ගොතා කළු කෙස සෘජු කෙරූ ගත
සොඳුරු රූ සිරි එදා මට විය
හැරි හැරී බැලූවෝ ය මා දෙස…..

සුදු ය හිස කෙස කුදු ය මේ ගත
අබල දුබලව දුගඳ විහිදෙන
ඔවුහු නො බලති, බලමි මම එය
ජරාවෙන් බැට කෑව අරුමය……

ආර්ය සත්‍යය නම් අකාලික වූත් සනාතන වූත් විශ්ව සත්‍යයට එරෙහිව ඇය කඳවුරු බැන්දා ය. නමුදු… ඒ සියල්ල ඇගේ දෙනෙත් අභිමුවේ දී ම අද ගරා වැටී ඇත. අවසන ඇය ද ගරා වැටී ඇත. ආර්ය ධර්මයට එරෙහි ව ගොස් ජයගත්තෝ කවරහු ද?

හීනියට වැහි පොද වැටේ. හීංමැණිකෙ අම්මා එළියට බැස්සේ වේළෙන්නට වැලට දමා තිබූ රෙදි ටික එකතු කරගන්නට ය. පොඩි එකීවත් හිටියා නම් හොඳ යැයි ඇයට එවෙලේ සිතිණි. ගෙදර දොරේ හැම වැඩක් ම හොයා බලා කළේ ඇය යි. ඇය නැති ගෙය දැන් පාළු ය. කුමක් කරන්න ද? ප‍්‍රිය දෙයින් වෙන්වීම උරුම කරන් ඉන්න අපට කවදා හෝ වෙන්නට තිබෙන්නේ ද මෙය ම ය. හැමදාට ම ළඟින් ඉඳියි කියා සිතා සිටිනා අය පවා කවදා හෝ අපව අත් හැර යයි. හීංමැණිකෙ අම්මා අඩියට දෙකට ගෙට ගොඩ වී තෙත රෙදි ටික පුටු ඇඳි මත දිගහැර දැම්මා ය. ඒ ටිකට ඇයට හති වැටුණි. දැන් වෙන දා මෙන් වැඩපළ කරන්නට බැරි ය.

සාලයේ කැබිනෙට්ටුව මත මංගල ඡායාරූප බොහෝ ය. ලොකු දුවගේ පින්තූරය මුලින් ම ය. ලොකු පුතාගේ, පොඩි දුවගේ, මද්දු දුවගේ, හිච්චි දුවගේ, සුදු දුවගේ, පොඩි පුතාගේ මංගල ඡායාරූප පෙළට තබා ඇත. කාලෙකින් පිරිසිදු නො කළ නිසා ඒවායේ මකුළු දැළුත් බැඳී ඇත. හීංමැණිකෙ අම්මා රෙදි කෑල්ලක් ගෙන ඒවා පිස දමන්නට වූවා ය.

කාලය මැවූ වෙනසක අරුමය හිතා ගන්නටත් බැරි ය. ලොකු පුතා කසාදබැඳ ගෙදරින් නික්ම ගොස් දැන් වසර 15ක් විතර ඇත. අද ඊයේ වගේ ය. පින්තූරයක් පමණක් අද ඉතිරි ය. ලොකු පුතාගෙ හිනාව නම් තාත්තගේ වගේ ම යි. පින්තූරයේ වීදුරුව මතට කඳුළු කැට එක දෙක වැටෙමින් තිබේ. හීංමැණිකේ අම්මාට ඇඬුම් එයි. ලොකු දුව නම් හීංමැණිකෙ අම්මා වගේ ම ය. ඒ ලස්සන හිනාව ම ය. ඒ ඇස් දෙක ම ය. ඒ මුහුණ ම ය. ලොකු දුවගේ පින්තූරයෙන් සිහි වන්නෙ හීංමැණිකෙ අම්මාගේ තරුණ වියයි. ඝනට, දිගට වැවී තිබූ කොණ්ඩය හැඩ ය. දත් කොඳ කැකුළු මෙනි. සුදෝ සුදු ය. සම පියකරු ය. රැලි නැත. ලප කැළැල් නැත. ඇස් දෙක දිලිසි දිලිසි තිබිණි. ලස්සන ය. කන් පෙති ලස්සනට, සිනිදුවට, පිරිසිදුවට තිබුණි. කම්මුල් පිරිලා ය. හිනා වෙද්දි එක් කම්මුලක් වළ ගැසෙයි. එය වාසනාවක්ලූ… සැබවින් ම ඇය එකල ලස්සන ය. නමුත් දැන්…. පින්තූරයේ කණ්ණාඩියෙන් ඇයට ලාවට ඇගේ ප‍්‍රතිබිම්භය පෙනෙයි. කළුවට තිබුණු කෙස් සියල්ල ම වගේ දැන් සුදු පාට ය. දිගට තිබුණු කොණ්ඩය හොයන්නටවත් නැත. දත් මුල් කළු වී ඇත. බොහෝ දත් ගැලවී ගොස් ය. ඉතිරි දත් ටික ද කහ ව ඇත. හම වැහැරී ගොස් ය. කිසිදු ඔපයක් නැත. ඇහේ සුද මතු වී ඇත. හමේ ලප මතු වී, රැලිවැටී ඇත. කන් පෙති හැකිලිලා ය. ශරීරය කිසිදු හැඩයක් නැති මැටි ගුලියක් වාගේ ය. ඒ සොඳුරු රූපය දැන් කෝ…???

