දුරකථනය නොනවත්වා ම නාද වෙයි. මම දුරකථනය ද රැගෙන රෝගියා වෙතින් බැහැරට ගියෙමි.

“හලෝ”

“නුවංග, මම ප්‍රොෆෙසර්.”

අනෙක් පසින් කතා කළේ මහාචාර්ය සෙනරත් යාපා බංඩාර ය.

“ඔව් ප්‍රොෆෙසර්.”

“හවස වැඩක් දාගෙන නැත්නම් මාත් එක්ක පරීක්ෂණයකට යන්න පුළුවනි.”

“අනිවාර්යෙන් ම එනවා.”

මම දෙවරක් නොසිතා ම කීවෙමි. මහාචාර්ය සෙනරත් මෝහන විද්‍යාව පිළිබඳ පතල දැනුමැතියෙකි. හේ සිදු කරන පරීක්ෂණවලට මාව සම්බන්ධ කර ගන්නේ කරුණු තුනක් සැලකිල්ලට ගනිමිනි.

පළමුවැන්න මගේ ලේඛන හැකියාව යි. මම ඒ සියලු පරීක්ෂණ වාර්තා මනා ව ලේඛනගත කරන්නෙමි. දෙවැන්න විකලාංග වෛද්‍යවරයෙකු වශයෙන් මෝහනයට ලක් කරන සමහර රෝගීන් සඳහා කෙරෙන ප්‍රතිකාර කටයුතුවලදී මාගෙන් ඉමහත් සේවාවක් ලබා ගැනීමේ අපේක්ෂාවෙනි. ඇත්තෙන්ම ඒ හැම අවස්ථාවක දී ම මම ඉමහත් කැමැත්තෙන් හා කැපවීමෙන් යුතුව මගේ සේවය ලබා දෙන්නෙමි. අනෙක් කරුණ නම් පුනර්භවය පිළිබඳ විශ්වාසයක් නොවන මගේ මතය සාවද්‍ය එකක් බව මට ඒත්තු ගැන්වීම ය.

“නුවංගට මතක ද මීට අවුරුදු දහයකට පහළවකට විතර ඉස්සර සිව් නිවුන් දරු උපතක් ගැන ලොකු ප්‍රචාරයක් ගියා?”

වාහනය පදවමින් මහාචාර්ය සෙනරත් මගෙන් ඇසී ය.

“පොඩි මතකයක් නම් තියෙනවා. ඒත් වැඩි විස්තරයක් නම් මතක නැහැ. ඒත් ඇයි ප්‍රොෆෙසර් ඒ ගැන…?”

“අද අපි යන්නෙ ඒ ළමයින් ව බලන්න. කෙල්ල මැරිලා. කොල්ලො තුන් දෙනා විතරයි ඉන්නෙ. නුවංග විශ්වාස කරන්න ඒ තුන් දෙනාට ම මොළේ පිළිකා හැදිලා. හොඳ කරන්න බැහැ.”

“නැහැ…!”

මම පුදුමයට පත් වීමි. කිසියම් සංවේගජනක බවක් මා තුළ ඉපදිණ.

“තරුණ ළමයි වෙන්නෝනනෙ ප්‍රොෆෙසර්. දුප්පත් ද?”

“නැහැ. අම්මයි තාත්තයි දෙන්නම පිළිගත් ලෝයර්ස්ල. මං ගිය සතියෙ ගියා ඒ ළමයින් ව බලන්න. තරුණ ළමයි උනාට ඔළුවයි බඩයි ඇටසැකිලියි හමයි විතරයි. මට පුදුම හිතුණා. වැඬේ කියන්නෙ ලෙඩ වෙලා ටික කාලෙකින් කතා කරන්නත් බැරිවෙලා. දැන් ටික කාලෙක ඉඳලා ලොකු කොල්ලා විතරක් කතා කරනවා.”

