‘සන්සන්දනය’ අපේ ජීවිතවලට බොහොම හුරු දෙයක්. එකිනෙකා සමඟත්, එකිනෙක සමඟත්, අතීතය සමඟත් සන්සන්දනය කරමින් යම් යම් මිනුම්දඬු ඔස්සේ අප අපවත්, අන් අයවත් මැන ගන්නවා. ඒ මැන ගැනීම් ඔස්සේ වටිනාකම් ද ලබා දෙනවා. ඒ තමයි ලෝකයේ ස්වභාවය…

බොහෝ කාලයක් පුරා මෙලෙස කළ සන්සන්දනය කිරීම් තුළ අප රටක් වශයෙන්, ජාතියක් වශයෙන් බොහෝ ම පසුගාමී ස්ථානයක සිටින බව තමයි නිරන්තරයෙන් කියැවුණේ සහ කියන්නට සිදු වුණේ. අතීත ශ්‍රී විභූතිය සමඟ සසඳා බලද්දී අප කොතරම් නීච අඩියකට පත්ව සිටිනවා ද යන්න අවිවාදිත ව ම පිළිගැනීමට අපට සිදු වුණා.

අප පසුගාමී ජාතියක් නො වේ

ලොවක් විස්මයට පත් කළ විස්මිත වාරි තාක්ෂණයක්, කලට වෙලාවට සිදු කළ දැහැමි ගොවිතැනින් බිහි කළ ස්වයංපෝෂිත ආර්ථිකයක් සහිත පෙරදිග ධාන්‍යාගාරයක්, අහස සිඹින යෝධ දාගැබ්, රට රටවල රාජ රාජ මහාමාත්‍යාදීන් ගෞරව සම්ප්‍රයුක්ත ව පුදනු ලැබූ රාජ්‍ය තාන්ත්‍රික සේවාවක්, කිසිවකින් සහමුලින් යටත් කළ හැකි නො වූ අදීන චින්තනයක් සහිත වූ සිංහල දේශයේ සාඩම්බර අතීත කථාව හමුවේ වර්තමානය බෙලසුන් ස්වභාවයකින් පෙනී ගියා. අද වන විට අන් රටවල ආධාර සහ ණය තුළින් ආර්ථිකය ගොඩ නගන්නට සිහින පොදි බඳින, සුළු ජාතීන් මත රට කරවන බලය රඳා පවත්නා, ඉදිරි ගමනක් නොපෙනෙනා දුර්වල ස්ථාවරයක රට පවත්නා බවක් තමයි දකින්නට තිබෙන්නේ. නමුත්, පසුගිය වකවානුවේ වාර්තා කෙරුණු යම් යම් කාරණා ඔස්සේ අප සහමුලින් ම පසුගාමී ජාතියක් බවට පත්ව නැති බවක්; එහෙයින් ම අනාගතය කෙරෙහි බලාපොරොත්තු සහගත විය හැකි ඉඩකඩක් තවමත් ශේෂ ව පවත්නා බවක් පෙනී යාම නිසා ලොව දිනූ ජාතියක් ලෙස යළි නැගී සිටීමේ හැකියාව සහ වුවමනාව ගැන කථා කළ යුතුයි කියා අප සිතුවා…

“අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී” යන්න ප්‍රකට කියමනක්. එහි සත්‍යතාවය තහවුරු කරලමින් අද වන විට ලෝක ආර්ථිකයේ බල කණු බවට පත්ව සිටින්නේ නව නිෂ්පාදන බිහි කිරීමෙහි ලා පුරෝගාමී ව සිටින ඇමෙරිකාව, ජපානය, රුසියාව, චීනය වැනි රටවලුයි. එකී නව නිපැයුම් සමස්ත ලෝකයේ අවශ්‍යතාවයන්ට සරිලන අයුරින් නිෂ්පාදනය කිරීම ඔස්සේ ඔවුන් ලෝක ආර්ථිකය ආක්‍රමණයට ලක් කරනවා. එතුළින් ම ලෝකයේ පැවැත්ම කෙරෙහි ප්‍රබල බලපෑමක් කළ හැකි ලෝක බලවතුන් බවට ද ඔවුන් පත්ව තිබෙනවා. සෙසු ජාතීනට සිදුව තිබෙන්නේ ඔවුන්ගේ දැනුම, කුසලතා හා තාක්ෂණය ඔස්සේ බිහි කෙරෙන අංගෝපාංග ජීවිතයට එක් කර ගන්නටයි… නමුත්, නව නිපැයුම් කළ හැක්කේ, නව ආරකින් සිතිය හැක්කේ සෙසු ජාතීනට පමණක් නො වෙයි; සියවස් ගණනාවක් පුරා පැවත ආ ශිල්පීය ඤාණයක බල මහිමය ලේ නහරගත ව පවත්නා ශ්‍රී ලාංකිකයනට ද එවැනි දෑ කළ හැකි යි. ඒ බව තහවුරු කළ ශ්‍රී ලාංකිකයන් පිරිසකගේ තොරතුරුයි මෙහිලා අප පළමුවෙන් දක්වන්නේ.