අහසේ ගෙරවුම් හඬින් තිගැස්සී හීංමැණිකෙ අම්මා පියවි සිහියට පැමිණුනා ය. පින්තූරය පිස දමා නැවතත් කැබිනට්ටුව මත තැබුවා ය. එළියේ මහ වැස්සකි. හිතේ මහා පාළුවක්, තනිකමක් දැනෙයි. පොඩි දුව ව විවාහ කර දී අවුරුද්දක් පමණ ගත වී ඇත. දරුවන් සියලූ දෙනා ම විවාහ වී තම තමන්ගේ ලෝකවලට පිය නැගූහ. ලොකු පුතා ලේලිය සමග එංගලන්තයේ ය. පොඩි පුතා කැනඩාවේ ය. ලොකු දුවත් දැන් ඕස්ටේ‍්‍රලියාවේ පදිංචි වී සිටින්නී ය. මද්දු දුව සහ හිච්චි දුව කොළඹ ය. අන්තිමට සුදු දුවත් කුරුණෑගලට ගියා ය. සැමියා සමඟ හීං මැණිකෙ අම්මා නිවසේ තනි වූවා ය.

කුඩා අවධියේ දරුවන් හය දෙනා සමඟ ගෙවූ ජීවිතය සිහි වෙයි. හුරතල් කළ හැටි සිහි වෙයි. රණ්ඩු කරද්දි සමඟි කළ හැටි සිහි වෙයි. දරුවන් වෙනුවෙන් ජීවිතය ම කැප කළ හැටි සිහි වෙයි. ඔවුන් උස් මහත් කළේ ඉමහත් සෙනෙහසින් ය. දුක් විඳ හම්බ කළේ ඔවුන් වෙනුවෙන් ය. ගැහැනු දරුවන් හතර දෙනෙකි. පරිස්සම් කළේ අමාරුවෙන් ය. තරුණ වයසට එද්දි හිත බය වුණු හැටි සිහි වෙයි. හොයා බැලූ හැටි සිහි වෙයි. අන්තිමට මහා ආදරෙන් බලා ගත් ගැහැණු දරුවන් හතර දෙනාව ම කොහේදෝ සිට ආ ආගන්තුකයෝ රැගෙන ගියෝ ය. ‘මගේ, මගේ’ කියා හදා ගත් දරුවෝ අනුන්ට දී ඇය යළි තනිව ඇත.

අවුරුදු ගණනාවක් ම ඇස් දෙක වගේ බලා ගත් දරුවන් ය. කවා පොවා වියදම් කර හදා ගත් දරුවන් ය. හිත අකමැත්තෙන් වුව ද අනුන්ට ගෙනියන්නට දෙන්නට වූයේ ඒ දරුවන් ය. ‘මගේ, මගේ’ කියා හදා ගත්තේ අනුන් සතු දෙයකි. සතුටු වුණේ දුක් උපදවන දෙයකිනි. ‘මගේ ය’ කියා අල්ලාගෙන හිටියේ ම අනුන්ගේ දෙයකි.

දැන් ඉතින් හඬාදොඩා පලක් නැත. ගෙවුණු කාලය ගැන හිත හිතා ලතවෙලා පලක් නැත. තමාටත් නො දැනී වයසට ගිය ජීවිතය ගැන හීංමැණිකේ අම්මාට පුදුම ය. ඒ සොඳුරු අතීතය හොරු අරන් ගියා වැනි ය. නිවසේ පිරී තිබුණු සොඳුරු හිනාවල්, සිනහ කථාවල් කෝ?

