කාමරයට ඇතුල් වූ හේමන්ත මේසය අසල නතර විය. ලාච්චුවෙන් මුදලක් ගත් නිලධාරියා එය මේසය මත තබා හේමන්ත දෙස බැලී ය.

“හාරදාස් හයසිය තිහක් තියෙනවා, ආයෙත් මේ පැත්තෙ එන්න කටයුතු කරන්න එපා.”

“හොඳමයි.”

නිලධාරියා පෙන්වූ තැන අත්සන් කළ හේමන්ත මුදල අතට ගත්තේ ය.

“මොකද සල්ලිවලින් කරන්නේ?”

“එයාට දානයක් දෙනවා.”

නිලධාරියා සීතලව ගියේ ය. මෙවන් අවස්ථාවල බොහෝ අය කියන්නේ අරක්කු, රම්බෝ පිහි, ඇසිඞ් ආදිය ගන්නා බවකි.

“යන්නම්.”

හේමන්ත ගේට්ටුවෙන් එළියට පැමිණ ආපසු නොබලා ම තාප්පය දිගේ ඉදිරියට ගමන් කරන්නට විය. ‘සිරකරුවා ද මනුෂ්‍යයෙකි’ යි තාප්පයේ ලියා තිබිණ. හෙතෙම පාර හරහා පැන බොරැල්ල සිට එන පිටකොටුව බසයකට නැග ගත්තේ ය. පිටකොටුවෙන් හොරණ බසයකට නැගි හේමන්තගේ සිතුවිලි ව්‍යාකූල විය.

මිනී නොමැරුව ද තමා දැන් මිනීමරුවෙකි. සිරකරුවෙකි. සිවිල් සමාජය තුළ කිසිදා මකාලිය නොහැකි සලකුණක්, හඳුනාගැනීමක් ඉතිරිව ඇත. ‘මිනීමරුවා. සිරකරුවා.’
තමා ගෙව්වේ මේ ජීවිතයේ දී නොව පෙර සසරේ කරන ලද අකුසල කර්මයක් බව හිරගෙදර දී ඇසූ ධර්මයට අනුව හේමන්ත හොඳින් තේරුම් ගෙන සිටිය ද අතීතයට අයත් සිදුවීම්වලින් නිදහස් ව සිත පවත්වා ගැනීම දුෂ්කර කාර්යයක් විය.

“නදීශානි වරුසවිතාන තමාගේ විවාහක භාර්යාව?”

“එහෙමයි.”

පැමිණිල්ලේ නීතීඥයාට හේමන්ත පිළිතුරු බැන්දේ ය.

“ඔය දෙන්නට දරුවෝ දෙන්නෙක් ඉන්නවා?”

“ඔව්.”

“ඔබට ඔය අතර අනියම් සම්බන්ධයක් තිබුණා?”

“නැහැ ස්වාමීනී.”

හේමන්ත විනිසුරු දෙස බලා කීවේ ය.

“ඔබ දෙදෙනා අතර නිතර රණ්ඩු දබර සිද්ධ වුණා?”

“නැහැ.”

“තමා බොරු නොකියන බවට පොරොන්දු වෙලා තියෙන්නේ. තමන්ගේ වැඩිමහල් දරුවා පොලිස් කට උත්තරේදි කියලා තියනවා ඔබ දෙදෙනා අතර නිතර ම රණ්ඩු දබර ඇති වුණ බවට. ඔබ නිතර ම බිරිඳට පහර දුන් බවට.”

“නදීශානිගේ හොර සම්බන්ධය දැන ගන්නා තුරු කිසිම ආරවුලක් සිද්ධ වුණේ නෑ.”

“ඊට පස්සේ දිගට ම ආරවුල්?”

නීතීඥයා බල කොට කීවේ ය.

“කටින් විතරයි… කවදාවත් මම පහරක් ගහලා නෑ.”

එවර හේමන්ත කීවේ බොරුවකි.

“මේ කියන දවසේ ඔබ නගරයෙන් පෙට්රල් ලීටරයක් අරගෙනයි ගෙදර ආවෙ?”

“එහෙමයි.”

තමාගේ ඉරණම වෙනස් කළේ මේ පෙට්රල් ලීටරය යි.

කිසිවකු විසින් තමා එදින පෙට්රල් ගෙනා බව පොලීසියට දැනුම් දී තිබිණ. පොලිස් කට උත්තරයේ දී හේමන්තට ඒ බව පිළිගන්නට සිදු විය.

