ඔබ දෙමව්පියන් ගේ නො මද ආදරය සෙනෙහස මැද හැදී වැඩුණ පවතින සමාජය තුළ ජීවත්වන තවත් එක චරිතයක්. ඔබ දන්නව ද ඔබ කොයිතරම් වාසනාවන්ත ද කියල. සමහර විට ඔබට හරියට ම ඒ ගැන වැටහීමක් නැති ව ඇති. ටිකක් හිතල බලන්න ඔබ, ඔබ ගැන ම සිතමින් සතුටු වන මේ මොහොතේ ඔබ වගේ ම ජීවිතය වින්ඳ කීදෙනෙක් නිරයේ ඉපදීමෙන් කොයිතරම් වද වේදනා විඳිනවා ඇත් ද ? ඔබේ ඇසින් පුංචි කඳුළක් ගිලිහෙත් දී ඒ කඳුළ පිසලන්න කීදෙනෙක් නම් ඔබ වටා සිටිනවා ද? එහෙත් නිරයෙහි ඉපිද අතොරක් නැති ව දුක් වේදනා විඳින ඒ නිරිසතුන් ගේ දුක් කඳුළු පිසලන්නේ කවුද? සමහර විට මීට ඉහත ආත්මයේ ඔබේ ම මව, ඔබේ ම පියා, ඔබේ ම සහෝදරයා, සහෝදරිය එහෙම නැති නම් ඔබේ ම දරුවා, ස්වාමියා, බිරිඳ ඒ නිරිසතුන් අතර උහුලගන්නට බැරි වේදනාවෙන් විලාප තබනවා ඇති. ඒත් ඔබ ඒ ගැන මොනව ද දන්නේ, ඔබ දන්නේ මේ ජීවිතය ගැන විතරයි නේ ද? බැරිවෙලාවත් ඔබත් නිරයෙහි උපන්නා නම්…

ඒ වගේ ම මේ මොහොතෙ තව කීදෙනෙක් පේ‍්‍රත ලෝකයෙහි ඉපදිලා ඇත් ද? සා පිපාසාව නිවාගන්නට සෙම් සොටුවත් සොයාගත නො හැකි ව, අසරණ ව දුක් විඳින පේ‍්‍රත සත්වයන් ගැන කොතෙකුත් ඔබ අසා ඇති. සංසාරයේ කරපු පිනකට ඒ දුකෙනුත් ඔබ බේරුණා. තිරිසන් ලෝකයෙහි වෙසෙන තිරිසන් සතුන් විඳින දුක ඔබට ඔබේ ඇස් දෙකෙන් ම බලාගන්න පුළුවන්. මේ ලෝකවල වෙසෙන සියලු ම සත්වයන්ට උරුම දුක නේද? ඒත් මොකක්දෝ අවාසනාවකට මේ සත්වයන් ඒ ඒ තැන සතුටෙන් පිළිගන්නවා. ඉතින් කොහොම ද ඔවුන් මේ දුක දකින්නේ…?

මේ විදියට මේ සත්වයන් උපත ලබන තවත් තැනක් තමයි අසුර ලෝකය. අසුර ලෝකය කියන්නේ අකුසල උත්පත්තීන් සහිත තැනක්. ළාමක අකුසලයන්ගෙන් පිරුණ ඔවුන් ගේ සිත් ද උතුම් ජීවිතාවබෝධය පිණිස සකස් වූවන් නොවෙයි. ඒ වගේ ම ඉතාමත් දීර්ඝායුෂ සහිත අසඤ්ඤ බ‍්‍රහ්ම ලෝකවල උපන් අය ද ලෝකයේ සිදුවන කිසිවක් ම නො දැන අවසනාවන්ත ලෙස ඔහේ කාලය ගෙවා දමා මැරිල යනව. මේ බ‍්‍රහ්ම ලෝකවල ඉපදීම පුණ්‍ය විපාකයක ප‍්‍රතිඵලයක් නමුත්, අති දීර්ඝ කාලයක් ගතවීම හේතුකොටගෙන ඔවුන්ට බොහෝ දෑ අහිමිව යනවා. විශේෂයෙන් ම ඒ කාලය ඇතුළත බුදුවරුන් ලොව පහළ වී පිරිනිවී යනවා. එවිට ඒ සද්ධර්මයේ උණුසුමට විඳින්නට තරම් ඔවුන් වාසනාවන්ත වෙන්නෙ නෑ.

