එය නිරුදක කතරකි. හාත්පස පැතිර තිබුණේ ඝන අන්ධකාරය යි. විටින් විට චණ්ඩ මාරුතය ද හමා ගියේය.. විටෙක එය කුණාටුවක් දක්වා  වර්ධනය විය. මා උපන්නේ එහි ය. මාගේ දෙමව්පියන්, සහෝදරියන් සමඟින් හැදී වැඩුණු මා කිසි දිනෙක ආලෝකයක් දැක නොතිබිණි. ආලෝකය යනු කිනම් ආකාරයේ දෙයක් ද කියාවත් අප දැන සිටියේ නැත. “ආලෝකයක්! ආලෝකයක්!” කියා ඉඳහිට කෙනෙකු කොඳුරනු සවන් වැකිණි. විටෙක කෙනෙකු ආලෝකය යැයි කියා කියූ දෙයක් ම, කල් ගත වෙත් ම ආලෝකයක් නොවන බව දැන ගන්නට ලැබිණි. ඒ, එබඳු කිසිවකින් ගනඳුර දුරු නොවූ බැවිනි.

ඒ නිරුදක කතර සෑම කාලයක දී ම දැඩි ශීතලකින් වෙලී ගත්තේ විය. ශීතලට නිරාවරණය වීමෙන් එහි විසූ සියලු දෙනාගේ ම සිරුරු වැහැරී තිබිණි. විටින් විට හැමූ කුණාටුවෙන් අහසට එසවුණු වැල්ල පෙරලා අපට ම පහර දෙන්නට විය. මෙසේ හමන මාරුතය දැඩි වෙත්ම එකියක් නටන්නට පටන් ගනියි. ඇය වටා එක් වූ පිරිස තාලයකට අත්පොළසන් දෙත්. එක් අයෙක් උච්ච ස්වරයෙන් ගීතයක කොටසක් උරුවන් බායි. තවත් තැනකට ළං වූ විට, දෙදෙනෙක් අතර ඇති වූ වාදයක් ක්‍රමයෙන් ගුටිබැට හුවමාරුවක් දක්වා විකාශනය වන අයුරු අසා ගත හැකිය. අපගේ ජීවන ක්‍රමයේ වූ කඨෝර බව අප කිසිවෙකුටත් නොදැණින. ජීවිතය යනු මෙය යැයි සිතූ අපි දැඩි ශීතලත්, ඝන අන්ධකාරයත් අමතක කොට හඬ නගා සිනාසුණෙමු. ආලෝකය පිළිබඳ කතාව සැමට ම අමතක වෙමින් පැවතිණ.

කාලය ගත විය. විටෙක ශීතලෙන් පිළිස්සුණු මුහුණ අල්ලා බැලූ මම ජීවිතයේ මා විසින් අත්විඳිය යුතු වෙනත් යමක් නැති දැයි මොහොතකට සිතුවෙමි. ඒකාකාරී ජීවිතයේ අනවරත වූ පීඩාවක් මගේ සිතට නොදැණුනා ම නොවේ. දිනක් කුඩා දරුවකු මා වෙත රැගෙන ආ පණිවිඩයකින් ඒ ඒකාකාරී බව මොහොතකට බිඳී ගියේය. “වින්ස්ලට් කියලා කෙනෙක් ඔබට මේ පණිවිඩය කියන්න කිව්වා. ‘ජීවිතයේ ඔබ කිසිදා අත්විඳ නැති යමක් පිළිබඳ විශේෂ තොරතුරක් මා ගේනවා. නොවරදවා ම එන්න. තව පැය තුනකින් පතොක් යාය කෙළවර මා බලා ඉන්නවා…”

මම මගේ දෑත් කබාය තුළට රුවාගෙන තවත් එය තුළට ම ගුලි වීමි. වින්ස්ලට් යනු මා කුඩා කල පටන් හඳුනනා කෙනෙකි. මට වඩා වසර ගණනාවකින් වැඩිමහලු වූ හෙතෙම හදිසියේ ම ගමෙන් අතුරුදන් වූයේ මා දොළොස් හැවිරිදි වියේ දී පමණ ය. ඔහුගේ මේ හදිසි ආගමනයෙන් උද්දාමයට පත් මම ඔහු ගෙනෙන විස්මිත තොරතුර දැන ගැනීමේ ආශාවෙන් පෙළෙන්නට වීමි.