“එදා ගෙදර ඇවිත් ඔබ බිරිඳ සමඟ රණ්ඩු වුණා?”

“නැහැ.”

“නෑ නෙවෙයි, දරුවා ඒ බව කියලා තියෙනවා. ඊට පස්සේ ඔබ බිරිඳට සිහි නැති වෙන තුරු පහර දීලා පෙට්රල් දාල ගිනි තිබ්බා?”

නීතීඥයා මහ අන්ධකාරයක් තුළට තමා ව තල්ලු කරමින් පැවසී යැයි හේමන්තට දැණින.

“නැහැ… මම මගේ බිරිඳ ව ගිනි තියලා මැරුවේ නැහැ.”

ඒ හඬ මෙවෙලෙත් හේමන්තගේ සිත තුළ දෝංකාර දෙන්නට විය.

තමා නදීශානිට අවංක ව ආදරය කළේය. ඇය තමාගේ ම බසයේ සේවය කළ කොන්දොස්තර කොල්ලා සමඟ අනාචාරයේ හැසිරීම තමාගේ අතට ම හසු විය. ඒ රූප රාමු පෙළ ද ඔහුගේ සිත තුළ ආයෙ ආයෙම මැවෙන්නට විය.

හේමන්ත මත් වතුර නොබිව්වෙකි. ඔහු ව මත් වතුරට පුරුදු කළේ කොන්දොස්තර වූ මාලක විසිනි. කල් යාමේ දී මාලක සුරාව අත්හැරිය ද හේමන්ත ඊට තදින් ම ඇබ්බැහි විය.

බීමත් ව නිවසට පැමිණෙන හේමන්ත ඉක්මනින් ම නිදයි. දිනෙක හදිසියේ ම අවදි වූ හෙතෙම දොට්ට පිළට යාමේ උවමනාව නිසා එළියට බැස්සේ ය. බිරිඳ කාමරයේ සිටියේ ද නැත. පිටුපස දොර ද විවෘත ව ඇත. කිසිවක් තේරුම් ගත නොහැකි වූ හෙතෙම වටපිට බැලී ය. ඊ ළඟට නිවසේ ඉදිරිපස දෙසට ගිය හේමන්ත අඹ ගස යට නවතා තිබූ බසය දෙස බැලී ය.

බසයේ දොරත් ඇරපු ගමන් ය. බසය සමීපයට ගිය ඔහුට කාරණය වැටහිණ. සිතේ කේන්තිය නිසා ම බසයේ බඳට වේගවත් පහරක් ගැසූ හෙතෙම බසය තුළට පැන බිරිඳට පහර දෙන්නට විය. කොන්දොස්තර කොල්ලා ජනේලයෙන් එළියට පැන ගත්තේ ය. බිරිඳ ව අත හැර හේමන්ත එළියට එද්දී පාර දිගේ නිරුවතින් දුවන මාලක ඔහුට දැක ගත හැකි විය.

“එදා බයික් එකට දාන්න පෙට්රල් ගෙනා බව ඇත්ත. අපි අතර බහින්බස් වීමක් වුණ බවත් ඇත්ත. ඒත් මම නදීශානි ව මැරුවේ නෑ. එයා ම යි ගිනි තියාගෙන තියෙන්නේ. මං බාත්රූම් එකෙන් එළියට එද්දි අඟුරු වෙලයි තිබුණේ.”

හේමන්ත ඥාතීන්ටත්, උසාවියටත් දිවුරා කීය. එහෙත් සැකයේ වාසිය හේමන්තගේ අවාසියට හේතු විය. ගිනි තියා ගත් නමුත් නදීශානිගේ කෑ ගැසිල්ලක් කාටවත් ඇසී නැත. අනික ඈ පිළිස්සී සිටියේ වත්තේ කෙළවරක වීම ඔහුගේ අවාසියට තවත් හේතුවක් විය. ‘මරල ගෙනිහින් ගිනි තිබ්බා.’ අවසන් තීන්දුව එය යි. දඬුවම වසර පහක සිර දඬුවමකි. එය ද දරුවන් දෙදෙනා ගැන සැලකිල්ලට ගැනීමෙනි.