“හරි පුදුම දෙයක්. ප්‍රොෆෙසර් කොහොමද මේ ළමයි ගැන දැනගත්තේ?”

“පිළිකාව තියෙන්නෙ මොළේ. ඒ ළමයි නිතර ම පපුව මැද්දේ කළු පාට ගුලියක් තියෙනව කියල කියනවලු. ඒ නිසා තමයි කව්රු හරි මං ගැන කියලා මාව කැඳෙව්වේ.”

ඔහු වාහනය කොහුවල හන්දියෙන් කළුබෝවිල පාරට හැරෙව්වේ ය. මගේ දෑසට එක්වර ම හසු වූයේ කළුබෝවිල කනත්ත යි. මසිත වූ සංවේගය වඩාත් දැඩි විය. ලෝකයක් තරමට බලාපොරොත්තු හිස මත තියාගෙන සිටියෝ කුඩා යකඩ පුවරුවක් දරාගෙන සදාකාලික නිද්‍රාවකට වැටී නොනිදත් ද? ජීවිතය මෙය ද? සටන් කර දිනාගන්නට කිසිවක් ජීවිතයක නැති ද?

“ඇයි කල්පනාවක?”

වාහනය අතුරු පාරකට හරවමින් මහාචාර්යවරයා මගෙන් ඇසී ය.

“අද මට අමුත්තක් දැනෙනවා.”

මම ඇත්ත ම කීවෙමි.

අතුරු මාර්ගයේ මඳ දුරක් පැදවූ වාහනය සුවිසල් දෙමහල් නිවසක දොරටුව අසල නතර කෙරිණ. ආරක්ෂක නිලධාරියා ගේට්ටුව විවෘත කළෙන් අපි නිවසේ පෝටිකෝව යටට ම වාහනයෙන් ගියෙමු.

“ඩොක්ටර් බහින්න. රෙකෝඩර් එකත් ගන්න.”

අවට දකින සියලු දේ තුළ සුන්දරත්වයත් මහේශාක්‍ය බවත් ඇත. පැන් පොකුණු ආදී නොයෙකුත් උද්‍යාන අලංකාරවලින් සැඟව ගිය ජීවිතයේ අතිශය ඛේදජනක සත්‍යයක් මේ මහ මන්දිරයේ සුවිසල් බිත්තිවලින් ලෝකයා වෙතින් වසන් කරගෙන සිටී.

දරුවන්ගේ පියා විසින් අපව කෙළින් ම දරුවන් සිටි කාමරයට ම කැඳවාගෙන යන ලදී. එවෙලෙහි දරුවන්ගේ මව ඔවුනට කුමක් හෝ පොවමින් සිටියා ය.

ඇත්තෙන්ම මෙතන පුදුම සහගත ය. විරූප වී ගිය ඔළුගෙඩියත්, පිම්බී ගිය විශාල බඩත්, විවිධාකාරයෙන් හැකිළී ගිය උණ බටවලින් සම්බන්ධව තිබෙන්නාක් වැනි වූ දැකීමට ප්‍රිය නූපදවන මිනිසුන් යැයි කියන්නා වූ පිශාච රූප තුනක් විශාල කාමරයක එක පෙළට තබන ලද ඇඳන් මත සතපවා තිබිණ.

තිදෙනාගේ ම කටවල් ඇද වී තිබුණි. ඉදිමී ගිය නිසාදෝ මන්දා කන්පෙති පවා තරමක් විශාලව පෙනිනි. දෑස් හැකිළී ගිය මුහුණුවලින් ඉලිප්පී පෙනෙයි. ඒ මුහුණු ඇත්තෙන් ම පිශාච පෙනුමකටත් වඩා විකට ස්වරූපයක් ගත්තේ විය.