අභ්‍යවකාශය දිනූ රාවණා 1

පසුගිය අප්‍රේල් 18 වන දා ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු විසින් පළමුවරට නිර්මාණය කරන ලද චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගෙන ගිය අතර පසුව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර් 400ක් පමණ දුරින් කක්ෂගත කිරීම සිදු කෙරුණා. රාවණා 1 ලෙස නම් කරන ලද මෙම කුඩා ප්‍රමාණයේ ඝනක චන්ද්‍රිකාව ශ්‍රී ලංකාවේ ආතර් ශ්‍රී ක්ලාක් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ අධීක්ෂණය යටතේ නිර්මාණය කරන ලද්දේ විද්‍යුත් යාන්ත්‍රික ඉංජිනේරු දුලානි චාමිකා විතානගේ සහ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු තරිඳු දයාරත්න යන දෙදෙනා විසින්.

රාවණා 1 චන්ද්‍රිකාව කක්ෂගත කිරීමෙන් අපේක්ෂිත මෙහෙයුම් අතර ශ්‍රී ලංකාවේ සහ ආසන්න කලාපයේ ඡායාරූප ගැනීම ද තිබෙනවා. එසේ ලබා ගත් ඡායාරූප මේ වන විට මාධ්‍ය වෙත නිකුත් කොට තිබෙනවා. එසේ ම, චන්ද්‍රිකා දත්ත බාගත කිරීමට හා චන්ද්‍රිකාව පාලනය කිරීමට ඉදිරියේ දී භාවිත කිරීමට නියමිත මෘදුකාංගයක් අත්හදා බැලීම, චන්ද්‍රිකා සැලසුම් කිරීමේ දී දැනට භාවිත වන දෘඪාංග ක්‍රමය වෙනුවට මෘදුකාංග ක්‍රමයක් අත්හදා බැලීම, කක්ෂගත කිරීමෙන් පසුව චන්ද්‍රිකාව තමන් වටා කැරකෙන වේගය අඩු කිරීම හා පෘථිවියේ චුම්භක ශක්තිය පිළිබඳ ව අධ්‍යයනය කිරීම එහිලා අපේක්ෂිත සෙසු මෙහෙයුම් වනවා. අවම වශයෙන් අවුරුදු එකහමාරක කාලයක් පුරා මේ චන්ද්‍රිකාව තුළින් සේවා සැපයෙන බවයි කියැවෙන්නේ. ඉරේ වෙලාවට, හඳේ කලාවට කටයුතු කොට අහස ද පොළොව ද දිනූ අතීත පරපුරක අභිමානයෙන් බිඳක් නූතනයේ ද තහවුරු වූ අවස්ථාවක් බවට පත් වෙමින් මේ සිදුවීම ඉතිහාසගත වුණා.

ලන්ච්ෂීට්වලට විකල්පයක්…

ලෝකයේ වඩාත් ඉක්මනින් ප්‍රචලිත වූ නිර්මාණ අතර පොලිතින් හා ප්ලාස්ටික් නිෂ්පාදනයන්ට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයක්. නමුත්, පසුකාලීන ව ඒ දේවල් මුළුමහත් ලෝකයට ම පාරිසරික ව අහිතකර ලෙසින් බලපෑ හිසරදයක් වූවා. එනිසා, අතිශය දරුණු පාරිසරික බලපෑම්වලින් බැට කද්දී ලෝකය බොහෝ සෙයින් පරිසර හිතකාමී නව නිෂ්පාදන අත්හදා බැලීම කෙරෙහි යොමු වුණා. මානව හිතවාදී වැඩපිළිවෙළක් ලෙසින් එවැනි නිපැයුම් එළිදැක්වීම යුගයේ අවශ්‍යතාවයක් බවට පත් වුණා.