තීන්දුවට කල් තියා ම හේමන්ත සූදානම් විය. බසය විකුණා මුදල් පොතේ දමා ආදායමක් සකස් කළ ඔහු දරුවන්ව තම දෙමාපියන්ට බාර කොට හිරේ ගියේ ය.

හේමන්ත ගමට ඇතුළු විය. මග දී හමු වූ කවුරුත් කුළුපගව සිනාසුණි. වසර පහකට පෙර රවාගෙන ගියවුන් අපූරුවට සිනාසෙයි. ‘හැමදෙයක් ම වෙනස් වෙලා.’ ඔහුට පහසුවක් දැණින.

දෙමාපියෝ හේමන්ත ව කඳුළු වගුරවමින් පිළිගති. පාසලේ සිට පැමිණි දරුවෝ පුදුමයෙන් මෙන් ඔහු දෙස බලා සිටින්නට වූයෙන් හේමන්ත කලබල විය.

“මං මිනීමරුවෙක් හිරකාරයෙක් නෙවෙයි. තාත්තා.”

ඔහු දරුවන්වත්, දරුවෝ ඔහුවත් වැළඳ ගති.

රාත්‍රිය ද උදා විය. නිවස තුළ පැවති දාහය ඉවසාගත නොහැකි වූ හේමන්ත එළියට බැස පෙර දී තම බසය නවතා තබන අඹ ගස යටට ගියේ ය. එසේ හෝරාවක්වත් ගත වන්නට ඇත.
“මොකද කල්පනාව එළියට වෙලා?”

පිටුපසින් පැමිණි පියා ඔහුගෙන් ඇසුවේ ය.

“ගේ ඇතුළෙ ගිනි ගන්නවා වගේ රස්නෙයි.”

“ඇඟේ ඌෂ්ණෙත් ඇති මයෙ හිතේ. අර ෂෙඞ් එකේ වැඩ කරපු කොලුවෙකුත් දවස් කිහිපයක් ම ආව දරුවන් ව බලන්න කියල. මහ ගොඩක් කෑම ජාතිත් අරගෙන. යාළුවෙක් ද?”

“ලොකු යාළුකමක් තිබුණෙත් නැහැ. තෙල් ගහනවා. එච්චරයි. මාවත් බලන්න දවස් කිහිපයක් ම ආවා. ඌ විතරයි ආවෙත්.”

හේමන්ත හිස් අහසට කීවේ ය.

“දන්නව ද වෙච්ච දේ? ඒ ළමය එල්ලිල මළානේ.”

‘නැහැ? මොකද ඒ?”

හේමන්තට පුදුමයකුත්, කණගාටුවකුත් ඇති විය.

“කිසිම කෙනෙක් හේතුවක් දන්නෙ නැහැ. හිර කූඩුවක ඉන්න මිනිහෙක් ව කොළේක ඇඳල මහ ගොඩක් නිදිපෙති බීලා.”

“හිතෙන හිතෙන විදිහට මැරෙනවා. ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ටයි වදේ.” හේමන්තට නදීශානි ව මතක් වූයෙන් සිතට කෝපයක් නැගී කීවේ ය. උණුසුම ද මඳක් අඩු වූයෙන් හෙතෙම ගෙට ගොස් නිදා ගත්තේ ය.

“අම්මෙ අයිය මොකද කියන්නෙ?”

සතියකට පමණ පසුව හේමන්ත බැලීමට පැමිණි සොයුරිය අම්මාගෙන් අසනු හේමන්තට ඇසිණ.

“අනේ මන්ද ඔය රෑ වෙනකොට ගෙයි ඉන්න බැරි තරම් රස්නෙයි කියල එළියට වෙලා කල්පනා කර කර ඉන්නෙ. ස්වල්ප විනාශයක් ද අරකි මගෙ කොල්ලට සිද්ධ කෙරුවෙ?”

“ආයෙ කසාදයක් කරගන්න කියන්න.”

“උඹ ම කියපං.”

හේමන්ත නිවසින් ද පිටව පාර දිගේ ඇවිද ගියේ ය.

හේමන්ත සිරගෙදරින් නිදහස් ව පැමිණ දෙවන සතියේ නදීශානි වෙනුවෙන් සාංඝික දානයක් දුන්නේ තම ඥාතීන්ගේ ද බලවත් විරෝධය නොතකමිනි. විරෝධය බලවත් වූයෙන් සංඝයා ව නිවසට වඩම්මන්නට හැකි නොවිණි. පන්සලට උයාගෙන ගොස් දානය දුන්නේ විය.