විකලාංග වෛද්‍යවරයෙකු වශයෙන් මෙවැනි විකෘතියක් මම මීට පෙර දැක නොතිබුණෙමි. මොවුන් කුමට ජීවත් වෙනවා ද? කුමකට ජීවත් කරවනවා ද? යන පැනයන් මොහොතකට මසිත නැඟී නැති වී ගියේ අසල හුන් මවගේ දයාබරිත දෑස් දකිත් දී ය.

එකෙකුගේවත් ශරීරයේ මස් කිලෝ පහක් නම් තිබිය නොහැක. පිළිකා රෝගය විසින් මොවුන් මෙතරම් විකෘති කළ බවක් සිතා ගන්නට පවා නොහැක්කේ මම ඕනෑ තරම් පිළිකා රෝගීන් මින් පෙර දැක ඇති නිසාවෙනි.

තවත් සුවිශේෂී දෙයකි. හිසෙහි තැනින් තැන ඉතිරිව තිබූ කෙස් ගස් ටික ටින්ට් කර තිබුණි. එය මසිත ඇති කළේ සිනහවක් නොව හිරිකිතයකි.

එපමණක් ද නොව තිදෙනාගේ ම ඇඳන් ඉදිරියේ පුළුල් තිර සහිත රූපවාහිනී යන්ත්‍ර තුනක් ඇඳන්වලට සවිකර තිබුණි. ඒවායේ දුරස්ත පාලකත්, තවත් නවීන වර්ගයේ ජංගම දුරකථන තුනකුත් තිදෙනාගේ ම හිස දෙපස තිබෙනු දුටු මට මම මේ සිටින්නේ සැබැවින් ම පොළොවේ පය ගසාගෙනදෝයි සැක සිතුණි.

“ඩොක්ටර් නුවංග දෑල. මගේ පරීක්ෂණ සහයක.”

මහාචාර්ය සෙනරත් මා ව දෙමාපියන්ට හඳුන්වා දුන්නේ ය.

“බලන්න ඩොක්ටර් වෙච්ච දේ. අවුරුදු දෙකකට කලින් දැනගත්තේ. දුව ව තමයි කලින් ම ලෙඩ වුණේ. මෙයාලා නිවුන්නු නිසා අනික් අයවත් චෙක් කළා. හතර දෙනාට ම එක ම ලෙඬේ. අපි සෑහෙන්න වියදම් කරල අන්තිමට තමයි මේ.”

“ඇත්තටම මටත් පුදුමයි.” මම ඇත්ත ම කීවෙමි.

“දුව නැති වෙලා මාස හයක් විතර වෙනවා. අර ඉන්නේ මේගොල්ලෝ තමයි. දැන් කතා කරන්නෙත් නැහැ.”

දරුවන්ගේ පියා බිත්තියේ එල්ලා තිබූ දරුවන්ගේ අති විශාල ඡායාරූපයක් මට පෙන්වී ය. පුදුමය දනවනසුලු සුන්දර පෙනුමැති නිරෝගී දරුවන් සතර දෙනෙකු සිනාසීගෙන එහි සිටිත්.
“හිතාගන්නවත් අමාරුයි.”

මම සිතෙහි වූ පුදුමය නොසඟවා කීවෙමි. සමහර විටෙක දෙමාපියන්ගේ සිත පවා පෑරෙන්නට ඇත.

“වයස කීය ද?”

“අවුරුදු දහතුනාමාරක් විතර වෙනවා.”

පිළිතුරු දුන්නේ මවයි. ළතෙත් බව සිඳී ගිය රළු හඬක් ඇගේ ස්වරයේ විය. එකෙකු දුරකථනය ගෙන ඇඟිලි තුඩ එහි ඒ මේ අත ගෙන යයි. එතරම් දැනීමක්වත් ඉතිරිව ඇතැයි මොවුන් ව දකින්නෙකු තුළ සිතක් ඇති නොවන තරමට ඔවුන් දුබලව සිටී.