රත්නපුර සුමන බාලිකා විද්‍යාලයේ උසස්පෙළ හදාරමින් සිටින සිසුවියක වූ තරුෂි විදුෂිකා රාජපක්ෂ විසින් නිෂ්පාදනය කරන ලද පරිසර හිතකාමී ලන්ච් බෑගය, දිරාපත් නොවන ලන්ච් ෂීට් නිසාවෙන් වන දරුණු පාරිසරික බලපෑම මැඩ පවත්වන්නක් වෙමින් පෙර කී යුගයේ අවශ්‍යතාවය සපුරාලුවා පමණක් නොව අද ද හෙළබිමේ මානව වර්ගයාට ද සත්ව සංහතියට ද මෙත් කරුණා ඇති ව යහපත සලසන දැනුම් සම්භාරයක් පවත්නා බව ලොව හමුවේ තහවුරු කළා. මෙකී බෑගය නිර්මාණය කොට තිබෙන්නේ හිරු එළියෙන් ස්වභාවිකව ම විනාශ වන රෙදි වර්ගයක් උපයෝගී කොටගෙන යි.

2018 වර්ෂයේ ජුනි මාසයේ ඇය මෙකී ලන්ච් බෑගය ද ඇතුළු ව නව නිර්මාණ 17ක් එළිදක්වනු ලැබුවා. කලා අංශයෙන් අධ්‍යාපනය ලබමින් සිටිය දී විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයෙන් මෙසේ ලොවට යහපත සලසන ශ්‍රී ලාංකේය දියණිය කියා පාන්නේ ලොවෙන් එකෙකු සමත් වන්නේ එක් දෙයකට පමණක් නොවන බව නො වේ ද…!

ලොවට බලපෑම් කළ හැකි ලාංකේය කත

“මම ශ්‍රී ලාංකික සාගර විද්‍යාඥවරියක්. මම සාගර සම්පත් සංරක්ෂණය ගැන පර්යේෂණ කරන, සාගරයට ආදරය කරන කාන්තාවක්.”

මෙසේ ප්‍රකාශ කරනු ලැබුයේ සාගර ක්ෂීරපායින් පිළිබඳ ව ආචාර්ය උපාධියක් ලද පළමු ශ්‍රී ලාංකික පුරවැසියා වන ආචාර්ය ආශා ඩි වොස්. ඇය ව 2018 වර්ෂයේ දී ලොව වැඩි ම බලපෑමක් කළ හැකි කාන්තාවන් සිය දෙනා අතරට නම් කරනු ලැබුණා. ඒ, බීබීසී පුවත් සේවය සිදු කළ සමීක්ෂණයකින් පසුවයි. ශ්‍රී ලංකාව අවට මුහුදු කලාපයේ ජීවත් වන නිල් තල්මසුන් ආරක්ෂා කිරීම පිණිස වසර 10කටත් වැඩි කාලයක් පුරා පර්යේෂණ සිදු කරමින් ඇය වෙහෙස වනවා. සම්පත් ආකරයක් ව පවත්නා ලාංකේය මුහුදු සීමාව මැනැවින් ගවේෂණය කරමින් එකී සම්පත් වගකීමක් සහිත ව ලෝකයට ගෙන යාම ඇයගේ අපේක්ෂාවක්.

ශ්‍රී ලාංකිකයෙකු ලෙසට ලෝකය වෙනස් කළ හැකි කාන්තාවක වීම ඇය ආඩම්බරයක් කොට සලකනවා. එමෙන් ම රට වෙනුවෙන්, ලෝකය වෙනුවෙන් වෙනසක් කරන්නට, ඉදිරියට පැමිණ අභියෝග භාරගෙන කටයුතු කරන්නට ලාංකේය කාන්තාවට දැන් කාලය එළඹ තිබෙන බවයි ඇය පවසා සිටින්නේ. මේ පුවතත්, අප රටක් වශයෙන් දැනුදු ලෝකය හමුවේ බලවත් ව නැගී සිටීමේ හැකියාවක් සහිත ව සිටින බව පෙන්වා දෙන්නක්.