ඒ වගේ ම අන්ධ පුද්ගලයෙක්, එහෙමත් නැත්නම් බිහිරි පුද්ගලයෙක් වුනොත් එයාටත් ඒ ජීවිතයෙන් උපරිම ඵල නෙලාගන්න බෑ නේද? එයාලටත් සිද්ධ වෙන්නෙ ඉපදුණා වගේ ම ඔහේ මැරිල යන්න. ඒ වගේ ම ඔබ දැක ඇති අංගවිකල පුද්ගලයන්. ඔවුන් ගේ ජීවිත ඔවුන්ට ම බරක් වෙලා වගේ නේද පෙන්නේ. මන්ද බුද්ධික පුද්ගලයන් දකිනවිට ඔබට මොහොතකටවත් හිතෙනව ද ‘අනේ මමත් මේ වගේ වුණා නම්’ කියලා… නෑ නේද? ඔබ ඒ ගැන හිතන්නත් බය යි. ඒකනෙ නිරන්තරයෙන් ම ප‍්‍රාර්ථනා කරන්නේ කුරා කුහුඹුවෙකුටවත් මෙවන් දුකක් නො වේවා කියල. ඒත්, ඔවුන් හට එහෙම වුණේ ඇයි කියල ඔබ මොහොතකට වත් හිතල බැලූව ද?
ඒ ගෙවුණ සංසාරය පුරාවට ඔබ කොපමණ වාර ගණනක් මෙවන් ජීවිත ලබන්නට ඇත් ද? අද ඔබට ඒ කිසිවක් ම මතක නෑ. නමුත් ඔබ එදා විදපු දුක් වේදනා අද ඔබේ මතකයේ රැදී තිබේ නම් තව දුරටත් ඔබ සිහින ලෝකයන් තුළ අතරමං නො වනු ඇති. ඒත් අභාග්‍යයක මහත! ඒ සියල්ල දැන් මතකයෙන් ගිලිහි ගොසින්.

නමුත් වැදගත් දෙය එය නොවෙයි. අද ඔබට මිනිසත් බවයක් ලැබී තිබෙනවා. එය මොනතරම් දුර්ලභ වාසනාවක් ද? ඒ වගේ ම ඔබ ඉපදිලා තියෙන්නේ ධර්මද්වීපයක. ධර්මයේ උණුසුම පවතින යුගයක. ඔබට දැන් පිරිසිදු ධර්මය ඇසෙනවා. ඔබ මන්ද බුද්ධිකයෙකු නොවෙයි. ඉතින් ඔබේ නුවණ මෙහෙය විය යුතු ආකාරය වටහා ගැනීමට ඔබට හැකියාව තිබෙනවා.

කල්ප ගණනක් අවිද්‍යාවෙන් වැසී තණ්හාවෙන් බැටකමින් ජීවිත් වූ ජීවිතයට විරාමය තබන්නට සුදුසු ම කාලය යි මේ. දුලබව ලද මිනිසත් භවය විඳවීම නොව විඟීමයි කල යුතව ඇත්තේ.

නමුත් මොන ම ක‍්‍රමයකට හෝ ඔබෙන් මේ අවස්ථාව ගිලිහී ගියොත් නම් හිතාගන්නවත් බැරි අන්ධකාරයක ම යි ඔබ ඇදවැටෙන්නේ. එහෙම වුණොත් ඔබට නැවතත් මහ ගෙදරට (නිරයට) යන්න සිද්ධ වෙයි. කල්ප ගණනක් නිරයෙහි පැසසෙමින් දුක් විඳින්නට වේවි. පේ‍්‍රත ලෝකය ඔබ එනතුරු බලා හිදිවී. තිරිසන් ලෝකය තුළත් ඔබේ සිත බැස ගනිවි. ඔය අතරතුර අතරින් පතර මනුෂ්‍ය ලෝකවලත් ඉපදේවි. දිව්‍ය බ‍්‍රහ්ම ජීවිතත් ඔබ ලබාවි. ඒත් මොකට ද සැප මාත‍්‍රයක් ලබන්නට අප‍්‍රමාණ වූ දුක්කන්දරාවක් විඳින්නේ?

