔව්… හැමදේම…” නෞකාවේ ඉහළ තට්ටුවේ ගරාදි වැට සිය ශක්තිමත් දෑතින් මිරිකාගත් කඩවසම් තරුණයෙකු ගොළු මුහුදට කෑ ගසා කීවේ සිතෙහි ඉපැලෙන ආස්වාදනීය හැඟීම් නිසාවෙනි.

තරුණයාගේ හඬ අසල සිටි නාවිකයාට ද ඇසුණි. තනිවම සිනාසුණ හේ ඊ ළඟ මොහොතේ දී සිය නිලධාරියෙකු ව තමා අසලට කැඳවූවේ ය.

“නැවේ ඔක්කොම ලයිට් දාන්න. මේක මෙහෙන් පිටත්වෙන අන්තිම නැව. තව කව්රු හරි දැකල ගොඩ වුණොත් ඒක ඒ අයගෙ වාසනාව.”

ඒ අවසරයෙන් නෞකාවේ සියලු විදුලි බුබුළු දැල්විණ. දීප්තිමත්ව බබළන තාරකාවක් ලෙසින් හිස් වරාය තුළ අවසන් නෞකාව සිය අන්තිම රාත්‍රිය ගත කරමින් සිටිනු ඇස් ඇතියවුන්ට දක්නට අවකාශ ඉතිරිකොට තිබුණේ එලෙසිනි.

අවසන් නෞකාවට නුදුරින් වරායේ දකුණු පසින් වූ වෙරළ තීරයෙන් හිස් අහසට නැගුණ මහල් ගොඩනැගිල්ලකි. එහි ඉහළ ම මාලය වෙන්ව තිබුණේ අගනුවර වූ සුපිරි රාත්‍රී සමාජ ශාලාව වෙනුවෙනි. එහි සඳැල්ලට අවසන් නෞකාව හොඳින් ම දර්ශනය විය. මන්ද වරායත්, ගොළු මුහුදත් දෙසට විවෘත ප්‍රදේශයක් ලෙසින් එය නිමවා තිබූ නිසාවෙනි.

මෙවෙලෙහි එම කොටසේ සැලකිය යුතු පිරිසක් සිටියත් ඒ කිසිවෙකුටවත් අවසන් නෞකාව පිළිබඳ ව අංශුමාත්‍රික හෝ හැඟීමක් නොවිණි. ඔවුන්ගේ දෑස් ආනයනික සැර බීමවලින් නැගෙන මතින් රත් පැහැ ගැන්වෙමින් අඩවන් වෙමින් පැවතිනි. ඔවුන් ඒ අඩවන් දෑස්වලින් එකිනෙකා කෙරෙහි සරාගී හැඟීම් පළ කරමින් සිටියහ. අවට ලෝකය පිළිබඳ කවරාකාර හෝ අදහසක් ඒ කිසිවෙකු තුළ මොහොතකට හෝ ඇතිවෙනවා නම් නො වේ.

“ජීවිතේ තියෙන්නෙ විඳින්න. විඳවන්න නෙවෙයි.”

අගනුවර නම්බුකාර වෙසඟනුන් දෙදෙනෙකු සිය දෑත්වල පටලවා ගත් මදාවි දේශපාලකයෙකු උදාරම් බෑවේ ය. එවිට ම නැගුනේ සුරුවම් හඬක් සහ අත්පොළසන් නාදයකි.

සිනාසීම් වාදවිවාදයන් අතරේ ඔවුහු ගල් අඟුරුවලින් පළහන ලද ඌරු මස් හෝ හරක් මස් අනුභව කරමින් මධුවිත තොල ගාන්නට වූහ. සමහරෙකු තුළින්, හැඳ සිටි ඇඳුම් පැලඳුම් නවීන වුව ද ගෝත්‍රික වනචාරී බවක් ම මතුව පෙනෙන්නට විය.

සන්ධ්‍යාවෙහි වූ සියුම් සුවඳවත් බව දැන් එහි නැත. පැළහූ මසින් නැගෙන පුළුටු ගඳත්, මත් වතුරෙන් නැගෙන සැර ගන්ධයත් මුළු සමාජ ශාලාව පුරා ම පැතිරී තිබිණ.