පිළිකාව මැඩලන ලාංකේය දියණිය

ආචාර්ය හසිනි ජයතිලක මේ ආකාරයෙන් ම ලොව දිනූ ශ්‍රී ලාංකේය දියණියක්. සුප්‍රසිද්ධ ෆෝබ්ස් සඟරාව මඟින් 2019 වර්ෂයේ ‘විද්‍යා අංශයෙන් අනාගතය වෙනස් කළ වයස අවුරුදු 30ට අඩු පුද්ගලයන් තිස් දෙනා’ ලෙස නම් කරන ලද ලැයිස්තුවට ඇගේ නම ද ඇතුළත්.

ඇ. එ. ජ. විශ්වවිද්‍යාලයක උසස් අධ්‍යාපනය හදාරන ඇය විසින් පිළිකා රෝගය සම්බන්ධ ව පර්යේෂණ සිදු කරනු ලබනවා. ලොව පුරා මාරාන්තික රෝගී තත්ත්වයක් ලෙසින් හිස ඔසවන පිළිකා සෛල මිනිසෙකුගේ සිරුරේ සංස්ලේෂණය කරන ආකාරය සහ එම මාර්ගය අවහිර කිරීමට, පාලනය කිරීමට හැකි ආකාරයන් ගැන ඇය පරීක්ෂණ සිදු කරනු ලබනවා. ඇයගේ පරීක්ෂණ පිළිකාවට එරෙහි ව සිදු කරනු ලබන නවීන චිකිත්සාව සංවර්ධනය කිරීමට මහඟු රුකුලක් බවටයි පත්ව තිබෙන්නේ. පිළිකා මර්ධන ක්ෂේත්‍රයේ නව දැනුම උගනිමින් ඉදිරි ගමනක යෙදෙන ඇය පිළිකා අභියෝගයට මුහුණපා සිටින සමස්ත මානව වර්ගයාට ම නොමඳ අස්වැසිල්ල පිණිස උපකාරක වන්නියක්.

අපට අපේ ම රථයක්…

හැමදා ම පිටරටින් එන වාහන ගැන විපරම් කරපු අපට අපේ ම නිෂ්පාදනයක් වන මෝටර් රථයක් නිර්මාණය වෙමින් පවතින බව වාර්තා වුණා. ‘වේගා’ යන නාමය ලද මේ ඉලෙක්ටි්‍රක් කාර් රථයේ නිර්මාණ කර්තව්‍යය පසුපස සිටින්නේ ප්‍රකට ව්‍යවසායකයෙකු වන හර්ෂ සුභසිංහ යි. මෙහි නිර්මාණ සැලසුම, විදුලි භාවිතය, මෘදුකාංග සහ නිපදවීමේ කටයුතු සියල්ල සිදු වන්නේ ශ්‍රී ලාංකේය නිර්මාණ ශිල්පීන් සහ ඉංජිනේරුවරුන්ගේ දැනුම සහ කුසලතා උපයෝගී කර ගනිමිනුයි.

පැයට කිලෝමීටර් 240 දක්වා උපරිම වේගයක් ලබා ගත හැකි සහ තප්පර 4ක් තුළ දී 0 සිට පැයට කිලෝමීටර් 60 දක්වා වේගයක් අත්පත් කර ගත හැකි වනවා. එසේ ම කෘතිම බුද්ධි තාක්ෂණය යොදා ගැනීමෙන් පදිකයන් හඳුනාගැනීම, මාර්ග සංඥා හඳුනාගැනීම, නිවැරදි මාර්ග හඳුනාගැනීම සහ ගමන් මඟ සැලසුම් කර ගැනීම මෙන් ම ස්වයංක්‍රීය ව රථයේ දෝෂ හඳුනාගැනීමේ ද සිදු කළ හැකි පරිදි නිර්මාණය කිරීමටයි සැලසුම් වී තිබෙන්නේ.

