2007 වසරේ දෙසැම්බරයේ දිනෙක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයට පළමුවරට පා නැඟූ මා නෙත ගැටුණේ ‘මහාචාර්ය සේනක බිබිලේ ශාලාව’ ලෙස නම් කරන ලද සුවිසල් ශාලාවකි. ඒ දුටු ක්ෂණයකින් මගේ මතකයේ ඇඳී ගියේ මනුෂ්‍ය වර්ගයාගේ සුබසෙත උදෙසා අප‍්‍රමාණ කැපවීමක් සිදු කරමින් සිටිය දී අබිරහස් ආකාරයෙන් මරණයට පත් වූ ඒ සොඳුරු ශී‍්‍ර ලාංකිකයාගේ ජීවන ප‍්‍රවෘත්තිය යි.

එලෙස ඔහු ගැන මතකය අවදි වී වසර 06ක් ඉක්ම යන මොහොතේ සහ ඔහුගේ මරණයෙන් වසර 36ක් ඉක්ම යන මොහොතේ ඔහු ගැන යළි සටහනක් තබන්නට මට සිතුණේ එදා මා දැන සිටියාටත් වඩා ඔහු විශිෂ්ට මිනිසෙක් බව දැන් මා දන්නා නිසා ය.

ලෝකයේ පවත්නා ප‍්‍රමුඛතම ජාවාරමක් වූ ඖෂධ ජාවාරමට වැට බඳින්නට ඉදිරිපත් වීම නිසා එම ජාවාරම්කරුවන් අතින් ම මරා දැමෙන්නට ඇති බව පැවසෙන සේනක බිබිලේ නම් වූ මේ විශිෂ්ට මානවහිතවාදී වෛද්‍ය වෘත්තිකයානන්ගේ ජීවන පුවත ඇරඹෙන්නේ 1920 වර්ෂයේ පෙබරවාරි මස 13 වැනි දා ය. චාල්ස් විලියම් බිබිලේ හා සිල්වියා ජයවර්ධන මාපියන්ට දාව සේනක විලියම් බිබිලේ මෙලොව එළිය දුටුවේ අහංගම කතළුවේ දී ය.

බදුල්ලේ දී මූලික අධ්‍යාපනය හැදෑරූ ඔහු වැඩිදුර අධ්‍යාපනය පිණිස මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලයට ඇතුළත් කෙරිණි. ජීව විද්‍යා අංශයේ විශිෂ්ට ප‍්‍රතිඵල ලැබූ සේනක බිබිලේ කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වූ අතර වෛද්‍ය හා ශල්‍යවෛද්‍ය අංශවලින් රන් පදක්කම් ලබා ගනිමින්, පළමු පන්තියේ ගෞරව සාමාර්ථයක් ද ඇති ව ඔහු උපාධිධාරියෙකු බවට පත් විය. ඒවර්ෂ 1945 දී ය. 1949 වර්ෂයේ දී එංගලන්තයේ එඩින්බරෝ විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ සේනක බිබිලේ එහි දී ආචාර්ය උපාධිය ලබා 1952 දී යළි ලක්දිවට පැමිණියේ ය.

කොළඹ විශ්වවිද්‍යාලයේ ඖෂධවේදය පිළිබඳ පළමු මහාචාර්යවරයා වූයේ ද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පළමු පීඨාධිපතිවරයා වූයේ ද එතුමා ය. වර්තමානයේ මහාචාර්ය සේනක බිබිලේ ශාලාව පිහිටා ඇත්තේ එකල එතුමා නවාතැන් ගෙන සිටි භූමි පරිශ‍්‍රයේ යි. මෙලෙස කාරණා සිදු වෙමින් පවතින අතරතුර, ඖෂධ වෙළෙන්දන් ලොව පුරා අසරණ රෝගීන් සූරා කන බව දුටු කල මේ ජාවාරම්කරුවන්ගෙන් අසරණයන් බේරා ගන්නට යම් ක‍්‍රමවේදයක් සකසන්නට එතුමා මුල පිරුවේ ය.

ඒ ගැන කියන්නට පළමු කිව යුත්තක් තිබේ. කෙනෙකුගේ රෝගයක් සුවපත් කිරීම පිණිස භාවිත කරන ඖෂධ වෙළඳාම, ජාවාරමක් වන්නේ කෙසේ ද? යන පැනය ඔබට ඇති වන්නට පුළුවන. එය පැහැදිලි නො කොට අප සේනක බිබිලේ මහාචාර්යතුමන් ගැන කථා කිරීමෙන් ඵලක් නැත.