රාත්‍රියේ පළමු යාමය ඉක්ම යන්නට ආසන්න වෙත්දී එතෙක් පැවති සියුම් සංගීත රාවය වෙනුවට වේගවත් සංගීත රාවයක් මතුව නැගුනේ බමන මතින් සිටියවුන් ව රංගනයට කැඳවමිනි. අඩක් වෙරිමතින් සිටි ගැහැනු ද මිනිස්සු ද රංගනයට එක් වූහ. තැනක දෙතැනක කිහිප දෙනෙකු ම බිම ඇද නොවැටුණා ම නො වේ. රංගනය අතරතුර සමහරෙක් කාම සම්භෝගය පිණිස වෙන්ව යයි. නැවත රංගනයට එකතු ද වේ.

ව්‍යාපාරික බුවනෙක රාජසිංහ ද ඔවුනතර අයෙකු විය. මැදිවිය පසු කරමින් සිටි හෙතෙම මේ දිනවල ඇසුරු කරන්නේ සිය දියණියගේ වයසට ආසන්න තරුණියකි. ඒ සම්බන්ධය තුළ රාගය ද ද්වේෂය ද එක තරමට තිබිණ. සමඟි වෙත්, විරසක වෙත්, ඔවුනොවුනට ඔවුනොවුන් නැතිව බැරිවා සේ ය.

“රාජු ඔයාගෙ ෆෝන් එක රිංග් වෙනවා.”

මිෂෙල් කීවේ සිය තලතුනා පෙම්වතාට තරුණ බවක් ආරෝපණය කරමිනි. බුවනෙක රාජසිංහ එය ගණනකට නොගනී.

“මම මේකට කැමති නැහැ.”

බුවනෙක රාජසිංහ මිෂෙල් පැලඳ සිටි රත්තරන් කුරුසය අතකින් ගෙන කීවේ ය.

“ඒක මගේ වැඩක්.”

ඈ බුවනෙකගේ අත ගසා දමමින් කීවා ය.

බුවනෙක රාජසිංහගේ දුරකථනය නාද විය. එවර මිෂෙල් එය ගැනීමට උත්සහ කරත්දී බුවනෙක ඈ වළකාලමින් දුරකථනය ගෙන බැලුවේ ය.

“මයුමි”

“ඒ ගෑනි ආයෙම කරදර කරනව. මං කිව්ව… ඩිවෝස් නොකළොත් මම තීරණයක් ගන්නවා.”

“මිෂෙල් උඹ ගානට වැඩියි.” ඔහු මිෂෙල් ව තමා සමීපයට ඇද්දේ ය.

“නාකි මනමාලය” ඇය ඔහුව තල්ලු කර දමා වෙනතකට පැන්නා ය.

“බැල්ලි”

බුවනෙක රාජසිංහ දුරකථනයට සම්බන්ධ වෙමින් මිෂෙල්ට මොර ගෑවේ ය.

ඕ ගණනකට නොගත්තේ මුත්,

“බැල්ලි! මම ද මිනිහෝ බලු වැඩ කරන්නේ උඹ නේ ද?” දුරකථනයේ අනෙක් කෙළවරින් මතු වූයේ වෛද්‍ය මයුමිගේ හඬයි. බුවනෙක රාජසිංහ කලබලයට පත් විය.

“වෙන කෙනෙකුට කීවේ. මොකක්ද කාරණේ?” ඔහු ඇසී ය.

“ඒක පස්සේ කියන්නම්. තමුසෙගෙ වචනෙන් ම දැන් කිව්වා තමුසේ ආශ්‍රය කරන්නේ බැල්ලියො බව. බලු වැඩ කරන්න ඉස්සෙල්ල දරුවො ගැනවත් හිතපං.”

ඕ ආරවුලකට සූදානම් වූවා ය. ඇත්ත වශයෙන් ම එවැනි දේකටවත් දෙමහල්ලෝ එකට එකතුවන වේලාවක් නොවන තරම් ය. බුවනෙක රාජසිංහ ව්‍යාපාරික කටයුතුවලට මෙන් ම සුරාවටත්, දුරාවටත් සිය දවස ම වෙන් කරද්දී බිරිය වෛද්‍ය මයුමි වීරසිංහ රෝහලටත්, චැනල් සේවා සඳහාත් තම දවස ම වෙන් කළා ය. ඔවුනොවුන් දුටු දිනවලටත් වඩා නොදුටු දිනයන් ය මෑත කාලයේ වැඩි.