ඊට වඩා සදාකාලික වූ පරම නිර්මල සැපයක් සතුටක් තිබෙන තැනකට අමාරුවෙන් හරි ළඟා වුණොත්, ඒ සතුට අයිතිවෙන්නේ ඔබට නේද? ලෝකයේ බුද්ධිමත් ම පුද්ගලයන් පමණක් දුටු ඒ සොඟුරු ගමනට එක් වන්නට ඔබට ආරාධනා කරන්නම්.

මේ ලෝකයෙහි විවිධාකාර පුද්ගල කොට්ඨාසයන් ජීවත් වන බව ඔබ දන්නවා. සමහරුන් මෙයට හේතුව සමාජ විෂමතාවය, ආර්ථික විෂමතාවය ලෙසින් හඳුන්ව යි. සම්පත් නිවැරදි ව බෙදී නො යෑමේ ප‍්‍රතිඵලය කැයි කෙනෙක් තර්ක කර යි. කුමන ආකාරයකට නිර්වචනය කළත් සමාජ ස්ථරයන් කිහිපයක් තිබෙන බව නම් පැහැදිලි යි. එසේ වන්නේ ඇයි? මේ හැම දෙයකට ම හේතුව ඔබ ම බව මොහොතකටවත් ඔබ හිතුවා ද?
මේ සමාජයෙහි අන්ත දුගී දුප්පත් මිනිසුන් ජීවත් වෙනව. ඔවුන්ට ආහාර, ඇඳුම් පැළදුම් ආදි අත්‍යවශ්‍ය දේ ලැබෙන්නේ ද අල්ප වශයෙන්. ඔවුන්ට හරිහමන් රැකියාවක් පවා ලැබෙන්නේ නෑ. ඔවුහු දුර්වර්ණ වූ දුර්වල අඟපසඟක් සහිත බොහෝ ලෙඩ රෝගවලට ගොදුරු වූ පුද්ගලයන් වශයෙන් තමයි ජීවත් වෙන්නේ. සමහර විට පරිපූර්ණ මිනිස් කයක්වත් ලැබෙන්නේ නෑ. සැප පහසු විහරණය ඔවුන්ට සිහිනයක්. ඒ වගේම ඔවුන් සිතන්, කයින්, වචනයෙන් අප‍්‍රමාණ වූ අකුසල් රැස් කරනවා. එසේ කොට මරණින් මතු ඊටත් වඩා දුක් සහිත නිරයෙහි උපදිනවා. අඳුරට යන පුද්ගලයා ගේ ස්වභාවය යි ඒ.

ඔහු උපන්නේත් බොහෝ දුක් දරාගෙන. ඔහු මිය යන්නේත් බොහෝ දුක් විඟිනට හේතු සකස් කර ගෙන.

එසේ ම පෙර සේ ම බොහෝ දුක් සහිත ව උපන් කෙනෙකු කයින්, වචනයෙන් සහ මනසින් කුසල් රැස් කරන්නේ නම් ඔහු අඳුරෙන් ආලෝකයට යන පුද්ගලයෙකි. ඔහුට මරණින් මතු උරුම වන්නේ සුගතිය යි. ඔහු මහපොළොවෙන් පළසටත්, පළසින් අසු පිටටත්, අසු පිටින් ඇතු පිටටත්, ඇතු පිටින් මහා ප‍්‍රාසාදයටත් නගින පුද්ගලයකු බඳු යැයි ධර්මයේ සඳහන් වේ. ඒ ඔහු අනුක‍්‍රමයෙන් දුක දුරුකරමින් සැප ළඟා කරගන්නා බැවිනි.
එමෙන් ම සමහර නුවණ මද පුද්ගලයෝ ආලෝකයේ සිට අඳුරට ගමන් කරති. ඒ කෙසේ ද යත්, යම් පුද්ගලයෙක් මහත් වූ ධනයකට හිමිකම් කියන, භවභෝග සම්පතින් ආඩ්‍ය වූ සාරවත් කුලයක උපත ලබ යි. හේ දුටුවන් සිත් ඇද බැඳ ගන්නා වූ මනා රූ සපුවකට ද හිමිකම් කියයි. ඔහු අවශ්‍ය සියලූ සැප පහසුකම් පහසුවෙන් ම ළඟා කරගන්නේ ද වෙයි. එහෙත් ඔහු කයෙන්, වචනයෙන් සහ මනසින් රැස් කරගන්නේ අකුසල් ම ය. ඒ හේතුවෙන් ම මරණින් මතු බොහෝ දුක් සහිත දුගතිය ම හිමිකර ගනී.

