කොරෝනා වැළඳී රෝහල්ගත වීමට සිදු වීම මට වාසනාව ගෙනාවේ ය. එක් අතකින් කාර්යබහුල දිවියක් ගත කළ මට ලැබුණ නිවාඩුව තුළ වෙනදාටත් වඩා විවේකය තිබුණි. වඩාත්ම වැදගත් වූයේ ද වාසනාවන්ත වූයේ ද ප්‍රබුද්ධගේ හමුවීම හා ඇසුර ය. මා රෝහල්ගත වෙද්දී ජීවිතය පිළිබඳව මා තුළ වූයේ බලවත් බියකි. බලවත් ආශාවකි. එය විස්තර කිරීමට මට වචන නැත. සියල්ල මොහොතක දී අහිමිව යා හැකි බව පමණකි මට සිතුණේ…

අම්මා දන්නා කියන හැම දේවාලයකට ම මාව භාර කළා ය. කෙසේ හෝ ජීවිතය බේරුනොත් ඒ දෙවිවරුන්ට විශාල බිල්ක් ගෙවීමට සිදුවෙන බව මට සිතුණි. ජීවිතය රැකේ නම් මම ඊට එක සිතින් ම කැමති වීමි. ප්‍රබුද්ධ ඒ ගැන පහදා දෙන තුරු මම එහි අනතුරක් නොදුටු නිසා දෙවියන් කෙරේම විශ්වාසය තබා උන්නෙමි. කෙසේ වෙතත් ප්‍රබුද්ධ මාව ඒ අනතුරින් ගලවා ගත්තේ ය. මෙතැන් සිට ඒ කතාව මම ඔබට කියමි.

මම රෝහලට පිටත් වන්නට සූදානම්ව කාමරයෙන් පිට වුණෙමි. තරමක් ඈතක අම්මා සිටිය දී මට දැනුණේ ඒ දුර ගව් ගණනක් ලෙසිනි. එකිනෙකා බදා වැළඳ ගැනීමට අවැසි වී ද එයට අවකාශ නැත. අප දෙදෙනාට ම එකම තරමේ අසරණකමක් දැනෙන්නට ඇති බව මම සිතමි. “යන්නෙපා” වැනි අදහසක් ඇගේ දෑසේ විය. එතනින් පිටත් වීමට වෙලාව එය විය.

“දෙවි පිහිටයි!” අප දන්නා පිහිට එපමණි. මම නිසොල්මන්ව ඇවිද ගොස් ගිලන් රථයට ගොඩ වුණෙමි. වාට්ටුව පුරා ම වැටී ඇත්තේ මරණයේ අඳුරු සෙවණැලි ය. ඔක්සිජන් සිලින්ඩර, සේලයින් බට පිරිවරා ගත් අර්ධ වශයෙන් ඔසවන ලද ආධාර මත දිගේලි කර තිබූ මිනිස් රූප දකින්නවුන් තුළ ඇති කරන්නේ බලවත් අනුකම්පාවකි. ජීවිත ආශාව නිසා ඇති වූ බිය, බාහිර ලෝකයෙන් වෙන්ව සිටීමට සිදුව ඇති නිසා හට ගත් අසරණ බව, පාළුව මෙන්ම ප්‍රතිකාර දුරස්ථව ලැබීම ද නිසා කා තුළත් පවතින්නේ මූසල හැඟීම් ය.

අන්‍යයන් හා සසඳා බලද්දී වරින් වර ඇතිවන අධික හිසරදය හැරුණ විට මට එතරම් අසාධ්‍ය බවක් නොවුණ ද දින දෙක තුනක් ගත වෙද්දී කලින් කී වාට්ටුවේ ස්වභාවය විසින් මසිත ද ගිල ගත්තේ අනෙක් රොගීන් තුළ වූ ඒ මූසල හැඟීම් මා තුළද ජනිත කරවමිනි.

කතා කරන්නට ශක්තියක් නොවූ කලෙක මෙන් කිසිවෙකුත් දින කිහිපයක් යනතුරු මා සමඟ කථා කළේ නැත. මා රෝහල්ගතව පස්වන දිනයේ රාත්‍රියේ වාට්ටුවේ කෙළවරේ ඇඳක සිටි තරුණයා මා හා කථා කළ පළමුවැන්නාය. එදා සන්ධ්‍යාවේ දී ඔහුට සම්බන්ධ කර තිබූ සේලයින් බට ඉවත් කරනු මම බලා සිටියෙමි. සමහර විට ඔහු එවේලේ මාව දකින්නට ඇත.