ඇමතුම නොව හෙතෙම දුරකථනය ම විසන්ධි කළේ ය. සිය බිරිය කෙරේ කෝපය මතු වීම නිසා ඔහු තුළ මිෂෙල් කෙරේ උපන්නේ ආදරයකි.

“ඔයා කිව්ව දේ ගැන මම හිතනව. මෙච්චර කල් මං ඉවසුවෙ දරුවො දෙන්න නිසා.” ඔහු මිෂෙල්ට කීවේ ය.

“ඔයාට හිතන්න ම වෙනව. මගේ කුසේ දරුවෙක්.”

මිෂෙල් අවස්ථාව හොඳින් තෝරා බේරාගෙන කීවා ය.

“ඒක වෙන්න බෑ.”

ඒ හඬෙහි ඇති නොපහන් බව, අවඥා සහගත බව ඇයට වැටහිණ.

“ඇයි බැරි?”

තරුණිය තමා ඉදිරියේ සිටින වයසක පිරිමියාගේ දෙවුරින් අල්ලා මිරිකුවා ය. ඊ ළඟ මොහොතේ සඳැල්ල කෙළවරේ අඩ අඳුරේ ම ඔව්හු ඇති තරමට ගුටි ඇණ ගත්තාහ. මේ මිනිස් තිරිසන් ගැටුමට කිසිවෙකුත් මැදිහත් වූයේ ද නැත.

“එපා නං මරල දාපං.”

මිෂෙල් හතිලමින් කීවේ කෝපයෙනි. ඇගේ අදහස වූයේ කුස තුළ හුන් දරුවා ව නැති කිරීම ය.

“ඔව් මං තෝව මරණව තමයි..”

බුවනෙක රාජසිංහ මිෂෙල් ව ඔසවා සඳැල්ලෙන් පහළට විසි කළේ ය. තරුණිය ද ඔහු ව අත් නොහැරියා ය. පාලනයෙන් ගිලිහුණ බුවනෙක රාජසිංහත් මිෂෙල් ඩයස් සමඟ සමාජ ශාලාවේ මිදුල මැද එකට ම අවසන් සුසුම් හෙළී ය.

මධ්‍යම රාත්‍රිය වෙත්දී මුහුදේ සුළං වේගය තරමක් වැඩි විය. ඊට අනුරූපව මුහුදු රළ ද උස්ව නැගෙමින් සිය ප්‍රචණ්ඩ බව පිළිබඳ ව ඉඟි බිඟි පාන්නට විය. අහස ද පෙරට වඩා අඳුරු ස්වභාවයක් පළ කළේ මුත් දැල්වෙන ප්‍රභාෂ්වර විදුලි ආලෝක නිසාවෙන් අවසන් නෞකාව තුළ නම් තදබල වෙනසක් ඇති නොවිණි. ඉහළ ආකාශය පමණක් තරමක අඳුරු මූසල ස්වභාවයක් ගන්නට විය.

උස්ව නැගෙන රළත්, වේගවත් සුළඟත් නිසා ඇදී එන ජල වාෂ්පවලින් අවසන් නෞකාවේ ඉහළ තට්ටුව තෙත් බවක් ගත්තේ විය. නෞකාවේ සිටි බොහෝ දෙනෙක් මෙවෙලෙහි නින්දට වැටී සිටිය ද සැලකිය යුතු පිරිසක් නිදිවර්ජිත ව මේ රාත්‍රිය ගත කරත්, ඔවුනතරින් අයෙකු කුඩා වයලීනයක් හඬවමින් ගීයක් ගයන්නට විය.

“පරක් තෙරක් නොපෙනෙන මහ සයුරේ
කෙම්බිමක් සොයා යනෙනා
තනි මිනිසා මං
මේ අවසන් ගමනේ මා සමඟින් යන
තව කව්දෝ ඉතිරිව ඇත්තේ…”

ගායනය හැඟීම්බර විය. හෘදයාංගම විය. ඒ ගී හඬ සුළඟේ වේගය නිසාවෙන් නෞකාව සිසාරා ගලා නොගිය ද ඔහු අසල සිටි සියල්ලෝ ම සමවතකට සමවැදුනෙකු මෙන් ගයන ඔහුගේ ගී හඬ කන් යොමා අසා සිටියහ.