සැමියාට අංශභාග රෝගය වැළඳී අවුරුදු හතරකි. ඔහු විඳවන්නේ මහා දුකකි. ගහක් ගලක් වගේ හිටි මනුස්සයා ය. කාටවත් ඔළුව පාත් නො කළ මනුස්සයා ය. දරුවන් වෙනුවෙන් කැප වුණු මනුස්සයා ය. පවුලෙ ම බර කරේ තියන්හිටි මනුස්සයා ය. හීංමැණිකෙ අම්මාට පුදුම ය. ජරාවට පත්ව ගිය අරුමය….! දැන් තනියම ඇවිද ගන්නවත් බැරි ය. කෑමක් බීමක් ගන්න බැරි ය. වැසිකිළියට යා ගන්න බැරි ය. ළඟදි දවසකත් වැසිකිළියේ ඇදගෙන වැටුණේ ය. කොන්ද කෙළින් කරගෙන ආවේ හරිම අමාරුවෙනි. ජීවිතේ මේ තරම්ම නපුරු වුණේ කෙලෙස ද? ඒ දෛවයේ හැටියක් ද?

හීංමැණිකේ අම්මා සැමියා සිටින කාමරයට ගියා ය. ඔහුට දහවල් කෑම කවන වෙලාව යි. නො නවතින කෙඳිරිල්ල තාමත් එලෙස ම ය. කට පැත්තකට ඇද වී කෙළ බේරෙමින් තිබුණි. හීං මැණිකෙ අම්මා තුවායක් ගෙන කෙළ පිස දැම්මා ය. නෙතට කඳුළු ගලා එයි. “මෙහෙම වැටිලා ඉන්න හිටි මනුස්සයෙක් නෙවෙයි මේ…..”

හීංමැණිකෙ අම්මාට අතීතය සිහි වෙයි. පාසලේ හිටි දක්ෂ ම සිසුවා ඔහු ය. සම වයසේ බොහෝ ගැහැනු දරුවෝ ඔහු ගැන කථා කළේ සතුටිනි. පළල් උරහිස්, හැඩි දැඩි බාහු, පිරිමියෙකු සතු වන රළු පෙනුම ඕනවටත් වැඩි ය. ගමේ ඕනෑම අවස්ථාවක මුල් තැන ගෙන කටයුතු කළේ ඔහු යි.  සොඳුරු අතීතය දැන් වසර 50ක් පමණ වයස්ගත ය.

ජීවිතය ගෙවී ගිය වේගය….! හීංමැණිකේ අම්මා ඔහු දෙස බලා හිඳී. ඒ ඇස් වයසට ගිහින්, කබ ඉතිරිලා ය. එක් ඇසක් පෙනෙන්නේ ම නැත. දින කිහිපයකින් කැපුවේ නැති රැවුල් කොට තැන තැන ය. ඒවා කෙස් සේ ම සුදු ය. තට්ටය මතු වී ඇත. ඒ හැඩි දැඩි සිරුර දිරා ගොසිනි. දැන් ඇට සැකිල්ලකට මස් චුට්ටක් අලවලා වගේ ය. ඒ හකු හැකිලිලා ය. දත් ඔක්කොම වගේ හැලිලා ය. “අනේ… ඔහු නාකි වෙලා…..” ඇය වගේ ම ය.

රූපය වෙනස් වී ගිය හැටි…… ජීවිතය අනිත්‍ය වී ගිය හැටි….. ඇසූ බණ පද සත්‍යය බව හැඟෙන්නේ දැන් ය. ඒ බණ පද ජීවිතය තුළ පෙනී යන්නේ දැන් ය. සසර දුක බව පැවසූ මුනි වදන් අමතකව ගිය හැටි….. ආයෙ ආයෙ ඉපදීම දුකක් බව පැවසුව මුනි වදන් අමතකව ගිය හැටි….. කෙස් පැසී, ඇස් නො පෙනී, කන් නො ඇසී, හම රැලි වැටී, දත් දිරා, කොන්ද කුදු වී යාම, ශරීරය වැහැරී, ආයුෂ ගෙවී ගොස් ජරාවට පත් වීම ගැන පැවසූ මුනි වදන් අමතකව ගිය හැටි…!