කාලය ගෙවුණේ බොහෝ සෙමිනි. ඔහු මුණගැසීමේ බලාපොරොත්තුවෙන් නොඉවසිලිමත් වූ මා එහි ගියේ පැය තුනක් ගෙවෙන්නටත් ප්‍රථම ය. ඒ වන විටත් ඔහු පැමිණ සිටියේය. “වින්ස්ලට්..” වැල්ලේ එරෙමින් නමුත් ඔහු වෙත දිව යමින් මම මොර දුන්නෙමි. “එමානුවෙල්..” ඔහු ඉදිරියට පැන මා වැළඳ ගත්තේය. වසර ගණනකින් සිදු වූ හමුවීම අපට මහත් ප්‍රීතියක් ගෙන දෙන්නක් විය. අපි දෙදෙනා වැල්ලේ වාඩි වීමු. “ඉතින්.. ඔබ කොහෙද මෙපමණ කාලයක් සිටියේ? ඇයි ඔබ යන විට මටවත් කියා නොගියේ..” මම ඇසුවේ මඳක් කනස්සල්ලෙනි. ඔහු මට සහෝදරයෙක් මෙන් විය. “එමානුවෙල්.. මා ආලෝකය දුටුවා.. මහා ආලෝකයක්..” ඔහුගේ හඬ ප්‍රීතියෙන් බර විය. “සදාකාලික ආලෝකයක් ඇති දේශයක් ගැනත් අසන්නට ලැබුණා..” දැඩි සුළං හමා ගිය ද ඔහුගේ හඬෙහි වූ ජයග්‍රාහී බව සඟවන්නට ඒ සුළඟට නොහැකි විය. “එසේ නම් ඔබ එදා අතුරුදන් වූයේ ආලෝකයක් සොයා යන්නට ද?” මම විස්මයෙන් යුතු ව විමසීමි. “ඔව් එමානුවෙල් ඔව්… මම නැවත පැමිණියෙත් එය ඔබට කියන්නයි. මා ආලෝකය දුටුව මොහොතේ මට සිහි වුණේ ඔබ. ඔබ කුඩා කල පටන් ආලෝකයක් දකින්න බොහෝ ආශා කළා නෙව. නමුත් ඒ කාලයේ ඔබ පුංචි දරුවෙක්…” ඔහුගේ අතිශයින් ප්‍රීතිමත් හඬ චිත්තාකර්ෂණීය විය. “ඒක මොන වගේ දෙයක් ද වින්ස්ලට්? ආලෝකය?” මම විමසුවෙමි. මගේ සිත ද යම්කිසි චමත්කාරයකින් පිරී යනු මට දැණින. “ඒක මහා විශාල දෙයක්. ඇත්තට ම ඔබට ඔබේ ඇස් අදහා ගන්නට නොහැකි වේවි.. එතන මහා ආලෝක තුනක් තිබෙනවා. ඒ ආලෝකය වෙත අප හැමදෙනා කැඳවාගෙන යන්නෙක් සිටිනවා. ඔහු තමයි ඒ ආලෝකය විවෘත කොට පෙන්වන්නේ. ඔහු ඉතාම කරුණාවන්ත කෙනෙක්.. ඔහු ඒ ශ්‍රේෂ්ඨ ආලෝකය ගැන හැමට කියා දෙනවා. මට මගේ ජීවිතයට වඩා ඔහු ගැන විශ්වාසය තබන්නට පුළුවනි…” එවර ඔහුගේ හඬ මහත් ගෞරවයකින් බර විය. “ඉතින්… ඔබ ඔබේ දෙමව්පියන්ට මේ ගැන පැවසුවේ නැද්ද?” ඒ මොහොතේ යම් තීරණයකට එළඹෙමින් සිටි මම විමසුවෙමි. “මම දෙමව්පියන් දකින්නටත් ගියා… ඔවුන් ඔවුන්ගේ ජීවිතය පුරාම ආලෝකයක් දකින්න මහත් ආශාවෙන් සිටි අය බව ඔබ දන්නවානෙ. ඔවුන් දැනටමත් මා පැවසූ මඟ සලකුණු අනුව යන්නට පිටත් වී ඇති…” “වින්ස්ලට්… ප්‍රමාද වෙන්න හේතුවක් නැහැ. මැරෙන්න කලින් මාත් එක් වතාවක් හෝ ඒ ආලෝකය දැක ගත යුතුයි…” දුහුවිලි ගසමින් නැගී සිටි මම තිර අදිටනකින් යුතු ව පැවසුවෙමි. මා තුළ වූ මහත් උද්‍යෝගය පිළිබඳ හෙතෙම වඩාත් ප්‍රීතියට පත් විය. ඉන්පසු ආලෝකය දකින්නට යන ගමන ඇරඹිණි.