තවත් කෙනෙකු මහත් ධනයක් සහිත උසස් කුලයක ඉපිද සියලූ දෙනාගේ ම නො මද ප‍්‍රසාදයට පැමිණ සුවසේ කල්යව යි. ඔහුගේ රූ සපුව ද ඉතා මනහර ය. කයෙන්, වචනයෙන් සහ මනසින් කුසල් රැස් කරයි. එවන් පුද්ගලයකු ඇසුරු කිරීමත් වාසනාවකැයි අන් අයට සිතෙයි. ඔහු ගේ මුළු මහත් සමාජයට ම සිදුවන්නේ යහපතකි. හේ ආලෝකයෙන් ආලෝකයට ම යන පුද්ගලයෙකි. මේ පුද්ගලයා පළසින් පළසටත්, අසු පිටින් අසු පිටටත්, ඇසු පිටින් ඇතු පිටටත්, ඇතු පිටින් ප‍්‍රාසාදයටත් ගමන් කරන්නෙක් බඳු ය.

මේ ලෝකය තුළ ජීවත් වන පුද්ගලයන් සිව්දෙනා ය.

මෙයින් බහුතරයක් වූ පිරිස් දුගී දුප්පත් ව ඉපිද අපමණ පව්කම් කොට මරණින් මතු දුගතිය ම උරුම කර ගනී. අඳුරෙහි උපන් ඔවුන් අඳුර ම උරුමකොට මිය යාම කෙතරම් ශෝචනීය ද? මෙලෙසින් ශ‍්‍රද්ධාව නැති පටු කල්පනා සහිත නුවණ මද පුද්ගලයා අඳුරෙන් අඳුරට ම ඇදී යයි තවත් පිරිසක් ආලෝකයෙහි ඉපිද එය හඳුනානොගෙන බොහෝ පව්කම් කොට යළි අඳුරට ම හෙවත් දුකට ම ඇදී යයි.

අතළොස්සක් වූ පිරිසක් පමණක් සැදැහැ සිත පෙරටුකොට කළ වැරදි නිවැරදි කරගනිමින් ඉදිරියට යති. ඒ අඳුරෙන් ආලෝකයට ගමන් කරන්නා වුන් ය. තවත් සුළු පිරිසක් යහපත් උත්පත්තියක් ලබා ත‍්‍රිවිධ සුචරිතයෙන් යුක්ත ව ජීවත් වී සුගතිය ම උරුම කොටගෙන මිය යති. ඒ ආලෝකයෙන් ආලෝකයට ගමන් කරන්නෝ ය. සැබෑ ප‍්‍රඥාවන්තයෝ නම් මොවුන් ය.

මේ බුදුපියාණන් වහන්සේ, කොසොල් රජතුමා අරබයා දේශනා කරන ලද සුන්දර දේශනයක අනුසාරයකි. එකල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ය. ලෝකයෙහි පුද්ගල කොට්ඨාසයන් හතරක් ජීවත් වන බව උන්වහන්සේ මෙම දේශනය තුළින් මනා ව පෙන්වා දී තිබේ.

ඉතින් ජීවිතය අඳුරු වෙනවා දකින්නට කැමති වන්නේ කව්රුන් ද? එසේ නම් ආලෝකවත් වූ ජීවිතයක් ලබා ගැනීම උදෙසා ඔබ ගේ සිත හැසිරවීමට නිරතුරුව ම වගබලා ගන්න. සැප හෝ දුක රඳාපවතින්නේ ඔබ කරන ක‍්‍රියාව මත ය. ඔබේ ජීවිතය දුසිරිතෙන් අඳුරු කර නො ගෙන සුසිරිතෙන් ආලෝකමත් කරගන්න.

තෙරුවන් සරණයි !