ඉදින් අපට කියන්නට තිබෙන්නේ මෙය යි. මේ සියල්ලෝ පෙන්වා දෙන්නේ අප සෙසු ලෝකයා හමුවේ සිටින්නේ සහමුලින් ම පසුපසින් නම් නොවන බවයි. අපට ඔවුන් හා එක පෙළට සිට ගත හැකි දැනුම, කුසලතාවය, හැකියාව තිබෙනවා. පිටරටින් ගත් දැනුමට ආ වඩන්නට නොසිතා අප තුළ පවත්නා මේ දැනුම් සම්භාරයෙන් වැඩක් ගැනීම ගැනයි අප උත්සුක විය යුත්තේ. මේ දැනුම් භාවිතය අප ව බටහිර දැනුමේ ගැත්තන් බවට ඇද දැමූ පරාධීන මානසිකත්වයෙන් අප මුදවාලමින් අප පෙරත් සඳහන් කළ අදීන මානසිකත්වයෙන් සහ විස්මිත කුසලතාවයන්ගෙන් යුතු පරපුර කෙරෙහි වන ලේ නෑකම අර්ථ ගන්වන්නේ…

සමානයන් නොවීම

නමුත්… මෙහිලා අප තෝරා ගත් තේමාව මෙපමණකින් නවතින්නක් නම් නොවෙයි. ඉහතින් දැක්වූ නිදසුන් තුළ අප ලෝකයේ දැනුම් ගවේෂණය හා නව නිපැයුම් සිදු කිරීම යන කරුණින් සෙස්සන් හා සමානයන් බවට පත් වනවා. නමුත්, අප සෙසු ලෝකයා හා සම නොවන, අසම වන, අද්විතීයත්වයට ගෙන යන උත්තම දායාදයක් අප සතුව තිබෙනවා. එහි බලපෑම අප ජීවන සම්ප්‍රදායෙහි කොතරම් නම් තීරණාත්මක සාධකයක් වූවා ද යන්න තහවුරු කළ හැක්කේ අතීත ශ්‍රී විභූතියෙන් ම යි…

මිනිසෙකු වූ රජු

මිනිසුන්ට රජ වන්නට පුළුවනි. නමුත් රජෙකුට මානව දයා ගුණයෙන් සපිරි මිනිසෙකු වීම තරමක් දුෂ්කර දෙයක්. විශේෂයෙන් ම සතුරන් සහිත ව රටක් කරවන කල්හි එය අවදානම් සහගත කටයුත්තක්. නමුත් මිනිසෙකු ව රජකම් කළ මහා රජෙකු අතීතයේ අපට සිටියා. ඒ තමයි ගාමණී අභය රජතුමා. මේ වීර නරනිඳුන් හතළිස් හතර වසරක ආක්‍රමණික පාලනය මැඩලා රට එක්සේසත් කරලනු ලැබුයේ යුද ගැටුමේ දී තුවාල ලද සතුරු සේනාවේ සෙබළුනට පවා ස්වකීය සේනාවේ අයෙකුට සේ ම දයා මෙත් සිත් ඇති ව උවටැන් කරමින්. එසේ ම, මිය ගිය සතුරු සේනාවේ භටයන්ගේ මළසිරුරු සුදුසු පරිදි ගෞරව සම්ප්‍රයුක්ත ව බැහැර කරමින්. මරාගෙන මැරෙන, ලේ පිපාසයෙන් බලය සොයන අනර්ථකාරී නැගී සිටීමක් එහි වූයේ නැහැ. එයට හේතුව කුමක් ද?

“සතුරෙකු තබා කුරා කුහුඹුවෙකුවත් ඝාතනය කිරීමට අපගේ ධර්මයෙන් අපට අවසර නැහැ. අපේ ධර්මය එය විනාශ කිරීමට පැමිණෙන්නාටවත් පෙරළා පහර දීමට අවසර නොදෙන අහිංසක ධර්මයක්.

අප පණ පුදා හෝ එය රැක ගැනීමට තැත් කරන හේතුව එය යි.”
(උපුටා ගැනීම – ‘මහරජ ගැමුණු’ නවකථාව, ජයන්ත චන්ද්‍රසිරි)

ඒ උතුම් අවිහිසංක දර්ශනය ජීවන සම්ප්‍රදාය කර ගත්තවුන් උණු පැන් බිඳ පවා නිවෙන්නට නො දී බිමට නොහෙළුවේ ඇසට නොපෙනෙන තරමේ කුඩා සතෙකුට වේවා අනතුරක් නොවේවා යන මෛත්‍රී චිත්තය පෙරදැරිව ම යි. ලේ නහරගත ව පවත්නා ඒ දැක්මයි අප සෙසු ලෝකයෙන් වෙනස් කොට ලොවට යහපත ම දන් දෙන්නවුන් බවට පත් කරලන්නට සමත් වූයේ.