“හිරු ගිලී ගිය හැන්දෑවේ
මම මෙතන ම යි උන්නේ
මේ සඳත් ඉතිං ගිලිහේවී
හෙට හිමිදිරියේ

ආයෙ ඉරක් එනවා යැයි
කොහොම හිතන්න ද මං
මම ඉතින් යන්න යනවා
මේ අවසන් නෞකාවේ…”

රාත්‍රිය පුරා ම හෙතෙම ගී ගයනු ඇත. ඒ ගී හඬ මේ රාත්‍රියේ පමණක් අවට සුළඟට මුසු වනු ඇත. සත්‍ය වශයෙන් ම මේ චමත්කාරය තවත් රාත්‍රියකට නොඑනු ද ඇත.

වෛද්‍ය මයුමි වීරසිංහ රෝගීන් පරීක්ෂා කිරීම අවසන් වෙත්දී මධ්‍යම රාත්‍රියත් ඉක්ම යමින් තිබිණ. සේවිකාවක විසින් මේසය මත තබන ලද මුදල් මිටිය ගණන් කර බැලූ ඕ සිනාසීගෙන ම මුදල් මිටිය අත් බෑගයට දමා ගත්තා ය. අධික වෙහෙසකුත්, අතෘප්තකර මිනිස් හැඟීමකුත් ඇගේ සිත තුළ විය.

හිඳ සිටි අසුනේ ම ඇන්දට බර දුන් ඕ මිනිත්තු කිහිපයක් දෑස් වසා සිටියා ය. හදිසියේ මෙන් එක්වර ම නැගී සිටි ඇය ඊ ළඟ මොහොතේ අත් බෑගයත් රැගෙන වේගයෙන් ඇවිද ගොස් සිය වාහනයට නැග ගත්තී ය.

අර්ධ නාගරික ප්‍රදේශයේ දී වේගයෙන් රථය ධාවනය කළ වෛද්‍යවරිය අගනුවර පාළු වීදි දිගේ රථය ගමන් කරද්දී වේගය අඩු කළා ය.

දැන් දැන් රාත්‍රියේ පශ්චිම යාමය ද උදා ව ඇත. වරාය පසු කරද්දී ඇය සිටියේ අධික නිදිමතක් හා තරමක කුසගින්නකින් ද යුතු ව ය. රථයේ වූ රේඩියෝව ක්‍රියාත්මක කළ ඕ සිය ධාවන කාර්යය පිළිබඳ ව දැඩි අවධානයකින් යුතුව රථය ධාවනය කරන්නට වූවා ය.

සේපාලිකා මල් ගිලිහෙන්නටත් පෙර, හිරුටත් පෙර මිනිසුන් පොළොවට බසින අගනුවර පාළුවට ගොස් තිබූ මාර්ගවල එක දෙක වාහන ධාවනය වන්නට විය. ඒ වාහනවලින් ද ඒවායේ යකඩ නළාවලින් ද නැගෙන කර්කශ හඬ අවට පැතිරෙන්නට විය.

එක් සිදුවීමක් හැර අන් සියල්ල අවසන් නෞකාව තුළ යහපත් අන්දමින් සිදුවෙමින් තිබිණ. අවාසනාවන්ත සිදුවීම නම් ගමනට එක් වීමට පැමිණි ගර්භිණී මවකට සිය සෞඛ්‍ය තත්ත්වය මත ගමන සඳහා එක් වීමට අවස්ථාව අහිමි වීම යි. අපේක්ෂා සුන් වූ සිතින් යුතුව ඕ සිය මෝරන දරු ගැබ අතින් පිරිමදිමින් ඔවුනට අහිමි භාග්‍යය පිළිබඳ ව පසුතැවෙන්නට වූවා ය.