ගමන බොහෝ දුෂ්කර එකක් විය. වැලි කුණාටු හමද්දීවත් ගමන නතර නොකළ අපි, වෙහෙස අධික වන විට එකිනෙකාට වාරු වෙමින් ගමන් ගත්තෙමු. ආලෝකය වෙත කැඳවාගෙන යන මගේ පැරණි මිතුරා කෙරෙහි නොමඳ සෙනෙහසක් මා තුළ ඉපදිණි. අප ගමන් ගත් මාර්ගයේ හමු වූ අයට පවා ඔහු ආලෝකය වෙත යන මඟ කී නමුත් ඔවුන් එය තකනා බවක් නොපෙණුනි. කෙසේ නමුත් වින්ස්ලට්ගේ ප්‍රීතිමත් ස්වරයේ නම් වෙනසක් ඇති නොවිණි.

දින තුනක් මෙසේ ගමන් ගත් අප අලුත් පෙදෙසකට පැමිණ ඇති බව මා හඳුනා ගත්තේ පසෙහි වූ තද ගතියෙනි. වැල්ලෙහි එරෙනා ගතිය තවදුරටත් එහි වූයේ නැත. එයින් අප හට තරමක පහසුවක් දැණින. “දැන් ළඟයි…” වින්ස්ලට් පැවසුවේ හති දමමිනි. එක්තරා ගෘහයක් වැනි යමක් ළඟ නතර වූ හෙතෙම ලී පියගැට කිහිපයක් නැඟ එහි වූ දොරට තට්ටු කළේය. මොහොතකින් දොර විවර විය. දොරකඩ හුන් යමෙකුට පිටුපසින් මම ජීවිතයේ ප්‍රථම වරට එම දසුන දුටුවෙමි. ආලෝකය! මට ඇස් අදහාගත නොහැකි විය. ආලෝක දෑතින් දරා ගත් කිහිප දෙනෙක් එහි සිටියහ. මම වින්ස්ලට් දෙස බැලුවෙමි. එවිට මා ඒ ආලෝකයෙන් ප්‍රථම වරට ඔහුගේ මුහුණ ද දුටුවෙමි. “එමානුවෙල්… ඔය කුඩා ආලෝක කිහිපයක් පමණයි. ඔබට තව මොහොතකින් ඒ මහා ආලෝක තුන දැක ගැනීමට හැකි වේවි… මේ තමයි මට ආලෝකය පෙන්වූ උතුමන්… ඔහුට ආචාර කරන්න.” වින්ස්ලට් දොරකඩ හුන් පුද්ගලයාව පෙන්වමින් මට පැවසීය. වින්ස්ලට් සමඟින් මම ඔහුට ආචාර කළෙමි.

ඔහුට තිබුණේ තරු කැට දෙකක් මෙන් බබළන දෑසකි. ඒ තුළ වූයේ මහා ප්‍රීතියකි. කරුණාවෙන් මා දෙස බැලූ හෙතෙම මා සමඟ සිනාසුණේය. “ඔය දරුවත් ආවෙ ආලෝකයක් සොයාගෙන ද..?” ඔහුගේ කාරුණික හඬින් වසඟ වූ සිත් ඇති මම ඔහුගේ දෙපා මුල ඇද වැටුණෙමි. “ඇත්තෙන් ම මම කවදාවත් ආලෝකයක් දකින්න ලැබේවි කියා සිතුවේ නෑ. ඔබතුමා නිසා අද මම ආලෝකය දුටුවා.. මේ කුඩා ආලෝක උපද්දවනා ඒ මහා ආලෝකය කුමක්ද කියා මට පෙන්වන්න…” මගේ දෑසින් කඳුළු රූරා වැටුණි. ඉන්පසු මාගේ දෙවුරෙන් අල්ලා නැගිටවූ ඒ වැඩිහිටි තැනැත්තා “ඇත්ත… මේවා කුඩා ආලෝක පමණයි. ඒවා අතැති ව සිටින්නේ ඔබ මෙන් ආලෝකය සොයා ආ අයයි. ඔවුන් අත තිබෙන ආලෝක ප්‍රභවය වූයේ, ශ්‍රේෂ්ඨ වූ ආලෝකයන් තුනක් නිසා. ඒ ආලෝක තුන දැන් මා ඔබට පෙන්වන්නම්…” මෙසේ පැවසූ හෙතෙම මා හා වින්ස්ලට් කැටුව විශාල ද්වාරයක් වෙත එළඹුණේය. “දරුවෝ… මේ තමයි ඔබේ ජීවිතයේ වටිනා ම දේ මුණගැසෙන අවස්ථාව. ඔබව මෙතැනට කැඳවාගෙන පැමිණි වින්ස්ලට් කළ උපකාරය ඔබ සැමදා සිහි කළ යුතුයි. එසේ නම් දැන් හොඳින් දැක ගන්න…” මෙසේ පැවසූ හෙතෙම ද්වාරය විවෘත කළේ ය. ඒ මොහොතේ දුටු දසුනින් මට දෑස් අදහා ගත නොහැක විය. මගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. දෑස් නිලංකාර වී ගියේය. ශාලාව මධ්‍යයෙහි විශාල ගිනි කදම්භයන් තුනක් දැල්වෙමින් පැවතුණි. බුර බුරා ඉහළට නැගුණු ඒ මහා ආලෝකය වටා ගැවසෙමින් ඇතැමෙක් කුඩා ආලෝක දල්වමින් සිටි අතර ඇතැමෙක් ගින්න දෙස බලමින් මහත් ප්‍රීතියෙන් පසු වූහ.