“එයාල ව සතුටින් තියන්න පුළුවන් හැමදේ ම කරනවා.” පියා කීවේ මගේ සිතැඟියාවන් දැනගත්තාක් මෙනි. මම සැහැල්ලු ලෙස සිනාසුණෙමි.

මම රෙකෝඩරය මේසයක් මත තබා කාමරයෙන් පිටව මඳක් එළියට ගියෙමි. අඳුර පරිසරයට වැටෙමින් තිබේ. දැල්වෙන නියෝන් එළි මතින් ඈත අහසේ සඳ ඒ අඳුරට එබිකම් කරන්නට සැරසෙයි.

අප අතර පැවති කෙටි සාකච්ඡාවකින් පසුව මහාචාර්යවරයා දරුවා ව මෝහන නිද්‍රාවට පත් කළේ ය. මම රෙකෝඩරය ක්‍රියාත්මක කොට සටහන් පොත අතට ගත්තෙමි.

“වීඩියෝ කිරීමක් වෙන්නෙ නැහැ නේ ද?”

“නැහැ.”

මම දරුවාගේ තාත්තාට පිළිතුරු දුනිමි. නමුත් ඒ ඒ අවස්ථාවල දී දරුවාගේ හැසිරීම් සටහන් කර ගැනීමට මම වගබලා ගතිමි.

“කව්ද ඔබ?”

මහාචාර්යවරයා දරුවාගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කරමින් ඇසුවේ ය.

“මම ද? මම සෙනේෂ් කුමාරසිරි.”

“සෙනේෂ්ගේ ගම?”

“ටිකක් ඉන්න. හ්ම්… පොඩි වැවක් මත්තෙ අටපට්ටම් ගෙයක්. හරි මම මහනුවර. ඒක තමයි අපේ ගම.”

“අපේ ගම කිව්වේ? තව කව්ද ඔබත් සමඟ මහනුවර හිටියෙ? පවුලේ අය?”

අපට වඩා විමසිලිමත් වූවෝ දරුවාගේ දෙමාපියෝ වූහ. අනෙක් දරුවන් දෙදෙනා මෙලොවට අයිති නැතියවුන් ලෙස ජංගම දුරකථනයන්ට ම ඇලී ගොස් කිසියම් ක්‍රීඩාවක යෙදී ඇතුවා සේ ය.

“ඔබේ පවුලෙ විස්තර මොනවා ද?”

“මට ඒ අය ව නම් පේන්නෙ නැහැ.”

“කාව ද ඔබට පේන්නෙ?”

“මගේ යාළුවො තුන්දෙනා ව පේනවා.”

දරුවාගේ මුහුණ තරමක ප්‍රසන්න බවක් ගත්තේ විය.

“ඒ අයගෙ විස්තර කියන්න. ඔබ දන්න දකින හැමදේ ම කියන්න.”

“දිනුක, ඩිෂාන්, සාලිය. අපි හතර දෙනා හොඳ ම යාළුවො. අපි රස්සාව කළෙත් එක ම තැන. කොළඹ නැවතිල හිටියෙත් එක ම තැන. අපි හැමදේ ම කළේ එකට.”

“හැමදේ ම කිව්වෙ?”

“හැමදේ ම කිව්වෙ හැමදේ ම තමයි. අපි එදා දුර ගමනක් ගියා.”

“ඔයාලගේ වාහනයක?” මහාචාර්යවරයා ඉක්මන් වූවා යැයි මට සිතුණි.

“නැහැ, ඒක දිග එකක්. හරි. කෝච්චියක්. අපි ගියේ කතරගම. කොහොමහරි සෑහෙන දුරක් ගියාට පස්සෙදි අපි මුහුදට සමීපවයි ගියේ. ඒ යත්දි තමයි මහ වතුර පාරක් ඇවිත් කෝච්චියෙ හැපුනෙ. අපිට මොකක්ද වුණා. මහ කළුවරක්. අපි කෑ ගැහුවා. ඒත් අපේ කටහඬ අනිත් අයට ඇහුණ ද මන්ද. වතුරින් පිරිල ගිය කෝච්චියෙ අපිව හිර වුණා. තප්පර කිහිපයකදි ඔක්කොම සිද්ධ වුණේ. ඔහ්… මගෙ ඔළුව.”