“ඉරත් ගිනි වැදී සඳත් නිවී
ලොව ම අඳුරු වෙන දවසේ
හෙටක් කියා තව දවසක් නෑ
අඳුරක් පමණක් ඉතිරී
මේ දෑස් ඉතිං ඒ දවසට ඵල නැහැ
කුමක් දකින්න ද ලෝකේ
ඒ හින්දා මම යනවා
මේ අවසන් නෞකාවේ…”

ඒ හඬ ඇයට ඇසේදැයි නොදන්නේ ඔහු දිගට ම ගැයුවේ ය.

වෛද්‍යවරිය නිවසට ළඟා වූවා ය. නිදිගැට කඩමින් පැමිණි මහලු ආරක්ෂක නිලධාරියා විවර කළ ගේට්ටුවෙන් වාහනය වත්තට ඇතුල් කළ ඕ ගරාජයට වාහනය නොදමා මිදුල මැද නතර කොට බැස ගත්තා ය. එක්වර ම දියණියගේ කාමරයේ විදුලි ආලෝකය නිවෙනු දුටු ඇය මොහොතක් ඒ ගැන විමසිලිමත් ව අත් බෑගයත් රැගෙන නිවසට ගොඩ වූවා ය. ඊ ළඟට විදුලි සීනුව නාද කළා ය.

මඳ කලකින් දොර ඇරුණි. විවර කළ දොරත්, උළුවස්සත් අතර සිටි මහලු මව සිය දියණිය දෙස බැලුවේ අනුකම්පාවෙනි.

“මොකද මෙච්චර පරක්කු? මට බයට නින්ද ගියෙත් නැහැ. මමත් මේ පුටුවට ම වෙලා හිටියා. මේ දැන් නින්ද යාගෙන ආව විතරයි.”

“අපරාදෙ අම්ම නිදාගත්ත නම් ඉවරයිනෙ. අම්මෙ මොකද සචිනි මේ රෑ එළිවෙනකම් කාමරේ ලයිට් දාගෙන කරන්නෙ?” යි අසමින් වෛද්‍යවරිය අසල තිබූ සෝපාව තුළ ගිලා බැස්සා ය. අධික වෙහෙස නිසා තරමක ක්ලාන්ත ගතියක් ඇයට දැනුණි.

“අනේ මන්ද. කොයි වෙලාවෙ බැලුවත් ෆෝන් එක ඔබ ඔබ ඉන්නවා. හිනාවෙනවා. අඬනවා. බැණ ගන්නවා. මට තේරෙන්නෙ නෑ ඕවා.”

“සයුරංග?”

“එයා ද? රෑ මැච් එක බලන්න යනව කියල ගියා ගියා ම යි. ෆෝන් එකත් ඕෆ් කරලා. උඹල දරුවෝ ගැන හොයන්නෙ නැහැ. මට මේ හැමදේම බලන්න බෑ. මට පුළුවන් විදිහට උස්මහත් කරල දුන්නා. මට දැන් උන් වලංගු නැහැ.”

පිළිතුරක් නොදුන් වෛද්‍යවරිය දෑස් පියා ගත්තා ය.

“කන්නෙ නැද්ද? මං ඉව්ව විතරයි එකෙක් කෑවෙ නැහැ.”

“කන්න බෑ අම්මෙ. මට නිදාගන්න පැය හතරක්වත් නැහැ. අපි හිමිහිට බලමු.” යි කියූ ඕ කෙටි නින්දක් පිණිස සිය කාමරයට ඇතුල් වූවා ය. ඇය උදෑසන ආයෙමත් සේවයට යා යුතුව ඇත.

ඔරලෝසුවේ පාන්දර හතරේ කණිසම නාද විය. එවිට ම අවසන් නෞකාව සිය අවසන් ගමන පිණිස සිය පළමු රුවල දිග හැරියේ ය.

පසුවදන –

මිෂෙල්ලාට පමණක් නොව බුවනෙක, මයුමි, සයුරංග, සචිනි, දරු මුණුපුරන් මත සිය දිවිය ම දිය කෙරූ ආත්තම්මලාට ද අවසන් නෞකාවට ගොඩ වීමේ භාග්‍යය අහිමි විය. ඔබටත් ඉතිරිව ඇත්තේ තව හෝරා කිහිපයක් පමණි.

චන්දන එස්. කුමාර