“දරුවෝ.. මේ ආලෝකයන් තුන අතිශයින් ම ශ්‍රේෂ්ඨයි. අන්ධකාරයෙන් පිරුණු ලොවක බොහෝ කලාතුරකින් කෙනෙකු දකිනා දසුනක්. එනමුත් මේ ආලෝකයන් පවතින්නේ තව සුළු කාලයයි. එතැනින් පසු මේ ආලෝකයන් නිවී යාවි…” මම කඳුළු පිරි දෑසින් ඒ කාරුණික මිනිසා දෙස බැලුවෙමි. ඔහුගේ සොඳුරු වුවනේ උපේක්ෂා සහගත මඳ සිනහවක් විය. “මේ ආලෝකයන් කලෙක දී නිවී ගියත්, සදාකාලිකව ම ආලෝකවත් වූ දේශයක් තිබෙනවා. මේ විශාල ආලෝකයන් දුටු පමණින් ඔබේ ජීවිත අර්ථය සාක්ෂාත් වූ බවක් සිතන්නට එපා. මේ ශ්‍රේෂ්ඨ අග්නියෙන් දල්වා ගත් ආලෝක අතැති ව, ඒ සදාකාලිකව ආලෝකවත් වූ ක්ෂේම භූමිය කරා ඔබ යා යුතුයි. ඔබ ගෙන යන ආලෝකයෙන්, ක්ෂේම භූමිය කරා දිවෙන ඒ මාර්ගය ආලෝකවත් වේවි…” එසේ පැවසූ ඔහු, පසෙකින් තිබූ තිරය මෑත් කළේය. අන්ධකාරය මැදින් පෙළට ගමන් කරනා කුඩා ආලෝකයන් ඈතින් අපට දිස් විය. ක්ෂේම භූමිය වෙත දිවෙන මාර්ගය! දැනටමත් ආලෝක අතින් ගත් බොහෝ දෙනෙක් එහි ගමන් කරමින් සිටියහ. “මේ ආලෝකයන් තුන නිවී යාමට ප්‍රථම අපත් එහි යා යුතුයි. ඇත්තෙන් ම මෙහි රැඳී සිටීම බොහෝ වෙහෙසකරයි. තවත් කෙනෙක් ආලෝකය සොයා පැමිණේදැයි කියා මා බලමින් සිටින්නේ…” ඒ කාරුණික තැනැත්තා එසේ පවසමින් සිනාසුණේය. මගේ දෑසින් කඳුළු කඩා හැළිණ. මම ඔහුගේ දෙපා අල්ලා ගතිමි. “මගේ පවුලේ අයත් මේ ආලෝකය දැකිය යුතුයි. තවත් බොහෝ දෙනා ඒ ක්ෂේම භූමිය කරා යා යුතුයි.. ඔබ අප සැමට ඒ මඟ සලකුණු කියා දෙන්න. අප හැකි ඉක්මනින් නැවත එන්නම්. තව බොහෝ දෙනා පැමිණේවි.. ඔවුන්ටත් මඟ කියා දීමට ඔබ රැඳෙන බව මට පවසන්න…” ඔහුගේ දෑස් කරුණාවෙන් භරිත විය. මුවින් දීර්ඝ සුසුමක් පිට විය. ඔහු නම් ඒකාන්තයෙන් ම ක්ෂේම භූමිය කරා යන්නට මඟ සලකුණු දන්නේය. එනමුත් ඔහු තවත් කාලයක් රැඳෙන බවක් හඟවමින් හිස සැලීය.

වින්ස්ලට් එහි ම නතර වූයේය. ශීත සුළං මැද්දේ මම ගමට පැමිණෙන මාර්ගය ඔස්සේ දිව යාමට පටන් ගත්තෙමි. ආලෝකය නිවෙන්නට ප්‍රථම මා පවුලේ අය සමඟ මෙහි ආ යුතුය. ක්ෂේම භූමිය පිළිබඳ මහත් පැතුමක් මා හදෙහි විය. අධික වෙහෙසින් හති වැටුණු මොහොතක ආපසු හැරී ආලෝකය තිබූ දිශාව බලද්දී, ඒ ප්‍රීතිමත් මිනිසාගේ කරුණාබර සිනහව මට අන්ධකාරය මැද්දේ පවා මැවී පෙණින.

උත්පලා ගුණතිලක.