දරුවා වේදනාවෙන් ඇඹරෙන්නට විය.

“ඔළුව කෝච්චියෙ හැපුන ද?”

“ඔව්, ඔළුව විතරක් නෙවී. හැම තැන ම.”

“ඊට පස්සෙදි?”

“අපි මැරුණා.”

“අනිත් අය මැරුණ කියල දැනගත්තෙ කොහොමද?”

“මට ඒක කියන්න තේරෙන්නෙ නැහැ. ඒත් අපි මැරුණා. ආයෙම අඳුරු කාමරයක අපි ව හිර වුණා.”

“මව්කුස ද?”

“ඔව්, අම්මගේ බඬේ.”

“ඊට පස්සෙදි ඔයාල ලොකුවෙද්දි එදා වැදුණ පාරවල් නිසා ඔළුවෙ පිළිකා හැදුණා. මම හරි ද?”

මහාචාර්යවරයා ජයග්‍රාහී ලෙස දෙමාපියන් දෙස බැලුවේය.

“නැහැ. ඒ නිසා නෙවෙයි.”

“එහෙනම්?”

“මේක වෙන දෙයක්. අපි හතර දෙනා හැම වෙසක් පෝයට ම කරපු දෙයක් තමයි දවාලට දන්සලක් දීලා රෑට සිංදු දාගෙන ගමේ අයවත් එකතු කරගෙන ඔළුබක්කෝ නටපු එක.”

මට පුදුම සිතුණි. මා දැක ඇති ඔළුබකු මුහුණු හා දරුවන්ගේ මුහුණවල සමාන බව මම වටහාගන්නට සමත් වීමි.

“ඒ නිසා ද මෙහෙම වුණේ?”

“ඔව්, ඒක උතුම් දවසක්. අපි වැරදියට ගත්ත. ඒකයි.”

“ඉතිං එක්කෙනෙක් ගෑනු කෙනෙක් වුණේ කොහොමද?”

“ඒ ඩිෂාන්. එයා තමයි හැමදා ම ගෑනු මුහුණ දාගෙන නැටුවෙ. අපි දෙන්නා හැම තිස්සෙ ම කපල් ඩාන්ස් දැම්මා.”

“ඉතිං එයා ඉක්මනට මැරුණනෙ…”

මම දරුවන්ගේ මව දෙස බැලීමි. හැඟීම් විරහිත බවකි මෙවෙලේ ඈ වෙතින් මා දැක්කේ.

“නැහැ. එයා ඉන්නවා.”

“ඔබට වැරදීමක්. මීට මාස හයකට කලින් එයා මැරුණා.”

මහාචාර්යවරයා බලාත්මක ස්වරයකින් කීවේ ය.

“එයා ඉන්නවා.”

“කොහෙද එයා ඉන්නෙ?”

“මගෙ පපුවෙ. මට බෑ මගෙ පපුව රිදෙනවා. අයියෝ මගෙ පපුව….”

දරුවාගේ ස්වභාවය දුටු දෙමාපියෝ කලබල විය. පරීක්ෂණය අදට හමාර කරන්නට මහාචාර්යවරයාට සිදු විය.

 

පසුවදන –
මෙහිලා වෙනත් පසුවදනක් නොලියමි. ඒ බෞද්ධ පවුලක උපදින්නට ඔබ පින් කළ නිසාවෙනි. එහෙයින් සිතන්නට උත්සාහ කළ මැනවි, ඔවුනුත් ඔබත් කුමක් කළේ ද කරන්නේ ද කියා…

– මහමෙව්නාවාසී පින්වත් ස්වාමීන් වහන්සේනමක් විසිනි