විශ්වාස කළ ද නො කළ ද ලොව පුරා සිදු කෙරෙන මුල් පෙළේ ජාවාරම වන්නේ ඖෂධ ජාවාරම යි. අවි ආයුධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් පවා පවතින්නේ මේ ජාවාරමට පිටුපසිනි. එය සිදු වන්නේ මෙසේ ය. ඔබ භාවිත කරන ඖෂධයක නිෂ්පාදන පිරිවැය මෙන් කිහිප ගුණයක් වැඩි වීමක් එහි මිල පෙන්නුම් කරයි. එකී මිල තීරණය කරන්නේ මේ ඖෂධ වෙළෙන්දන් ය. එපමණක් නො ව එකම ඖෂධීය නාමය හෙවත් එකම ඖෂධීය සංයෝගය ඔබ අතට පත්වන වෙළෙඳ නාමයට අනුව විවිධ මිල ප‍්‍රමාණයන්ගෙන් යුතු වේ. එක ම ඖෂධය වෙළඳ නාම කිහිපයක් යටතේ වෙළඳපළට පිවිසෙන්නේ යැයි සිතමු. අන්තර්ගත වන්නේ එක ම අමුද්‍රව්‍ය නම්, ලැබෙන්නේ එක ම ගුණය නම් එකක් ශත ගණනකටත්, අනෙක් ඒවා රුපියල් සිය දහස් ගණනකටත් ඔබට මිල දී ගන්නට සිදුවන්නේ ඇයි? එනම් ඔබ මුදල් ගෙවනු ලබන්නේ ඖෂධයට නො ව වෙළෙඳ නාමයට ය. ‘පෙත්ත එක නම් පොත්තට ඇයි වැඩිපුර ගෙවන්නේ?’ කියා වෙළඳ ප‍්‍රචාරණයක් පසුගිය කාලයේ සිදු වූ බව අපට මතක ය. ඒ හරහා කථා කළේ ද මේ යථාර්ථය ම ය. ඖෂධයේ ඇසුරුම, පෙනුම, හැඩය, වර්ණය ආදිය වෙනස් කොට, අලෙවි ප‍්‍රවර්ධනය හරහා ඩොලර් කුට්ටි විසි කරමින් ජනප‍්‍රිය කරවූ සිය වෙළඳ නාමය ඔවුහු අපට විකුණති. ශත ගණනක් වැය කොට නිපදවන ඖෂධයට එමෙන් දස දහස් ගුණයක මුදලක් අප ගෙවන්නේ මේ නිසා ය. ඒ වෙළඳුන් විසින් ලබා දෙන වරප‍්‍රසාද ලොල් වූ වෛද්‍යවරුන් කරන්නේ ද ඖෂධීය නාමය වෙනුවට වෙළඳ නාමය යොදා පිටින් ගන්නට බෙහෙත් නියම කිරීම ය. සේනක බිබිලේ මහාචාර්යතුමන් එරෙහි වූයේ ලොව වෙලාගෙන ඇති මෙම ඖෂධ මාෆියාවට ය.

ජාතික ඖෂධ ප‍්‍රතිපත්තියක් සැකසීමේ අවශ්‍යතාවයත්, අපට වුවමනා ඖෂධ අප රටේ දී ම නිෂ්පාදනය කිරීමට යොමු වීමේ වුවමනාවත් පෙරදැරිව ඔහු ලොව ප‍්‍රබලතම ජාවාරම්කරුවන්ට එරෙහි ව පෙරමුණ ගත්තේ ය.

1970 වර්ෂයේ දී සේනක බිබිලේ මහාචාර්යතුමන් සහ දොස්තර එස්. ඒ. වික‍්‍රමසිංහයන් එක්ව ජාතික ඖෂධ ප‍්‍රතිපත්තිය සැකසීම ඇරඹූහ. 1971 වර්ෂයේ මාර්තු මස 23 වන දින එම වාර්තාව එවකට ශ්‍රී ලංකාවේ අග‍්‍රාමාත්‍ය ධුරය ඉසිලූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට බාර දෙන ලදී. එම ප‍්‍රතිපත්තිය ක‍්‍රියාවට නැංවීමේ අරමුණින් යුතු ව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (Sri Lanka State Pharmaceuticals Corporation – SPC) බිහි වූ අතර 1971 වර්ෂයේ සැප්තැම්බර් මස 21 වන දා සේනක බිබිලේ මහාචාර්යතුමන් එහි පළමු සභාපතිවරයා වශයෙන් පත්කරනු ලැබිණි. එයින් ඇරඹුණු වසර තුනක කාලය තුළ දී තත්ත්වයෙන් හොඳ ඖෂධ නිපදවා ලබා දීමෙන් රුපියල් කෝටි 11ක විදේශ විනිමයක් රට තුළ ඉතිරි කරවීමට ඔහු සමත් විය. මේ සියල්ල සිදු වූයේ ඉතාමත් පහසුවෙන් නම් නො වේ. ඒ වනවිටත් ඖෂධ වෙළෙන්දන් එතුමා ව ලූහු බැඳීම අරඹා තිබුණි. මේ ජාවාරම පිළිබඳ ලෝකය දැනුවත් වීම සහ ඊට එරෙහි වන්නට ලොව ම එක පෙරමුණකට වීම සිය වෙළඳ මාෆියාවේ අවසානය බව ඔවුහු දැන සිටියහ.