“හරි පුදුම දෙයක් ලෝකෙට සිද්ධ වුණේ. මම නම් කවදාවත් හිතුවෙ නැහැ මෙහෙම දෙයක් වෙයි කියල.”

අප අතර දැන හැඳුනුම්කමක් ඇති වූ පසු මම පැවසුවෙමි.

“සුදේනිට මේක පුදුම දෙයක් වුණාට මේක තමයි මේ ලෝකේ තියෙන ඇත්ත ස්වාභාවය. හැම දෙයක්ම අනිත්‍යයි. හැම දෙයක්ම නැසෙනවා වැනසෙනවා.” ප්‍රබුද්ධ කීවේ ය. මම එය ගණනකට නොගතිමි.

“ඔයා විස්වාස කළත් නොකළත් මේ ගෙවෙන හැම මොහොතක් ගානේම මුළු ලෝකෙම අනිත්‍යයට මුහුණ දීල ඉන්නේ. අනිත්‍යයේ පහර දීම හැම තිස්සේම සිද්ධ වෙනවා.”

මට නොතේරුණ ද එය අසා සිටීමට මා හට ආසාවක් ඉපදුණි.

“වෙන්න පුළුවන්. ඒත් හැමෝටම?” මම ඇසීමි. “ඔව් හැමෝටම. අනිත්‍ය කියන හතුරා බුදුරජාණන් වහන්සේලාටත් පහර දුන්නා. එහෙම නොවුණා නම් උන්වහන්සේලා අදටත් වැඩ ඉන්නවා.”

“ඒ ආයුෂ ඉවර වෙලානේ.” මම දන්න දෙයක් පැවසීමි.

“ඒක ම තමයි අනිත්‍යය. හට ගත් දේ වෙනස් වෙලා, ක්ෂය වෙලා, නැසිල වැනසිලා යනවා. මේ වාට්ටුව දිහා බලන්න. දැන් මේ වාට්ටුව පරණයි. ඒ පරණ බව දවසක දී දෙකක දී ඇති වුණ දෙයක් නෙවෙයි. යම් දවසක හැදුව ද එදා සිට ම ඇති වූ දෙයක්. අපේ ජීවිතත් මේ වගෙයි.” මට සතුටක් මෙන්ම සැහැල්ලුවක් ද දැනුණි. ඒ දෙකට ම වඩා ප්‍රබුද්ධ කෙරේ මා තුළ විශ්වාසයක් ඉපදුණි.

“ප්‍රබුද්ධ ඇත්තටම මං ඉන්නේ ජීවිතේ ගැන ගොඩක් බයෙන්. මං හිතන්නේ මට ගොඩක් අමාරු වුණෙත් බය වැඩිකමට. තාමත් එහෙමයි.” මම ඇත්තම පැවසුවෙමි.

“ඔයා පින් කරපු කෙනෙක් ද?”

නැති බව හඟවන්නට මම හිස දෙපසට වැනුවෙමි. “පින් නොකළ, පව් කළ කෙනා මරණය ඉදිරියේ බය වෙන එක ස්වාභාවිකයි සුදේනි. බුදුරජාණන් වහන්සේව සරණ නොගිය කෙනාගෙත්, ධර්මය නොදකින කෙනාගෙත් තත්ත්වය ඕක. ඔය විදිහට බලනකොට මුළු ලෝකෙම වගේ අසරණයි.” ප්‍රබුද්ධ පැවසී ය. ඔහුගේ ස්වභාවය තුළ කිසියම් එඩිතර බවක් ඇතැයි මට සිතුණි.

“ඔයාට බය හිතෙන්නෙ නැද්ද?”

“නැහැ.”

මම විශ්වාස නොකරන බව හැඟවූයෙමි.

“මම පින් කළ කෙනෙක්. බුදුරජාණන් වහන්සේ ව සරණ ගිය කෙනෙක්. මම ධර්මය ඉගෙනගෙන පුරුදු කරපු කෙනෙක්.” ‘වෙන්න ඇතැ’යි කියන්නාක් මෙන් මම සිනාසුණෙමි.

“මම ඒ හැම දෙයක් ම කළේ අවංක සිතින්.” ඔහු ආයෙම පැවසුවේ ය.“ඉතිං ඔයා සරණ ගිය බුදුරජාණන් වහන්සේත් අනිත්‍යය ඉදිරියෙ මරණයට පත් වුණානෙ.” මා කිව්වා නොව මට කියවිණි.