‘මේ කයෙහි බොහෝ ආදීනව ඇත. ආශ්වාදය අල්ප ය. මේ කයෙහි නොයෙක් රෝගයන් හට ගනී, මේ කය රෝගයන්ට කූඩුවක් වැනි ය’ කියූ ඒ සත්‍යවාදී මුනි වදන් අමතකව ගිය හැටි…. ‘ප‍්‍රමාද වෙන්න එපා… අප‍්‍රමාදව මේ ධර්මය අවබෝධ කර ගන්න…’ කියු ඒ මුනි වදන් අමතකව ගිය හැටි…. ‘ලෙඩ වීම, මරණයට පත්වීම, ප‍්‍රියයන්ගෙන් වෙන් වීම, අප‍්‍රියයන් සමඟ එක්වීම, මරණය ආදිය දුකයි…’ කියු ඒ මුනි වදන් අමතකව ගිය හැටි….!

මැව්ව හීන මාලිගා සුන් වී ගොසිනි. ඉපදුණු හැම සත්වයෙකුට ම උරුම මරණයක් ඇත. අද හෝ හෙට හෝ අනිද්දා හෝ කවදාක හෝ කොහේදී හෝ මුහුණ දීමට තිබෙන නියත මරණයක් ඇත. ඒ මරණයට දැන් දැන් බොහෝ සෙයින් ඇය ළං වී ඇති සෙයකි. ගෙවුණු අතීතය පලක් නැත. එන අනාගතය ගැන සිහින මැවීමක් අවශ්‍ය නැත. වර්තමානයෙහි කළ යුත්තක් ඇත. ආයෙ ආයෙත් ඒ මුනි වදන් අමතක කළොත් දුක උරුම තමන්ට ම ය. මහා අනුකම්පාවෙන් දේශනා කළ ඒ ධර්මය පිළි නො ගත්තොත් පාඩුව තමන්ට ම ය. වයසට යාම නම් ඒකාන්ත දුක විඳිමින් සිටින, ලෙඩ රෝග වැළඳීම නම් ඒකාන්ත දුක ද උරුම ව සිටින, ප‍්‍රියයන්ගෙන් වෙන් වීම නම් ඒකාන්ත දුක ද අප‍්‍රිය දේ සමඟ එක්වීම ද උරුම ව සිටින ජීවිතය අසරණ ය. ‘මේ දේවල් ඒ විදියට වෙන්න එපා’ යයි සිහින මැව්වාට ඒ දේ නො වී තිබෙන්නේ නැත. ආයෙ ආයෙත් මේ දුක ම උරුම නම් ඒ ජීවිතයේ ඇති අරුත කුමක් ද?

අකාලික මුනි දහම බොරු වූයේ නැත. බොරු වෙන්නේ ද නැත. ලස්සනට තියන් ඉන්නා රූපය දිරා යන, කොණ්ඩය පැහී යන, දත් දිර දිරා යන, හම රැලි වැටී යන කාලයක් උපන්නා වූ සත්වයන්ට උරුම ය. අප‍්‍රිය දේ ළං ව, ප‍්‍රිය දෙයින් වෙන් ව සිටිනා, ලෙඩ රෝග වැළඳෙනා කාලයක් හැමෝට ම උරුම නම්, මරණය කෙමෙන් ළඟා වන ජීවිතයක් ද උරුම නම් මේ ජීවිතේ අර්ථයක් නො සොයා ඉන්නේ ඇයි?

උතුම් මුනිඳුන් දෙසු බණ පද නො ඇසෙනා කාලයක්, ලැබුණු මේ අවස්ථාවත් නැති වෙනා කාලයක්, කල්‍යාණමිත‍්‍රයන් නැති වෙනා කාලයක්, ධර්මය අතුරුදන් වෙන කාලයක් අද හෙට ම එළඹෙනු ඇත. ‘අද නො වේ හෙට’ කියා අපි කෙසේ රැකවරණයක් ලබන්න ද?

හීංමැණිකේ අම්මාට පමණක් නො ව අපට ද එකම පිළිසරණ ඒ ජීවිත අර්ථය සලසා ගැනීම විනා අන් කිසිවක් නොවේ.

මෙම ලිපිය ගැන ඔබේ අදහස්
අපට SMS කරන්න
071 555 66 66

සටහන
ධනංජය ජයවික‍්‍රම