බුදදස් රජුගෙන් පාඩමක්

රජෙකු වෙදෙකු ව රටවැසි ජනී ජනයාගේ ගත සිත පමණක් නොව සතා සීපාවා, ගහ කොළ පවා සුවපත් කරලන්නට කටයුතු කළ ඉතිහාසයක් මානව වංශකථාවේ ම දැක්වෙනවා නම් එය ද සිංහල රාජාවලියේ බෝසත් ගුණැති නර ශ්‍රේෂ්ඨයෙකුට උරුම වූ අභිමානයක්. හිසෙහි වූ කිරුළ සැණෙන් පසෙක තබා ඉනෙහි වූ ඔසු පැස ගෙන වෙදකම් කළ බුද්ධදාස නරනිඳුන් හෙළ වංශකථාවේ පූජනීයත්වයෙන් යුතු ව පිදුම් ලබමින් අපට කියාපාන පණිවිඩය නම් අප වනාහි කවර තරාතිරමක ජීවිතයක් ලැබුව ද කිසිදු පැකිලීමකින් තොරව ලොවට සියලු යහපත දන් දෙන්නට උපන්නවුන් බවයි…

එවන් රජවරුන් පහළ කළ ජීවන සම්ප්‍රදාය තුළ ලොව අද්විතීය වාරි තාක්ෂණයක් බිහි කෙරෙද්දී පවා මනුසත් වර්ගයාට සේ ම සතා සීපාවනට, ගහ කොළට ගැහැටක් නොවන ලෙස කරුණු කාරණා යොදා ගන්නට අපේ මුතුන්මිත්තන් දක්ෂ වුණා, නිපුණ වුණා, මෙත් දයාවෙන් යුතු වුණා. ඔවුන් අලස නො වී නව පර්යේෂණ කරමින් ලෞකික ජීවිත තුළ සාර්ථකත්වය සොයා යන අතරේ ම රජ සිටු දෙව් බඹ සැප තුළ සිරගත නො වූ, දේවාතිදේව – බ්‍රහ්මාතිබ්‍රහ්ම වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා වදහළ විමුක්ති මාර්ගය තුළ ඉදිරි ගමනක නොනැවතී යෙදුණා. සකල ලෝකයට අවිහිංසාව පිරිනැමූ සම්මා සම්බුදු ශ්‍රාවකයන් කෙසේ නම් ලොවට අයහපතක් සලසන්නවුන් වන්න ද? එය කිසි කලෙක සිදු වූයේ නැහැ.

මාතෘභූමියේ බැබළීම උදෙසා…

නූතන ලෝකයා සිදු කරන සියලු සොයාගැනීම් මානව හිතවාදී සොයාගැනීම් ලෙස ගන්නට නොහැකියි. ඒ ඇතැම් දේවලින් නොසිතූ විරූ ඛේදවාචකයන් කරා සත්ව සංහතිය ගමන් කරනවා. එවැනි දෑ අතරේ අප ඉහතින් දැක්වූ නිදසුන් පෙන්වා දෙන්නේ මැනැවින් චින්තන ශක්තිය මෙහෙයවන්නටත්, ඒ ඔස්සේ ලොවට යහපත සලසන නව නිර්මාණ බිහි කරන්නටත් අපට ද හැකි බව යි. එහි අර්ථය නම් අප තවමත් ස්වෝත්සාහයෙන් නැගී සිටිය හැකි ජාතියක් ම වන බවයි. ලෝකයේ ශ්‍රේෂ්ඨ මිනිසුන් ගණයට එක් වන්නට එය මහෝපකාරක යි.

මේ ආදර්ශවත් ජීවිත හා මුසු වෙමින් නව සොයාගැනීම්, නව කර්මාන්ත බිහි කරන්නට අප කවුරුත් උත්සුක විය යුතුයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ලෙස අප ඒ සියල්ල තමන්ටත්, අනුන්ටත් යහපත සලසන දේ බවට වග බලා ගත යුතුයි. එවිටයි, අභිමානනීය අතීතයේ දී සේ ම මාතෘ භූමියේ නම මුළු ලෝකයේ ම බැබළෙන අයුරින් අප කටයුතු කළා වන්නේ…

සටහන – උදුලා පද්මාවතී