ඔවුනගේ බලපෑම් කෙතරම් ද යත් 1975 වර්ෂයේ දී ඔහු ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ධුරයෙන් ඉවත් විය. එහෙත් 1976 වර්ෂයේ දී නො බැඳි ජාතීන්ගේ සමුළුව තුළින් මේ ගෝලීය අර්බුදය පිළිබඳ ව මුළු මහත් ලෝකයේ ම අවධානය යොමු කරවීමට එතුමාට හැකි විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස සේනක බිබිලේ මහාචාර්යතුමන් 1977 වර්ෂයේ අපේ‍්‍රල් මස 24 වන දා UNCTAD (United Nations Conference On Trade & Development)  සංවිධානයේ ජ්‍යේෂ්ඨ ඖෂධ ප‍්‍රතිපත්ති විශේෂඥවරයා ලෙස පත් කරනු ලැබිණි.

මෙය ලෝකයේ සමස්ත ඖෂධ වෙළඳාමේ තීරණාත්මක සන්ධිස්ථානයක් බව කුප‍්‍රකට වෙළෙන්දන් ද සුප‍්‍රකට විද්වතුන් ද එක සේ ම දැන සිටියහ. වෙළෙඳ මාෆියාව ඔහු හඹා එන නිසා ප‍්‍රවේශම් වන්න යැයි එතුමාගේ මිතුරෝ මතක් කර සිටියේ මේ නිසා ය. එහෙත් ඒ අනතුරු ඇඟවීම් අභිමුව එතුමාගේ පිළිතුර වූයේ, ජනතාව වෙනුවෙන් සේවය කිරීම නිසාවෙන් මිය ගියහොත් ඒ මරණය ශ්‍රේෂ්ඨ මරණයක් වන බවයි. මරණය රැගත් ඝාතකයන් ලූහුබැඳ එන බව දැන දැනත් සිය ගමන ආපසු හැරවූයේ සේනක බිබිලේ නම් නො වේ.

නව තනතුරත් සමඟ ඔහුට භාර වූයේ අප‍්‍රිකානු රටවල වෙසෙන දුගී දුප්පත් ජනයා උදෙසා ඖෂධ ප‍්‍රතිපත්තියක් සැකසීම ය. ඒ වෙනුවෙන් තොරතුරු රැස් කිරීමේ අටියෙන් ඔහු අප‍්‍රිකානු සම්භවයක් සහිත මිනිසුන් වෙසෙනා ටි‍්‍රනිඩෑඞ්, ජැමෙයිකා, ඇන්ටිගුවා ආදි කැරිබියානු දූපත්වල ද සංචාරය කළේ ය. එම සංචාරයෙන් එක්රැස් කළ තොරතුරුත් සමඟ ඔහු 1977 වර්ෂයේ සැප්තැම්බර් මස අග භාගයේ දිනෙක ගයනාවට පැමිණියේ සැප්තැම්බර් 29 වන දා උක්ත සමුළුවට එම වාර්තාව ඉදිරිපත් කිරීමට ය. සේනක බිබිලේ මහාචාර්යතුමන් පෙර දිනයේ සිය පිරිස ද සමඟ එකී වාර්තාව ගැන යළිත් වරක් සාකච්ඡා කොට නින්දට ගියේ ය. ඒ ලොව ම අවධි කළ උතුම් මානවහිතවාදී සැබෑ ශ්‍රී ලාංකීය උදාර මිනිසකුගේ අවසන් රාත‍්‍රිය බව කිසිවකු නොම දැන සිටිය ද ඒ උත්තරීතර මිනිසා යළි කිසි දිනක අවදි වූයේ නැත. එතුමාගේ ම වචනවලට අනුව ශ්‍රේෂ්ඨ වූ මරණයකට ඔහු හිමිකරුවෙකු විය.