“ඒක ඇත්ත. ඒකෙන්ම පේනව නේද මේ අනිත්‍ය ස්වභාවය කිසි කෙනෙකුට වළක්වන්න බැරි බව. ඊට එරෙහිව සටන් කරන්න කාටවත් බෑ. පලා යන්නත් බැහැ.” යි කියූ ප්‍රබුද්ධ ඊළඟ මොහොතේ දී අසීරුවෙන් හුස්ම ගන්නට විය.

“ඔයාට අමාරුයි.” මම කලබලයට පත්ව පැවසුවෙමි.

“ටිකක්. ඒත් බුදුරජාණන් වහන්සේ අනිත්‍යය කියන සතුරාට පහර දෙන්න බැරි දෙයක් හොයා ගත්තා. ඒ තමයි නිවන.” “කතා කරන්න එපා ප්‍රබුද්ධ, ඔයාට ගොඩක් අමාරුයි.” මම ඔහු වළක්වමින් කීවෙමි.

“උන්වහන්සේලා අනිත්‍ය වූ සියල්ල කෙරෙහි ඇල්ම දුරු කරලා නිවනට වැඩම කළා.” ඔහු හුස්ම ගත්තේ අසීරුවෙනි. “ප්‍රබුද්ධ…” මම කෑ ගැසීමි. ඉන්පසු ඔහුගෙන් වචනයක් මට නෑසුණි. එවේලෙහි බලවත් ලෙස අසාධ්‍ය වූ ප්‍රබුද්ධ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කෙරුණි. ඊටත් දින දෙකකට පසුව ඔහු මේ ලෝකය අතහැර ගොස් ඇති බව මම දැන ගතිමි.

ඒ මා කියන කතාවේ මුල් කොටසයි. තවත් සතියකට පසුව මම සුවපත්ව නිවසට පැමිණිය ද මගේ මුළු ජීවිතය ම බලවත් හිස් බවකින් පිරී ඇති බව මට දැනෙන්නට විය. මිනිත්තු කිහිපයක දී ප්‍රබුද්ධ මගේ ජීවිතයට කරන ලද බලපෑම කොතෙක් වී ද යත් ඔහුගේ ඇසුරින් පසුව ගෙවුණු කාලය පුරාම ඔහුත්, ඔහු කියූ දේත් මගේ මතකයේ විය. මට එයින් කිසිදු නිදහසක් නොවුණි.

“කල්පනා නොකර නිදාගනිං දෙවියන්ට පිං දීලා.” අම්මා ඈතක සිට කීවා ය. කාමරයේ දොර වසා දැමූ මම නිදන්නට උත්සාහ කළ ද ප්‍රබුද්ධ පිළිබඳ සිතුවිලිවලින් නිදහසක් නොලද මා වෙත නින්ද පැමිණියේ මධ්‍යම රාත්‍රියත් පසු වීමෙන් අනතුරුව ය.

මේ, කතාවේ අවසාන කොටසයි. අප සිටියේ රුවන්වැලි සෑ මළුවේ බිම හිඳගෙන ය. උතුරන සඳ එළියෙන් සෑය බබළයි. ප්‍රබුද්ධත් බැබළෙයි. එවේලේ දුටු ඔහුගේ මුහුණේ සුන්දරත්වය මට දැනුදු මැවී පෙනේ.

“සුදේනි, ඔයා පහුගිය කාලය පුරා ම දුකෙන් නේද?”“ඇත්ත, මට ඔයාව අමතක කර ගන්න බැරි වුණා. ඔයා කියපු දේවල්… ඇත්තටම මං කවදාවත් හිතුවෙ නැහැ අපිව ආයෙ මුණගැහේවි කියලා. කොහොමද මෙහෙම වුණේ?”

“මං එදත් කිව්වෙ, මං අවංකව ම බුදුරජාණන් වහන්සේව සරණ ගියා. ධර්මය සරණ ගියා. සංඝයා ව සරණ ගියා.”

ප්‍රබුද්ධ කීවේ සොම්නසිනි.

“දෙවි පිහිටෙන්…”

“නැහැ දෙවි පිහිටෙන් නෙවෙයි. මේ සසර ගමනෙදි දෙවියොත් අසරණ වෙලා ඉන්නෙ. දෙවියන්ටත් පිහිට තිසරණය ම තමයි.” මාව වළකාලමින් ප්‍රබුද්ධ කීවේ ය.

“ඒ සරණෙ පිහිටලා මං සෑය බෝධිය වැඳලා, සංඝයාට උපස්ථාන කරලා, තිබුණෙ ටික වුණත් තිබුණු දෙයින් දන් දීලා මහ පිනක්
රැස්කර ගත්තා. ඒ පින විශාල ධනයක්, හොර සතුරන්ට පැහැර ගන්න බැරි ධනයක්.