“තාත්තේ… මල්ලි ව රතු වෙලා ඉදිමෙනවා.”

එළියට වී සිටි හේමන්තට ලොකු දරුවා දුවගෙන විත් කීවේය. හේමන්ත වහා නිවස තුළට දිව්වේ ය. දරුවා ව ඇඳේ හාන්සි කොට ඇත. කිසියම් දුගඳක් ද කාමරයේ පිරී ඇත. ඔහු දරුවා දෙසත්, සිය මව දෙසත් බැලී ය.

“කකුළුවො කාල විස වෙලා වගේ. ඉස්පිරිතාලෙ ගෙනියමු.”

අම්මා හේමන්තට කියද්දී දරුවා “එපා” යයි කියමින් නැගිට්ටේ ය.

“කකුළුවො කාලා නෙවෙයි. මාව පිච්චෙනවා පේන්නෙ නැද්ද?”

කටහඬ දරුවාගේ නොව නදීශානිගේ ය.

“මං නදීශානි.”

“නදීශානි?”

කිහිප දෙනෙකුට ම ඒ නම ප්‍රතිරාව විණි.

“ඔව්. මං නදීශානි. අනේ මට සමාවෙන්න. මම ම යි ගිනි තියා ගත්තෙ. දැන් මම මෙහෙම ඉපදිලයි ඉන්නෙ. හැමදාම රෑට මට ගිනි තියා ගන්න හිතෙනවා. එතකොට පෙට්රල් බූලියක් මගේ අතට එනවා. මං ඒක ඔළුවෙ හිටන් හළාගෙන ගිනි තියා ගන්නවා. අනේ මම හැමදාම රෑට ඔය විදිහට ගිනි තියාගෙන පිච්චෙනවා.”

හේමන්ත ව ඇඳේ ඉන්දවිණි.

“ඒක ද රෑට මේ ගේ රත් වෙන්නෙ?”

“ඔව් ඒක තමයි.”

“ඇයි ඒක මට විතරක් දැනෙන්නෙ?”

“මං මැරුනේ ඔයා එක්ක විතරක් තරහින්. ඒකයි අනෙත් අයට ඒ රස්නෙ දැනෙන්නැත්තෙ.”

හේමන්ත දෙඅතින් හිස බදා ගත්තේ ය. ‘මැරිලත් නිදහසක් නැහැ.’

“ඉතින් මොකද ගෑනියෙ මෙච්චර දවසක් නොකියා හිටියෙ? අවුරුදු පහක්?”

“මගේ හිතේ තිබුණ තරහටයි, මුරණ්ඩුකමටයි මා ව පිච්චෙනකොටවත් මම කෑ ගැහුවෙ නැහැ. මා ව එහෙම ම ගොළු වෙලා ඉපදුණා. ඔයා ම පින් දීපු නිසා කථා කරන්න පුළුවන් වුණා.”
හේමන්ත දිගු සුසුමක් හෙළා දරුවා දෙස බැලුවේ ය.

“මං දුන්නොත් පින් ගන්න පුළුවන් ද?”

“ඇයි පින් දෙන්න ද කල්පනාව?”

මව හේමන්තට රවා බලමින් ඇසුවා ය.

“ආයේ පිනක් ගන්න බෑ. මේ විදිහට අවුරුදු පන්සීයක් ඉන්නවා.”

“ඊට පස්සෙ?”

“ඊට පස්සෙ මහ නිරේට යන්න වෙනවා. මං යනවා. මං යනවා.”

මඳ කලෙකින් දරුවා සුවපත් විය. නිවස ම මොහොතකදී අමුසොහොනක් සේ හේමන්තට දැනෙන්නට විය. දුක, බිය, පිළිකුල, අපිරිසිදු බව විසින් ඔහුගේ සිත වෙලා ගත්තේ ය.

“ගේ විකුණලා කොහේ හරි යමු. වෙන කරන්න දෙයක් නැහැ.”

“ඒක හොඳයි.” තාත්තා ද කීවේ ය.

“කොහේ නම් කියල ගිහින් බේරෙන්න ද?”

අම්මා හේමන්තගේ අදහසට එක් වර ම එකඟ නො වී කීවා ය.

නිමි.
සටහන – සදෙව් සයුරංග