සුන්දර ගයනාවේ රෝහල් ඇඳක් මත එතුමාගේ නිසල දේහය තැන්පත් ව තිබුණි. එහි පසුබිමෙහි වූයේ ඉතාමත් අසුන්දර, අවාසනාවන්ත කථාවකි. මරණයට හේතුව ලෙස කියැවුණේ හෘදයාබාධයක් ගැන ය. එය ස්වභාවික ව සිදු නො වූ මරණයක් බව සියල්ලෝ හදවතෙහි දරා ගත්ත ද සිදු වූ දෙය මේ වන තෙක් අබිරහසක් ම පමණි. එහෙත් මේ මරණය පිටුපස ඖෂධ ජාවාරම්කරුවන්ගේ රුදුරු සෙවණැලි සැඟව ඇති බව නො රහසකි. ඔහුගේ භාර්යාව ඇතුළු තිදෙනෙකුගේ සහභාගීත්වයෙන් ගයනාවේ වෙරළ තීරයක දී දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරෙන ලදී.

1993 වර්ෂයේ ලක්දිවට පැමිණි, ඕස්ටේ‍්‍රලියාවේ ජාතික ඖෂධ ප‍්‍රතිපත්ති මණ්ඩලයේ ප‍්‍රධානියා වූ දොස්තර හාටි, සේනක බිබිලේ මහාචාර්යතුමන්ගේ මරණයෙන් පවා නො නැවතී ලොවට යහපත සදන මෙහෙවර ගැන පැවසුවේ මෙවැන්නකි.

‘‘ශ්‍රී ලංකාව කඳු මුදුනකි. සේනක බිබිලේ යනු එහි බැබළෙන පහනකි. අපි ඒ පහනේ එළියෙන් අපේ රටවල ඖෂධ ප‍්‍රතිපත්ති සකසා ගත්තෙමු.”

සේනක බිබිලේ මහාචාර්යතුමන්ගේ අප‍්‍රතිහත මෙහෙවරෙන් පණ ලබා මේ වන විට රටවල් 26ක පමණ ඔහුගේ ඖෂධ ප‍්‍රතිපත්තිය මැනැවින් බලාත්මකව ක‍්‍රියාත්මක වන අතර තවත් රටවල් සියයක් පමණ එයට එකඟ වී විවිධ මට්ටම් ඔස්සේ ක‍්‍රියාත්මක කරමින් පවතී. මෙය යළි යළිත් සනාථ කරන්නේ මිනිසුන් මරා දැමිය හැකි වුව ද ඔවුනගේ යහපත් ආකල්ප මරා දැමිය නො හැකි බව නො වේ ද?

එසේ නමුදු කණගාටුවට කරුණ නම් ශ්‍රී ලංකාව තුළ සේනක බිබිලේ ප‍්‍රතිපත්තීන් බලාත්මක කිරීමට අපගේ පාලන තන්ත‍්‍රය අපොහොසත් වීම ය. බලධරයන් නිද්‍රාසහගත වීම ය. එළකිරි රොඩු කර, වස එකතු කොට බෙදාහරිනා වස-විස පිරි පිටිකිරි මාෆියාව මෙන් ම ඖෂධ මාෆියාව ද භයංකර බූවල්ලකු මෙන් දසත වෙලාගෙන ඇත. ලොව අන් රාජ්‍යයන් අපේ ම මිනිසකු විසින් නිමැවූ මෙම ශක්තිමත් කාලීන ප‍්‍රතිපත්තීන් බලාත්මක කොට, ඖෂධ මාෆියාවන්ට වැට බැඳ සිය මහජනතාව ආරක්‍ෂා කරද්දී අපේ ඖෂධ බලධරයන් නිදි වැදීම අතිශය ශෝචනීය තත්ත්වයකි.

ජීවිතය පවා අවධානමට ලක්ව තිබිය දී මනුෂ්‍ය වර්ගයාගේ යහපත පිණිස එතුමා සිදු කළ යුග මෙහෙවර වදන් කළ නො හැක්කකි. දැනුදු වෙළඳ නාමය පෙරට නො ගෙන ඖෂධීය නාමයෙන් ඖෂධ නියම කරන වෛද්‍යවරුන්ගේ පටන් මේ මාෆියාව ගැන දැනුවත් කරන, එයට එරෙහිව රොද බඳින සියල්ලන්ගෙන් නියෝජනය වන්නේ මහාචාර්ය සේනක බිබිලේ නම් වූ, ලොවට යහපත රිසි වූ එ් සොඳුරුතමයාගේ පුනරාගමනය යි.

එවැන්නවුන් සැබැවින් ම මනුෂ්‍යත්වයට ආඩම්බරයකි…!

මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස් අපට SMS කරන්න
071 018 94 30

චරිතාපදාන සටහන
සුරේන්ද්‍ර කැප්පෙටිපොළ