ඔක්කොම අත්හැරලා පරලොව යන්න සූදානම් වෙනකොට මේ පුණ්‍ය නිධානය තමයි අරගෙන යන්න තියෙන්නේ.”

“ඔයා පින් කෙරුවෙ දිව්‍යලෝකෙ යන්න හිතාගෙන ද?” මම ඇසීමි. ප්‍රබුද්ධ පළමු ව සිනාසුණා පමණකි.

“දිව්‍ය සැපයක් වගේ ළාමක දෙයක් වෙනුවෙන් මං රැස් කරපු පින මං කවදාවත් යෙදෙව්වෙ නැහැ සුදේනි.” “එහෙනම්?”

“මගේ එකම පැතුම වුණේ නිවන විතරයි. ඒ නිවන් බලා යන ගමනේ එතෙක් ලැබෙන ආරක්ෂිත තැන තමයි දෙවියන් අතර ඉපදීම.” මම ප්‍රබුද්ධගේ වචන සැක නොකළෙමි.

“දිව්‍යලෝකෙ නිත්‍යයි නේද? එහෙ අමෘතය තියෙනවා නේද?” මම ඇහුවේ නොතේරුම් බව නිසාම ය. “නිත්‍ය නැහැ. නමුත් අමෘත පානය තියෙනවා.

ඒ වුණත් ඒ අමෘතය කොයි තරම් පානය කළත් ඒ හේතුවෙන් කිසිම දෙවි කෙනෙක් අමරණීය වෙන්නෙ නැහැ.

නමුත් බුදුරජාණන් වහන්සේ සොයා ගත් අමා මහ නිවන කියන අමෘතය යම් කෙනෙක් පානය කළොත් ඒ කෙනා අමරණීය වෙනවා.” මම අසා සිටියේ ආශාවෙනි.

ප්‍රබුද්ධ දිගට ම කතා කළේ ය. “නිවන කියන අමෘතයත් එක්ක ගත්තම දෙවියන්ගෙ අමෘතය කුණු කාණුවක පල් වතුරක් වගේ.” ඔහු කීවේ ය.

“නිවනෙන් මෙපිට මේ ලෝකෙ ප්‍රණීත ම දේ සත්‍යය. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. මං ඒක මෙහෙදි පානය කළා. මං කාමයන්ගෙන් සතුටු වුණ කෙනෙක් නෙවෙයි. ධර්මය අහලා දරාගෙන, හොඳට ධර්මය ඉගෙනගෙන, ධර්මයෙන් සතුටු වුණ කෙනෙක්. මම දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සත්‍යය දකින කෙනෙක්.”

“බුදුරජාණන් වහන්සේව සරණ ගියාම අන්තිමට මොකද වෙන්නෙ?” යි මා ඇසුවේ ඒ සරණ කෙරේ මාගේ සිතේ ද බලවත් ආශාවක් ඇතිවෙමින් තිබුණු නිසාවෙනි.

“නිවන් දකිනවා.” ප්‍රබුද්ධ කෙටියෙන් පිළිතුරු දුන්නේ ය.

“ඔයා නිවන් දකිනව ද?” මම ඇසීමි.

“ඔයාගෙ තාත්තගෙ දේපළ කාට ද අයිති වෙන්නෙ?”

“මට…” මම පැවසුවෙමි.

“හරියට හරි.

පියාගෙ දේපළ දූ පුතුන්ට තමයි. ඒ වගේම බුදු පියාණන්ගෙ ධර්ම දායාදයේ උරුමක්කාරයන් වන්නේ උන්වහන්සේ සරණ ගිය සැබෑම ශ්‍රාවක දරුවන්.”

“ධර්ම දායාදය කිව්වෙ මොකද්ද?”

“නිවන.” මම මහත් සොම්නසින් ප්‍රබුද්ධ දෙස බලා උන්නෙමි.

ඉනික්බිතිව මාවත් රැගෙන සෑයේ පේසා වළල්ල ළඟට ගිය ප්‍රබුද්ධ, “සෑයට නළල තියලා ජීවිතේ භාග්‍යවතුන් වහන්සේට පූජා කරලා සරණ යන්න.” යි පැවසී ය. මම ඔහු කී ලෙසම කළෙමි.

මා දෑස් හැර බලන කල ඔහු මා අසලක නොවිණි. එය සිහිනයක් යැයි මම නොඅදහමි. එය සරණක් ලැබූ මිනිසෙකුගේ කථාවක් බව පවසමි. අදහමි.

චන්දන එස්. කුමාර.